ගං මුවදොර අරක්ගත් තුරුලිය
ගං මුවදොර අරක්ගත් තුරුලිය
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්
කෙමෙන් කෙමෙන් වඳ වී ගෙන යන බොහෝ ක්ෂීරපායී, කුරුලු සහ උරග විශේෂයන්ට මේවා ආරක්ෂාව සපයයි. ජල දූෂණය අඩු කරගැනීමටද මෙය මහෝපකාරී වෙයි. අමෙරිකාවේ දකුණු ෆ්ලෝරිඩාවේ විනෝද ක්‍රීඩා සඳහා යොදාගන්නා මත්ස්‍ය විශේෂ 75කටද ධීවර කර්මාන්තය සඳහා ප්‍රයෝජනවත් වන මත්ස්‍ය විශේෂ 90කටද විසීමට කදිම පරිසරයක් මෙමගින් තනා දෙයි. ඒ විතරක් නොවෙයි වෙරළ ඛාදනය හා නොයෙකුත් ආපදා වැළක්වීමටද මෙය දායක වෙයි. අපි මේ කතා කරන්නේ කඩොලාන ගැන මිස වෙන කිසිවක් ගැන නොවෙයි!
ලොව පුරා තිබෙන නිවර්තන කලාපීය වෙරළ තීරයන්ගෙන් අඩකට වඩා වැඩි භූමි ප්‍රමාණයක කඩොලාන, ගස් හෝ පඳුරු ආකාරයට දැකගන්න පුළුවන්. විවිධ වර්ගයේ කඩොලාන වර්ග බොහෝවිට දැකගත හැකි වන්නේ ගංගාවක් මුහුදට වැටෙන ස්ථානවලයි. එම ස්ථාන කරදිය හා මිරිදිය යන වර්ග දෙකෙන්ම මිශ්‍ර නිසා ජලය අධික ලවණවලින් යුක්තයි. වෙනත් ශාකවලට වඩා වෙනස්ව ඒවාට ලවණ අධික ජලයේ පවා වැඩීමට හැකි වන්නේ ඒ ශාක තුළ සිදු වන පුදුමාකාර ක්‍රියාවලියක් නිසයි.
ජලයෙන් ලවණ ඉවත් කිරීම
සමහර කඩොලාන වර්ග ඊට අවශ්‍ය ජලය ලබාගන්නේ අධික ලවණ මිශ්‍ර ජලයෙන් තමන්ට අවශ්‍ය පිරිසිදු ජලය පෙරාගැනීමෙනුයි. මුල් දිගේ ඉහළට උරාගන්නා මේ ජලය කොතරම් පිරිසිදුද කියනවා නම් එම මුලක් කඩා බැලුවොත් බීමට සරිලන නැවුම් ජලය ඒ තුළින් ලබාගත හැකියි. තවත් එක් කඩොලාන විශේෂයන් ඊට වඩා වෙනස් ක්‍රමයක් යොදාගන්නවා. මුලින්ම ඒ ශාක වර්ගය ලවණ මිශ්‍ර ජලය උරාගෙන වියළි කොළ හා ගසේ වෙනත් කොටස් මගින් ඒවා ශාකයෙන් වැටීමට සලස්වනවා.
තවත් ශාක විශේෂ ලවණ මිශ්‍ර ජලය උරාගෙන ඉක්මනින්ම ශාක පත්‍රයේ ග්‍රන්ථීන් මගින් ඒවා පිට කරනවා. ඔබ මෙවැනි ශාකයක පත්‍රයක් දිව ගා බැලුවොත් එය ඉතාමත් ලුණු රස බව ඔබට දැනෙයි. නමුත් ශාක පත්‍ර කැඩීමේදී පරෙස්සම් වීම වැදගත්. ඊට හේතුව තෙකිරිය හෙවත් තෙල්කිරිය වැනි කඩොලාන ශාකයේ පත්‍රයක් කැඩූ විට පිටවන කිරි යම් හෙයකින් ඇසට ගියොත් තාවකාලිකව අන්ධ විය හැකි නිසයි. කෙසේවෙතත් සමහර ශාක පත්‍රවල කිරි, ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා අතර තුවාල සුව කිරීමටද කදිමයි.
