Skip to content

පටුනට යන්න

පුදුම හිතෙන බෝනික්කෝ

පුදුම හිතෙන බෝනික්කෝ

පුදුම හිතෙන බෝනික්කෝ

බෝනික්කන්ට ලොකු පොඩි අපි කවුරුත් ආසා කරනවා. විවිධ රටවල එක් එක් ක්‍රමවලට මේවා නිර්මාණය කරනවා. ඊජිප්තු ජාතිකයන් පැතලි ලීවලින්ද ජපන් ජාතිකයන් කඩදාසිවලින්ද ජර්මානු ජාතිකයින් පිඟන් මැටිවලින්ද එස්කිමෝවරු සීල්මත්ස්‍යාගේ සමෙන්ද ලස්සන බෝනික්කන්ව නිර්මාණය කරනවා.

එක් විශ්වකෝෂයක මෙවැනි අදහසක් පළ වුණා. ‘අතීතයේදී බොහෝ බෝනික්කන්ව භාවිත කළේ සෙල්ලම් බඩුවක් හැටියට නොව ආගමික කටයුතු හෝ විජ්ජාවන් සඳහායි.’ පුරාණ ඊජිප්තුවරුන් කුඩා හබලක හැඩයෙන් යුත් බෝනික්කන් (paddle dolls) නිර්මාණය කළා. එම බෝනික්කාගේ සිරුර අලංකාර ලෙස මෝස්තර කර තිබූ අතර සිහින් කම්බිවලින් ඇමුණු පුංචි මැටි ගුලි කොණ්ඩය සඳහා භාවිත කළා. මරණයෙන් පසු ජීවිතයේදී සේවකයෙක් ලෙස ඒ බෝනික්කා ක්‍රියා කරයි යන විශ්වාසය ඇතුව ඔවුන් මිය ගිය පුද්ගලයෙකුගේ මිනීවළේ එම බෝනික්කෙක්ව තැන්පත් කළා. ඒ වගේම බටහිර ඉන්දියානු කොදෙව් ජාතික පිරිසක් තම සතුරන්ට හානි පැමුණුවීමේ අරමුණින් බෝනික්කෙක්ට (voodoo dolls) කටු ගසනු ලැබුවා.—The World Book Encyclopedia.

අතීතයේදී ග්‍රීසියේ අවිවාහක තරුණියන් තම විවාහයට ටික දවසකට පෙර සශ්‍රීකත්වයේ දෙවි වන ආටෙමිස් දේවතාවියගේ පිළිරුව අසලින් තමන්ගේ බෝනික්කන්ව තැබුවා. ඔවුන් එසේ කළේ තමන්ට දරු ඵල ලබාගැනීමටයි. අද ඝානාවේ සමහර ගෝත්‍රිකයින් සහ අප්‍රිකානුවන් තමන්ගේ ඉඟ පටිවල බෝනික්කන් එල්ලාගෙන යනවා. එසේ කිරීමෙන් ලස්සන දරුවන් තමන්ට බිහිවෙයි කියා ඔවුන් සිතනවා. සිරියාවේ සමහර ගැහැනු ළමයි තමන් අවිවාහක බව දැනුම් දීමටද නිවසේ ජනෙල්වල බෝනික්කන්ව එල්ලා තබනවා.

ජපානයේ සෑම වසරකම මාර්තු තුන්වෙනිදා ගැහැනු ළමයි වෙනුවෙන් උත්සවයක් පැවැත්වුවා. එක් විශ්වකෝෂයක ඒ ගැන මෙසේ සඳහන් වුණා. මෙහිදී ‘විවිධ සංස්කෘතීන්ට අයත් චාරිත්‍ර කිහිපයක්ම පැවැත්වුණා. ඉන් එකක් නම් ජපානයේ එක් කාල වකවානුවක (794-1185) එහි සිටි චීන ජාතිකයින් විසින් ශුද්ධ වීම සඳහා සිදු කළ චාරිත්‍රයයි. මෙය කරනු ලැබුවේ ගඟක් අසල හෝ මුහුදක් අසලයි. පේන කියන්නෙක් විසින් ඔවුන්ගේ වස් දොස් දුරු කිරීමට අශුද්ධ දේ කඩදාසියෙන් තැනූ බෝනික්කෙක් මතට යවා එම බෝනික්කාව ගඟේ හෝ මුහුදේ පා කර යැව්වා. එසේ කිරීමෙන් ඔවුන් පවිත්‍ර වෙනවා කියා ඔවුන් විශ්වාස කළා.’—Japan—An Illustrated Encyclopedia.

