Skip to content

පටුනට යන්න

දෙසවන් පිනවන මියුරු සංගීතය

දෙසවන් පිනවන මියුරු සංගීතය

දෙසවන් පිනවන මියුරු සංගීතය

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

අපේ සිත් සතන් පිනවන්න වගේම අපේ සිතුවිලි කළඹවන්න සංගීතයට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. එමගින් අපේ සතුට, දුක ආදී සෑම හැඟීමක්ම මනාව ප්‍රකාශ කළ හැකියි. සංගීතය එදා මෙන් අදත් සෑම සංස්කෘතියකටම පොදු වූ දෙයක් නිසා එය විශ්ව භාෂාවක් ලෙස හඳුන්වනවා. ඇත්තෙන්ම එය දෙවිගෙන් ලද දායාදයක්.—උත්පත්ති 4:21.

අපි මෙලොව එළිය දුටු දා සිට මොනයම් හෝ සංගීතයකට සවන් දී තිබෙනවා. සමහරවිට ඔබ බිළිඳෙකුව සිටි කාලයේ ඔබේ අම්මා නැළවිලි ගී ගයමින් ඔබව නිදි කරවන්න ඇති. ඔබ යොවුන් වියට පා තැබූ කාලයේ ඔබේ සිතුවිල කළඹවන සංගීතයට සවන් දෙන්න ඔබ ප්‍රිය කරන්න ඇති. වැඩිහිටි වියට පා තැබූ බොහෝ අය වෙහෙසකර දිනවල තම විඩා නිවාගැනීමට සිත සන්සුන් කරවන මියුරු සංගීතයට සවන් දෙන්න ආශා කරනවා.

සමහර රටවල සංස්කෘතිය හෝ ඉතිහාසය ගැන කියැවෙන ගීත රචනා කර තිබෙනවා. පුරාණයේ සිටි ඊශ්‍රායෙල් නම් ජන පිරිස සමහර විශේෂ සිදුවීම් ගීත මගින් සිහි කළා. (නික්මයාම 15:1-21; විනිශ්චයකාරයෝ 5:1-31) එක් අවස්ථාවක දෙවිගේ සේවකයෙක් වන මෝසෙස් ගීතයක් නිර්මාණය කළා. එයට ඉතිහාසයේ සිදු වූ සිද්ධීන් හා යම් අවවාදයන්ද ඇතුළත් වුණා. (ද්විතීය කතාව 32:1-43) එවැනි ගීත මතක තබාගැනීමේ ආධාරක බවට කිසිම සැකයක් නැහැ.

සංගීතයට ඔබත් දක්ෂද?

‘මම නම් සංගීතයට දක්ෂ නැහැ’ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් මොහොතකට ඔබේ කටහඬට සවන් දෙන්න. එවිට ඔබේ කටහඬෙන් විවිධ හඬවල් නිර්මාණය කළ හැකි බව ඔබට පෙනෙයි. සමහරවිට සංගීත භාණ්ඩයක ආධාරය ඇතිව හෝ නැතුව එය කළ හැකියි. එයින් පෙනී යන්නේ සෑම කෙනෙකුටම යම්තාක් දුරකට හෝ සංගීතයට හැකියාවක් තිබෙන බවයි. ඔබේ කටහඬ මිහිරි කටහඬක් නොවෙන්න පුළුවන්. නමුත් උත්සාහය අත්හරින්න එපා. ඔබේ මුඛය හොඳින් විවෘත කර ගායනා කරන්න. දිගටම පුහුණු වුණොත් ඔබේ හඬේ ගුණය ප්‍රගුණ කරගන්න ඔබට හැකි වෙනවා.

“අපේ හැඟීම් හා කටහඬ අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. එමෙන්ම එය අපේ හැඟීම් කදිමට ප්‍රකාශ කළ හැකි හොඳම මෙවලමද වෙනවා” කියා ස්පාඤ්ඤයේ එක් සඟරාවක සඳහන් වුණා. එක් ගායිකාවක් වන එන්හෝආ අර්තේතා මෙසේ පැවසුවා. “ගායනය කියන්නේ ඉතා පුදුම දෙයක්. කෙනෙකුට තමන්ගේ හැඟීම් ගීතයකින් ප්‍රකාශ කරන්න ඕනා නම් ඒ සිතුවිලි නිදහසේ ගලා යන්න ඉඩහරින්න.”—එම සඟරාව Psychologies.

