Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් අනාගතයකට සහතිකයක්!

ප්‍රීතිමත් අනාගතයකට සහතිකයක්!

ප්‍රීතිමත් අනාගතයකට සහතිකයක්!

ඔබ මංසන්ධියකට පැමිණියා කියා සිතන්න. එහි දෙපසට විහිදී තිබෙන මාර්ග දෙකෙහි පුවරු දෙකක් දකින්න තිබෙනවා. එක් පුවරුවක “මිනිසුන් හා ඔවුන්ගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්න” කියාත් අනික් පුවරුවේ “දෙවි හා ඔහුගේ රාජ්‍යය කෙරෙහි විශ්වාසය තබන්න” කියාත් ලියා තිබෙනවා. ඔබ තෝරාගන්නේ කුමන මාර්ගයද?

ඥානවන්තම දෙය නම් දෙවි කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ මාර්ගය තෝරාගැනීමයි. “මට සවන් දෙන්නා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය” කියා දෙවි පවසන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 1:33NW) අපි දෙවිට සවන් දෙන්නේ බයිබලයේ සඳහන් ඔහුගේ ඉගැන්වීම්වලට කීකරු වීමෙනුයි. ඒවා කෙරෙහි අපිට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. (2 තිමෝති 3:16) එයට එක් හේතුවක් වන්නේ මෙම ලිපි මාලාවේ දෙවන ලිපියේ පැහැදිලි කළ ආකාරයට මිනිසුන්ගේ පාලනවල අසාර්ථකත්වයට හේතු අපිට බයිබලයේ නිවැරදිව පෙන්වා දී තිබීමයි. එම හේතු සමඟ ඔබ එකඟ වෙන්නේ නැද්ද?

බයිබලය විශ්වාස කිරීමට තවත් හේතුවක් වන්නේ බයිබල් අනාවැකිවල නිවැරදිභාවයයි. උදාහරණයකට “අන්තිම දවස්වල” සිදු වන දුක්ඛිත සිදුවීම් ගැන බයිබලයේ අනාවැකි පවසා තිබෙනවා. එම සිදුවීම් අද අපිට ඇස් පනාපිටම දැකගත හැකියි.( මතෙව් 24:3-7; 2 තිමෝති 3:1-5) දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දමන’ බවද තවත් අනාවැකියක සඳහන් වෙනවා.—එළිදරව් 11:18.

වසර 2,000කට පමණ පෙර ඉහත සඳහන් අනාවැකිය වාර්තා කරන විට, පරිසර දූෂණය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හා විශාල වශයෙන් සතුන් වඳ වීම වැනි දේවල් සිදු වෙයි කියා සිතාගන්නවත් බැරි වෙන්න ඇති. නමුත් දැන් එම සිදුවීම් විශාල ලෙස සිදු වෙනවා අපිට දකින්න පුළුවන්. දෙවි කිසිදාක බොරු කියන්නේ නැහැ. ඇත්තෙන්ම දෙවිගේ නාමයේ අර්ථයට එකඟව ඔහු පැවසූ සෑම වචනයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. *තීතස් 1:2; හෙබ්‍රෙව් 6:18.

පොරොන්දුවලට සහතිකයක්

චෙක්පතක් වලංගු වන්නේ එහි තබන අත්සන නිසයි. ඒ හා සමානව බයිබලයේ වාර්තා කර තිබෙන දෙවිගේ පොරොන්දුවලට සහතිකයක් ලැබෙන්නේ යෙහෝවා යන ඔහුගේ නාමය නිසයි. * දෙවිගේ ප්‍රේමණීය සැලකිල්ල අද්දුටු බයිබල් ලේඛකයෙක් “ඔහුගේ ශුද්ධ නාමය කෙරෙහි අපි විශ්වාසය තැබුවෙමු” කියා පැවසුවේ ඒ නිසයි.—ගීතාවලිය 33:21NW; 34:4, 6.

පියෙක් ලෙස දෙවි දක්වන සැලකිල්ල ඔහුගේ නාමයට සම්බන්ධ වන ආකාරය බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා. “යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ තුළට දුව ගොස් ආරක්ෂාව ලබයි.” (හිතෝපදේශ 18:10NW) එමෙන්ම බයිබලයේ මෙසේද පවසා තිබෙනවා. “යෙහෝවාගේ නාමයට අයැදින සියලුදෙනාව ගලවනු ලබන්නේය.” (රෝම 10:13) දෙවිගේ නාමයට අයැදූ පමණින්ම අපිට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ගැලවීම යෙහෝවා දෙවි විසින්ම ලබා දිය යුතු වීමයි. යම් කෙනෙක් දෙවිගේ නාමයට අයැදින්නේ ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙන නිසයි. එමෙන්ම දෙවිගේ නාමයට ලැබී තිබෙන කීර්තියත් ඊට හේතු වෙනවා. බයිබලයේ ගීතාවලිය 91:14හි[NW] මෙසේ පවසනවා. “මන්ද ඔහු මට [යෙහෝවාට] ආදරය කරන්නේය. මමද ඔහුව ගලවාගනිමි. ඔහු මාගේ නාමය දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.”

