Skip to content

පටුනට යන්න

තහනම් දූපතේ වටිනා සම්පත්

තහනම් දූපතේ වටිනා සම්පත්

තහනම් දූපතේ වටිනා සම්පත්

හවායි පිබිදෙව්! ලේඛක විසින්

තහනම් දූපත ලෙස හඳුන්වන නියාලු නම් දූපත වටා තිබෙන මුහුදු රැළ මුහුදු වෙරළ සිපගනිද්දී මුළු වෙරළම බෙල්ලන්ගෙන් පිරී යනවා. ඉතා වටිනා පුංචි බෙල්ලන්ගෙන් ගහන මෙම දූපත ලොව වටිනා සම්පත් අතුරින් පුංචිම සම්පතක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම දූපත ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 180ක් පමණ වන අතර මෙය හවායි දූපත් හතට අයත් කුඩාම දූපත කියා කිව හැකියි.

නියාලු දූපතට කිලෝමීටර් 27ක් පමණ දුරින් පිහිටා තිබෙන කායුආයි නම් දූපත සමඟ සසඳද්දී මෙම දූපත මුහුදු මට්ටමේ සිට හුඟක් පහළින් පිහිටා තිබෙනවා. එතරම් ගස් කොළන් දකින්න නොලැබෙන මෙම දූපත තහනම් දූපත ලෙස හඳුන්වන්නේ ඇයි? ඊට හේතුව යම් කාලයකට පෙර එක් පවුලක් එය මිල දී ගැනීම නිසා ඔවුන්ගේ අවසරයකින් තොරව වෙනත් අයට එහි යෑමට තහනම් වීමයි. තමන්ට අවශ්‍ය දේ තමන්ටම සපයාගන්නා මිනිසුන් වෙසෙන මේ දූපතේ තැපැල් සේවය වැනි පොදු සේවා පහසුකම්ද දකින්න ලැබෙන්නේ නැහැ. මෙම දූපතේ හවායින් භාෂාව කතා කරන මිනිසුන් 230ක් පමණ ජීවත් වෙනවා. තම ජීවිකාව සඳහා ගවයන් සහ බැටළුවන් රැකබලා ගන්නවාට අමතරව මෙම වැසියන් ඔවුන් වටිනා සම්පත් ලෙස සලකන පුංචි බෙල්ලන් එකතු කරන්නද අමතක කරන්නේ නැහැ. *

හොඳින් හිරු රැස් පතිත වන දිනයන්වල මුහුදු වෙරළේ තැම්පත් වී තිබෙන විවිධ වර්ගයේ අගනා සිප්පි කටු ඇහිදීම නියාලු වැසියන්ගේ එකම රාජකාරියයි. මෙසේ අහුලා ගන්නා සිප්පි හොඳින් වේලාගත් පසු ඒවායේ ප්‍රමාණය හා ස්වාභාවය අනුව වර්ග කරනවා. ඉන්පසුව ඔවුන් ඒවායින් කිසිවෙකුට හිතාගන්නවත් බැරි විදිහේ ආකර්ෂණීය ආභරණ නිර්මාණය කරනවා. වෙනත් රටවල මාල සැදීමට මල් භාවිත කළත් මොවුන් ඒ සඳහා භාවිත කරන්නේ සිප්පි කටුයි.

