Skip to content

පටුනට යන්න

එකම විසඳුම සියදිවි නසාගැනීමද?

එකම විසඳුම සියදිවි නසාගැනීමද?

යෞවන අය අසති

එකම විසඳුම සියදිවි නසාගැනීමද?

සෑම වසරකම මිලියන ගණන් යෞවන යෞවනියන් සියදිවි නසාගන්න තැත් කරන අතර ඉන් දහස් ගණනක් එසේ කර තිබෙනවා. මෙසේ සියදිවි නසාගන්න වැඩිදෙනා යොවුන් වියේ අය නිසා මෙම කාරණාව ගැන අපි ටිකක් සාකච්ඡා කරමු.

‘මම තවත් ජීවත් වෙලා වැඩක් නැහැ. මම දැන් මැරුණා නම් මීට වඩා හොඳයි.’ මෙම වචන පැවසුවේ කවුද? දෙවිව විශ්වාස නොකළ කෙනෙක්ද? දෙවිව අත්හැරිය කෙනෙක්ද? නැත්නම් දෙවි විසින් අත්හරිනු ලැබූ කෙනෙක්ද? ඒ වෙන කවුරුත් නොවෙයි. දෙවිව විශ්වාස කළත් කනස්සල්ලෙන් සිටි යෝනා නම් දෙවිගේ සේවකයායි. * (යෝනා 4:3, නව ලොව පරිවර්තනය, NW) යෝනා තම ජීවිතය නැති කරගන්න හිතාගෙන හිටියා කියා බයිබලයේ පවසන්නේ නැහැ. නමුත් ඔහුගේ දුක්බර ආයාචනයෙන් පැහැදිලි වන්නේ දෙවිගේ සේවකයන් පවා සිත්තැවුලට පත්වෙන බවයි.—ගීතාවලිය 34:19.

සමහර අය කොතරම් කලකිරීමෙන් සිටිනවාද කියනවා නම් ජීවත් වෙලා පලක් නැහැ කියලා ඔවුන් සිතනවා. ලෝරාටත් * හැඟුණේ ඒ විදිහටයි. “වසර ගණනාවක් ඉඳලම මම නිතර නිතර දැඩි මානසික පීඩනයන්ට ලක්වුණා. සමහර වෙලාවට මට මැරෙන්න හිතිලා තියෙනවා.” සිය දිවි හානි කරගන්න සිතන කෙනෙක් ගැන ඔබ දන්නවාද? ඔබ සියදිවි හානි කරගන්න සිතාගෙන සිටිනවාද? එසේනම් කළ හැක්කේ කුමක්ද? මුලින්ම අපි බලමු මෙවැනි සිතුවිල්ලක් ඇති වෙන්නේ ඇයි කියලා.

කලකිරීමට හේතුව

කෙනෙක් සියදිවි හානි කරගන්න හිතන්නේ ඇයි? මේ සඳහා විවිධ හේතූන් බලපානවා. ඉන් එකක් වන්නේ අපි “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලයක ජීවත් වීමත් තරුණ කාලයේදී පීඩනවලට පහසුවෙන් හසුවීමත්ය. (2 තිමෝති 3:1) උරුම වූ අසම්පූර්ණකම, ජීවත්වන පරිසරය ඔබව වටින්නේ නැති පුද්ගලයෙක් කියා හිතන්න සලස්වනවා. (රෝම 7:22-24) සමහරවිට තමාව අනිත් අය නොසලකා හැර තිබීම සිය දිවි නසාගැනීමට හේතුවක් විය හැකියි. ශාරීරික රෝගයක්ද ඊට බලපාන්න පුළුවන්. සියදිවි හානි කරගන්න අයගෙන් සියයට 90ක්ම මානසික රෝගයකින් පීඩා විඳ ඇති බව එක් රටකින් වාර්තා වෙනවා. *

තරුණ වැඩිහිටි සියලුදෙනාම පීඩනයන්ට මුහුණ දෙනවා. ඒ නිසයි “මුළු මැවිල්ලම, මේ දක්වා එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද සිටින බව” බයිබලයේ පවසන්නේ. (රෝම 8:22) බොහෝ යෞවනයින් සියදිවි හානි කරගැනීමට බලපාන කාරණා කිහිපයක් පහත සඳහන් වේ.

