Skip to content

පටුනට යන්න

ආත්මාරක්ෂාව සඳහා කෙනෙකුට පහර දිය හැකිද?

ආත්මාරක්ෂාව සඳහා කෙනෙකුට පහර දිය හැකිද?

බයිබලයෙන් පිළිතුරක්

ආත්මාරක්ෂාව සඳහා කෙනෙකුට පහර දිය හැකිද?

දිනක් ඔබ මහා රෑ තිගැස්සී අවදි වෙනවා. ඔබට අඩි ශබ්දයක් ඇසෙද්දී කවුරුන් හෝ ඔබේ ගෙදරට ඇතුල් වී ඇති බව ඔබ දැනගන්නවා. ඔබ කොයි තරම් බියට පත් වෙනවාද කියනවා නම් ඔබේ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙනවා. ඊළඟට මොනවා වෙයිද?

එවැනි තත්වයකට ඕනෑම කෙනෙකුට මුහුණ දීමට සිදුවිය හැකියි. දිනෙන් දින වැඩිවන එවැනි අපරාධ එක් නගරයකට හෝ රටකට සීමා වුණ දෙයක් නොවෙයි. එවන් ක්‍රියාවලට තිබෙන බිය නිසා බොහෝ අය තමන්ගේ ආරක්ෂාව පතා ආයුධ ළඟ තබාගැනීම හෝ සටන් කලාවන් ඉගෙනගැනීමට පෙලඹෙනවා. ආත්මාරක්ෂාව සඳහා එවැනි ක්‍රම භාවිත කරන්න සමහර රටවල ආණ්ඩුවලින්ද අවසර දී තිබෙනවා. තමන් හෝ තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සඳහා කෙනෙකුට අනතුරක් කළ හැකිද? බයිබලයේ මේ ගැන පවසන්නේ කුමක්ද?

දෙවි පිළිකුල් කරන සැහැසියාව

සැහැසියාව සහ සැහැසික ක්‍රියාවල යෙදෙන මිනිසුන්ව යෙහෝවා දෙවි එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඔහු ගැන දාවිත් නම් ගීත රචකයා පැවසුවේ මෙසේයි. “සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5, නව ලොව පරිවර්තනය, NW) දෙවි තම තෝරාගත් සෙනඟ වන ඊශ්‍රායෙල් ඇතුළු අනිකුත් ජාතීන්ගේ සැහැසික ක්‍රියා සහ මිනීමැරීම් විනිශ්චය කළ ආකාරය ගැන බයිබලයේ වාර්තා වෙනවා. (යෝවෙල් 3:19; මීකා 6:12; නාහූම් 3:1) දෙවි ඊශ්‍රායෙල්ට දුන් නීතිය යටතේ පවා කෙනෙකුගේ නොසැලකිලිමත්කම නිසා යම් කෙනෙකු මිය ගියොත් එයද බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් වුණා.—ද්විතීය කතාව 22:8.

බයිබලයේ එක් එක්කෙනාව උන්නදු කරන්නේ සමාදානයට මඟ පාදන දේවල් කරන්න කියායි. බොහෝවිට ආරවුල් හටගන්නේ බහින්බස් වීම්වලිනුයි. බයිබලයේ මෙසේ පවසනවා. “දර නැති විට ගින්න නිවී යයි. නින්දා කරන්නෙකු නැති විට විවාදය නතර වෙයි.” (හිතෝපදේශ 26:20NW) ඒ නිසා පුද්ගලයෙක් සන්සුන්ව කටයුතු කිරීමෙන් උදහසට මෙන්ම සැහැසික ක්‍රියාවලට මඟ පාදන දේවල් බොහෝවිට වළක්වාගත හැකියි. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18.

ඔබ සිටින්නේ අනතුරක නම්

සමාදානයට මඟ පාදන දේවල් කළ පමණින් පුද්ගලයෙක් කවදාවත් සැහැසික ක්‍රියාවකට මුහුණ දෙන්නේ නැහැයි කියා කියන්න බැහැ. අතීතයේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය පවා එවැනි සැහැසික ක්‍රියාවලට මුහුණ දුන්නා. (උත්පත්ති 4:8; යෝබ් 1:14, 15, 17) ආයුධ අතැතිව යම් සොරෙක් පැමිණියොත් කළ හැක්කේ කුමක්ද? ඒ ගැන යේසුස් මෙවැනි උපදෙස් දුන්නා. “දුෂ්ට තැනැත්තාට විරුද්ධ නොවන්න.” (මතෙව් 5:39) ඔහු මෙසේද පැවසුවා. “ඔබේ පිට වස්ත්‍රය ගන්නාට ඔබේ ඇතුල් වස්ත්‍රය වුවද දීමට පසුබට නොවන්න.” (ලූක් 6:29) තමන්ගේ දේපොළ ආරක්ෂා කරගැනීම සඳහා ආයුධ භාවිත කිරීම යේසුස් අනුමත කළේ නැහැ. ඉහත කී අවස්ථාවේදී ඥානවන්ත පුද්ගලයෙක් සියල්ලට වඩා තමන්ගේ ජීවිතය වටිනා බව සලකන නිසා ඔහු සතු වටිනා දේ සොරාට දීමට වුණත් පසුබට වෙන්නේ නැහැ.