අපේ සිතුවිලිවලට ප්‍රබල බලපෑම් කරන්න සංගීතයට පුළුවන් නිසා එය තෝරාගැනීමේදී ඥානවන්ත වන්න. සමහර ගීතවල අර්ථයට අවධානය යොමු නොවන තරමටම එහි තනුව ප්‍රබල විය හැකියි. සමහරවිට අලංකාර තනුවක පද මාලාව, දෙවිට ප්‍රේම කරන අය ප්‍රතික්ෂේප කරන වෛරය, දුරාචාරය හෝ ප්‍රචණ්ඩත්වය වැනි දේවල් උලුප්පා දක්වන්නක් විය හැකියි. (එෆීස 4:17-19; 5:3, 4) බයිබලයේ මෙසේ අනතුරු අඟවනවා. “සුරැකිව තබාගත යුතු හැම දෙයකටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවිතය නික්මෙන්නේ එයින්ය.” (හිතෝපදේශ 4:23, නව ලොව පරිවර්තනය, NW) ඇත්තෙන්ම සුදුසු සංගීතය තෝරාගැනීම සුළු පටු කාරණයක් නොවෙයි. *

සංගීතය ඖෂධයක්

“බොහෝ සංස්කෘතීන්වල විවිධ සංගීත නිර්මාණයන් බිහි වී තිබෙන්නේ මානසිකව මෙන්ම ශාරිරීකව සුවයක් ලබා දෙන්න ඊට තිබෙන හැකියාව නිසයි” කියා එක් පොතක පවසනවා. (Principles and Practice of Stress Management) තවත් සඟරාවක සඳහන් වන පරිදි අපි ගීතයක් ගායනා කරන විට අපේ මුළු සිරුරම ඊට ප්‍රතිචාරය දක්වනවා. එමගින් යම් වේදනාවකින් පෙළෙන කෙනෙකුට සහනයක් ලබාගැනීමට හැකි වෙනවා.—Psychologies.

සමහර චිකිත්සකයින් මානසික පීඩනයෙන් පෙළෙන රෝගීන්ට සිත් සන්සුන් කරන සංගීතයට සවන් දීමට දිරිගන්වනවා. එමගින් ඔවුන්ට මානසික සුවයක් අද්දැකිය හැකියි. සමහර රෝහල්වල හදිසි අනතුරු ඒකකයේ පටිගත කරනු ලැබූ සංගීතය වාදනය කරනවා. එමෙන්ම ශල්‍යකර්මවලට භාජන කළ රෝගීන් හා අඩු මාසෙන් උපත ලැබූ බිළිදුන්ගේ සෞඛ්‍යය යහපත් මට්ටමකට ගෙන ඒමට හැකියි. කලින් සඳහන් කළ පොතෙහි මෙවැන්නක් පවසා තිබුණා. සිත සන්සුන් කරවන සංගීතයට සවන් දීමෙන් ශල්‍යකර්මය සිදු කරන විට ඇති වන මානසික පීඩනය අවම කරගත හැකි වෙනවා.

දරුවකු බිහි කරන අවස්ථාවේ ගැබිනි මවකට ඇති වන පීඩනය අඩු කරගැනීමටද සංගීතය උපකාරවත් වෙනවා. සමහර දන්ත වෛද්‍යවරුන් තම රෝගීන්ගේ පීඩනය අවම කිරීමට සිත් සන්සුන් කරන සංගීතය ඇසෙන්න සලස්වනවා. කෙසේවෙතත් සංගීතයට හා ගීතවලට ඊටත් වඩා වැඩි යමක් කළ හැකියි. එනම් එමගින් දෙවි සහ අප අතර තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කිරීමයි.

‘ගී ගයමින් මම දෙවිට ප්‍රශංසා කරමි’

බයිබලයේ පොත් අතුරින් පොත් දහයෙන් එකක්ම වාගේ ලියා තිබෙන්නේ කාව්‍යමය ස්වරූපයෙන් බව ඔබ දැන සිටියාද? ගීතාවලිය, සලමොන්ගේ ගීතිකාව හා විලාප ගී යන බයිබල් පොත් ඊට කදිම නිදසුන්. දෙවිගේ නමස්කාරයට සම්බන්ධ ගීත 300ක් පමණ බයිබලයේ සඳහන් වෙනවා. දක්ෂ ගීත රචකයෙක් වූ දාවිත් මෙසේ පවසනවා. ‘යෙහෝවා දෙවි මාගේ ශක්තියය. ගී ගයමින් මම ඔහුට ප්‍රශංසා කරමි.’—ගීතාවලිය 28:7NW.

