Skip to content

පටුනට යන්න

සුරක්ෂිත අනාගතයක්!

සුරක්ෂිත අනාගතයක්!

සුරක්ෂිත අනාගතයක්!

නුදුරු අනාගතයේදී මුළු පොළොවම දෙවි ඔහුගේ රාජ්‍යය මගින් පාලනය කරන නිසා අනාගතය ගැන අපිට තිබෙන බිය ඉතා ඉක්මනින් නැති වී යයි. යේසුස් තම ගෝලයන්ට දෙවිට යාච්ඤා කරන ආකාරය ගැන ඉගැන්වූ අවස්ථාවේදී මේ රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව ඔහුගේ මනසේ තිබුණා. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:9, 10.

දෙවි ඔහුගේ පාලනයට කිසිම මිනිස් පාලකයෙකුව සම්බන්ධ කරගන්නේ නැහැ. ඔහු “අන්තිම දවස්වල” මිනිස් ආණ්ඩුවල සෑම අංශු මාත්‍රයක්ම ඉවත් කරන බව දානියෙල් පොතේ සඳහන් අනාවැකියෙන් මනාව පැහැදිලි වෙනවා. එම අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවනු ඇත. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් [මිනිස් ආණ්ඩු] පොඩි කර නැති කර දමයි. එය සදහටම පවතියි.’ (2 තිමෝති 3:1; දානියෙල් 2:44NW) මිනිස් ආණ්ඩු කෙරෙහි තම විශ්වාසය තබා සිටින අයට නම් මෙම වදන්වලින් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. නමුත් දෙවිගේ පාලනය ඉතා ආශාවෙන් බලා සිටින අයට නම් මෙය ඉමහත් සහනයක්.

ප්‍රීතිමත් කාලයක්!

දෙවිගේ පාලන සමයේදී මිනිසුන් දේශපාලනික, ආගමික, වාර්ගික හා දේශ සීමා වශයෙන් වෙන් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දෙවි පිළිබඳ සැබෑ දැනුමෙන් එක්සත් වී එකම පවුලක් ලෙස ප්‍රේමයෙන් එකට වාසය කරනවා. (යොහන් 13:34, 35; 17:3, 17) දෙවිගේ පාලනය සමයේදී “ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය” කියා බයිබලයේ පොරොන්දු වෙනවා.—ගීතාවලිය 72:7NW.

මීට අමතරව දෙවිගේ පාලනය යටතේ සිටින කීකරු මිනිසුන් සියලුදෙනාම මානසිකව මෙන්ම ශාරීරිකවත් සම්පූර්ණ තත්වයකට පත් වෙයි. ලෙඩ රෝග, දුක් වේදනා හා මරණය සහමුලින්ම ඉවත් කරනවා. (එළිදරව් 21:3, 4) මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ මුළු පොළොවම දෙවි මුලින් නිර්මාණය කළ ඒදන් උයන බඳු පාරාදීස තත්වයකට පත් වෙයි. *උත්පත්ති 1:28.

දේවරාජ්‍යයේ ශුභාරංචිය

යේසුස් සඳහන් කළ ‘සමාජ ක්‍රමයේ අවසානය’ හඳුනාගැනීමේ ලකුණේ අංග අතරට විශේෂ අංගයක් ඇතුළත් වුණා. (මතෙව් 24:3-7) ඔහු පැවසුවේ මෙසේයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.

දෙවිගේ කැමැත්තට එකඟව 2007 වසරේදී මිලියන හතක් පමණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 236ක රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රීතියෙන් ප්‍රචාරය කරමින් සිටිනවා. මේ සඳහා ඔවුන් පැය බිලියන 1.4ක් පමණ වැය කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බයිබලයේ සඳහන් පොරොන්දු කෙරෙහි ස්ථිර විශ්වාසයක් තිබෙන්නේ ඇයි? ඊළඟ ලිපියෙන් අපි සලකා බලන ආකාරයට ඊට හේතුව දෙවි පොරොන්දු ඉටු කරන කෙනෙක් වන නිසයි.—රෝම 3:4.

[පාදසටහන]

^ 6 ඡේ. දහවන පිටුවේ තිබෙන බයිබලයෙන් පිළිතුරක් “පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද?” යන ලිපිය බලන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ පාලනය තුළ “බොහෝ සමාදානය තිබෙන්නේය” කියා බයිබලයේ පවසනවා