Skip to content

පටුනට යන්න

සහෝදරිය හෝ සහෝදරයාගේ සියදිවි නසාගැනීම මට දරාගත හැකිද?

සහෝදරිය හෝ සහෝදරයාගේ සියදිවි නසාගැනීම මට දරාගත හැකිද?

යෞවන අය අසති

සහෝදරිය හෝ සහෝදරයාගේ සියදිවි නසාගැනීම මට දරාගත හැකිද?

එක් දවසක් අදහාගන්න බැරි දෙයක් කිරන්ට ඇගේ පියා ඇවිත් කිව්වා. “අපේ ෂර්මිලාව අපිට නැතිවුණා.” ඉන්පසු ඔවුන් දෙදෙනා දරාගත නොහැකි දුකකින් එකිනෙකාව වැලඳගත්තා. කිරන්ගේ නංගි ඇගේ ජීවිතය නැති කරගනියි කියා ඔවුන් කවදාවත් හිතුවේ නැහැ. *

යෞවනයෙක් මිය ගියොත් බොහෝවිට අනික් අයගේ අවධානය යොමු වෙන්නේ දෙමාපියන් වෙතට පමණයි. නිවසට පැමිණෙන අය පවා බොහෝවිට අසන්නේ “කොහොමද අම්මයි තාත්තායි? එයාලා හුඟක් දුකෙන්ද ඉන්නේ?” නමුත් සහෝදර සහෝදරියන් කෙරෙහි අවධානය යොමු වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඉන් පෙනී යන්නේ මිය ගිය යෞවනයාගේ සහෝදරයන්ව සනසන්න අවශ්‍යයි කියා ඔවුන් එතරම් සිතන්නේ නැති බවයි.

සමීක්ෂණවලින් පෙනී යන විදිහට යෞවනයෙක්ගේ මරණය ඔහුගේ බාල සහෝදරයන්ට ප්‍රබල ලෙස බලපානවා. වෛද්‍යවරයෙක් වන පී. ගිල් වයිට් ඔහුගේ එක් පොතක ඒ ගැන මෙවැනි දෙයක් සඳහන් කළා. “එවැනි මරණයක් ජීවත්ව සිටින ඔහුගේ සහෝදරයන්ගේ සෞඛ්‍යයට, හැසිරීමට, පාසැලේ වැඩවලට, ආත්මවිශ්වාසයට හා වර්ධනයට පවා විශාල බලපෑමක් ඇති කරනවා.”—Sibling Grief—Healing After the Death of a Sister or Brother.

එවැනි සිදුවීමක් වැඩිහිටි සහෝදරයන්ටද ප්‍රබල ලෙස බලපානවා. කිරන්ගේ නංගි මිය යද්දී කිරන් 22 වියේ පසුවුණත් එය ඇයටද දරාගන්න එතරම් ලෙහෙසි වුණේ නැහැ. “දෙමාපියන්ට වඩා මට දුක දැනුණා කියලා මම කියන්නේ නැහැ. හැබැයි මට හිතෙන්නේ එයලාට වඩා මට ඒක දරාගන්න අමාරු වුණා කියලයි.”

කිරන් හා සමාන තත්වයකට ඔබත් මුහුණ දී තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් බයිබල් ලේඛකයෙක් වූ දාවිත්ට හැඟුණා වගේ ඔබටත් හැඟෙනවා විය හැකියි. “මම කලකිරී සම්පූර්ණයෙන්ම ඇද වැටී ඇත. දවස මුළුල්ලේ මම දුකින් ඉබාගාතේ ඇවිද්දෙමි.” (ගීතාවලිය 38:6, නව ලොව පරිවර්තනය, NW) එවන් වේදනාවක් ඔබ දරාගන්නේ කොහොමද?

සිත වද දෙනවා නම් . . .

තම සහෝදරයාගේ මරණය නිසා ඔබේ සිත ඔබට වද දෙනවා විය හැකියි. සමහරවිට ඔබට මෙසේ සිතෙන්න පුළුවන්. ‘මට මීට වඩා එයත් එක්ක හොඳින් කටයුතු කරන්න තිබුණා නම් එයා අදටත් අපිත් එක්ක ඉන්නවා.’ ඒ හා සමාන සිතුවිල්ලක් 21-හැවිරිදි ක්‍රිස් නම් යෞවනයාටත් ඇතිවුණා. වයස අවුරුදු 18ක් වූ තම මල්ලි මිය ගිය විට ක්‍රිස්ට හැඟුණා ආකාරය ගැන ඔහු මෙසේ පවසනවා. “මල්ලි මා එක්ක තමයි අන්තිමේට කතා කළේ. එතකොට මට දැනුණා එයා හුඟක් දුකෙන් ඉන්නවා කියලා. අපරාදේ! මම එයත් එක්ක තව ටිකක් කතා කළා නම් මට එයාගේ හිතේ තිබුණ දේවල් දැනගන්න තිබුණා.”

