Skip to content

පටුනට යන්න

දුක අභියස දිවි ගෙවන දඩබ්බරයෝ

දුක අභියස දිවි ගෙවන දඩබ්බරයෝ

දුක අභියස දිවි ගෙවන දඩබ්බරයෝ

රුසියාවේ පිබිදෙව්! ලේඛක විසින්

එය හිරු රැස් පතිත වූ සුන්දර දවසක්. නැඟෙනහිර රුසියාවේ හිමෙන් වැසී තිබෙන ප්‍රදේශයක ව්‍යාඝ්‍රයෙකු ලුහුබඳිමින් හෙලිකොප්ටර් යානයක් පියාසර කරයි. තුවක්කුවක් අතැතිව එහි සිටින දඩයක්කරුවෙක් ව්‍යාඝ්‍රයාව ගොදුරු කරගැනීමේ අටියෙන් වෙඩි තැබීමට සූදානම් වෙද්දී ඌද ගර්ජනා කරමින් අභියෝගයට සැරසෙයි. ඒත් සුළු මොහොතකින් වෙඩි උණ්ඩයට හසු වූ ව්‍යාඝ්‍රයාව රැගෙන යෑමට යානයෙන් බැසගත් දඩයක්කරු සෙමින් සෙමින් ඌට දෙසට ළං වුණේ ඉතාමත් කල්පනාකාරීවයි.

ඒ මිනිසුන් දඩයක්කරුවන්ද? ඇත්තෙන්ම නැහැ. ඔවුන් සයිබීරියානු ව්‍යාඝ්‍රයන් ඇතුළුව වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබෙන වෙනත් බොහෝ සතුන් පිළිබඳව අධ්‍යයනය කරන අයයි. සතුන්ව අල්ලාගැනීම සඳහා ඔවුන් භාවිත කරන ඒ උණ්ඩවලින් සිදු වන්නේ සත්වයාව සිහි නැති කිරීමයි.

සයිබීරියානු ව්‍යාඝ්‍රයන්

එක් කාලයකදී මෙම සයිබීරියානු ව්‍යාඝ්‍රයන්ව කොරියාව, උතුරු චීනය, මොංගෝලියාව සහ රුසියාවේ බයිකල් විල ආශ්‍රිතවද දැකගන්න ලැබුණා. නමුත් පසුගිය සියවස තුළ මුන්ගේ ශීඝ්‍ර අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. කෙසේවෙතත් මුන්ට විසීමට ආරක්ෂිතම ස්ථානයක් ලෙස ජපන් මුහුදට යාබදව තිබෙන රුසියාවේ ව්ලැඩිවොස්ටොක් කඳුකරය නම් කළ හැකියි.

මෙම ව්‍යාඝ්‍රයන්ට තමන්ගේ සහකාරිය සොයාගන්න උපකාරවත් වන්නේ උන්ගේ සුවඳයි. මෙසේ සුදුසු සහකාරිය සොයාගත් පසුව ව්‍යාඝ්‍ර ධේනුවක් වරකට පැටවුන් දෙතුන්දෙනෙක් බිහි කරනවා. මෙලොව එළිය දකින මේ පුංචි දඟකාරයන් කුඩා කළ සිට සිහින් හඬින් ගෙරවීමට ඉතා දක්ෂයෝයි. මාස පහක් හෝ හයක් යනතුරු තම මව්ගෙන් කිරි බිව්වත් පසුව උන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ මස් කෑමටයි. මුලින්ම උන් කරන්නේ තම මව් සමඟ දඩයමට යෑමයි. ඒ වුණත් මාස 18ක් ගත වන තුරු උන් තනිවම දඩයම් කරන්නේ නැහැ. වසර දෙකක් පමණ වන තුරු තම මවගේ තුරුළේ වෙසෙන මේ පැටවුන් තම වාස භූමියෙන් පිට වී තමන්ටම කියා රාජධානියක් තනාගන්නවා.

වන ලැහැබේ වෙසෙන සමහර ව්‍යාඝ්‍රයන් ඉතා විශාල වෙනවා. සාමාන්‍යයෙන් පිරිමි සතෙකුගේ වලිගය සමඟ දිග මීටර් තුනක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 270ක් පමණ වෙනවා. උන්ගේ සිරුර පුරා ගනව වැඩුණු ලොම් හරියට ශීත කාලයට ඔරොත්තු දීමට සකස් කළ කබායක් වගෙයි. ලොම්වලින් ආවරණය වූ උන්ගේ විශාල පාද හිම මත ඇවිදීමටම සැකසූ සපත්තු කුට්ටමක් වගෙයි.

රතට හුරු කහ පැහැති ලොම් සහිත උන්ගේ සමේ කලු පාට ඉරි වැටී තිබෙන ආකාරයද දැකගන්න පුළුවන්. හරියට මිනිසුන්ගේ ඇඟිලි සලකුණු එක් එක්කෙනාට වෙනස් වගේ මේ ව්‍යාඝ්‍රයන්ගේ සිරුර මත තිබෙන ඉරිත් එකෙකුගෙන් එකෙකුට වෙනස්. ව්‍යාඝ්‍රයන් කැලෑවේ සිටිද්දී උන්ගේ සිරුරේ පාට සහ ඉරි නිසා උන්ව හඳුනාගන්න පහසු නැහැ. නමුත් හිම වැටෙන කාලයේදී ගස් කොළන් නැති ස්ථානයකට උන් පැමිණියොත් හොඳින් කැපීපෙනෙන නිසා පහසුවෙන්ම දඩයක්කරුවන්ගේ නෙත ගැටෙනවා.

