Skip to content

පටුනට යන්න

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ප්‍රඥාවේ ඇති වැදගත්කම

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ප්‍රඥාවේ ඇති වැදගත්කම

යොවුන් දරුවන් ඇති දැඩි කිරීමේදී ප්‍රඥාවේ ඇති වැදගත්කම

“අපේ දරුවන්ට හරි දේ කරන්න උගන්වන එක එච්චර ලෙහෙසි නැහැ. සමහර වෙලාවට අපි කරන්නේ එයාලට බනින එක විතරයිද කියලත් හිතෙනවා. අපි එහෙම කරද්දී එයාලව මානසිකව වට්ටනවාද නැත්නම් එයාලා තුළ ආත්මවිශ්වාසයක් ගොඩනැඟෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. මෙතනදී සමබර වෙන එක තමයි ලොකුම අභියෝගය.”—ඕස්ට්‍රේලියාවේ ජෝර්ජ් සහ ලොරේන්.

යොවුන් දරුවන්ව ඇති දැඩි කිරීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවෙයි. ඒ කාලයේදී දරුවන් තුළ දකින්න ලැබෙන වෙනස් හැසිරීම් රටාව නිසා දෙමාපියන්ට බොහෝ අභියෝගවලට මුහුණ දෙන සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි, දවසක ඔවුන් තමන්ගෙන් ඈත් වී යයි කියන දුකද දෙමාපියන්ට තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ එක් පියෙක් වන ෆ්‍රෑන්ක් මෙවැනි අදහසක් පළ කළා. ‘අපේ දරුවන් තව ටික කාලෙකින් ගෙදරින් පිට වෙලා යනවා කියලා මතක් වෙද්දීත් හුඟක් දුක හිතෙනවා. තවදුරටත් ඔවුන් අපේ තුරුළේ නැහැ කියන එක හිතාගන්නවත් බැරි දෙයක්.’

කලින් ලිපියේ අදහස් දැක්වූ ලිදියා මෙසේ පවසනවා. “මගේ පුතාව ලොකු ළමයෙක් හැටියට මම දකින්නේ නැහැ. මට තාමත් එයා මගේ පුංචි පුතාමයි. එයා ඉස්කෝලේ ගිය මුල්ම දවස අද ඊයේ වගේ මට මතකයි.”

යෞවනයන් කියන්නේ පුංචි ළමයි නොවෙයි. මේ කාලය ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙන්න පුහුණුව ලබන කාලයයි. ඔවුන්ගේ පුහුණුකරුවන් වෙන්නේ දෙමාපියන්. කෙසේවෙතත් කලින් සඳහන් කළ ජෝර්ජ් සහ ලොරේන් පැවසූ ආකාරයට දෙමාපියන්ට පුළුවන් තම දරුවන් තුළ ආත්මවිශ්වාසයක් ගොඩනඟන්න හෝ ඔවුන්ව මානසිකව වට්ටන්න. නමුත් මේ කාරණයේදී දෙමාපියන් සමබර වීම වැදගත්. ඔවුන්ට එය කළ හැක්කේ කෙසේද? බයිබලයේ ඒ සඳහා දෙන මඟ පෙන්වීම් ඊට උපකාරවත් වෙනවා. (යෙසායා 48:17, 18) ඒ ගැන දැන් අපි සලකා බලමු.

හොඳ අදහස් හුවමාරුවක්

බයිබලයේ ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දී තිබෙනවා. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) ඕනෑම වයසක සිටින දරුවෙක් සමඟ කටයුතු කිරීමේදී සවන් දීම වැදගත් වුවත් විශේෂයෙන්ම යෞවනයෙක් සමඟ කටයුතු කිරීමේදී මෙය අත්‍යවශ්‍යයි. එමෙන්ම ඊට විශේෂ වෑයමක් දැරීමටද සිදු වෙනවා.

බ්‍රිතාන්‍යයේ වෙසෙන පීටර් මෙසේ පවසනවා. “මගේ පුතාලා දෙන්නා ලොකු වෙද්දී එයාලත් එක්ක කතාබහ කරන විදිහ වෙනස් කරන්න මට සිද්ධ වුණා. ඒ කියන්නේ එයාලා එක්ක එකට ඉඳගෙන එයාලගේ හිතේ තියෙන දේවල් දැනගන්න මට ලොකු වෑයමක් දරන්න සිද්ධ වුණා. පොඩි කාලේදී අපි එයාලට කරන්න ඕන දේ කිව්වා. නමුත් දැන් එයාලා ලොකු නිසා දැන් අපිට සිද්ධ වෙනවා හරි තීරණය ගන්න එයාලට මඟ පෙන්වන්න. ඒක කරන්න එයාලව හොඳින් තේරුම්ගන්න අපිට සිද්ධ වෙනවා.”—2 තිමෝති 3:14.