විවිධ වර්ගයේ බෝනික්කන්

ජපානයේ එක් කාලයකදී (1603-1867) ළමයින් වෙනුවෙන්ම නිර්මාණය කළ එක් බෝනික්කන් වර්ගයක් සිටියා. ඒවා හරියට ඇත්ත මිනිසුන් වගෙයි. එමෙන්ම මේ බෝනික්කන්ට වෛවර්ණ ඇඳුම් ආයිත්තම්ද අන්දවා තිබුණා. තවත් එක් ක්‍රියාකරවිය හැකි බෝනික්කන් වර්ගයක්ද එවකට ප්‍රසිද්ධියක් ඉසුලුවා. එවැනි එක් බෝනික්කන් වර්ගයකට අමුත්තෙක්ට තේ පිළිගන්වන්නත් හිස් තේ කෝප්පය නැවත රැගෙන එන්නත් හැකි වුණා.

වර්ෂ 1700 ගණන්වලදී බටහිර රටවල වෙසෙන කුඩා දරුවන්ව සැලකුවේත් වැඩිහිටියන් හැටියටයි. මේ නිසා කුඩා ළමයින් වෙනුවෙන් පමණක් විවිධාකාරයේ සෙල්ලම් බඩු නිර්මාණය වුණේ නැහැ. ඒ වෙනුවට මේ දෙපිරිසටම එක හා සමානව බෝනික්කන් නිර්මාණය වුණා. කෙසේවෙතත් 1800 ගණන්වලදී කුඩා ළමයින්ගේ මානසික වර්ධනය ගැන වැඩි වැඩියෙන් සිතන්න පටන්ගත්තා. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ බෝනික්කන් නිෂ්පාදනය වැඩි වෙන්න පටන්ගත්තා.

එවකට බෝනික්කන් කර්මාන්තයේ ඉහළින්ම වැජඹුණේ ඔස්ට්‍රියාවයි. කෙසේවෙතත් 1824 මුල් කාලයේදී ජර්මානුවන් විසින් පටිගත කළ හැකි උපකරණයක් සහිත බෝනික්කන්ව නිර්මාණය කළා. මේ බෝනික්කන්ට ‘අම්මා’ ‘තාත්තා’ කියා පැවසීමට හැකිකම තිබුණා. ඒ සියවසේම අගභාගය වන විට ඔවුන් ඇවිදින බෝනික්කන්වද නිෂ්පාදනය කළා. එමෙන්ම අමෙරිකානු ජාතිකයෙක් වන තෝමස් එඩිසන් විසින් කුඩා පටිගත කිරීමේ යන්ත්‍රයක් සහිත කතා කළ හැකි පුංචි බෝනික්කන් වර්ගයක් නිෂ්පාදනය කළා. මේ අතරතුර ප්‍රංශ ජාතිකයන් විසින් කෑම කන්න හැකියාව තියෙන බෝනික්කන් වර්ගයක්ද (Bebe Gourmand) නිර්මාණය කිරීම පුදුමයට කරුණක්! ඒ වගේම ඔවුන් විවිධ විලාසිතාවලින් සරසන ලැබූ ආකර්ෂණීය බෝනික්කන් වර්ගයක්ද නිෂ්පාදනය කළා. ඒ බෝනික්කන්ට අවශ්‍ය පනා වර්ග, ලොම් ඇඳුම්, ලී බඩු උපකරණ පවා නිෂ්පාදනය වුණා.

විසිවන සියවස වන විට බෝනික්කන් නිෂ්පාදනයේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබුණා. වර්ෂ 1940 ගණන්වල ප්ලාස්ටික් භාවිත කිරීම පටන්ගැනීමත් සමඟ මිලෙන් අඩු මෙන්ම ඉතාමත් සියුම් අංගයන් පවා ඇතුළත් බෝනික්කන් නිර්මාණය කිරීමට හැකි වුණා. වර්ෂ 1959දී බාර්බි ඩෝල් ලෙස හඳුන්වන හැඩකාර බෝනික්කන් වර්ගයක් හඳුන්වා දීමත් සමඟ මෙම බෝනික්කන් ලොව ජනප්‍රියතම බෝනික්කන් බවට පත් වුණා. වර්ෂ 1997දී මෙම බෝනික්කන් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අළෙවි කර තිබෙන අතර අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක ආදායමක් ඉපයීමට ඉන් හැකි වුණා.

දරුවන්ට උගන්වන බෝනික්කන්

අමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශවල වෙසෙන එක්තරා ජන පිරිසක් ඔවුන්ගේ ගෝත්‍රික දෙවිවරුන් ගැන දරුවන්ට ඉගැන්වීම සඳහාද එක් බෝනික්කන් වර්ගයක් (kachina dolls) යොදාගත්තා. මේවා සෑදුවේ පතොක් මුල් හෝ පයින් ගස්වල කොටස්වලිනුයි. මෙම ගෝත්‍රිකයන්ගේ විශේෂ උත්සවයකදී පුද්ගලයෙක්ව ඔවුන්ගේ එක් දෙවියෙක් මෙන් සරසනු ලැබුවා. පසුව දෙමාපියන් තමන්ගේ දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා එම දෙවියන්ගේ ස්වරූපය තිබෙන බෝනික්කෙකුව දුන්නා. එසේ කිරීමෙන් තම දරුවන්ට එම දෙවියාව හොඳින් දැන හඳුනා ගන්න හැකි වන බව ඔවුන් විශ්වාස කළා.

එක් විශ්වකෝෂයක සඳහන් වූ ආකාරයට ‘දරුවන් තුළ ඇති වන ඕනෑම හැඟීමක් බෝනික්කන් සමඟ බෙදාගැනීමට ඔවුන්ට හැකි වෙනවා. බෝනික්කන් සමඟ ඔවුන් සෙල්ලම් කරන විට ඔවුන් ලොකු වූ පසු තෝරගන්න කැමති ක්ෂේත්‍රය ගැන පුහුණුවක් ඔවුන්ට ලැබෙනවා. නිදසුනකට දරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න කැමති නම් දරුවා දොස්තර කෙනෙක් වගේ බෝනික්කා සමඟ රඟපානවා.’ සෑම වසරකම මැයි මාසයේ ජපානයේ දරුවන් සඳහා පැවැත්වෙන උත්සවයකදී සාම්ප්‍රදායක යුධ ඇඳුම් කට්ටලයෙන් සැරසූ බෝනික්කෙක්ව ප්‍රදර්ශනය කරනවා. එමගින් යොවුන් දරුවන්ට රටට වැඩදායී යහපත් පුරවැසියන් වෙන්න දිරිගැන්වීමක් ලැබෙනවා.—The World Book Encyclopedia.

බෝනික්කන් සහ දරුවන් අතර තිබෙන මේ කිට්ටු බැඳීම දරුවන්ට අහිතකර ලෙස බලපායිද යන බිය සැලකිලිමත් දෙමාපියන් තුළ තිබෙනවා. නිදසුනකට සමහර අය පවසන්නේ ගැහැනු ළමයින් සමහර බෝනික්කන් ඇඳ පැළඳ සිටින ආකාරයටම අඳින්න පළඳින්න ආශා කරන බවයි. මෙයින් ඇති විය හැකි අහිතකර බලපෑම ගැන එක් පුද්ගලයෙක් සඳහන් කළේ මෙසේයි. ‘තමන්ගේ හැඩරුව, ඔවුන් අඳින පළදින ආකාරය ගැන ඕනෑවට වඩා වැඩියෙන් සිතන්න මේ බෝනික්කන් නිසා ගැහැනු ළමයින් පෙලඹෙනවා.’

බෝනික්කෙක් සමඟ සෙල්ලම් කරන දරුවෙක් ඔබ දුටුවොත් එය නිකම්ම නිකම් සෙල්ලම් බඩුවක් විතරක් නොවෙයි දරුවන්ගේ හොඳ මිතුරෙක් බවත් එවිට ඔබට මතක් වේවි!

[27වන පිටුවේ කොටුව]

ප්‍රචලිත විනෝදාංශයක්!

වර්ෂ 1970 ගණන්වලදී බෝනික්කන් එකතු කිරීම බොහෝදෙනෙක් අතර ප්‍රචලිත විනෝදාංශයක් වුණා. එමෙන්ම ඒ කාලයේදී ජාත්‍යන්තර වෙළඳපොළ දක්වාම එය දියුණු වුණා. සමහර අය දුර්ලභ ගණයේ බෝනික්කන්ද තවත් අය මිලෙන් අඩු ප්ලාස්ටික් බෝනික්කන්වද එකතු කළා. වර්ෂ 1900 ගණන්වල මුල් කාලයේදී ජර්මනියේ නිපදවූ මෙවැනි බෝනික්කෙක්ව ඩොලර් 2,77,500කට වෙන්දේසි කළා. ලොව විශාලතම බෝනික්කන් එකතුව අමෙරිකාවේ රොචෙස්ටර් නගරයේ තිබෙන එක්තරා ප්‍රසිද්ධ කෞතුකාගාරක (Strong National Museum of Play) දැකගත හැකි වන අතර එහි බෝනික්කන් 12,000ක් පමණ තිබෙනවා.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙමාපියෙනි මේ ගැන සිතන්න

