Skip to content

පටුනට යන්න

ඔබේ දරුවා තුළ වෙනසක් දුටුවාද?

ඔබේ දරුවා තුළ වෙනසක් දුටුවාද?

ඔබේ දරුවා තුළ වෙනසක් දුටුවාද?

වයස අවුරුදු 15ක් වූ තම දියණිය ඇගේ කොණ්ඩය ඔවුන්ගේ අනුදැනුමක් නැතිව රතු පැහැගන්වා තිබුණු බව දුටු ජෙසිකා සහ මාටින්ට * එය අදහාගන්න බැරි වුණා. එය මෙවන් සංවාදයකට මඟ පෑදුවා.

“කාගෙන් අහලද කොණ්ඩේ පාට කළේ?”

“ඔයාලා කවදාවත් මට එපා කියලා නැහැනේ”

“ඒ වුණත් අපෙන් අහන්න තිබුණානේ”

“ඇහුවා නම් එපා කියනවා කියලා මම දන්නවා!”

දරුවෙක් යොවුන් වියට පා තබන කාලයේදී දරුවන් වගේම දෙමාපියනුත් විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. එය හරියට ජෙසිකා සහ මාටින් මුහුණ දුන් තත්වය වගෙයි. දරුවන් ලොකු මහත් වෙන විට ඇති වෙන ක්ෂණික වෙනස්කම්වලට මුහුණ දෙන්න දෙමාපියන් බොහෝවිට සූදානම් නැහැ. කැනඩාවේ වෙසෙන මවක් වන ඈන් මෙසේ පවසනවා. “අපේ දුව එක පාරටම වෙනස් වුණා. මගේ දුවට මේ මොනවද වෙලා තියෙන්නේ කියලා මම කල්පනා කළා. ඒක හරියට මට දැනුණේ අපි නිදාගෙන ඉන්න කොට කවුරුහරි අපේ දුව වෙනුවට වෙන ළමයෙක්ව මාරු කරලා ගිහිල්ලා වගෙයි.”

මේ තත්වයට මුහුණ දෙන්නේ ඈන් පමණක් නොවෙයි. විවිධ රටවල සිටින දෙමාපියන් කිහිපදෙනෙක් මේ ගැන පවසන දේ සලකා බලන්න.

“මගේ පුතා එයාගේම මතයේ එල්බගෙන ඉන්න උත්සාහ කළා. දෙමාපියන් හැටියට අපිට තියෙන අයිතිය ගැනත් එයා ප්‍රශ්න කළා.”—බ්‍රිතාන්‍යයේ ලිදියා.

“අපේ දුවලා එයාලා ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගත්තා. විශේෂයෙන් එයාලගේ පෙනුම ගැන.”—ඝානාවේ ජෝන්.

“මගේ පුතා හැම දෙයක්ම තනියෙන් තීරණය කරන්න පටන්ගත්තා. අපි කිසිදෙයක් කියනවටවත් එයා කැමති වුණේ නැහැ.”—බ්‍රසීලයේ සෙලීන්.

“අපි දුවව වැලඳගන්නවාටවත් සිපගන්නවාටවත් එයා කැමති වුණේ නැහැ.”—කැනඩාවේ ඇන්ඩෲ.

“අපේ පුතාලට හුඟක් කේන්ති යන්න පටන්ගත්තා. අපේ තීරණවලට එකඟ වෙනවා වෙනුවට එයාලා අපි එක්ක ඒ ගැන වාද කළා.”—ඕස්ට්‍රේලියාවේ ස්ටීව්.

“මගේ දුව එයාගේ හිතේ තියෙන දේවල් කාටවත් කිව්වේ නැහැ. එයාගේම පුංචි ලෝකයේ එයා තනි වෙලයි හිටියේ. මම එයා එක්ක කතා කරන්න උත්සාහ කරන කොටත් එයාට කේන්ති ගියා.”—මෙක්සිකෝවේ ජොඈන්.

“අපේ ළමයි හැමදෙයක්ම අපිට හොරෙන් කරන්නයි උත්සාහ කළේ. එයාලට තමන්ටම කියලා නිදහසක් ඕනේ කළා. අපි එක්ක කාලය ගත කරනවාට වඩා යාළුවෝ එක්ක ඉන්නයි එයාලා කැමති වුණේ.”—පිලිපීනයේ ඩැනියෙල්.

ඔබ යොවුන් දරුවන් සිටින දෙමාපියෙක් නම් ඉහත සඳහන් අද්දැකීම් ඔබේද අද්දැකීම විය හැකියි. එසේනම් ඔබ තනිවී නැති බව මතක තබාගන්න. ඔබේ යොවුන් දියණියගේ හෝ පුතාගේ මේ වෙනසට හේතුව තේරුම්ගන්න ඔබට හැකි වන බවට සහතික වන්න. ඒ සඳහා බයිබලයේ දෙන මඟ පෙන්වීම් ඔබට උපකාරවත් වෙයි. ඒ කෙසේද?

ප්‍රඥාව හා තේරුම්ගැනීමේ හැකියාව

බයිබලයේ මෙසේ උපදෙස් දෙනවා. “ප්‍රඥාව ලබාගන්න. තේරුම්ගැනීමේ හැකියාවද ලබාගන්න.” (හිතෝපදේශ 4:5, නව ලොව පරිවර්තන, NW) යොවුන් දරුවන් සමඟ කටයුතු කිරීමේදී මේ ලක්ෂණ දෙකම වැදගත් වෙනවා. දරුවාගේ වෙනසට හේතුව මෙන්ම ඔවුන් මුහුණ දෙන අභියෝග මොනවාද කියා වටහාගැනීමට තේරුම්ගැනීමේ හැකියාව ඔබට අවශ්‍යයි. එමෙන්ම ඔබේ දරුවාට වගකීම් උසුලන වැඩිහිටියෙක් වීමට උපකාර කරන්න ඔබට ප්‍රඥාව අවශ්‍යයයි.

යොවුන් විය නිසා දරුවන් හා ඔබ අතර ඇති බැඳීම අඩු වී යන බවක් ඔබට දැනිය හැකියි. ඒ නිසාම දරුවාට ඔබව අවශ්‍යය නැහැ කියා සිතීමට ඉක්මන් වෙන්න එපා. මේ කාලයේදී දරුවාට ඔබේ උපකාරය අත්‍යවශ්‍යයයි. මෙසේ ඔවුන්ට උපකාර කිරීමට තේරුම්ගැනීමේ හැකියාව සහ ප්‍රඥාව දායක වන්නේ කෙසේද?

[පාදසටහන]

^ 2 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.