Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මඟ

ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මඟ

ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මඟ

විවාහය කියන්නේ හරියට දිගු ගමනක් වගෙයි. එවැනි ගමනකදී ප්‍රීතිමත් මෙන්ම බලාපොරොත්තු නොවූ තත්වයන්ටද මුහුණ දෙන්න ඔබට සිදු වෙනවා. සමහර තත්වයන් උද්ගත වෙද්දී ඒවාට මුහුණ දෙන්න අමාරුයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් එම ගමන ප්‍රීතිමත් එකක් කරගන්න ඔබට පුළුවන්. විවාහයත් හරියට ඒ වගෙයි. බොහෝ යුවළයන් විවාහ දිවියේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නත් එය සාර්ථක කරගෙන විවාහ දිවියේ උපරිම ප්‍රීතිය අත් කරගෙන තිබෙනවා. ඇත්තෙන්ම යම් යුවළක් අඩුවෙන් ප්‍රශ්නවලට මුහුණ දෙනවා කියන්නේ එම විවාහය සාර්ථකයි කියන එක නොවෙයි. නමුත් විවාහයක් සාර්ථකද නැද්ද කියා තීරණය වෙන්නේ යුවළක් තමන් මුහුණ දෙන ප්‍රශ්න කොතරම් හොඳින් හසුරුවනවාද යන්න මතයි.

විවාහය නමැති ගමන සාර්ථක කරගන්න කෙනෙකුට උපකාරවත් වන්නේ කුමක්ද? දිගු ගමනකදී හරි පාර සොයාගැනීමට නිවැරදි මාර්ග සිතියමක් අවශ්‍ය වෙනවා වගේ ප්‍රීතිමත් විවාහයකට මඟ පෙන්වන්න නිවැරදි මාර්ග සිතියමක් අවශ්‍යයි. එවැනි මාර්ග සිතියමක් මිනිසාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙනවා. ඒ තමයි ඔහුගේ වචනය වන බයිබලය. නමුත් බයිබලය අප ළඟ තිබූ පමණින් විවාහය සාර්ථක කරගන්න බැහැ. ඒ සඳහා එහි ඇති මඟ පෙන්වීම් අදාළ කරගත යුතුයි.—ගීතාවලිය 119:105; එෆීස 5:21-33; 2 තිමෝති 3:16.

මෙලෙස විවාහය නමැති ගමන සාර්ථකව යෑමට උපකාරවත් වන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් කිහිපයක් දැන් අපි සලකා බලමු.

විවාහය පරිශුද්ධ දෙයක් ලෙස සලකන්න. “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” (මතෙව් 19:6) මුල් මිනිසා වූ ආදම්ට ඔහුගේ සහකාරිය ලෙස ඒවව ලබා දුන් අවස්ථාවේදී යෙහෝවා දෙවි විවාහය නමැති සැලැස්ම ආරම්භ කළා. (උත්පත්ති 2:21-24) යේසුස් මේ පොළොවට පැමිණෙන්න පෙර එම අවස්ථාව ස්වර්ගයේ සිට සියැසින් දුටුවා. එදා ආදම් සහ ඒව අතර ඇති වූ බැඳීම සදාතනික බැඳීමක් වූ බව තහවුරු කරමින් එක් අවස්ථාවක යේසුස් මෙසේ පැවසුවා. “ඔවුන්ව මැවූ තැනැත්තා පටන්ගැන්මේ සිට පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව මැවූ බවත්, ‘ඒ නිසා, මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය කියාද, ඒ දෙදෙනා එක මාංසයක් වන්නෝය’ කියාද පැවසූ බවත් ඔබ කියවා නැද්ද? මෙසේ ඔවුහු එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:4-6.