ක්‍රිස් සහ ඔහුගේ සහෝදරයා අතර එතරම් කිට්ටු බැඳීමක් තිබුණේ නැහැ. ක්‍රිස් ඒ ගැන මහත් වේදනාවකින් මෙසේ පවසනවා. “මගේ මල්ලි මැරෙද්දී මේ වගේ දෙයක් ලියලා ගිහින් තිබුණා. ‘අයියේ ඔයාට මීට වඩා හොඳ සහෝදරයෙක් වෙන්න තිබුණා.’ මම දන්නවා එයා මාව වේදනාවට පත් කරන්න හිතාගෙන නෙමෙයි මේක ලිව්වේ කියලා.” බොහෝවිට ජීවත් වෙලා ඉද්දී ඇති වුණු මතගැටුම්, බහින්බස් වීම් මතක් වෙන විට කෙනෙකුගේ හිත තවත් ඔහුට වද දෙන්න පුළුවන්. කලින් සඳහන් කළ ගිල් වයිට් වෛද්‍යවරයා ඒ ගැන මෙසේ පවසනවා. “මේ වගේ තත්වයන්ට මුහුණ දුන්න හුඟක් යෞවනයන් මා එක්ක කියලා තියෙනවා සහෝදරයා මිය යන්න හුඟක් කලින් ඔහු එක්ක ඇති වුණු බහින්බස් වීම්, කරපු රණ්ඩු මතක් වෙද්දී දරාගන්න බැරි දුකක් ඇති වෙනවා කියලා.”

එවැනි මරණයකට ඔබ වග කිව යුතුයි කියා දිගින් දිගටම සිතෙනවා නම් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘තව කෙනෙක්ගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම පාලනය කරන්න මොන පුද්ගලයාටද අයිතියක් තියෙන්නේ?’ කිරන් ඒ ගැන මෙසේ පවසනවා. “මිය ගිය කෙනා මුහුණ දුන්න තත්වය නැත්නම් ඒ කෙනා ඒකෙන් මිදෙන්න ගත්ත ක්‍රියාමාර්ගයට වග කියන්න ඕනේ ඔබ නොවෙයි.”

ඔබේ මිය ගිය සහෝදරයාට බැණවැදුණු අවස්ථාවක් ගැන මතක් වෙද්දී දැනෙන වේදනාවෙන් මිදෙන්න ඔබට නොහැකි නම් බයිබලයේ සඳහන් මේ කාරණය ගැන සිතා බලන්න. “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.” (යාකොබ් 3:2; ගීතාවලිය 130:3) ඔබේ සහෝදරයාට අකරුණාවන්තව සැලකූ අවස්ථාවන් ගැන දිගින් දිගටම සිතීමෙන් සිදු වෙන්නේ ඔබේ දුක වැඩිවීම විතරයි. නැතුව ඔබ ඒ මරණයට වග කිව යුත්තෙක් නොවෙයි. *

වේදනාව දරාගැනීම

හැම පුද්ගලයෙක්ම එකම විදිහට දුක ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර අය අන් අය ඉදිරිපිට කඳුළු සලමින් අඬනවා. එහි කිසිම වරදක් නැහැ. එක් අවස්ථාවක දාවිත් පවා ඔහුගේ පුත්‍රයා වූ අම්නොන් මිය ගිය විට ‘මහත් හඬින් හැඬූ’ බව බයිබලයේ වාර්තා වෙනවා. (2 සාමුවෙල් 13:36NW) යේසුස් පවා ඔහුගේ මිත්‍රයෙක් වූ ලාසරුස්ගේ මරණය නිසා අන් අය අද්දුටු වේදනාව දැක ‘කඳුළු සැලුවා.’—යොහන් 11:33-35.

අනික් අතට, සමහර අය වේදනාව දැනුණු සැණින් හඬා වැලපෙන්නේ නැහැ. හදිසි මරණයකදී මෙය බොහෝවිට සිදුවිය හැකියි. කිරන් ඇය මුහුණ දුන් තත්වය ගැන පවසන්නේ මෙසේයි. “ඒ වෙලාවේ මං කිසිදෙයක් කර කියාගන්න බැරුව ගල්ගැහිලා වගෙයි හිටියේ.” මේ තත්වය ගැන වෛද්‍ය ගිල් වයිට් මෙවැනි අදහසක් පළ කරනවා. “සියදිවි නසාගැනීම කෙනෙකුව කම්පනයට පත් කරන දෙයක්. කෙනෙකුට මුලින්ම ඒ කම්පනයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා හැඟීම් දැනීම් නැති තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වයෙන් මුදවාගැනීම සඳහා ඔවුන්ට ඇත්ත තත්වය වටහාගන්න සමහර අය උපකාර කරනවා.”