දාවිත් විසින් ලෙවී නම් ගෝත්‍රයට අයත් පුරුෂයන් 4,000ක් ගායකයන් හා සංගීතකරුවන් ලෙස යෙරුසලමේ දේවමාලිගාවේ සේවය කිරීමට යොදාගත්තා. ඔවුන්ගෙන් 288ක්ම ‘යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා හොඳින් පුහුණුව ලැබූ’ අයයි. (1 ලේකම් 23:4, 5; 25:7NW) මොවුන් දිගටම හොඳින් පුහුණු වූ බවට කිසිම සැකයක් නැහැ. ඇත්තටම සංගීතය කියන්නේ දෙවිට කරන නමස්කාරයේ වැදගත් අංගයක්. මේ නිසා සංගීතයට පමණක් හොඳින් අවධානය දීම සඳහා ඒ පුරුෂයන්ව දේවමාලිගාවේ වෙනත් වගකීම්වලින් නිදහස් කරනු ලැබුවා.—1 ලේකම් 9:33.

යේසුස් මිය ගිය රාත්‍රියේ ඔහු සහ ඔහුගේ ගෝලයන් දෙවිට ප්‍රශංසා ගී ගැයුවා. සමහරවිට එය බයිබලයේ ගීතාවලිය 113 සිට 118 දක්වා සඳහන් ගීත විය හැකියි. පාස්කු මංගල්‍ය සමයේ ගායනය කළ එම ගීතයන් හැඳින්වූයේ “ප්‍රශංසා ගී” ලෙසයි. (මතෙව් 26:26-30) ඒවා එසේ හැඳින්වූයේ යාහ්ට ප්‍රශංසා වේවා යන අරුත එම ගීතවල නැවත නැවතත් සඳහන් වන නිසයි. යාහ් ලෙස හඳුන්වන්නේ මහෝත්තම දෙවිව වන අතර එය යෙහෝවා යන ඔහුගේ නාමය කෙටි කර දැක්වීමක් වෙනවා.—ගීතාවලිය 83:17.

එක් පොතක මෙසේ පවසනවා. ‘ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකව තම නමස්කාරයේ යෙදෙන විට මුල් සියවස්වල සිටි ක්‍රිස්තියානීන් ප්‍රශංසා ගී ගැයුවා. ගී ගැයීම යුදෙව්වන් නමස්කාර කළ ස්ථානයේ සිදු කරන සුපුරුදු චාරිත්‍රයක්ද වුණා. හෙබ්‍රෙව් භාෂාවෙන් වගේම ග්‍රීක භාෂාවෙන්ද අලුත් ගීත නිර්මාණය කිරීමට ඔවුන් පෙලඹුණා.’ අද දින සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද තමන් දෙවි ගැන ඉගෙනගැනීමට රැස්වෙන ස්ථානවලත් පෞද්ගලිකවත් ගීතිකා ගැයීමෙන් දෙවිට ප්‍රශංසා කරනවා.—එම පොත The History of Music.

බොහෝදුරට සංගීතය මගින් අපේ සෑම හැඟීමක්ම ප්‍රකාශ කළ හැකියි. අපේ සිතුවිලිවලට, මනසට මෙන්ම අපේ මුළු සිරුරටම එයින් කරන බලපෑම ඉතාමත් ප්‍රබලයි. මේ නිසා එය දෙවිගෙන් ලද වටිනා දායාදයක් ලෙස සලකන්න. මන්ද බයිබලයේ පවසන්නේ මෙසේයි. “සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය.” (යාකොබ් 1:17) අපි මෙම දායාදය ඥානවන්තව භාවිත කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ගනිමු.

[පාදසටහන]

^ 9 ඡේ. රූප වන්දනාව උලුප්පා දක්වන ගීත, ජාතිවාදී හැඟීම් ඇති කරන ගීත, හා අසත්‍ය ආගමික ඉගැන්වීම් ඇතුළත් ගීතවලට සවන් දීමද දෙවිට ප්‍රේම කරන අය ප්‍රතික්ෂේප කරනවා.—යෙසායා 2:4; 2 කොරින්ති 6:14-18; 1 යොහන් 5:21.