එහිදී යේසුස් ‘දෙවි එක් කළ දෙය’ කියා පැවසීමෙන් අදහස් කළේ යම් කෙනෙක් විවාහ විය යුත්තේ කවුරුන් සමඟද කියා තීරණය කරන්නේ දෙවියි කියන කාරණය නොවෙයි. ඒ වෙනුවට විවාහය නමැති සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවි බව ඔහු එමගින් සනාථ කළා. ඒ නිසා එය පරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතුයි. *

සෑම යුවළකගේම බලාපොරොත්තුව වන්නේ ආදරය, සෙනෙහස පිරුණු ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරමින් ජීවිත කාලය පුරාවට ‘එක්ව’ විසීමයි. යෙහෝවා දෙවි බයිබලයෙන් දෙන මඟ පෙන්වීම් යුවළක් අදාළ කරගන්නවා නම් ඔවුන්ට ස්ථිර වශයෙන්ම එවැනි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්.

නමුත් අපි හැම කෙනෙක් අතින්ම වැරදි සිදු වෙන නිසා විවාහකයන් අතර පවා වරදවා වටහාගැනීම් හා එකඟ නොවීම් ඇති වෙන්න පුළුවන්. විවාහයක සාර්ථකත්වය තීරණය වෙන්නේ යුවළක් කොතරම් දුරට ගැළපෙනවාද කියන දේ මත නොවෙයි. ඒ වෙනුවට ඔවුන් අතර ඇති වෙන එකඟ නොවීම් කොතෙක් දුරට සාර්ථකව ඔවුන් හසුරුවනවාද යන්න මතයි. බයිබලයේ පවසන ආකාරයට ප්‍රේමය කියන්නේ ‘එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්.’ ඒ නිසා දෙදෙනෙක් අතර යම් ගැටලුවක් ඇති වුණොත් එම වගන්තියට අනුව එය ප්‍රේමණීයව විසඳාගැනීමට යුවළක් ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි.—කොලොස්සි 3:14.

කතාබහේදී ගෞරවනීය වන්න. “නොසැලකිලිමත් ලෙස කතා කරන්නාගේ වචන කඩුවෙන් අනින්නාක් මෙනි. නමුත් ප්‍රඥාවන්තයන්ගේ වචන සුවය ගෙන දෙයි.” (හිතෝපදේශ 12:18, නව ලොව පරිවර්තනය, NW) ඔබ ආදරේ කරන කෙනෙක් සිතන්නේ බලන්නේ නැතුව කතා කළොත් ඔබට මොන තරම් වේදනාවක් දැනෙයිද! ඒ නිසා කතාබහේදී නිතරම ප්‍රේමණීය මෙන්ම ගෞරවනීය වෙන්න වෑයම් කරන්න. ඒ සඳහා යෙහෝවා දෙවිගෙන්ද උපකාරය ඉල්ලන්න ඔබට පුළුවන්. (එෆීස 4:31) සමීක්ෂකයන් පවසන ආකාරයට ගෞරවනීය ආකාරයෙන් සංවාදයක් ආරම්භ කිරීමෙන් සාර්ථකව එය අවසන් කළ හැකියි. වසර 44ක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන එක් ජපන් කාන්තාවක් වන හාරූකෝ * මෙසේ පැවසුවා. “අපි දෙන්නම අපි දෙන්නගේ තියෙන දුර්වලකම් දකිනවා. ඒත් අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ කතා කරද්දී ගෞරවයෙන් හා ප්‍රේමණීයව ඒක කරන්නයි. ඒ වගේම අපි එක් එක්කෙනාගේ හොඳ ගුණාංග අගය කරන්නත් අපි නිතරම උත්සාහ කරනවා.”