මුහුදෙන් ආභරණ

හවායි දූපත්වල තිබෙන සිප්පි කටුවලින් ආභරණ සෑදීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවෙයි. දහඅටවන සියවසේ අගභාගයේදී දේශ ගවේෂක කැප්ටන් ජේම්ස් කුක් ඇතුළු තවත් ගවේෂකයන් එම දූපත්වලින් සොයාගත් සිප්පි කටුවලින් සෑදූ විවිධ විසිතුරු ආයිත්තම් ලබාගෙන තිබෙන අතර ඒ ගැන ඔවුන්ගේ පොත් පත්වලද සඳහන් කර තිබෙනවා. ඔවුන් නියාලු දූපතෙන්ද එවැනි දෑ ලබාගෙන තිබෙන බවට සාක්ෂි තිබෙනවා. කාලයක් ගත වෙද්දී උසස් පැළැන්තියේ කාන්තාවන් හා නර්තන ශිල්පීන් නිතර ඔවුන්ගේ ගෙල සරසා තිබුණේ සිප්පි කටු මාලවලිනුයි. කෙසේවෙතත් දෙවන ලෝක මහා යුධ සමයේදී මේ දූපත් හරහා ගිය සොල්දාදුවන් හා සංචාරකයන් නිසා මෙම ආකර්ෂණීය ආභරණ පිටස්තරයන් අතරද ප්‍රචලිත වෙන්න පටන්ගත්තා. අතීතයේදී උසස් පැළැන්තියේ කාන්තාවන් පැළදූ ආභරණ ලබාගන්න අද බොහෝ සංචාරකයන් කැමැත්තෙන් සිටිනවා.

එවැනි මාල සෑදීමට යොදාගන්නා විවිධ වර්ණ සහ හැඩයෙන් යුත් සිප්පි වර්ග මෝමී, ලායිකී, කාහෙලිලානි යන නම්වලින් හඳුන්වනවා. මේ සිප්පිවලින් මාල සාදන එක එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් මේවා නිර්මාණය කරන කාන්තාවන් හුඟක් දක්ෂ වෙන්න ඕනේ. මෝමී නම් සිප්පි, ස්වභාවය අනුව වර්ග විස්සකට බෙදන්න පුළුවන්. එක් මෝමී වර්ගයක් බිත්තරයක හැඩය ගන්නා අතර එය සුදු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා විවිධ වර්ණ ගණනාවක් දැකගන්න පුළුවන්. මිලිමීටර් දහයක් තරම් කුඩා දිලිසෙන මෝමී සිප්පි වර්ගයකින් සාදාගන්නා මාලය නිම කළ පසු එය හරියට පිච්ච මල්වලින් සෑදූ මල් මාලයක් වගෙයි. එය මිලෙන් අධිකයි.

බත් ඇටයක හැඩයෙන් යුත් ලායිකී නම් සිප්පි වර්ගයෙන් නිර්මාණය කරන මාල බොහෝවිට පළඳින්නේ මනමාළියන්. සුදු පාට, ඇත්දළ පාට සහ දුඹුරු පාටින් යුත් මේ වර්ගයේ සිප්පිවලින් සාදන මාල ඉතාමත් ආකර්ෂණීයයි. කාහෙලිලානි නම් රවුම් හැඩයක් ගන්නා සිප්පි වර්ගය ප්‍රමාණයෙන් මිලිමීටර් පහක් පමණ වෙනවා. මේ පුංචි සිප්පිවලින් නම් මාල හදන එක හුඟක් අමාරු කාර්යයක්. ඒ වගේම එවායින් සාදන මාල ඉතා මිල අධිකයි. එමෙන්ම තද රෝස පැහැයෙන් යුත් කාහෙලිලානි සිප්පි අනික් ඒවාවලට වඩා තුන් ගුණයකින් මිලෙන් අධිකයි. ඒ වගේම මෙම වර්ගයේ දම් පාටට හුරු රතු පාට සිප්පිද දැකගන්න පුළුවන්.