පහර දෙන්න කෙනෙක් පැමිණියොත් කුමක් කළ හැකිද? දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියෙන් මේ ගැන යමක් දැනගත හැකියි. දවල් කාලයේදී නිවසට ඇතුල් වූ සොරෙකුට මැරෙන තරම් කෙනෙක් පහර දුන්නොත් එම ක්‍රියාව මිනීමරුමක් ලෙස සලකනු ලැබුවා. ඊට හේතුව දවල් කාලයේදී සොරාව හඳුනාගෙන විනිශ්චය සඳහා ඔහුව ගෙන යා හැකි වූ නිසයි. නමුත් රාත්‍රි කාලයේදී එවැනි දෙයක් සිදු වුණොත් එම ක්‍රියාව මිනීමැරුමක් ලෙස සලකනු ලැබුවේ නැහැ. ඊට හේතුව කළුවරේ ආ සොරා පැමිණිමට හේතුව හොඳින් නිශ්චය කරගැනීමට නොහැකි වීමයි. තමන් සහ තම පවුලේ අය සිටින්නේ අනතුරක නිසා පවුලේ ආරක්ෂාව වෙනුවෙන් එවන් පියවරක් ගැනීමට සිදුවිය හැකියි.—නික්මයාම 22:2, 3.

යම් පහර දීමකට ලක් වෙද්දී තමන්ව හා තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් යම් ක්‍රියා මාර්ගයක් ගත හැකි බව බයිබලයේ පෙන්වා දෙනවා. ඒ සඳහා ඔහුව මෙල්ල කළ හැකියි. එසේත් නැත්නම් පහර දෙන්නාගේ පහර වැළක්විය හැකියි. නැතහොත් තාවකාලිකව ඔහුව දුර්වල කිරීමට පහරක් එල්ල කළ හැකියි. මෙසේ කිරීමේ අරමුණ විය යුත්තේ තම පවුලේ අයව ආරක්ෂා කරගැනීමයි. මෙවැනි අවස්ථාවකදී පහර දෙන්නා යම් හෙයකින් හෝ බරපතළ ලෙස තුවාල ලැබුවොත් නැත්නම් මිය ගියොත් එය හිතා මතා කළ දෙයක් හැටියට සලකන්නේ නැහැ.

ආරක්ෂිතම ක්‍රමය

සමහර අවස්ථාවලදී ආත්මාරක්ෂාව සඳහා යම් පියවරවල් ගත හැකි බව පැහැදිලියි. ඒ වගේම කෙනෙකුට අයිතියක් තිබෙනවා මාරාන්තික ප්‍රහාරවලින් හෝ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා මුහුණ දීමට සිදු වන අනතුරුවලින් තමාව හා තමාගේ පවුලේ අයව ආරක්ෂා කරගන්න. කෙසේවෙතත් ආරක්ෂාව සඳහා පියවරක් ගත නොහැකි තත්වයන්වලදී කුමක් කළ හැකිද කියා බයිබලයේ පවසන්නේ නැහැ. ඒ සඳහා ඥානවන්තම දෙය වන්නේ එවැනි ක්‍රියාවකට මඟ පාදන දේවලින් වැළකී සිටීමයි.—හිතෝපදේශ 16:32.

බයිබලයේ දිරිගන්වන්නේ ‘සමාදානය සොයා, එය ලුහුබඳින්නයි.’(1 පේතෘස් 3:11) සාමකාමී ජීවිතයක් ගත කිරීමට හොඳම ක්‍රමය එයයි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ සැහැසියාව ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි?—ගීතාවලිය 11:5.

▪ තමන්ගේ දේපොළ ආරක්ෂා කරගැනීමට ජීවිතය අනතුරේ හෙළිය යුතුද?—හිතෝපදේශ 16:32; ලූක් 12:15.

▪ ආරවුල් සම්බන්ධව අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?—රෝම 12:18.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තමා හෝ තම පවුලේ අය යම් පහර දීමකට ලක් වුවහොත් එය වැළැක්වීම සඳහා පියවර ගත හැකි බව බයිබලයේ පවසනවා