මුල්වලින් කෙරෙන කාර්යය
බොහෝ කඩොලානවල පැවැත්මට හා වර්ධනයට මූලිකව වායූ මිශ්‍ර පසක් අවශ්‍ය වෙනවා. නමුත් කඩොල් ශාක වගුරු බිම්වල වැඩෙන නිසා මුල්වලට වාතය ලබාගැනීම තරමක් අපහසුයි. එයට හේතුව වගුරු බිමෙහි ඇති ජලය නිසා ශාකයට අවශ්‍ය වාතය එහි නොතිබීමයි. මේ නිසා මුල්වලට අවශ්‍ය වාතය ලබාගැනීමට ශාකයේ මුල් පස තුළට ගමන් නොකර කඳේ හෝ අතුවලින් ඒවා හටගන්නවා. වායුධර මුල් ලෙස හඳුන්වන මේවා ජලයෙන් මතුපිට වැඩෙන නිසා අවශ්‍ය වාතය එමගින් ලබාගත හැකි වෙනවා. එම මුල් විවිධ හැඩවලට වැඩෙන අතර දණිස් මුල් ලෙස හඳුන්වන මුල් වර්ගය වැඩෙන්නේ හරියට කකුළක් දණහිසෙන් නමාගෙන සිටි ආකාරයටයි.
ගසට කරුවක් මෙන් වැඩෙන බොහෝ මුල් වර්ග මේ ශාකවල දැකගන්න පුළුවන්. මෙම මුල් විශාල ප්‍රදේශයකට විහිදී තිබෙන නිසා ශාකයට පසෙහි සවිමත්ව රැඳීමට එය උපකාරවත් වෙනවා. නිදසුනකට කඩොල් ශාකයේ කඳෙන් වැඩෙන කරු මුල් මෙන්ම අතුවලින් හටගන්න කයිරු මුල්, මඩ සහිත බුරුල් පසෙහි ශාක නොසැලී සවිව වැඩීමට උපකාරවත් වෙනවා.
ශාක බෝ වෙන්නේ කෙසේද?
එක් කඩොල් ශාක වර්ගයක (cannonball mangrove) ගෙඩි ඉඳිනු පසු එහි බීජ ජලයේ සෑම තැනම විසිරී යනවා. ඉන්පසුව එම බීජ ජලයේ පාවී ගෙන ගොස් සුදුසු ස්ථානයකට පැමිණි පසු ශාකය පැළ වෙන්න පටන්ගන්නවා.
ඒවායේ තවත් සිත්ගන්නා දෙයක් වන්නේ ශාකයක් මව් ශාකයට සම්බන්ධ වී තිබියදීම වැඩීමයි. එම ශාකය මව් ශාකයෙන් වෙන් වන්නේ බීජ ලෙස නොව බීජ පැළයක් ලෙසිනුයි. මෙම බීජ පැළ මව් ශාකයෙන් වෙන්වූ පසු තමන්ගේ වර්ධනයට හිතකර පරිසරයක් ලැබෙන තෙක් මාස ගණනක් හෝ අවුරුද්දක් වූවද ජල මතු පිට පා වෙනවා.
මෙසේ ජලයේ පාවී යන බීජ පැළ, ලවණ අඩු ජලයේ පාවෙන්නේ හරස් අතට වන අතර අධික ලවණ මිශ්‍ර ජලය තිබෙන ස්ථානවල සිරස් අතට පාවෙයි. එවිට බීජ පැළය වැඩීමට හිතකර තැනකදී මඩෙහි තැන්පත් වී තම වර්ධනය ආරම්භ කරනවා.
ලෝකයක නුදුටු ලෝකයක්
කඩොලාන ශාක මගින් බොහෝ සත්ව විශේෂ තමන්ට අවශ්‍ය ආහාර සපයාගන්නවා. දිරාගිය ශාක පත්‍ර හෝ ශාකයේ විවිධ කොටස් ක්ෂුද්‍ර ජීවීන්ට කදිම ආහාරයක් වෙනවා. ඒ විතරක් නොවෙයි, සතුන්ට පැටවුන් බිහි කිරීමට හා උන්ව පෝෂණය කිරීමටද මේවා ආරක්ෂිත ස්ථානයක්ද වෙයි.