▪ පවුලේ කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ මරණය

▪ පවුල තුළ ප්‍රශ්න

▪ විභාග අසමත් වීම

▪ පෙම් සබඳතා බිඳී යෑම

▪ ලිංගිකව හෝ ශාරීරිකව හිරිහැරයට ලක්වීම

කවදා හෝ ඉහත සඳහන් කරුණුවලින් එකක් හෝ කිහිපයකට සමහරවිට ඔබට මුහුණ දීමට සිදු විය හැකියි. සමහර යෞවන යෞවනියන්ට මෙවන් පීඩනයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වන්නේත් තවත් අයට එසේ කළ නොහැකි වන්නෙත් ඇයි? ප්‍රවීණයන් පවසන්නේ ඔවුන්ට එයට සාර්ථකව මුහුණ දීමට නොහැකි යයි සිතා බලාපොරොත්තු අත්හරිනවා කියායි. “ඇත්තෙන්ම ඔවුන්ට මැරෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ වේදනාව නැති කරගන්න විතරයි” කියා වෛද්‍ය කැත්ලීන් මර්කෝයි පිබිදෙව්! සඟරාවට පැවසුවා.

විසඳුමක් නැද්ද

තමන්ට දැනෙන දැඩි පීඩනය නිසා සියදිවි හානි කරගන්න හිතාගෙන සිටින කෙනෙක් ගැන ඔබ දන්නවා නම් කළ යුත්තේ කුමක්ද?

ඔහුට හෝ ඇයට තව කෙනෙකුගෙන් උපකාරය ලබාගන්න කියා දිරිගන්වන්න. ඔහු හෝ ඇය කුමක් සිතුවත් ඔබට පුළුවන් විශ්වාසවන්ත කෙනෙකුට ඒ ගැන කියන්න. ඔබේ මිත්‍රකමට හානියක් වෙයි කියා භය වෙන්න එපා. විශ්වාසවන්ත කෙනෙකුට එය පැවසීමෙන් ඔබට ‘සැබෑ මිතුරෙක්ද’ ‘විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක්ද’ විය හැකියි. (හිතෝපදේශ 17:17NW) එයින් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න ඔබට පුළුවන්.

නමුත් ඔබට ජීවිතය නැති කරගන්න සිතුණොත් තත්වය කුමක්ද? “උපකාරය ඉල්ලන්න. ඒ ගැන ඔබට හැඟෙන ආකාරය දෙමාපියෙකු, නෑදෑයෙකු, මිතුරෙකු, ගුරුවරයෙකු, වැනි ඔබ ගැන සලකන ඔබට ඇහුම්කන් දෙන කෙනෙකු සමඟ කතා කරන්න” කියා වෛද්‍ය මර්කෝයි පවසනවා.

ගැටලුව ගැන කතා කිරීමෙන් ඔබ කරගන්නේ ඔබටම යහපතක්. බයිබලයේ සඳහන් උදාහරණයක් සලකා බලමු. ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් එක් අවස්ථාවක කිව්වේ, “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. හදවතේ දැවෙන දුක කියන්නෙමි. දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි” කියායි. (යෝබ් 10:1NW) යෝබ් බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටියත් ඔහු ඒ ගැන කතා කළා. ඔබටත් විශ්වාසවන්ත කෙනෙකු සමඟ කතා කිරීමෙන් සහනයක් ලබාගත හැකියි.

කලකිරීමෙන් සිටින ක්‍රිස්තියානියෙකුට ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ගෙන්ද සහනය ලබාගත හැකියි. (යාකොබ් 5:14, 15) තවත් කෙනෙකු සමඟ ගැටලුව ගැන කතා කිරීමෙන් එය ක්ෂණිකව ඉවත් නොවෙන බව ඇත්තයි. නමුත් එසේ කිරීමෙන් ඔබට වෙනත් ආකාරයකින් ගැටලුව දෙස බලා ඊට ඇති ප්‍රායෝගික විසඳුමක් ගැන කල්පනා කරන්න එය උපකාරවත් වෙයි.

