Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් අනාගතයක් ලබා දිය හැක්කේ කාටද?

ප්‍රීතිමත් අනාගතයක් ලබා දිය හැක්කේ කාටද?

ප්‍රීතිමත් අනාගතයක් ලබා දිය හැක්කේ කාටද?

ගඩොලින් නිම කළ අලංකාර නිවසකට ඔබ පදිංචියට ගියා කියා සිතන්න. කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ඒ සිහිනය සැබෑ වූ නිසා ඔබ සිටින්නේ සතුටින්. නමුත් වැඩි කලක් නොගොස් එම නිවස ඉදි කිරීමේදී ඇති වූ යම් දෝෂ නිසා එය සම්පූර්ණයෙන්ම කඩා දැමීමට සිදු වෙනවා. මේ තත්වයට මුහුණ දෙන්නේ ඔබ පමණක් නොවෙයි. ඔබේ ප්‍රදේශයේ බොහෝ නිවෙස්වල තත්වයත් එයමයි. එවැනි තත්වයක් ඇතිවීමට හේතු වූයේ ඉදි කිරීමේදී ඇති වූ දෝෂත් බාල වර්ගයේ ගඩොල් භාවිත කර තිබීමත් කියා සොයාගන්න ලැබෙනවා.

ඒ නිවස හා සමානව අද ලෝකය තිබෙන්නෙත් ඉතාමත් අවුල්සහගත තත්වයකයි. දේශපාලනික හා සමාජීය තත්වයන් නංවාලීම සඳහා විවිධ අත්හදා බැලීම් කළද විද්‍යාව හා තාක්ෂණය දියුණුවේ හිනිපෙත්තටම නැඟ තිබුණද අද සමාජයේ පැවැත්ම බිඳ වැටෙමින් පවතිනවා. බොහෝ ප්‍රදේශවල නීති විරෝධි ක්‍රියා හා අවුල්සහගත තත්වය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. මෙම ගැටලුසහගත තත්වය විසඳාගැනීමට මිනිසුන්ට තිබෙන දැඩි අවශ්‍යතාව නිසා හොඳ පාලනයක් බිහි කරන්න ඔවුන්ට හැකි වෙයිද? මිනිස් ඉතිහාසය පුරා සිදු වූ දේවල් පිළිබඳව සමහර බලධාරීන් පවසා තිබෙන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

අසාර්ථක ප්‍රයත්නයන්

ලෝකය හොඳ තත්වයකට පත් කිරීමට ග්‍රීක දාර්ශනිකයෙක් වූ ප්ලේටෝගේ කාලයේ පටන් ජර්මනියේ දේශපාලන ක්ෂේත්‍රයේ දාර්ශනිකයෙක් හා සමාජවාදියෙක් වූ කාල් මාර්ක්ස්ගේ කාලය දක්වා විවිධ දේශපාලනික සංකල්පයන් හඳුන්වා දී තිබෙනවා. එහි ප්‍රතිඵලය කුමක්ද? ඒ ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වෙනවා. “අපි දිලිඳුකම නැති කරන්නත් ලෝකයට සාමය උදා කරන්නත් උත්සාහ කර තිබෙනවා. නමුත් අපි අත් කරගෙන තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එය හරියට අපි කිසිම උත්සාහයක් දරා නැති තරම්. අපි කොමියුනිස්ට් වාදය හා ධනවාදය අත්හදා බලා තිබෙනවා. යුද්ධවලට විසඳුම් ලෙස ජාතීන්ගේ සංගමයේ පිහිට පතා තිබෙනවා. අනික් අතට න්‍යාෂ්ටික අවි රැස් කර තිබෙනවා. අපි යුද්ධය නවත්වන්න තවත් බොහෝ යුද්ධ කර තිබෙනවා. අපි හිතුවේ යුද්ධ නවත්වන ආකාරය අපි දන්නවා කියායි. නමුත් සිදු වී තිබෙන්නේ රටවල් තුළ යුධ මෙහෙයුම් වැඩි වී තව තවත් ප්‍රතිවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වීමයි. විසිවන සියවස ආරම්භයේදී අපි විශ්වාස කළේ විද්‍යාඥයන්ට අපිව මේ උවදුරුවලින් බේරාගන්න පුළුවන් වෙයි කියලයි. නමුත් සියවස අවසාන වෙද්දී ඔවුන් පවසන එක වචනයක්වත් අපි විශ්වාස කරන්නේ නැති තත්වයකට පත් වී තිබෙනවා.”—එම සඟරාව New Statesman.