ඔබ මෙසේ කල්පනා කර බලන්න. ‘මම විශ්වාස කළ යුත්තේ දෙවිවද නැත්නම් මිනිසුන්වද?’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවි කෙරෙහිත් ඔහුගේ රාජ්‍යය කෙරෙහිත් විශ්වාසය තබන්නේ විශ්වාස කළ යුතු නිසාවත් අන්ධ විශ්වාසයක් නිසාවත් නොවෙයි. ඔවුන් එසේ කරන්නේ බයිබලය මත පදනම් නිවැරදි දැනුමක් ඔවුන් ලබාගෙන තිබෙන නිසයි. (හෙබ්‍රෙව් 11:1; 1 යොහන් 4:1) මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අනාගතය ගැන බිය වෙනවා වෙනුවට ‘බලාපොරොත්තුවෙහි ප්‍රීති වෙනවා.’ ඔවුන් ඔබටත් ආරාධනා කරන්නේ එවැනි අනාගතයක් දෙස බලා සිටීමටයි.—රෝම 12:12.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වැඩි විස්තර දැනගැනීමට “බයිබලය විශ්වාස කළ හැකිද?” යන මාතෘකාවෙන් යුත් 2007 නොවැම්බර් පිබිදෙව්! කලාපය බලන්න.

^ 7 ඡේ. “දෙවිගේ නාමයෙන් දෙන සහතිකය” යන කොටුව බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අත්සනකින් චෙක්පතක් වලංගු වෙනවා හා සමානව දෙවිගේ පොරොන්දුවලට සහතිකයක් ලබා දෙන්නේ ඔහුගේ නාමයයි

[9වන පිටුවේ කොටුව]

දෙවිගේ නාමයෙන් දෙන සහතිකය

යෙහෝවා යන දෙවිගේ නාමය නිකම්ම ඔහුව හඳුනාගැනීමට යොදන නාමයක් නොවෙයි. * ඊට හේතුව එම නාමයට සුවිශේෂී අර්ථයක් තිබීමයි. එහි අර්ථය නම් “තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තා” යන්නයි. ප්‍රේමයෙන්, බලයෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ දෙවිට, තමා අරමුණු කළ දේ හා පොරොන්දු කළ දේ ඉටු කිරීමට අවශ්‍ය කුමන හෝ තත්වයකට පත් විය හැකියි. නිදසුනකට ඔහුට ධර්මිෂ්ඨයන්ව ගලවන්නත් දුෂ්ටයන්ව විනාශ කරන්නත් පුළුවන්. එමෙන්ම ඔහුට අයදින අයට සවන් දෙන්නත් ප්‍රේමණීය පියෙක් වෙන්නත් පුළුවන්.

යෙහෝවා දෙවි බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. ‘එකම දෙවි මමයි. මා හා සමාන තවත් දෙවි කෙනෙක් නැත. මා අවසානයේදී සිදු වන දේ කලින් කියන ‘අරමුණු කළ දේ ඒ අයුරින්ම ඉටු කරන’ තැනැත්තාණන්ය.’ (යෙසායා 46:9, 10NW) දෙවි ඔහුගේ අරමුණුවලට එකඟව කටයුතු කරන නිසාත් එයට තමන්ගේ නාමය සම්බන්ධ වන නිසාත් ඔහු පවසන සෑම වචනයක්ම ඉටු කරනවා. බයිබලයේ පවසන්නේ “මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත” කියායි.—ගණන් කතාව 23:19NW.

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවා යන නාමය සර්වබලධාරී, මැවුම්කරු, දෙවි හා ස්වාමීන් යන පදවි නාමයන්ට වඩා වෙනස්. දෙවිගේ නාමය මුල් හෙබ්‍රෙව් ලියවිලිවල 7000 වාරයක් පමණ දක්නට තිබෙනවා. නික්මයාම 3:15හි පවසන්නේ ‘යෙහෝවා, සදාකල්හිම මේ මාගේ නාමය වේ’ කියායි.