Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

මෙතෙක් ලබාගෙන තිබෙන චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව අඩුම අයිස් ප්‍රමාණයක් ආක්ටික් සමූද්‍රයෙන් වාර්තා වී තිබෙන්නේ 2007දීයි. මෙම අයිස්වල ප්‍රමාණය වර්ග කිලෝමීටර් 42,80,000ක්. මෙය 2005දී වාර්තා වූ අයිස් ප්‍රමාණයට වඩා සියයට 23ක අඩු වීමක්.—අමෙරිකාවේ NATIONAL SNOW AND ICE DATA CENTER.

▪ වැඩිම යුධ අවි භාවිත කරන රට වන අමෙරිකාවේ වැසියන් 100ක් ගත් විට 90කටම යුධ අවි තිබෙනවා. අවි භාවිතයේ ලොව දෙවන ස්ථානයේ පසු වන ඉන්දියාවේ වැසියන් 100දෙනෙකුගෙන් අවියක් ළඟ තිබෙන්නේ හතරදෙනෙක්ට පමණයි.—අමෙරිකාවේ TIME.

▪ අමෙරිකාවේ මියාමි ෆ්ලෝරිඩාවේ සති 21යි දින 6කින් උපත ලද බිළිඳාගේ බර ග්‍රෑම් 283.5ක් වුණා. මෙතරම් අඩු මාසෙන් උපත ලබා ජීවත් වෙන එකම බිළිඳා ඇය විය හැකියි. ඊට හේතුව සති 23කට අඩු සහ බර ග්‍රෑම් 400කින් යුත් දරුවන්ටවත් ජීවත් වීමේ හැකියාවක් නොමැති වීමයි.—අමෙරිකාවේ REUTERS NEWS SERVICE.

බීමට නැවුම් ජලය සයුරෙන්

ඊජියන් මුහුද අවට තිබෙන දූපත්වල පවතින ජල අර්බුදය නිසා ග්‍රීක් විද්‍යාඥයන් විසින් ජලයේ ලවණ ඉවත් කළ හැකි පාවෙන ජල පද්ධතියක් ලොව ප්‍රථම වතාවට නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙනවා. (Athens News Agency) මෙය ක්‍රියාත්මක වෙන්නේ සුළං ටර්බයින සහ සූර්ය කෝෂ යොදාගනිමිනුයි. මෙමගින් පුද්ගලයන් 300දෙනෙකුට පමණ දිනකට අවශ්‍ය පානීය ජලය සැපයීමට හැකි වී තිබෙනවා. ඕනෑම කාලගුණික තත්වයක් යටතේ හා ඕනෑම දුරක සිට මෙය ක්‍රියා කළ හැකියි. එමෙන්ම ඕනෑම ස්ථානයකට වූවද මෙය ගෙන යා හැකියි.

සැඟවී තිබූ සත්ව ඇටකටු

උතුරු සයිබීරියාවේ දිගු කාලයක් පුරා හිම මිදී තිබූ ස්ථානවල හිම දිය වී යෑම නිසා පොළොව යට වැළලී තිබූ සත්ව ඇටකටු සොයාගෙන තිබෙනවා. ඒවා අතර මැමත් ලෙස හඳුන්වන විශාල ඇතුන්, රයිනෝසිරස් සහ සිංහයන්ගේ ඇටකටුද තිබෙන බවට වාර්තා වෙනවා. විද්‍යාඥයන් හා මේවා එකතු කිරීමට කැමති පුද්ගලයන් ඒවා ලබාගැනීමට විශාල මුදලක් වුවත් ගෙවීමට සූදානම්. මේ නිසා ප්‍රදේශවාසීන්ගේ උපකාර ඇතිව ගවේෂකයින් වටිනා වර්ගයේ ඒවා සොයාගැනීමට නොමද උත්සාහයක් දරනවා. හිම ශීඝ්‍රයෙන් දිය වී යන සමහර ස්ථානවල පොළොව මතුපිට පවා සත්ව ඇටකටු දැකගත හැකියි.

ඉන්ධන සඳහා මත්පැන්

වසර කිහිපයක් යනතුරුම ස්වීඩනයේ රේගු නිලධාරීන් විසින් අල්ලාගත් නීති විරෝධී මත්පැන් ඉවතට දැමුවත් දැන් ඒවා භාවිත කරන්නේ ඉන්ධන නිපදවීමට බව වාර්තා වෙනවා. වර්ෂ 2006දී අල්ලාගත් මත්පැන් ලීටර් 7,00,000කින් ජීව වායු නිෂ්පාදනය කර තිබෙනවා. ඒවා බස්, ට්‍රක්රථ සහ ජීව වායු භාවිතයෙන් ප්‍රවාහණය වන දුම්රිය ධාවනයට ප්‍රයෝජනවත්. ඉන්ධනවලට අමුද්‍රව්‍ය නොමිලේ ලැබෙන නිසා මෙමගින් හොඳ ලාභයක් ඉපයිය හැකියි. ඒවා වැඩියෙන් භාවිතට ගැනීම නිසා වායූ ගෝලීය උෂ්ණත්වය අඩු කරගැනීමෙන් ස්වීඩනයේ පරිසරයට හිතකර බලපෑමක් ඇති වී තිබෙනවා.—Associated Press.

ලැජ්ජාශීලිකමට උර දෙන තාක්ෂණය

ඊ-මේල් සහ කෙටි පණිවිඩ (SMS) යැවීමට පුරුදු වීමෙන් මිනිසුන් මුහුණට මුහුණලා කතා කිරීමට ලැජ්ජාශීලී බවක් දක්වනවා කියා ඕස්ට්‍රේලියාවේ එක් පුවත්පතක සඳහන් වුණා. මනෝ වෛද්‍යවරියක් වන රාබන් ඒබ්‍රහම්ස් පවසන පරිදි ජනගහනයෙන් අඩක් පමණ වෙන කවරදාටත් වඩා මේ තත්වයට මුහුණ දෙනවා. මුහුණට මුහුණලා කතාබහ කිරීමට වඩා ඊ-මේල් සහ කෙටි පණිවිඩ මගින් අදහස් හුවමාරු කරගැනීමට මිනිසුන් වැඩි නැඹුරුවාවක් දක්වනවා. ඇය මෙසේද පවසනවා. ‘නවීන තාක්ෂණික උපකරණ නිසා අපි මුහුණ දෙන්න අකමැති තත්වයන්ගෙන්ද වැළකී සිටන්න අපට හැකියි. ඒ වගේම අන් අයගෙන් ඈත් වී සිටන්නද තාක්ෂණය හේතුවක් වී තිබෙනවා.’—Sunday Telegraph.