මාල සාදන ක්‍රමය

මාලයක් සාදන විට ඔවුන් මුලින්ම කරන්නේ මෝස්තරය තීරණය කරගැනීමයි. ඉන්පසුව සිප්පි කටුවල තිබෙන වැලි ඉවත් කර උල්කටුවකින් ඒවා සිදුරු කරගන්නවා. කොපමණ දක්ෂ කෙනෙක් අතින් වුණත් මේවා සිදුරු කරද්දී ඉන් තුනෙන් එකකට හානි සිදු වෙනවාමයි. ඒ නිසා මාලය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සිප්පි ප්‍රමාණය සොයාගැනීමට අවුරුදු ගණනාවක් වුණත් ගත වෙන්න පුළුවන්. මේ නිසා වැඩිපුර සිප්පි ළඟ තබාගැනීම නුවණට හුරුයි. සිප්පි සිදුරු කළ පසු ඒවා ඇමිණීම සඳහා යොදාගන්නා නූල්වල ඔවුන් මීඉටි හෝ සිමෙන්ති වර්ගයක් අලේප කරගන්නවා. මෙසේ කරන්නේ එම නූල හොඳින් ශක්තිමත් කරගැනීමටයි. මාලයට සිප්පි අමුණාගත් පසුව ඔවුන් මාලයේ දෙකෙළවර එකට සම්බන්ධ කිරීමට සඳහා මුලින්ම පුංචි බොත්තක හැඩය ගන්නා පූකා නම් වර්ගයේ සිප්පි දෙකක්ද කවඩි දෙකක්ද ඊට එකතු කර තම නිර්මාණය අවසන් කරගන්නවා.

විවිධ වර්ගයේ සිප්පි තිබෙන තරමටම දැකුම්කලු නිර්මාණයන් කරන්න පුළුවන්. නිදසුනකට මිනිසුන් අතර හුඟක් ප්‍රචලිත තනි පොටකින් යුත් මාල වර්ගයක් තිබෙනවා. එය දිගින් සෙන්ටිමීටර් 150ත් 190ත් අතර වෙනවා. එය නිර්මාණය කරන්න ඔවුන් සුදු පාට මෝමී නම් සිප්පි යොදාගන්නවා. තවත් එක් මාල වර්ගයක් සඳහා කෙහෙලිලානි නම් පුංචි සිප්පි යොදාගන්නා අතර එමගින් කරන නිර්මාණයන් හුඟක් සියුම් ඒවායි. ඒ විතරක් නොවෙයි විවිධ වර්ගයේ සිප්පි සමඟ පබළුද අමුණා නිර්මාණය කරන වෙනත් මාල වර්ගද මේ දක්ෂ කාන්තාවන් අතින් නිර්මාණය වෙනවා. ඇත්තෙන්ම සිප්පිවලින් මාල සෑදීම හුඟක් ඇස් වෙහෙස කරවන දෙයක් වගේම බොහෝ කාලයක් වැය වෙන වැඩක්. ඒ මොනවා වුණත් කිසිවකට සම කළ නොහැකි සියුම් මෙන්ම ආකර්ෂණීය සිප්පි කටු මාල නිර්මාණ කරන්න නියාලු වැසියන්ට තිබෙන්නේ පුදුම ඉවසීමක් මෙන්ම දක්ෂතාවක්. ඔවුන් මෙසේ නිර්මාණය කරන මාල ඩොලර් දහස් ගණනකට අළෙවි කිරීමට හැකි වීම පුදුමයක් නෙමෙයි.

ලොව අනිකුත් දූපත් සමඟ සසඳද්දී නියාලු කියන්නේ එතරම් ආකර්ණීය නොවන දූපතක් බව ඇත්තයි. නමුත් එහි වැසියන් තමන්ගේ වටිනා සම්පතක් ලෙස සලකන මනරම් සිප්පිවලින් කරන නිර්මාණයන් නිසා තහනම් දූපතේ සැඟවුණු ලස්සන මුළු ලොවටම කියා පායි!

[පාදසටහන]

^ 4 ඡේ. නියාලු දූපතට අමතරව ඊට යාබදව තිබෙන අනික් හවායි දූපත්වලද පැසිෆික් දූපත්වලද අලංකාර සිප්පි කටු සොයාගත හැකි අතර එම සිප්පි කටුවල ප්‍රමාණය හා ස්වභාවය එකිනෙකට වෙනස්.

[24, 25වන පිටුවේ පින්තූරය]

වේලාගත් සිප්පි කටු වර්ග කර පසුව ඒවායින් අලංකාර මාල නිර්මාණය කරයි

[හිමිකම් විස්තර]

© Robert Holmes

[25වන පිටුවේ පින්තූරය]

මෝමී සිප්පි කටු

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© drr.net