විශේෂයෙන් සියදහස් ගණන් පක්ෂීන්ට ලැඟුම් ගැනීමට විතරක් නොවෙයි සංචාරක කුරුල්ලන්ට තමන්ගේ ගමනේ විඩා නිවාගැනීමටද මේ කඩොලාන කදිම තෝතැන්නක් වී තිබෙනවා. නිදසුනකට බෙලිසි රටේ තිබෙන කඩොලාන ආශ්‍රිතව පක්ෂී විශේෂ 500කට අධික සංඛ්‍යාවක් දැකගත හැකියි. කඩොලාන, මත්ස්‍යයන්ටද සුදුසු පරිසරයක් සකසා දෙන නිසා බොහෝ මත්ස්‍ය විශේෂද එහි දක්නට ලැබෙනවා. ලොව විශාලම කඩොලන ප්‍රදේශය ලෙස හැඳින්වෙන සන්ඩර්බාන්ස්හි (ඉන්දියාවත් බංග්ලාදේශයත් අතර ප්‍රදේශයක්) මත්ස්‍ය විශේෂ 120කට වැඩි ගණනක් දැකගන්න පුළුවන්.
සත්ව වර්ග විතරක් නොවෙයි මෙම ප්‍රදේශ විවිධ ශාක වර්ගවලින්ද අනූනයි. ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළ තීරයේ කඩොලාන අතර ලයිකන වර්ග
(ඇල්ගාවක් හා දිලීරයක් එක්වීමෙන් සෑදුණු ශාකයක්) 150කට වඩා වැඩියෙන් දැකගන්න පුළුවන්. එමෙන්ම මීවන, රුක් පිළිල සහ ඕකිඩ් වර්ග මෙහි ගහණව වැඩෙනවා. ඇත්තෙන්ම සතුන්ට හා ශාකවලට පමණක් නොවෙයි මිනිසුන්ටත් කඩොලානවලින් ලබා දෙන ප්‍රයෝජන නම් අපමණයි.මහඟු දායාදයක්!
පරිසර සංරක්ෂණයට මෙන්ම විවිධ නිෂ්පාදනයන් සඳහාද මේ කඩොලානවලින් සිදු කරන්නේ මහඟු මෙහෙවරක්. විශේෂයෙන් දර, අඟුරු, ඖෂධ හා ශාක කොටස්වලින් ගන්නා ද්‍රව්‍ය තීන්ත සෑදීමටද යොදාගන්නවා. ඒ විතරක් නොවෙයි කකුළුවන්, බෙල්ලන් හා වෙනත් රසවත් මසුන්වද කඩොලාන ආශ්‍රිතව බහුලව දැකගන්න පුළුවන්. කඩොලාන අතරින් මීවදද සොයාගත හැකියි. මේ ආශ්‍රිතව දැකගන්න ලැබෙන බෙල්ලන් කඩොල් ශාකවලින් බිහි වන දෙයක් කියා සමහර අය සැලකුවේ ජල මට්ටම පහළ බසින කාලයේදී ශාක මුල්වල රැඳී සිටි බෙල්ලන්ව ඔවුන්ට කඩාගත හැකි වූ නිසයි.
තවදුරටත් මේ ශාක කඩදාසි, ඇඟලුම් හා සම් කර්මාන්තවලටද ඉදිකිරීම් සඳහාද ප්‍රයෝජනවත් වෙනවා. සංචාරක හා ධීවර කර්මාන්තයටද කඩොලානවලින් ලැබෙන්නේ ප්‍රයෝජන රැසක්.
මෙපමණ ප්‍රයෝජන ලබා දුන්නත් කඩොලානවල අනාගතය නම් අවිනිශ්චිතයි. ඊට හේතුව වසරකට හෙක්ටයාර් 1,00,000ක් පමණ මිනිසුන් විසින් විනාශ කිරීමයි. ඔවුන් කඩොලාන විනාශ කරන්නේ කෘෂි කාර්මාන්තය හා ඉදිකිරීම් කටයුතු සඳහායි. මන්ද ඔවුන් සිතන්නේ කඩොලානවලින් බිහි කරන නිෂ්පාදනවලට වඩා මේවායින් වැඩි ලාභයක් ඉපයිය හැකි බවයි. එමෙන්ම කඩොලානවලට එතරම් අගයක් නොදක්වන ඔවුන් ඒවා සලකන්නේ දුඟද හමන, මදුරුවන්ගෙන් ගහණ වගුරු බිම් ලෙසයි.