පැවැත්මට තර්ජනයක්

ව්‍යාඝ්‍රයන් දිවි රැකගන්නේ මුවන්, ගෝනුන් සහ වල් ඌරන්ව ආහාරයට ගැනීමෙනුයි. නමුත් නැඟෙනහිර සයිබීරියාවේ වනාන්තරවල මෙම සතුන් කෙමෙන් කෙමෙන් අඩු වන බවක් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 1,000ක් තරම් වූ විශාල භූමි ප්‍රමාණයක සිටින සතුන් ප්‍රමාණවත් වන්නේ ව්‍යාඝ්‍රයන් හතර පස්දෙනෙක්ගේ ආහාර සඳහා පමණයි. ඒ නිසා වනාන්තරවල වෙසෙන මුන්ගේ දිවි තවදුරටත් රැකගන්න නම් විශාල භූමි ප්‍රමාණයක් තිබිය යුතුයි.

වසර ගණනාවකට පෙර සයිබීරියාවේ තිබෙන විශාල වනාන්තර මේ ව්‍යාඝ්‍රයන්ට ජීවත් වීමට තෝතැන්නක් වුණා. ඊට හේතුව වුණේ ඒ වනාන්තරවලට කිසිම තර්ජනයක් මිනිසුන්ගෙන් එල්ල නොවීමයි. නමුත් මෑතක සිට කැලෑ එළි කිරීම නිසා ව්‍යාඝ්‍රයන්ගේ පැවැත්මට මහත් බාධාවක් වී තිබෙනවා.

කැලෑ එළි කිරීම නිසා සයිබීරියානු ව්‍යාඝ්‍රයන් ඇතුළුව මුවන්, ගෝනුන් හා වල් ඌරන්ද වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබෙනවා. ඒ නිසා රුසියානු රජය විසින් මෙම සතුන්ව ආරක්ෂා කරගැනීමට සංරක්ෂිත ආයතන පිහිටුවා එම ප්‍රදේශ රක්ෂිත කලාප ලෙස නම් කර තිබෙනවා. නමුත් යම් හෙයකින් ව්‍යාඝ්‍රයෙක් මෙම කලාපයෙන් එළියට පැමිණියොත් ඌව දඩයක්කරුවන්ගේ ගොදුරට හසු වෙනවා නියතයි. ඊට හේතුව මුන්ගේ දත්, නිය, අස්ථි සහ සම අධික මිලකට විකිණීමට හැකි වීමයි.

ව්‍යාඝ්‍රයන්ව රැකගැනීම

මෙම සයිබීරියානු ව්‍යාඝ්‍රයන්ව රැකගැනීමට මෙම රටේ බලධාරීන් විශාල වෙහෙසක් දරනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට කෙමෙන් කෙමෙන් මුන්ගේ වැඩි වීමක් දැකගන්න පුළුවන්. වර්ෂ 2005දී කළ ගණනය කිරීමකට අනුව ව්‍යාඝ්‍රයන් 430ත් 540ත් අතර ප්‍රමාණයක් සයිබීරියාවේ වෙසෙන බව සොයාගත්තා.

ලොව පුරාම තිබෙන සත්වෝද්‍යානවල සයිබීරියානු ව්‍යාඝ්‍රයින් 500ක් පමණ දැකගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම ව්‍යාඝ්‍රයන් බෝ වීම ඉතා හොඳ මට්ටමක තිබුණත් වනාන්තරවල සිටින ව්‍යාඝ්‍රයන්ගේ අඩු වීමක් තිබෙනවා. ඒ නිසා එම අඩුව පිරවීමට සත්වෝද්‍යානවල සිටින ව්‍යාඝ්‍රයන්ගෙන් කිහිපදෙනෙක් කැළයට මුදාහැරීම හොඳ අදහසක් නොවෙයිද? නමුත් සත්ව විද්‍යාඥයන් එසේ කිරීමට අදිමදි කරනවා. ඊට හේතුව ලෙස පර්යේෂකයෙක් පවසන්නේ “උන්ගේ ජීවිතවලට කිසිම අනතුරක් වෙන්නේ නැත්නම් එහෙම කළාට කමක් නැහැ” කියායි.

මෙවැනි දැවැන්ත ව්‍යාඝ්‍රයන් ඇතුළු සත්ව ලෝකය දකින කෙනෙකුට උන්ව නිර්මාණය කළ දෙවිගේ ප්‍රඥාව හා බලය මනාව දැකගත හැකියි. එමෙන්ම දෙවිද උන් ගැන ඉමහත් සැලකිල්ලක් දක්වන බවද ස්ථිරයි. (ගීතාවලිය 104:10, 11, 21, 22) දෙවිගේ මෙම අපූර්ව නිර්මාණයන් අගය කරන අයට නම් එක් දෙයක් ස්ථිරයි. එනම් සයිබීරියානු ව්‍යාඝ්‍රයන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල නොවන කාලයක් ඉදිරියේදී පැමිණෙන බවයි!

[16, 17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විශාලම ව්‍යාඝ්‍රයා

සිංහයන් සහ ව්‍යාඝ්‍ර ධේනුවන්ගෙන් බිහි වන ව්‍යාඝ්‍ර වර්ගය (Liger) ප්‍රමාණයන් ඉතාමත් විශාලයි. සාමාන්‍යයෙන් මුන්ගේ බර කිලෝග්‍රෑම් 500ක් වන අතර දිග මීටර තුනක් පමණ වෙනවා. මුන්ව බොහෝවිට බිහි කරන්නේ සත්වෝද්‍යානවලයි. වනාන්තරවලද කලාතුරකින් වගේ දැකගත හැකියි.

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © photodisc/​age fotostock; bottom: Hobbs, courtesy Sierra Safari Zoo, Reno, NV