යම් මතභේදයක් ඇති වූ විටකදී සවන් දීම ඉතාමත් වැදගත්. (හිතෝපදේශ 17:27) බ්‍රිතාන්‍යයේ වෙසෙන ඩැනියෙල්ට ඇගේ එක් දියණියක් සමඟ යම් ගැටලුවක් තිබුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම මොනවාහරි දෙයක් කරන්න කියලා කිව්වම මගේ දුව ඒකට එච්චර හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. දුව කියන්නේ මම හැම වෙලාවෙම එයාට කෑගහනවා නැත්නම් දේවල් කරන්න අණ කරනවා කියලයි. පස්සේ අපි දෙන්නා මේ ගැටලුව ගැන කතා කරද්දී එකිනෙකාට හොඳින් සවන් දුන්නා. ඒකෙන් පුළුවන් වුණා අපි දෙන්නට දෙන්නවම තේරුම්ගන්න.”

“ඇසීමට ඉක්මන් වීම” නිසා තම දුව මුලින්ම එසේ ප්‍රතිචාරය දැක්වූයේ ඇයි කියා හොඳින් අවබෝධ කරගන්න ඩැනියෙල්ට හැකි වුණා. ඇය තවදුරටත් මෙසේ පවසනවා. “මම දැන් දුවත් එක්ක හුඟක් ඉවසීමෙන් තමයි වැඩ කරන්නේ. මම කේන්තියෙන් ඉන්න වෙලාවට එයාට මුකුත් නොකියා ඉන්න උත්සාහ කරනවා. දැන් අපි දෙන්නා වෙනදාට වඩා කිට්ටුයි.”

සවන් දීමේ ඇති වැදගත්කම ගැන අවධාරණය කරමින් තවදුරටත් බයිබලයේ මෙසේ පවසනවා. “කාරණයක් අසන්නත් කලින් ඊට උත්තර දීම මෝඩකමක් මෙන්ම ලජ්ජාවකි.” (හිතෝපදේශ 18:13NW) ඕස්ට්‍රේලියාවේ වෙසෙන ටෝනි ඔහුගේ අද්දැකීම මෙසේ විස්තර කරනවා. “මමත් මගේ බිරිඳත් සමහර වෙලාවට දරුවන් කියන දේට ඇහුම්කන් නොදී එයාලට උපදෙස් දෙන්න ඉක්මන් වුණා. ඒ නිසා සමහර වෙලාවට දරුවන් සහ අපි අතර මතභේද ඇති වුණා. නමුත් අපි පස්සේ තේරුම්ගත්තා එයාලගේ අදහස් අපේ අදහස්වලට එකඟ නැති වුණත් මුලින්ම එයාලා කියන දේට අපි හොඳින් සවන් දෙන්න ඕනේ කියලා.”

දරුවන්ට නිදහස දීම

දරුවන්ට නිදහස දීමේදී බොහෝවිට දෙමාපියන් හා දරුවන් අතර මතභේද ඇති වෙනවා. දරුවෙක්ට කොතරම් නිදහසක් දිය යුතුද? එක් පියෙක් මෙසේ පවසනවා. ‘මගේ දුවට පොඩි බුරුලක් දුන්නොත් එයා ඕනෑවට වඩා වැඩි නිදහසක් බලාපොරොත්තු වෙනවා.’

දරුවෙකුට අසීමිත නිදහසක් දීමෙන් අහිතකර ප්‍රතිඵල අත්වෙනවා. ඒ ගැන බයිබලයේ මෙසේ අනතුරු අඟවනවා. “තම කැමැත්ත කිරීමට ඉඩහරින දරුවා තම මවට ලජ්ජාවකි.” (හිතෝපදේශ 29:15NW) ඕනෑම වයස් මට්ටමක සිටින දරුවෙක්ට ඍජු මඟ පෙන්වීම් අවශ්‍යයි. ඒ වගේම පවුලේ නීති ක්‍රියාත්මක කිරීමේදී දෙමාපියන් ඍජුව කටයුතු කළ යුතු අතර ප්‍රේමණීය වීමද අවශ්‍යයි. (එෆීස 6:4) නමුත් දරුවන්ට යම්තාක් දුරකට නිදහස දීමෙන් අනාගතයේදී ඥානවන්ත තීරණ ගැනීම සඳහා ඔවුන්ට පුහුණුවක් ලැබෙනවා.