අපි කලින් සලකා බැලූ පරිදි කඩොලානවලින් මිනිසුන්ට, සතුන්ට මෙන්ම ශාකවලටද සිදු කරන්නේ මහඟු මෙහෙවරක්! එමෙන්ම චණ්ඩ මාරුතවලින් සිදු වන ආපදා අවම කිරීමටත් වෙරළ ඛාදනය අඩු කරගැනීමෙන් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමටත් මෙයින් ලැබෙන උපකාරය නම් කියා නිම කළ නොහැකියි. මේ සියල්ල සලකා බලන විට කඩොලාන අපිට ලැබුණු මහඟු දායාදක් ලෙස සැලකිය හැකියි!
[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]
මීවද සොයා යන දඩයම්කරුවන්
ලොව විශාලතම කඩොලානය ලෙස නම් දරන්නේ ඉන්දියාවත් බංග්ලාදේශයත් අතර පිහිටි සන්ඩර්බාන්ස් ප්‍රදේශයයි. මේ අවට ජීවත් වන මෝවාලීස් නම් ජන පිරිසට තම ජීවිකාව සඳහා මේ කඩොලාන මහත් උපකාරයක් සපයනවා.
මෝවාලීස් ජාතිකයන් මීවද දඩයම්කරුවන්. සෑම වසරකම අප්‍රියෙල් සහ මැයි මාසවලදී ඔවුන් මීවද සොයා කඩොලාන පීරාගෙන යන ගමන ඉතාමත් අනතුරුදායකයි. මේ කඩොලානවල මීවද බඳින මීමැස්සන් හුඟක් විශාලයි. උන් දිගින් අඟල් භාගයක් හා පළලින් අඟලක් පමණ වෙනවා. උන් කොතරම් විසකුරුද කියනවා නම් අලියෙකු වුණත් මරා දමන්න උන්ට හැකියි!
ඒ නිසා දඩයම්කරුවන් මීවද දඩයමේ යන්නේ කඩොල් ශාකවල කොටස්වලින් සාදාගත් පන්දමක් අතැතිවයි. මීවදයක් සොයාගත් පසු ඔවුන් මේ මීවදයට පරෙස්සමෙන් දුම් ගසා මීමැස්සන් ටික පලවාහරිනවා. කෙසේවෙතත් ඔවුන් සම්පූර්ණ මීවදයම රැගෙන එන්නේ නැහැ. ඔවුන් එසේ කරන්නේ මීමැස්සන්ට නැවතත් ඒ මීවදය භාවිත කළ හැකිවීම සඳහායි.
මේ දඩයම්කරුවන්ට විසකුරු මීමැස්සන්ගෙන් පමණක් නොවෙයි, නපුරු කිඹුලන්ගෙන් හා විසකුරු සර්පයන්ගෙන්ද බේරීම එතරම් පහසු නැහැ. තමන්ගේ පණ ගැට ගසාගැනීම සඳහා රැගෙන යන මීවද සොරකම් කිරීමට මඟ රැක සිටින සොරුන්ගෙන්ද මහත් තර්ජනයක් ඔවුන්ට එල්ල වෙනවා. මේ සියල්ලටම වඩා බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගෙන් ගැලවීමට ඔවුන් කරන්නේ විශාල සටනක්. සාමාන්‍යයෙන් සෑම වසරකම දඩයම්කරුවන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් එවැනි සතුන්ට ගොදුරු වෙනවා.
[හිමිකම් විස්තර]
Zafer Kizilkaya/Images & Stories
[23වන පිටුවේ පින්තූර]
වෙනත් ශාකවලට වැඩීමට නොහැකි අධික ලවණ මිශ්‍ර ජලයේ කඩොලාන නම් පහසුවෙන්ම වැඩෙනවා
[හිමිකම් විස්තර]
Top right: Zach Holmes Photography/Photographers Direct; lower right: Martin Spragg Photography (www.spraggshots.com)/Photographers Direct