වර්ෂ 2001දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන විශ්‍රාම ලත් එරික් හොබ්ස්බෝම් මිනිස් පාලන ක්‍රම ගැන මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “අද අපි ජීවත් වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට විශාල වශයෙන් හානි සිදු වන කාලයකයි.” ඊට විසඳුම කුමක්ද? ඔහු පිළිතුරු වශයෙන් පැවසුවේ පරිසරයට හානි සිදු වන සෑම ක්‍රියාකාරකමක්ම නැවැත්විය යුතු බවයි. එහෙත් මිනිස් පාලන ක්‍රම මගින් මේ සඳහා වෙර දැරුවද එවැනි දෙයකට කිසිම පුද්ගලයෙක් කැමති වන්නේවත් සහයෝගය දක්වන්නේවත් නැති බව ඔහු තවදුරටත් පැවසුවා.

නුදුරු අනාගතයේදී මිනිසුන් මුහුණ දෙන මහත් දුක්ඛිත තත්වය ගැන විද්‍යාඥයෙක් වන ස්ටීවන් හෝකිං මෙවැනි ප්‍රශ්නයක් නැඟුවා. “දේශපාලනික, සමාජීය හා පාරිසරික වශයෙන් අවුල් ජාලයක් වී තිබෙන ලෝකයක වෙසෙන මිනිසුන්ට තව වසර 100කින් කුමක් සිදු වෙයිද?”

මිනිසුන් අසාර්ථක වීමට හේතු

මිනිස් පාලනවල අසාර්ථකත්වයට හේතු ගැන අපිට හොඳින්ම පැහැදිලි කර තිබෙන්නේ බයිබලයේ පමණයි. මිනිස් පාලනවල අසාර්ථකත්වයට බලපාන ප්‍රධාන හේතු හතරක් අපි දැන් සලකා බලමු.

අපි සියල්ලන්ම පව්කාරයන් වීම. “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.” (රෝම 3:23) බාල ගඩොල්වලින් සෑදූ නිවස දුර්වලයි වගේම පව්කාර මිනිසුන්ගෙන් සෑදුණු සමාජයත් දුර්වලයි. මේ නිසා දූෂණය, වංකකම, තණ්හාව හා බලය අනිසි ලෙස යොදාගැනීම වැනි දේවල් සමාජය තුළ දක්නට ලැබෙනවා. මේවා අද ඊයේ ඇති වූ දේවල් නොවෙයි. මීට වසර 3000කට පමණ පෙර බයිබල් ලේඛකයෙක් වූ ප්‍රඥාවන්ත රජෙක් මෙසේ පැවසුවා. “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9, නව ලොව පරිවර්තනය, NW.

දේශපාලන නායකයන් හා නීති සම්පාදකයන් මිනිසුන්ගේ දුර්වලකම් හොඳින් හඳුනනවා. ඒවාට විසඳුමක් වශයෙන් ඔවුන් කර තිබෙන්නේ නීති රාශියක් සම්පාදනය කිරීමයි. නමුත් මෙම නීතිවලට යටත් වීම බලහත්කාරයෙන් කළ නොහැකි දෙයක් බව ඔවුන් හොඳින්ම දන්නා දෙයක්.

ජීවිතය අස්ථිර වීම. “වංශවත් තැනැත්තන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. ඔහුගේ හුස්මය ශරීරයෙන් පිටවී යයි. ඔහු නැවත පොළොවටම හැරී යයි. එදාම ඔහුගේ කල්පනාව නැති වී යන්නේය.” (ගීතාවලිය 146:3, 4NW) ඊශ්‍රායෙලයේ ජීවත් වූ එක් ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් රජ තමන් වෙහෙස වී කළ ක්‍රියාවල නිෂ්ඵලභාවය ගැන මෙසේ පැවසුවා. “මට පසුව එන තැනැත්තා සඳහා ප්‍රයෝජනවත් යමක් ලබා දීමට ඉර යට මා වෙහෙස මහන්සි වී කළ සියලු වැඩවලටද ද්වේෂ කළෙමි. මන්ද ඔහු ප්‍රඥාවන්තයෙකු වේවිද නැතහොත් මෝඩයෙකු වේවිද කියා දන්නේ කවුද? ඔහු කෙබඳු කෙනෙකු වුවත් මා වෙහෙස මහන්සියෙන්ද ප්‍රඥාවන්තවද රැස් කරගත් සියලු දේ ඔහුට හිමි වෙයි. මෙයින්ද කිසිම පලක් නැත.”—දේශනාකාරයා 2:18, 19NW.