කාරුණික මෙන්ම දයානුකම්පිත වන්න. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න.” (එෆීස 4:32) දෙදෙනෙක් අතර ඇති වන මතගැටුමකදී එක් කෙනෙක් කෝපයෙන් කටයුතු කළොත් අනික් තැනැත්තාද ඉක්මනින් කෝප වීමට පෙලඹෙනවා. වසර 34ක් පුරා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන ජර්මනියේ වෙසෙන ඇනට් මෙවැනි දෙයක් පැවසුවා. “මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක සන්සුන් වෙන එක හරිම අමාරුයි. ඒ වෙලාවට අනික් කෙනාගේ හිත රිදෙන වචනයක් දෙකක් පිට වෙනවාමයි. හැබැයි ඒකෙන් වෙන්නේ ඒ ප්‍රශ්නය තවත් වැඩි වෙන එක විතරයි.” ඒ නිසා නිතරම කාරුණික මෙන්ම දයානුකම්පිත වීමට උත්සාහ කරන්න.

යටහත්පහත් වන්න. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත් පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න.” (ෆිලිප්පි 2:3) යම් ගැටලුවක් ඇති වූ විටකදී ඊට විසඳුම් සොයනවා වෙනුවට උඩඟු ලෙස අනික් තැනැත්තාට දොස් නැඟීමට උත්සාහ කිරීම නිසා බොහෝ යුවළයන් අතර මතගැටුම් හටගන්නවා. නමුත් යටහත්පහත් වෙමින් නිතරම තමන් හරියි කියා ඔප්පු කිරීමට උත්සාහ නොගෙන ගැටලුව විසඳාගැනීමට වෑයම් කරන්න.

කෝප වීමට ප්‍රමාද වන්න. “කේන්ති යෑමට ඉක්මන් නොවන්න.” (දේශනාකාරයා 7:9NW) ඔබ කරපු කියපු දෙයක් ගැන ඔහු හෝ ඇය ඔබෙන් අසද්දී ඔබේ වරද වසාගැනීමට උත්සාහ කරන්න එපා. හැමවිටම ඔහු හෝ ඇය දරන මතයට වඩා වෙනස් මතයක් දරන්න උත්සාහ නොකර ඔහු හෝ ඇය ඔබට පවසන දේ තේරුම්ගන්න උත්සාහ කරන්න. අසන දේට පිළිතුරු දීමට පෙර දෙවරක් ඒ ගැන සිතන්න. වාද කර දිනනවාට වඩා තමන්ගේ සහකාරයාගේ සිත දිනාගැනීම වැදගත් බව බොහෝ යුවළයන් තේරුම්ගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩියි.

සාවධානව සවන් දෙන්න. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) සාර්ථක විවාහ ජීවිතයකට හොඳ අදහස් හුවමාරුවක් අත්‍යවශ්‍යයි. නමුත් “නිහඬව සිටීමට කාලයක්” තිබෙන බව බයිබලයේ පවසන්නේ ඇයි? (දේශනාකාරයා 3:7NW) හොඳ අදහස් හුවමාරුවක වැදගත් අංගයක් වන්නේ සවන් දීමයි. ඒ නිසා ඔබ අනික් තැනැත්තාට සාවධානව සවන් දීමට නම් ඔබ නිහඬ විය යුතුයි. එසේ කිරීමෙන් ඔහු හෝ ඇය පවසන්න උත්සාහ කරන දේ හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වෙනවා.

එකිනෙකාව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න. හඬන අයත් සමඟ හඬන්න.” (රෝම 12:15) අර්ථවත් අදහස් හුවමාරුවකදී එකිනෙකාව තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. එසේ කිරීමෙන් යම් කාරණයක් ගැන අනික් තැනැත්තාට හැඟෙන ආකාරය හොඳින් තේරුම්ගන්න ඔබට හැකි වෙනවා. එමෙන්ම තමන්ට හැඟෙන දේ භය නැතුව පැවසීමටද ඒ තුළින් හැකිකම ලබා දෙනවා. විවාහ වී වසර 32ක් පමණ වන බ්‍රසීලයේ වෙසෙන නෙලී මෙසේ පැවසුවා. “මොකක්හරි දෙයක් ගැන කතා කරද්දී මම හුඟක් හොඳට ඇහුම්කන් දෙනවා. එතකොට මට පුළුවන් මැන්වෙල්ට ඒ කාරණය ගැන හැඟෙන්නේ කොහොමද කියලා හොඳින් තේරුම්ගන්න.”

