Skip to content

පටුනට යන්න

අපේ අනාගතය එතරම්ම අඳුරුද?

අපේ අනාගතය එතරම්ම අඳුරුද?

අපේ අනාගතය එතරම්ම අඳුරුද?

අද ලොව පුරා සිදු වන භයානක දේවල් නිසා මිනිසුන්ට අනාගතය ගැන තිබෙන්නේ විශාල බියක්. මේ නිසා දියුණු නගරවල තිබෙන රජයේ ආයතනවල පවා කැමරා සවි කර තිබෙනවා. එමෙන්ම බොහෝ රටවල ගුවන් තොටුපොළවල් හමුදා කඳවුරු හා සමාන තත්වයකට පත් වී තිබෙන්නේ ත්‍රස්තවාදයට තිබෙන බිය නිසයි. තමන්ගේ ගොදුර සොයාගැනීම සඳහා අන්තර්ජාලය වැඩි වැඩියෙන් භාවිත කරන කාමාතුරයන් මෙන්ම සොරුද දිනෙන් දින වැඩි වෙනවා. ඒ විතරක් නොවෙයි පරිසර දූෂණය, කැළෑ එළි කිරීම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමත් විශාල තර්ජනයක් වී තිබෙනවා.

ලෝකය මෙතරම් දරුණු තත්වයකට පත් වෙයි කියා මීට පරම්පරා දෙක තුනකට ඉහතදී ජීවත් වූ අය හීනෙකින් වත් සිතන්න නැතුව ඇති. අද බොහෝදෙනෙක් මේ ලෝකයට සිදු වෙන්නේ කුමක්ද කියාත් තමන්ගේ හා දරුවන්ගේ අනාගතය කෙබඳු එකක් වෙයිද කියාත් කල්පනා කිරීම සාධාරණයි. බස් රථයක, දුම්රියක හෝ ගුවන් යානයක ගමන් කරන්න බැරි තරම් බියකරු කාලයක් කවදා හරි පැමිණෙයිද? ඉහළ යන ආර්ථිකය හා ස්වාභාවික සම්පත්වලට පවා බදු අය කිරීම නිසා අනාගතයේදී මිනිසුන්ට අවශ්‍ය ආහාර, ප්‍රමාණවත් ඉන්ධන හා සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි වෙයිද?

“අනාගතය ඉතා බියකරුයි” කියා කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ඔහු එසේ පැවසුවේ එම රටේ සෞඛ්‍යාරක්ෂාව සඳහා විශාල වියදමක් දරන්න සිදු වන නිසයි. එමෙන්ම අද බොහෝදෙනෙක් තමන්ට අවශ්‍ය ආහාර මෙන්ම ඉන්ධන ගැනද සැලකිලිමත් වෙනවා. බොහෝ රටවල් ඛනිජ තෙල් වෙනුවට ශාකවලින් එතනොල් වැනි ජීව ඉන්ධන ලබාගත හැකිදැයි සොයා බලනවා. මේ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිසුන්ට ආහාරවලට පමණක් නොව ඉන්ධන ලබාගැනීමටද වගා කරන්න සිදු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාරවල මිල ඉහළ යනවා.

මිනිසුන්ගේ කනස්සල්ලට හේතු වන තවත් සාධකයක් වන්නේ දිනෙන් දින වැඩි වන ඇති නැති පරතරයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක මෙවැනි අදහසක් පළ වුණා. විසිඑක්වන සියවසේ පළමු දශකය තුළ දියුණු රටවල වෙසෙන අයට යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමට දායක වන බොහෝ දේවල් සොයාගෙන තිබුණද දිලිඳු රටවල වෙසෙන අය සිටින්නේ ඒ අතින් අන්ත අසරණ තත්වයකයි. මේ නිසා සමහර දිලිඳු රටවල වෙසෙන ජනයාගේ ආයු කාලය ධනවත් රටවල වෙසෙන ජනයාගේ ආයු කාලයෙන් හරි අඩක් වී තිබෙනවා. මෙලෙස ආයු කාලය අඩුවීමට ලෙඩ රෝග, සමාජීය හා ආර්ථික ගැටලු හේතු වී තිබෙනවා. ඒවාට මූලික හේතුව පාලන ක්‍රමවල අසාර්ථකත්වයයි.

මිනිසුන් එදිනෙදා මුහුණ දෙන අසීරුකම්වලට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමද ඔවුන්ට මහත් ගැටලුවක් වී තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම දරුණු කාලගුණික තත්වයන් ඇතිවීමටත් බොහෝ ප්‍රදේශ කාන්තාර බවට පත්වීමටත් හේතු වෙනවා. ඒ නිසා මේ ගැන දැනුවත් වී සිටින අය හෙට දවස ගැන සිටින්නේ මහත් බියකින්. එක් විද්‍යාඥයින් පිරිසක් ඔවුන් අනාගතය ගැන බියවීමට හේතුව “ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා එක දිගටම සිදු වන පරිසර හානිය” බව ඔවුන්ගේ සඟරාවේ සඳහන් කර තිබෙනවා.—එම සඟරාව Bulletin of the Atomic Scientists.

අපේ අනාගතය එතරම්ම අඳුරුද? ව්‍යාපාර, දේශපාලනය, ආගම හා විද්‍යාව මගින් අපිට යහපත් අනාගතයක් බලාපොරොත්තු විය හැකිද? කෙනෙකුට මෙසේ සිතෙන්න පුළුවන්. ‘අපි වෙන මොනවා කරන්නද? ළිඳට වැටුණා නම් ළිං කටෙන්මයි ගොඩ එන්න ඕනේ.’ නමුත් තවත් කෙනෙකුට මෙසේ සිතෙන්න පුළුවන්. අපිට සුරක්ෂිත මෙන්ම ප්‍රීතිමත් අනාගතයක් සඳහා බලාපොරොත්තුව තැබිය හැක්කේ දෙවි කෙරෙහි පමණයි. එසේනම් දෙවි අපි කෙරෙහි සැලකිලිමත් වන බවත් අපි මුහුණ දෙන මේ දුෂ්කර තත්වයෙන් දෙවි අපිව ගලවාගනියි කියාත් අපිට සහතික විය හැකිද? ඊළඟ ලිපිවලින් මෙයට පිළිතුරු සොයාගනිමු.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ව්‍යාපාර, දේශපාලනය, ආගම හා විද්‍යාව මගින් අපිට යහපත් අනාගතයක් බලාපොරොත්තු විය හැකිද?