සමහර දරුවන් බෝනික්කන් ඇඳ පැළඳගෙන ඇති ආකාරයටම අඳින්න පළඳින්න වැඩි කැමැත්තක් දක්වනවා. ඉන් අහිතකර බලපෑමක් දරුවන්ට ඇති විය හැකියි. එයින් දරුවන්ව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? එක් පුවත්පතක මෙවැනි චෝදනාවක් කර තිබුණා. ‘දුම්කොළ සමාගම් තමන්ගේ නිෂ්පාදනවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලට වග කියන්නේ නැහැ. ඒ හා සමානව සෙල්ලම් බඩු නිෂ්පාදකයන්ද ඔවුන්ගේ නිෂ්පාදනවලින් ඇති විය හැකි අහිතකර බලපෑම්වලට වග කියන්නේ නැහැ. එමෙන්ම ඔවුන් තමන්ගේ නිෂ්පාදන වෙනස් කරන්නේද නැහැ.’ මේ සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ දෙමාපියන් වන ඔබයි.—The Washington Post.

බයිබලයේ දෙමාපියන්ට දිරිගන්වන්නේ තම දරුවන්ට දිනපතාම යහපත් ප්‍රතිපත්ති ඉගැන්වීමටයි. (ද්විතීය කතාව 6:6-9; හිතෝපදේශ 22:6) එය හැක්කේ කෙසේද? එක් මවක් තම දියණියට ඇඳුම් පැළඳුම් ගැන පළමුවන තිමෝති 2:9හි සඳහන් බයිබල් ප්‍රතිපත්තිය කියා දීමට උත්සාහ කළේ මේ ආකාරයටයි.

මව: මේ බෝනික්කන්ට තියෙන්නේ ළමයෙක්ගේ පෙනුමක්ද නැත්නම් ගැහැනු කෙනෙක්ගේ පෙනුමක්ද?

දුව: ගැහැනු කෙනෙක්ගේ පෙනුමක්.

මව: ඇයි දුව එහෙම කියන්නේ?

දුව: මොකද ඒ බෝනික්කන්ගේ ඇඳුම්, ඇඟේ හැඩය හරියට ගැහැනු අයගේ වගේ.

මව: අන්න හරි. දුව හිතනවද දැන් අපි කියෙව්ව බයිබල් ප්‍රතිපත්තියත් එක්ක බලද්දී මේ බෝනික්කන් ඇඳන් ඉන්න ඇඳුම් ක්‍රිස්තියානීන්ට සුදුසුයි කියලා?

දුව: නැහැ.

මව: ඇයි දුව එහෙම කියන්නේ?

දුව: එයාලගේ ඇඳුම් ඇඟට තදයි, සායවල් හරිම කොටයි, ඒවා විනීත නැහැ නේ.

ඒ ආකාරයට දෙමාපියන් තම දරුවන්ට බයිබලයේ සඳහන් දෙවිගේ ප්‍රතිපත්ති කියා දෙන්න වෑයම් කිරීමෙන් ඔවුන්ට හොඳ නිගමනවලට එළඹෙන්න හැකි වෙනවා. තම දරුවන්ට දෙවිගේ ප්‍රතිපත්ති කියා දීමට හුඟක් දෙමාපියන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන “උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු” නමැති පොත උපකාරවත් වී තිබෙනවා.

සිත්ගන්නාසුලු උදාහරණවලින් යුත් පිටු 256කින් සමන්විත මේ පොතේ පිටපතක් ලබාගැනීමට අපි ඔබටත් ඇරයුම් කරනවා. ඒ සඳහා මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට ලියන්න.

[26වන පිටුවේ පින්තූරය]

ජපානයේ තේ පිළිගන්වන බෝනික්කෙක්

[26වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ විසිතුරු බෝනික්කෙක්

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © SHOBEI Tamaya IX; middle: Courtesy, Strong National Museum of Play, Rochester, New York; bottom: © Christie’s Images Ltd