නිදසුනකට දරුවෙක් ඇවිදින්න ඉගෙනගත් ආකාරය ගැන කල්පනා කර බලන්න. ඔහු බිලිඳෙකුව සිටිද්දී දෙමාපියන් ඔහුව උසුලාගෙන යනවා. ටික කාලයක් යන විට ඔහු බඩ ගාගෙන යන්න පුරුදු වෙනවා. පසුව ඔහු ටිකෙන් ටික තනියෙන් ඇවිදින්න පටන්ගන්නවා. එසේ ඇවිදිද්දී අනතුරක් සිදු විය හැකි තැන්වලින් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් එවැනි තැන්වලට බාධක දමනවා. ප්‍රතිඵලය, ඔහුට හොඳින් ඇවිදින්න හැකිවීමයි.

දරුවෙකුට නිදහස ලබා දිය යුත්තෙත් ඒ විදිහටයි. මුලින්ම දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ව උසුලාගෙන ගියා වගේ දරුවන් කුඩා කාලයේදී දෙමාපියන් ඔවුන් වෙනුවෙන් තීරණ ගත්තා. දරුවන් වැඩෙද්දී ඔවුන්ට බඩ ගාගෙන යන්න ඉඩහැරියා වගේ දරුවන් ටිකක් ලොකු වෙද්දී දෙමාපියන් ඔවුන්ට යම් කාරණා ගැන කතා කරන්නත් යම් තේරීම් කරන්නත් අවස්ථාව දෙනවා. ඔවුන් එසේ කළත් දරුවන්ව අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට යම් සීමා පනවනවා. එය හරියට අනතුරුදායක තැන්වලට නොයන සේ බාධක දමනවා වගෙයි. ඉන්පසු තනියෙන් ඇවිදින්න දරුවන්ට ඉඩහරිනවා වගේ දරුවන් ලොකු මහත් වෙන විට තව තවත් තීරණ ගන්න දෙමාපියන් ඔවුන්ට ඉඩ දෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වැඩිහිටියන් වූ විට තමන්ගේම ‘වගකීම් නමැති බර උසුලන්න’ ඔවුන්ට හැකි වෙනවා.—ගලාති 6:5.

කදිම ආදර්ශයක්

වයස අවුරුදු 12දී යේසුස්ට ඔහුගේ දෙමාපියන් යම් තරමක නිදහසක් දී තිබුණා. නමුත් යේසුස් එම නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු දිගටම දෙමාපියන්ට ‘යටත්ව සිටියා’ වගේම ඔහු “ ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි ප්‍රසාදය ලබමින්ද වැඩුණේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 2:51, 52.

යේසුස්ගේ දෙමාපියන්ගේ ආදර්ශය ඔබටත් අදාළ කරගත හැකියි. ඔබේ දරුවා ඔහුට දී තිබෙන නිදහස නිසි අයුරින් භාවිත කරන බව පෙනෙනවා නම් ඔවුන්ට වැඩි නිදහසක් දීම ගැන ඔබට සිතා බැලිය හැකියි. මේ සම්බන්ධව සමහර දෙමාපියන් පවසන දේ දැන් අපි සලකා බලමු.

“මුලින් දරුවන්ගේ හැම කාරණයකටම මම ඕනෑවට වඩා සම්බන්ධ වුණා. ඒත් පස්සේ මම එයාලට යම් යම් ප්‍රතිපත්ති ඉගැන්වුවා. ඒ වගේම ඒ අනුව තීරණ ගන්නත් පුහුණු කළා. ඊටපස්සේ මගේ දරුවන් ගන්න හැම තීරණයක් ගැනම එයලා බැරෑරුම්ව සිතන බව මම තේරුම්ගත්තා.”—කොරියාවේ මිචිකෝ.

“අපි දෙන්නා දරුවන්ට වැඩි නිදහසක් දෙන්න ටිකක් භය වුණා. එහෙම පොඩි භයක් තිබුණත් දරුවන්ට අපි දීලා තියෙන නිදහස එයාලා හොඳින් පාවිච්චි කරද්දී අපි ටිකෙන් ටික එයාලට දුන්න නිදහස වැඩි කළා.”—බ්‍රසීලයේ ඩේසි.

“මගේ පුතාට දීලා තියෙන නිදහස එයා හොඳින් පාවිච්චි කරද්දී එයාව අගය කරන එක කොච්චර වැදගත්ද කියලා මම තේරුම්ගත්තා. ඒ වගේම මම එයාට යම් නීතියක් දැම්මොත් මමත් ඒ නීතිය පිළිපදිනවා. උදාහරණයකට මම යන එන තැන් සහ වෙලාව ගැන එයාට කියනවා. මම ගෙදර එන්න පරක්කු වෙනවා නම් ඒකත් මම එයාට දන්වනවා.”—ඉතාලියේ ඇනා.