මිනිසුන්ට තමන්වම පාලනය කළ නොහැකි වීම. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය තෝරාගන්න ඔහුට අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක්ද නැති බව දනිමි.” (යෙරෙමියා 10:23NW) අපි පව්කාරයන් නොවෙයි කියා සිතන්න. ඒත් බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට දෙවිගේ මුල් අරමුණුවලට එකඟව මිනිසුන්ට තමන්වම පාලනය කිරීමට දෙවි හැකියාවවත් අයිතියක්වත් දී නැහැ. නිදසුනකට පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මිනිසුන් කළ යුතු දේවල් ගැන හෝ පිළිපැදිය යුතු සදාචාරමය නීති ගැන උපදෙස් දෙනවා නම් ඔවුන් එය මහත් හිසරදයක් ලෙස සලකන්නේ ඇයි? මිනිසුන්ට වඩා උසස් අධිකාරියක් තිබෙන කෙනෙක්ගේ මඟ පෙන්වීම් ලබාගැනීමට මිනිසුන්ව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි. ඒ අධිකාරිය හිමි තැනැත්තා යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙක් නොවෙයි.—යෙසායා 33:22; ක්‍රියා 4:19; 5:29.

නොපෙනෙන පාලකයෙක්ගේ බලපෑම්වලට හසුවීම. ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ [සාතන් නමැති යක්ෂයාගේ] බලයට යටත්.’ (1 යොහන් 5:19) යම් ආයතනයක උසස් නිලධාරීන් වංචනික ක්‍රියා කරන විට සාමාන්‍ය සේවකයෙකුට ඒ ගැන කළ හැකි කිසිවක් නැහැ. ඒ හා සමානව මේ ලෝකයේ නොපෙනෙන භූතයන්ගේ දුෂ්ට ක්‍රියා නිසා අත් වී තිබෙන අහිතකර ප්‍රතිඵලවලට විසඳුමක් ගෙනෙන්න කිසිම මිනිසෙක්ට හැකියාවක් නැහැ. මෙම භූතයන්ව පාලනය කරන්නේ මේ ලෝකයේ පාලකයා වන සාතන්. ඔවුන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “ආණ්ඩු,” “අධිකාර,” “අන්ධකාරයේ ලෝක පාලකයන්” හා “ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්” ලෙසයි.—එෆීස 6:12.

බයිබලයේ මිනිසුන්ගේ අසාර්ථකත්වයන් හා නොපෙනෙන පාලකයන්ගේ බලපෑම් ගැන පමණක් කතා කර නැහැ. එහි අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට විසඳුම ගැනද කතා කරනවා. එමගින් අපිට සුරක්ෂිත අනාගතයක් සඳහා හොඳ පදනමක් සපයනවා.

අපේ නිර්මාතෘ මැදිහත් වෙයි

අපිට කවදාවත් තනිවම මෙම ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න බැහැ. ලෝකයේ සිටින ප්‍රඥාවන්තම, බලවත්ම හෝ ධනවත්ම මිනිසාටවත් ඉහත කී කරුණු හතරෙන් එකක්වත් වෙනස් කිරීමට හැකියාවක් නැහැ. * අපි මීළඟ ලිපියෙන් සලකා බලන්නේ අපේ නිර්මාතෘ අපව අත්හැර දමාවත් අමතකරවත් නැති බවයි. මේ පොළොවේ පාලන අයිතිය ඇති එකම තැනැත්තා ලෙස ඔහු අපගේ ප්‍රීතියට බාධා ඇති කරන සෑම දෙයක්ම අකා මකා දමනවා. (1 යොහන් 4:8) වැඩිකල් නොගොස් ඔහු මෙම වෙනස සිදු කරනවාමයි. අපි ඒ බව දන්නේ කෙසේද?