සිදු වී තිබෙන දේ තේරුම්ගෙන යථා තත්වයට පත් වෙන්න යම් කාලයක් ගත වෙනවා. ක්‍රිස් මෙසේ පවසනවා. ‘අපේ පවුලේ අය මුහුණ දුන්න කම්පනයෙන් අපිට යම් දුරකට ගොඩ එන්න පුළුවන් වුණා. ඒත් සුළු ප්‍රශ්නයකදී වුණත් ඒකට මුහුණ දෙන්න දැන් අපිට ලෙහෙසි නැහැ.’ මෙවැනි වේදනාවක් දරාගැනීමට උපකාරවත් වන පහත සඳහන් යෝජනා ඔබට අත්හදා බැලිය හැකියි.

ඔබට සැනසීමක් ගෙන දෙන බයිබල් පද කිහිපයක් ලියා දිනකට එක් වරක්වත් එය කියවන්න.—ගීතාවලිය 94:19.

විශ්වාසවන්ත මිතුරෙක් සමඟ ඔබේ සිතේ තිබෙන දේ ගැන කතා කරන්න. එය ඔබට සහනයක් වෙයි.—හිතෝපදේශ 17:17.

බයිබලයේ පොරොන්දු වී ඇති නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ගැඹුරින් කල්පනා කරන්න.—යොහන් 5:28, 29.

ඔබේ සිතේ තිබෙන දේ යම් පොතක සටහන් කිරීමෙන් ඔබේ දුක තුනී කරගැනීමටද ඔබට හැකි වේවි. මේ සඳහා පහත දැක්වෙන කොටුවේ ඇති යෝජනා ඔබට ක්‍රියාත්මක කළ හැකියි.

මිය ගිය පුද්ගලයා මුහුණ දුන් තත්වය ගැන වෙන කිසිවෙකුට වඩා හොඳින්ම දන්නේ දෙවියි. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබ ගැන දන්නවාට වඩා හොඳින් දෙවි ඔබ ගැන දන්නවා. (ගීතාවලිය 139:1-3) ඒ නිසයි “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” කියා බයිබලයේ පවසන්නේ. (1 යොහන් 3:20) ඔබේ වේදනාව ඔබට දරාගත නොහැකි වන විට බයිබලයේ පවසන මේ වදන් මතක් කරගන්න. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු ඔබව උසුලන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22NW.

වියෝ දුකෙන් පෙළෙන අයට සහනයක්

අපි ආදරය කළ කෙනෙක් මිය ගිය විට දැනෙන වේදනාව සමඟ කටයුතු කරන්නේ කෙසේද කියා තවදුරටත් දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන ප්‍රකාශනය කියවා බලන්න

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 12 ඡේ. අසනීපයකින් හෝ හදිසි අනතුරකින් මරණයක් සිදු වුණත් තත්වය එයමයි. ඔබේ සහෝදයාට ඔබ කොතරම් ආදරය කළත් “නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම්” වළක්වන්න හෝ පාලනය කරන්න ඔබට කිසිසේත් නොහැකියි.—දේශනාකාරයා 9:11NW.

සිතා බලන්න

▪ දරාගත නොහැකි වේදනාවක් ඔබට දැනෙන විටක කතා කළ හැක්කේ කා සමඟද?

▪ වියෝ දුකෙන් පෙළෙන යෞවනයෙක්ට උපකාර කළ හැක්කේ කෙසේද?

[20වන පිටුවේ කොටුව]

ඔබේ වේදනාව අඩු කරගැනීම සඳහා ඔබට දැනෙන දේවල් යම් පොතක ලිවීම ඔබට යම් උපකාරයක් විය හැකියි. ඒ සඳහා පහත සඳහන් සටහන් සම්පූර්ණ කර එහි ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

මගේ සහෝදරයා හෝ සහෝදරිය සමඟ සතුටින් සිටි අවස්ථා තුනක්

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

මගේ සහෝදරයා හෝ සහෝදරිය ජීවත්ව සිටිද්දී මට කියන්න තිබුණා කියා හිතෙන දේවල්

․․․․․

තමන්ගේ සහෝදරියගේ හෝ සහෝදරයාගේ මරණයට තමන්ද වග කිය යුතුයි කියා සිතන කෙනෙක්ට ඔබ පවසන්නේ කුමක්ද?

․․․․․

පහත සඳහන් බයිබල් පද අතුරින් ඔබට වඩාත් සහනයක් ගෙන දෙන්නේ කුමන බයිබල් පදයද? ඒ ඇයි?

□ “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. ඔහු තැළුණු හදවත් ඇති අයව බේරාගනියි.”—ගීතාවලිය 34:18NW.

□ “ඔහු පීඩාවට ලක් වූ තැනැත්තා වැටී ඇති තත්වය නිසා ඔහුව හෙළා දැක්කේවත් පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත. ඔහු ඒ තැනැත්තාගෙන් තම මුහුණ සඟවාගත්තේ නැත. උපකාරය ඉල්ලා මොරගැසූ විට ඔහු ඇහුම්කන් දුන්නේය.”—ගීතාවලිය 22:24, NW.

□ ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට [ඔවුන්] පිටතට එන්නෝය.’—යොහන් 5:28, 29.