“නිදහස කියන දේ ඉබේටම ලැබෙන දෙයක් නෙවෙයි, ඒත් ඒක එයාලා ලබන්න සුදුසු තත්වයක ඉන්න ඕනා කියන දේ අපි පුතාලට තේරුම් කරලා දීලා තියෙනවා.”—බ්‍රිතාන්‍යයේ පීටර්.

වග කිව යුතු වැඩිහිටියෙක් වීමට පුහුණු කිරීම

යොවුන් වියේදීම අද්දැකීම්වලින් ඉගෙනගැනීම අනාගතයේදී වග කිව යුතු වැඩිහිටියෙක් වීමට දරුවන්ට උපකාරයක් වෙනවා. බයිබලයේ ඒ ගැන පවසන්නේ “යොවුන් වියේදීම අභියෝගවලට මුහුණ දීම මනුෂ්‍යයෙකුට යහපත” කියායි. (විලාප ගී 3:27NW) එය කළ හැකි හොඳම ක්‍රමය නම් “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” යන බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිය ඔවුන්ගේ ජීවිතෙන් අද්දකින්න ඔවුන්ට ඉඩහැරීමයි.—ගලාති 6:7.

සමහර දෙමාපියන් දරුවන්ගේ අඥාන ක්‍රියාවලින් අත්වන ඵල විපාක ඔවුන්ටම අත්විඳීමට ඉඩ නොහැර ඔවුන්ව ආරක්ෂා කරගන්නවා. එසේ කරන්නේ හොඳ චේතනාවෙන් විය යුතුයි. නිදසුනකට එක් දරුවෙක් අනවශ්‍ය ලෙස ණය වෙනවා කියා සිතන්න. ඔහු වෙනුවෙන් දෙමාපියන් එම ණය ගෙවා දැම්මොත් එයින් දරුවා මොනවද ඉගෙනගන්නේ? නැත්නම් දෙමාපියන් එම ණය පියවිය හැකි ක්‍රමයක් සැලසුම් කිරීමට ඔහුට උපකාර කර ඔහුටම එම ණය ගෙවීමට ඉඩහැරියොත් එයින් දරුවාට වඩා යහපතක් වෙන්නේ නැද්ද?

දරුවන්ගේ වැරදිවල ප්‍රතිඵලවලින් ඉගෙනගන්න ඔවුන්ට ඉඩ නොහැරීමෙන් දෙමාපියන් දරුවන්ට කරන්නේ අයහපතක්. දෙමාපියන් දරුවන් වැරදි කරන හැම මොහොතකම ඔවුන්ව ආරක්ෂා කිරීමට මැදිහත් වීමෙන් තමන්ව ගලවාගන්න හැමවිටම කෙනෙක් සිටිනවා කියා සිතන්න දරුවන්ව පොලඹවනවා. නමුත් අවශ්‍ය වන්නේ තමන් වපුරන දේ කපාගැනීමට දරුවන්ට ඉඩහැරීමයි. එවිට ඔවුන්ට තමන්ගේ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට පුහුණුවක් ලැබෙයි. එමනිසා “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව” භාවිත කිරීමට ඔවුන්ට හැකියි.—හෙබ්‍රෙව් 5:14.

තවත් අභියෝග

ඇත්තෙන්ම යොවුන් වියේ දරුවන් සිටින දෙමාපියන් විශාල අභියෝගයකට මුහුණ දෙනවා. “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඔවුන්ව ඇති දැඩි කරන්නත් දෙමාපියන් දැඩි වෑයමක් දරනවා.—එෆීස 6:4.

යහපත් ප්‍රමිති දරුවන්ගේ සිත්වලට කාවදින ලෙස උගන්වමින් ඔවුන්ව පුහුණු කිරීම හොඳ දෙමාපියෙකුගේ මූලික වගකීමයි. (ද්විතීය කතාව 6:6-9) නමුත් එය කියන තරම් ලෙහෙසි නැහැ. ඒ ගැන කලින් අදහස් දැක්වූ ටෝනි මෙසේ පවසනවා. ‘දවසින් දවස කතාබහෙන්, හැසිරීමෙන් සහ සිතුවිලිවලින් වෙනස් වෙන පුද්ගලයෙක් එක්කයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දිගටම ඒ වෙනස්කම් තේරුම් අරගෙන ඒ අනුව අපිත් සකස් වෙන්න ඕනේ.’