එකිනෙකාව අගය කරන්න. “ස්තුතිවන්ත වන බවද පෙන්වන්න.” (කොලොස්සි 3:15) තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ව නිතරම අගය කරන බව සාර්ථක විවාහ ජීවිත ගත කරන යුවළයන් හොඳින්ම දන්නා දෙයක්. එක් මනෝ වෛද්‍යවරියක් වන එලන් වාක්ටල් ඒ ගැන මෙසේ පැවසුවා. ‘බොහෝ යුවළයන්ට පුළුවන් ඔවුන් තමන්ගේ සහකරුවාව අගය කරන බව හැඟෙන්න සලස්වන්න. නමුත් එයාලා ඒ ගැන එච්චර හිතන්නේ නැහැ.’

බොහෝ භාර්යාවන් කැමතියි තමන්ගේ ස්වාමිපුරුෂයා තමන්ව හුඟක් අගය කරනවාට. ඒ වගේම තමන් ගැන සැලකිලිමත් වන බව පෙන්වනවාට. මෙලෙස ස්වාමිපුරුෂයෙක් තමන්ගේ භාර්යාවගේ හොඳ ගුණාංග සහ ක්‍රියා අගය කරද්දී විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

ස්වාමිපුරුෂයෙක් වචනයෙන් වගේම ක්‍රියාවලින්ද තමන්ගේ අගය සහ ආදරය පළ කිරීම ඉතාමත් වැදගත්. ඇය තමන්ට වටිනා වස්තුවක් කියා භාර්යාවට හැඟෙන්න සැලැස්වීමට පුංචි පුංචි දේවල් කරන්න ස්වාමිපුරුෂයෙක්ට පුළුවන්. සමහරවිට සිපගැනීමකින්, සිනහවකින්, බැල්මෙන් පවා එසේ කළ හැකියි. ඔබ දෙදෙනා එකට නොසිටින අවස්ථාවකදී දුරකථන ඇමතුමක් හෝ වෙනයම් ක්‍රමයකින් තමන් ඇය ගැන සැලකිලිමත් වන බව පෙන්වන්න ඔබට පුළුවන්.

ඊශ්‍රායෙලයේ සිටි රජෙක් වන ලෙමුවෙල්ගේ මව ස්වාමිපුරුෂයකුගෙන් අගය ලබන භාර්යාවක් ගැන මෙවැන්නක් පැවසුවා. “ඇගේ ස්වාමිපුරුෂයා නැඟිට ඇයට ප්‍රශංසා කරයි. දූවරුන් බොහෝදෙනෙක් සිටින බව සැබෑවකි. නමුත් ඔබ ඒ සියලුදෙනාටම වඩා උතුම්ය.” (හිතෝපදේශ 31:1, 28, 29NW) මෙලෙස ඔබත් ඔබේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාව අවසන් වරට අගය කළේ කවදාද කියා සිතා බලන්න.

සමාව දෙන්න. “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.” (එෆීස 4:26) ඔබ දෙදෙනාම අතින් වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාට සමාව දීම ඉතාමත් වැදගත්. විවාහ වී වසර 43ක් පසු කර සිටින දකුණු අප්‍රිකාවේ ක්ලයිව් සහ මානිකට ඉහත සඳහන් බයිබල් වගන්තිය බොහෝ සෙයින් උපකාරවත් වී තිබෙනවා. ‘එපීස 4:26 තියෙන උපදෙස අපි නිතරම අදාළ කරගන්න උත්සාහ කරනවා. අපි දන්නවා එහෙම කරන එකෙන් දෙවි හුඟක් සතුටු වෙනවා කියලා. ඒ නිසා නින්දට යන්න කලින් අපි කොහොමහරි අපේ ගැටලුව විසඳගන්නවා.’

