Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “පරිණාමය සත්‍යයක් යයි තහවුරු කළ හැකි බොහෝ සාක්ෂි විද්‍යාවෙන් සොයාගෙන තිබෙන අතර එය අපේ ජීවිතය ගැන තිබෙන දැනුම තවත් පුළුල් කරගැනීමට මහෝපකාරී වෙනවා.”—16වන බෙනඩික් පාප්තුමා.

▪ “වසර 40ක් පැරණි අමෙරිකාවේ මිනාපොලිස්හි තිබූ විශාල පාලම මිසිසිපි ගංගාවට කඩා වැටීමෙන් 13දෙනෙක් මිය ගියා. ඒ හේතුවෙන් අමෙරිකාවේ තිබෙන අනික් පාලම්ද පරීක්ෂා කිරීමට අදාළ බලධාරීන් පියවර ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලුත්වැඩියාව සඳහා පාලම් 74,000ක් වෙනුවෙන් මුදල් සොයාගැනීමටද ඔවුන්ට සිදු වුණා.”—අමෙරිකාවේ THE WEEK.

නීතිය තම වාසියට

“බහුතරයක් නීතිවලට යටත් වෙනවා කියා පැවසුවොත් එය ඇත්තෙන්ම අසත්‍යයක්. බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් යටත් වන්නේ තමන් කැමති නීතිවලට පමණයි. එමෙන්ම ඔවුන් එසේ කරන්නේ තමන්ට අවශ්‍ය වූ විටකදී පමණයි” කියා ලන්ඩන් පුවත්පතක සඳහන් වුණා. (Times) ලන්ඩනයේ එක් විද්‍යාලයක නීතිය හා අපරාධ පිළිබඳව කළ සමීක්ෂණයක් මගින් හෙළි වුයේ නීතිවලට යටත් නොවන අයගෙන් බහුතරයක් සමාජයේ තමන් වැදගත් කියා සිතන අය බවයි. මෙයින් නීති කඩන අයගෙන් තුනෙන් එකක් බදු ගෙවීම පැහැරහැරීමට අල්ලස් දෙන අයයි. තවත් තුනෙන් එකක් තමන්ට ලැබිය යුතු මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණොත් නැවත ඒ මුදල ආපසු බාර නොදෙන අයයි. තවත් පහෙන් එකක් කාර්යාලවල තිබෙන දේවල් සොරකම් කරන අයයි. තවදුරටත් මෙම සමීක්ෂකයන් පවසන පරිදි ‘සමාජය වැටී තිබෙන පහත් මට්ටම එමගින් දැකගත හැකියි. එමෙන්ම අපරාධවලට වඩා මෙවැනි ක්‍රියාවල වැඩිවීමක්ද දක්නට තිබෙනවා.’

අවි භාවිතයට දෙවි සහය දෙයිද?

රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව හා එහි පරිපාලන කටයුතු සඳහා එම රටේ ඕතඩොක්ස් පල්ලිය ඔවුන්ගේ සහය පළ කර තිබෙනවා. මොස්කව්හි විශාලතම දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා වන දෙවන ඇලෙක්සස් දේවමෙහෙයකදී ප්‍රකාශ කළ දෙයක් සම්බන්ධව එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා.“ඔබ විසින් නිපදවා තිබෙන න්‍යෂ්ටික අවි සහ ඔබට පැවරී තිබෙන මෙම කාර්යය මම යාච්ඤාවෙන් දෙවිට භාර දෙනවා. ඒවා භාවිත කළ යුත්තේ සතුරු ප්‍රහාර වළක්වන්න පමණයි.”—එම පුවත්පත Krasnaya Zvezda.

කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්

ඊශ්‍රායෙලයේ කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශය පිළිබඳ බයිබලයේ සඳහන් වන දෙය සත්‍යයක් බව ඔප්පු කරන සාක්ෂියක් පුරාවිද්‍යාවෙන් සොයාගෙන තිබෙන බව එක් විශ්වවිද්‍යාලයකින් වාර්තා වුණා. ඊශ්‍රායෙලයේ බෙත්ෂෙයාන් නිම්නයේ පිහිටි ටාල් රෙකෝ ප්‍රදේශයෙන් කුඩා කුටි තුනකින් සමන්විත ස්ථානයක් සොයාගනු ලැබුවා. එහි විශාල මීවද 30ක් දක්නට ලැබුණා. මේවා ක්‍රිස්තු පූර්ව දහවන හා නවවන සියවසට අයත් ඒවා බවද එහි මීවද සියයක් පමණ තිබුණු බවද විශ්වාස කරනවා. මෙම ස්ථානයෙන් වසරකට මී පැණි ටොන් භාගයක් නිපදවා තිබෙන බවට ඔවුන් තක්සේරු කර තිබෙනවා.—Hebrew University of Jerusalem Institute of Archaeology.

පවුලේ වටිනා සාමාජිකයෙක්

“ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් හතරෙන් එකක් තම සහකාරයාට හෝ දෙමාපියන්ට වඩා තම සුරතලුන් වටිනා අය ලෙස සලකනවා” කියා අන්තර්ජාලයෙන් කළ එක් සමීක්ෂණයකින් හෙළි වුණා. එම රටේ එක් මූල්‍ය ආයතනයකින් කළ සමීක්ෂණයකට ප්‍රතිචාරය දැක්වූ අයගෙන් තුනෙන් එකක් පවසන්නේ ඔවුන් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාවට වැය කරන මුදලට වඩා වැඩි කාලයක් හා මුදලක් තම සුරතලුන් වෙනුවෙන් යොදවන බවයි. මෙම සතුන්ට කරන සැත්කම් අතරට අස්ථි බද්ධ කිරීම, කිරණ චිකිත්සාව, අවයව බද්ධ කිරීම, උකුල් සන්ධි බද්ධ කිරීම හා මොළයේ සැත්කම් වැනි දේවල් අයත් වෙනවා.