පසුගිය මාසයේ මෙම කලාපයෙන් පැහැදිලි කළ පරිදි සමාජීය තත්වයන් හා ලෝක සිදුවීම් මගින් තහවුරු වන්නේ අපි “අන්තිම දවස්වල” අවසාන අද්දර ජීවත් වන බවයි. (2 තිමෝති 3:1; මතෙව් 24:3-7) යහපත් හා අයහපත් යන දෙපිරිසම විනාශ කරමින් න්‍යෂ්ටික යුද්ධයකින් හෝ ග්‍රහ අංශුවල ගැටීමකින් හෝ වෙනත් මාර්ගයකින් ලෝක විනාශය සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට එය සිදු වන්නේ දෙවිගේ මැදිහත් වීමකින් වන අතර ඔහු විශේෂයෙන්ම දුෂ්ටයන්වත් මිනිස් පාලන ක්‍රමවලට පක්ෂපාතකම දක්වන අයවත් විනාශ කරනවා. (ගීතාවලිය 37:10; 2 පේතෘස් 3:7) එමෙන්ම දෙවිට විරුද්ධ වූ අය ඇති කළ සියලුම දුක් පීඩා ඔහු මුලිනුපුටා දමයි. *2 තෙසලෝනික 1:6-9.

ඉන්පසු “දෙවිගේ රාජ්‍යය” කියා හඳුන්වන ඔහුගේ ආණ්ඩුව මගින් අපේ නිර්මාතෘ සියලුම ප්‍රශ්නවලට විසඳුමක් ගෙන දෙනවා. (ලූක් 4:43) ඊළඟට අපි සලකා බලන්න යන ආකාරයට එම රාජ්‍යය මගින් අපට සුරක්ෂිත අනාගතයක් ලබා දෙනවා.

[පාදසටහන්වල]

^ 17 ඡේ. දහනවවන පිටුවේ සඳහන් “මුදලින් ප්‍රශ්න විසඳිය හැකිද” යන ලිපිය බලන්න.

^ 18 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 106වන පිටුවේ ඇති “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි” යන පරිච්ඡේදය බලන්න.

[5වන පිටුවේ පින්තූරය⁄කොටුව]

“බාල ගඩොල්” බඳු මිනිස් සමාජයක්

▪ අපි සියල්ලන්ම පව්කාරයන් වීම

▪ ජීවිතය අස්ථිර වීම

▪ මිනිසුන්ට තමන්වම පාලනය කළ නොහැකි වීම

▪ නොපෙනෙන පාලකයෙක්ගේ බලපෑම්වලට හසුවීම

[6වන පිටුවේ කොටුව]

කිසිවෙක් පොළොව විනාශ නොකරයි!

බයිබලයේ පොළොව නිර්මාණය කළ තැනැත්තාගේ අරමුණ ගැන මනාව පැහැදිලි කරනවා. ඔහුගේ අරමුණ නම් දෙවිට භය ඇති ජනයා එහි සුරක්ෂිත මෙන්ම සාමකාමි වාතාවරණයක් තුළ ජීවත් වීමයි. පහත සඳහන් බයිබල් පද සලකා බලන්න.

“ඔහු පොළොව ස්ථිරව පිහිටුවා ඇත. එය කිසිදා නොසෙල්වෙන ලෙස සාදා ඇත.”—ගීතාවලිය 104:5NW.

“ඔබ පොළොව සදහටම, ස්ථිර ලෙස පිහිටෙව්වේය.”—ගීතාවලිය 119:90NW.

“එක් පරම්පරාවක් පහවී යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. නමුත් පොළොව සදහටම පවතියි.”—දේශනාකාරයා 1:4NW.

“මන්ද මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.”—යෙසායා 11:9NW.

“පොළොව මවා තැනුවාවූ ඔහු [යෙහෝවා] දෙවිය. ඔහු ඒක පිහිටෙව්වේය. ඔහු ඒක පාළු තැනක් වීමට නොව විසීමට තැනුවේය.”—යෙසායා 45:18.