බයිබලයේ පවසන්නේ ‘වරද අමතක කර දැමීම අලංකාර ගුණාංගයක්’ කියායි. (හිතෝපදේශ 19:11) ඒ අලංකාර ගුණාංගය විවාහයකට අත්‍යවශ්‍ය බව කලින් අදහස් දැක්වූ ඇනට් පැවසුවා. “විවාහයක් සාර්ථක වෙන්න නම් එකිනෙකාට සමාව දෙන්නම ඕනේ. නැත්නම් එකිනෙකාව නුරුස්නාගතියක් හෝ අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. එහෙමවුණොත් විවාහ ජීවිතයට ඒක හුඟක් නරක විදිහට බලපානවා. ඒ වෙනුවට එකිනෙකාට සමාව දීමෙන් විවාහ බැඳීම ශක්තිමත් කරගෙන දෙදෙනාට තවත් ළං වෙන්න හැකි වෙනවා.”

ඔබ දෙදෙනා අතින් සිත රිදවන යමක් සිදුවුණත් ඔහු හෝ ඇය එය අමතක කර දමයි කියා සිතන්න එපා. ඒ වෙනුවට ඔබ අතින් යම් වරදක් සිදු වූ බව පිළිගෙන සමාව ඉල්ලන්න. එවිට ඔබේ සිතින් ලොකු බරක් නිදහස් වුණා වගේ ඔබට දැනෙයි. එයින් ඔබට අනික් තැනැත්තාගේ ගෞරවය දිනාගන්න පුළුවන් වෙනවා වගේම ඔබ දෙදෙනා අතර තිබෙන විශ්වාසය සහ සාමයද තවත් වැඩි කරගන්න පුළුවන්.

විවාහ පොරොන්දුවට එකඟව කටයුතු කරන්න. “ඔවුහු [ස්වාමිපුරුෂයා සහ භාර්යාව]එතැන් පටන් දෙදෙනෙකු නොව එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!” (මතෙව් 19:6) විවාහයෙන් පසු මොනයම් ගැටලුවක් අද්දැක්කත් ඔබ දෙදෙනා දිවි ඇති තුරා එකට සිටින බවට දෙවි සහ වෙනත් අය ඉදිරියේ පොරොන්දු වෙනවා. * එම පොරොන්දුව කොළ කෑල්ලකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රියාවෙන් ඒ බව පෙන්විය යුතුයි. එසේ කිරීමේදී ඔබ දෙදෙනා ඇත්තටම එකිනෙකාට ආදරය සහ ගෞරවය පෙන්වන බවත් දෙවිට ගෞරවය කරන බවත් පෙන්වන්න අවශ්‍යයි. කිසිම විදිහකින් වෙනත් අය සමඟ ප්‍රේම සබඳතා ඇති කරගනිමින් ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ විශ්වාසය බිඳ දමන්න එපා.—මතෙව් 5:28.

එකිනෙකා වෙනුවෙන් ඇප කැප වන්න. “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලිප්පි 2:4) ඔබ නිතරම අනික් තැනැත්තාගේ අවශ්‍යතා සහ ආශාවන්ට මුල් තැන දී කටයුතු කිරීමෙන් විවාහ බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. වසර 20ක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් භුක්ති විඳින ප්‍රෙම්ජීගේ භාර්යාව හුඟක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසා ඔහු ඇගේ වැඩ පහසු කරවීම සඳහා සෑමවිටම ගෙදර දොර වැඩ කටයුතුවලට උපකාර කරනවා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “මම රීටාට ගෙදර තියෙන හැම වැඩකටම උදව් වෙනවා. එතකොට එයාට පුළුවන් එයාගේ අනික් වැඩත් සතුටින් වගේම හොඳට කරගෙන යන්න.”