තත්වයන් වෙනස් වේ

යම් හේතුවක් නිසා ඔබ දැඩි පීඩනයට ලක් වී සිටිනවා නම් කාලය විසින් දේවල් වෙනස් කරන බව මතක තබාගන්න. පීඩා රාශියකට මුහුණ දුන් දාවිත් රජ යාච්ඤා කළේ, “මා සෝදුකින් හෙම්බත් වී ඇත. මාගේ කඳුළුවලින් යහන තෙත් වී ඇත. රාත්‍රිය පුරා මාගේ දෙනෙතින් ගලන කඳුළුවලින් යහන පෙඟී යයි” කියායි. (ගීතාවලිය 6:6NW.) පසුව ඔහු තවත් ගීතිකාවක ලිව්වේ, දෙවි “වැලපෙමින් සිටි මට නටන්න සැලැස්සුවෙහිය” යනුවෙනි.—ගීතාවලිය 30:11NW.

ජීවිතයේ ගැටලු විටින් විට ඇති වුණත් ඒවා විසඳන්න හැකි බව දාවිත් අද්දැකීමෙන් දැනගෙන හිටියා. ඔබ ගැටලුවලින් හෙම්බත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉවසීමෙන් කටයුතු කළොත් බොහෝවිට ඒවා හොඳ අතට හැරෙන්න පුළුවන්. එසේත් නැත්නම් විසඳාගත හැකි ක්‍රමයක් සොයාගන්න පුළුවන් වෙනවා. ඔබ මතක තබාගත යුතු වැදගත් දෙයක් වන්නේ, ගැටලුව එකම විදිහට හැමදාම තියෙන්නේ නැහැයි කියන කාරණයයි.—2 කොරින්ති 4:17.

යාච්ඤාවේ වැදගත්කම

අපගේ සිතුවිලි දෙවිට දැන්විය හැකි හොඳම ආකාරය යාච්ඤාවයි. දාවිත් මෙන් ඔබටත් මෙසේ යාච්ඤා කළ හැකියි. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවත දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වද දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ ඇද්දැයි බලා මට සදහටම මඟ පෙන්වන්න.”—ගීතාවලිය 139:23, 24NW.

යාච්ඤාව සාමාන්‍ය දෙයක් හැටියට සලකන්න එපා. එය “ඔබේ හදවතේ ඇති සියල්ල” පවසනවාට කැමති දෙවි සමඟ කරන කතාබහක්. (ගීතාවලිය 62:8NW) දෙවි ඔබ ගැන සිතන විදිහ බලන්න.

▪ ඔබට මුහුණ දීමට සිදු වී ඇති පීඩනයන් ගැන ඔහු දන්නවා.—ගීතාවලිය 103:14.

▪ ඔබ ඔබ ගැන දන්නවාට වඩා දෙවි ඔබ ගැන දන්නවා.—1 යොහන් 3:20.

▪ දෙවි “ඔබ ගැන සලකනවා.”—1 පේතෘස් 5:7.

▪ පාරාදීසයේදී දෙවි ඔබේ “ඇස්වලින් සෑම කඳුළක්ම පිස” දමනවා.—එළිදරව් 21:4.

ගැටලුවට හේතුව ශාරීරික රෝගයක් නම්

කලින් සඳහන් කළ පරිදි සියදිවි නසාගැනීම් බොහොමයකට හේතුව ශාරීරික රෝගයක් විය හැකියි. ඔබේ ගැටලුවත් එය නම් උපකාරය ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. රෝගියෙකුට වෛද්‍යවරයෙක් අවශ්‍යයයි කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 9:12) එවන් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම තිබීම සතුටට කරුණක්. එයින් ඔබට සුවයක් ලැබිය හැකියි.

එතෙක් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න. මන්ද පාරාදීසයේදී “කිසිවෙක් මා ලෙඩින් කියා පවසන්නේ නැත.” (යෙසායා 33:24NW) ජර්මනියේ ජීවත් වන හයිඩී කළේ එවැනි දෙයක්. “සමහර වෙලාවට මට මානසික පීඩනය කොච්චර දැනුණද කියනවා නම් මට මැරෙන්න හිතුණා. නමුත් දිගටම යාච්ඤා කළා. ඒ වගේම ප්‍රතිකාරත් ලබාගත්තා. ඒ නිසා මම තාමත් ජීවත් වෙනවා.” එසේ කිරීමෙන් ඔබටද සහනයක් ලැබිය හැකියි. *

“යෞවන අය අසති” ලිපි මාලාවේ ඉදිරි ලිපියක පවුලේ සාමාජිකයෙක් සියදිවි නසාගත් විට පැනනඟින තත්වයන් සමඟ කටයුතු කරන ආකාරය සාකච්ඡා කරනවා

[පාදසටහන්වල]

^ 4 ඡේ. මේ හා සමාන තත්වයන්ට දෙවිගේ සේවකයන් වන රෙබෙකා, මෝසෙස්, එලියා සහ යෝබ්ද මුහුණ දී තිබෙනවා.—උත්පත්ති 25:22; 27:46; ගණන් කතාව 11:15; 1 රාජාවලිය 19:4; යෝබ් 3:21; 14:13

^ 5 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. මානසික රෝගවලින් පෙළෙන සියලුදෙනාම සියදිවි හානි කරගන්නේ නැති බව සලකන්න.

^ 33 ඡේ. මානසික පීඩනය සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය ගැන වැඩි විස්තර 2001 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “යොවුන් වියයි මානසික අවපීඩනයයි” නැමති ලිපි මාලාව සහ 2004 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ 19-29 දක්වා පිටු බලන්න.

සිතා බලන්න

▪ සියදිවි නසාගැනීම ගැටලුවට විසඳුම නොවෙයි. ඒ වෙනුවට ගැටලුව තව කෙනෙක් මතට පැටවීමකි. එය සත්‍යයක්ද?

▪ ඔබට දිගටම පීඩනයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා නම් ඒ ගැන කතා කළ යුත්තේ කවුරුන් සමඟද?

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙමාපියෙනි මේ ඔබටයි

ලෝකය පුරා සමහර රටවල සිටින යෞවන අයගෙන් වැඩිදෙනෙක් සිය දිවි නසාගැනීම කනගාටුවට කරුණක් වුවත් පොදුවේ පවතින සත්‍යය එයයි. අමෙරිකාවේ වෙසෙන වයස අවුරුදු 15ත් 25ත් යෞවන යෞවනියන්ගේ මරණ සංඛ්‍යාවට වැඩිම බලපෑමක් සිදු කරන සාධකවලින් තුන්වන ස්ථානය හිමි වන්නේ සිය දිවි නසාගැනීමටයි. පසුගිය වසර 20 තුළ වයස අවුරුදු 10ත් 14ත් අතර සිය දිවි නසාගත් අයගේ සංඛ්‍යාව දෙගුණයක් වී තිබෙනවා. කෙනෙක් මානසික අසනීපයකින් පෙළෙනවා නම් ඔහුගේ පවුලේ කෙනෙක් මීට කලින් සිය දිවි නසාගෙන තිබෙනවා නම් හෝ ඔහු මීට කලින් සිය දිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා නම් එවැනි අයට සිය දිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. යෞවන කෙනෙක් සිය දිවි නසාගැනීමට අදහස් කරගෙන සිටින බව ඔබට දැනගත හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.

▪ පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමඟ කතාබහ අඩුවීම

▪ ආහාර ගැනීමේ හා නිදාගැනීමේ පුරුදු වෙනස් වීම

▪ කලින් උනන්දුවෙන් කළ දේවලට දැන් උනන්දු නොවීම

▪ පෞද්ගලිකත්වයේ සැලකිය යුතු වෙනස්කම්

▪ මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ආශාවීම

▪ තමන් කලින් වටිනා හැටියට සැලකූ දේවලට දැන් ආශා නොවීම

▪ මරණය හෝ ඒ හා සම්බන්ධ කාරණා වැඩියෙන් කතා කිරීම

මේ සම්බන්ධයෙන් වෛද්‍ය කැත්ලීන් මර්කෝයි මෙසේ පැවසුවා. “තම දරුවාට මානසික රෝගයක් ඇති බව පිළිගැනීමට බොහෝ දෙමාපියන් අකමැතියි. ඔවුන් හිතන්නේ ‘ඒක වෙනස් වෙයි’, ‘ඒක නැති වෙලා යයි’, එහෙම නැත්නම් ‘ඒක එයාගේ හැටි, වෙනදාත් එයා ඒ වගෙයි’ කියලයි. ඒ විදිහට හිතන එක භයානක වෙන්න පුළුවන්. ඒ නිසා දෙමාපියන් සහ වැඩිහිටියන් දරුවන්ගේ හැසිරීම ගැන අවධානයෙන් ඉන්න ඕනා.”

තම දරුවාට මානසික රෝගයක් ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ලැජ්ජා වන්න එපා. ඔබගේ දුවට හෝ පුතාට සිය දිවි නසාගැනීමේ සිතිවිල්ලක් තිබෙන බවට පුංචි හෝ ඉඟියක් දැනගන්න ලැබුණොත් ඔහු හෝ ඇය සමඟ ඒ ගැන කතා කර ඉක්මනින් එය වළක්වාගන්න කටයුතු කරන්න. * එවැනි කෙනෙකු සමඟ කතා කිරීමෙන් ඔහුට සිය දිවි නසාගැනීමට දිරිගැන්වීමක් ලැබෙනවා යන අදහස අසත්‍යය එකක් බව මතක තබාගන්න.

තම දරුවාගේ මානසික පීඩනය ඉබේට නැති වෙයි කියා සිතන්න එපා. ඒ වගේම ගැටලුව යම් දුරකට අඩු වන බව දැනුණත් එය සම්පූර්ණයෙන් නැතිවූ බව සිතන්න එපා. සමහර ප්‍රවීණයන්ගේ අදහස වන්නේ එය භයානක අවදියක් බවයි. වෛද්‍ය මර්කෝයි පවසන්නේ “දැඩි මානසික පීඩනයට ලක් වී සිටින කෙනෙකුට සිය දිවි නසාගැනීමට ශක්තියක් නොතිබෙන්න පුළුවන්. නමුත් පීඩනය ටිකක් අඩුවන විට ඔහුට ඒ සඳහා ශක්තියක් ලැබෙන්න පුළුවන්” කියායි.

තම බලාපොරොත්තු සියල්ලම සුන් වී ඇති බවට යෞවන අයට හැඟෙන විට ඔවුන් සිය දිවි නසාගැනීමට තීරණය කළ හැකියි. ඇති විය හැකි එවන් අවස්ථා ගැන සාවධානව සිටීමෙන් හා ඉක්මනින් ක්‍රියා කිරීමෙන් සැලකිලිමත් දෙමාපියන්ට හා වැඩිහිටියන්ට “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා” කළ හැකියි. එසේ කිරීමෙන් දෙමාපියන්ට හැකි වෙනවා තම දරුවන්ට ජීවිතය සතුටින් ගත කරන්න උපකාර කරන්න.—1 තෙසලෝනික 5:14.

[පාදසටහන]

^ 54 ඡේ. ප්‍රවීණයන් පවසන්නේ නිවසේ සාමාජිකයෙකු රෝගයක් සඳහා ගන්නා බෙහෙත් වැඩි ප්‍රමාණයක් තබාගැනීම හෝ ගිනි අවියක් නිවසේ තබාගැනීම අනතුරුදායකයි. එක් ආයතනයක් කියා සිටියේ ගිනි අවියක් නිවසේ තබාගන්නේ, තමන්ගේ ආරක්ෂාවට වුණත් සිය දිවි නසාගැනීමෙන් සියයට 83ක්ම මිය ගොස් ඇත්තේ ගිනි අවි යොදාගෙන බවයි. මේ අතරින් බොහෝවිට මිය යන්නේ ගිනි අවිය අයිති පුද්ගලයා නොවෙයි.—American Foundation For Suicide Prevention.

[28වන පිටුවේ පින්තූරය]

ඉතා වැදගත්ම දෙය නම් යාච්ඤාවයි