මෙම ලිපිය පුරා සාකච්ඡා කළ බයිබයේ සඳහන් උපදෙස් අදාළ කරගන්න දැඩි වෑයමක් දරන්න. ඔබේ දරුවා සමඟ කටයුතු කිරීමේදී සාධාරණ වන්න. සැමවිටම දරුවන් ඔබව ආදර්ශයට ගන්නා බව අමතක කරන්න එපා. “දරුවෙකුට අවශ්‍ය නිසි මඟ පෙන්වීම දෙන්න. එවිට ඔහු වැඩුණු කලද එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6NW.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

නිදහස ලබා දීම හරියට ඇවිදින්න උගන්වනවා වගෙයි

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස් ඔහුගේ යොවුන් වියේදී යම් තරමකට නිදහසක් භුක්ති වින්දා

[7වන පිටුවේ කොටුව]

සීමා පැනවීමට පසුබට නොවන්න

ඔබ දරුවන්ට යම් යම් සීමා තහංචි පනවන විට ඔවුන් අමනාප විය හැකි බව ඇත්තයි. නමුත් ඉන් අදහස් වන්නේ ඔබ සීමා තහංචි පැනවීම නතර කළ යුතු බව නොවෙයි. යොවුන් දරුවන්ට අද්දැකීම් නැති බව මතක තබාගන්න. ඔවුන්ට ඔබේ මඟ පෙන්වීම් අත්‍යවශ්‍යයි.—හිතෝපදේශ 22:15.

ලේඛකයෙක් වන ජෝන් රොස්මන්ඩ් ඔහුගේ එක් පොතක මෙවැනි අදහසක් පළ කළා. ‘යොවුන් වියට පා තබද්දී දරුවෙක්ගේ සිතුවිලි, හැඟීම් සහ ඔවුන් කටයුතු කරන ආකාරයේ පවා විශාල වෙනස්කම් දකින්න පුළුවන්. එවැනි වෙනස්කම් නිසා දරුවන් සහ දෙමාපියන් අතර මතගැටුම් ඇතිවිය හැකියි. එය වැළැක්වීම සඳහා සමහර දෙමාපියන් දරුවන් කැමති දේ කිරීමට ඉඩහරිනවා. නමුත් ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ දරුවන්ගේ යහපත වෙනුවෙන් සීමා පැනවීමයි. ඊට දරුවන් එකඟ නොවුණත් ඔවුන්ව නිසි මඟට යොමු කිරීමේ වගකීම ඇත්තේ දෙමාපියන්ට බව දරුවන් තේරුම්ගත යුතුයි.’—New Parent Power! 

[9වන පිටුවේ කොටුව]

දිය හැකි නිදහසේ සීමාව

බොහෝවිට යොවුන් දරුවන් තමන්ට දී තිබෙන නිදහසට වඩා වැඩි නිදහසක් බලාපොරොත්තු වෙනවා. අනෙක් අතට දෙමාපියන් දරුවන්ට දිය හැකි නිදහස සීමා කර තිබෙනවා. නමුත් මෙවන් අවස්ථාවකදී සමබර වීම ඉතාමත් වැදගත්. ඒ සඳහා පහත සඳහන් කරුණු ගැන දෙමාපියන්ට සිතා බැලිය හැකියි. ඔබේ දුව හෝ පුතා වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ මින් කුමන අවස්ථාවලදීද?

ඉහත සඳහන් අවස්ථා කිහිපයකදීම ඔබේ දරුවා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ඔප්පු කර තිබෙනවාද? එසේනම් ඔවුන්ට දී තිබෙන නිදහසට වඩා වැඩි නිදහසක් දිය හැකිද කියා ඔබ සිතා නොබලන්නේ ඇයි?

□ යහළුවන් තෝරාගැනීමේදී

□ ඇඳුම් පැළඳුම් තේරීමේදී

□ මුදල් පරිහරණයේදී

□ නියමිත වේලාවට නිවසට පැමිණීමේදී

□ ගේදොර වැඩපළවලදී

□ පාසැල් ක්‍රියාකාරකම්වලදී

□ වැරදිවලට සමාව ඉල්ලීමේදී

□ වෙනත් ․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

[7වන පිටුවේ පින්තූරය]

දරුවන්ට උපදෙස් දෙන්න පෙර මුලින්ම ඔවුන්ගේ අදහස්වලට සවන් දෙන්න

[8, 9වන පිටුවේ පින්තූරය]

වගකීම් ඉසිලීමට දෙමාපියන් තම දරුවන්ව පුහුණු කළ යුතුයි