ඔබේ වෑයමට සාර්ථක ප්‍රතිඵල

විවාහයේ සාර්ථකත්වය අද්දකින්න විශාල වෙහෙසක් දැරිය යුතු බව ඇත්තයි. නමුත් ඒ නිසාම මෙතෙක් දුර ගෙවා ඔබ ඇවිත් තිබෙන ඒ දිගු ගමන අතරමඟ නතර කරන්න සිතන්නවත් එපා. එලෙස එම ගමන සාර්ථක කරගන්න ඔබ මේ වන තෙක් දරා ඇති වෙහෙස අපතේ යෑමට ඉඩ දෙන්න එපා.

වසර 33ක් පුරා ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන සිඩ් මෙසේ පැවසුවා. “විවාහය සාර්ථක කරගන්න උවමනාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා දැඩි වෑයමකුත් දරන්න ඕනේ. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.” විවාහ ජීවිතයේ විවිධ පීඩන එල්ල වෙද්දී එකිනෙකා සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් ප්‍රීතිය අද්දකින්න වෑයම් කරන්න. එසේ කිරීමෙන් එම ගමනේ උපරිම සතුට භුක්ති විඳිමින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වෙනවා නොඅනුමානයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යේසුස් පෙන්වා දුන් පරිදි යම් කෙනෙක් විවාහයෙන් පිටත ලිංගික ඇසුරක් පැවැත්වූවොත් නිර්දෝෂී තැනැත්තා කැමති නම් දික්කසාද විය හැකියි. ඒ වගේම නැවත විවාහ වීම සඳහාද අවසර තිබෙනවා.—මතෙව් 19:9.

^ 9 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 22 ඡේ. එක් අයෙක් විවාහයෙන් පිටත ලිංගික ඇසුරක යෙදුණොත් නිර්දෝෂී පුද්ගලයා කැමති නම් දික්කසාද වීමට බයිබලයේ අවසර දී තිබෙනවා. (මතෙව් 19:9) වර්ෂ 1995 අගෝස්තු 08 පිබිදෙව්! කලාපයේ “බයිබලයේ දෘෂ්ටිකෝණය කාමමිථ්‍යාචාරය සමාව දිය යුතුද නැද්ද” යන ලිපිය බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය හරියට විවාහය නමැති දිගු ගමනට මඟ පෙන්වන මාර්ග සිතියමක් වගෙයි

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ගැටලුවක් ගැන කතා කිරීමේදී

විවේකීව සිටින වේලාවක් තෝරාගන්න.

චෝදනා කිරීමෙන් වැළකී එකිනෙකාගේ හොඳ දකින්න උත්සාහ කරන්න.

සාවධානව සවන් දෙන්න, ඔබට හැඟෙන දේ නොසඟවා පවසන්න.

එකිනෙකාව තේරුම්ගන්නා බව හැඟෙන්න සලස්වන්න.

එකඟ නොවන විටකදී පවා එකිනෙකාගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කරන්න.

තමාගේම මතයේ එල්බ ගෙන නොසිට සාධාරණ වන්න.

ඔබ අතින් වරදක් සිදු වී ඇත්නම් සමාව ඉල්ලන්න.

එකිනෙකාව අගය කරන්න.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සාර්ථක විවාහයකට

බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගන්න.

එකට කාලය ගත කරන්න.

එකිනෙකාට ආදරය කරන්න.

එකිනෙකාට විශ්වාසවන්ත වන්න.

කරුණාව මෙන්ම ගෞරවය පෙන්වන්න.

නිවසේ වැඩ සහයෝගයෙන් කරන්න.

අර්ථවත් අදහස් හුවමාරුවක් පවත්වාගන්න.

විනෝදයෙන් එකට කාලය ගත කරන්න.

විවාහ බැඳීම ශක්තිමත් කරගැනීමට දැඩි වෑයමක් දරන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබෙන්ම අසාගන්න

භාර්යාවක් හෝ ස්වාමිපුරුෂයෙක් හැටියට මගේ දුර්වලකම් මොනවාද?

ඒ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද?