Skip to content

පටුනට යන්න

මට සතුටින් දෙවිට නමස්කාර කළ හැකිද?

මට සතුටින් දෙවිට නමස්කාර කළ හැකිද?

යෞවන අය අසති

මට සතුටින් දෙවිට නමස්කාර කළ හැකිද?

වයස අවුරුදු 16ක් වූ ජොෂුවාගේ පවුලේ සියලුදෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් සෑම දවසකම සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට සහභාගි වෙනවා. ඒත් කාලයක් යද්දී ජොෂුවාට රැස්වීම්වලට තිබුණු උනන්දුව අඩු වුණා. එක දවසක් ඔහු නිදාගෙන ඉන්න විට ඔහුගේ මව ඇවිත් මෙහෙම කිව්වා. “ජොෂුවා නැඟිටින්න. ඔයා දන්නවා නේද අද රැස්වීම් තියෙනවා කියලා.”

“අනේ අම්මේ මම එන්නම ඕනෙද?”

“කට වහගෙන ගිහින් ඇඳගන්න. ඔයා නිසා අදත් මට පරක්කු වෙන්න බැහැ” කියා පවසමින් මව කාමරයෙන් පිට වී ගියා.

“අම්මා, මේක ඔයාගේ ආගම. ඒ කියන්නේ ඒක මගේ කියන එක නෙමෙයිනේ.” ඔහු පැවසූ දේ මවට ඇසුණු බව ඔහු දන්නවා.

මවගේ සිත රිදවන්න ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා කටින් පිට වුණ දේ ගැන ඔහුට දුක හිතුණා. ඒත් මවගෙන් සමාව ඉල්ලන්න තරම් ඔහුට උවමනාවක් තිබුණේ නැහැ.

කොහොමවුණත් ජොෂුවාට කරන්න තිබුණේ රැස්වීමට යන එක විතරයි. පසුව ජොෂුවා මෙහෙම සිතනවා. “මම රැස්වීම් යන අනිත් ළමයි වගේ නෙමෙයි. මට තනියෙන් තීරණ ගන්න පුළුවන් වෙන කොට මමම තීරණය කරනවා මොකක්ද මම කරන්න ඕනේ කියලා!”

ඔබටත් කවදා හරි ජොෂුවට හැඟුණා වගේ හැඟිලා තියෙනවද? දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ දේවල් අනිත් අය හුඟක් ආශාවෙන් කරද්දී ඔබ ඒවා කරන්නේ අකමැත්තෙන්ද? මේ දේවල් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

▪ බයිබලය අධ්‍යයනය කිරීම

▪ ශුභාරංචිය අන් අය සමඟ කතා කිරීම

▪ රැස්වීම්වලට සහභාගි වීම

ඉහත සඳහන් දේවලින් එකකට හෝ ඔබ අකමැති නම් අධෛර්යය වෙන්න එපා. ඔබට කරන්න තියෙන්නේ සුළු සකස් කිරීම් කිහිපයක් විතරයි. එහෙම කළොත් ඔබ දෙවිට කරන නමස්කාරය ප්‍රීතියෙන් කිරීමට හැකි වෙනවා. දැන් අපි ඒ ගැන සලකා බලමු.

පළමුවන අභියෝගය:

බයිබලය අධ්‍යයනය කිරීම අභියෝගයක් වන්නේ ඇයි? ඔබට හිතෙන්න පුළුවන් ඔබ පොත පතේ වැඩට එච්චර උනන්දුවක් දක්වන්නේ නැති කෙනෙක් කියලා. එහෙම නැත්නම් යම් දෙයකට දිගටම අවධානය දෙන්න ඔබට අමාරු වෙන්න පුළුවන්. සමහරවිට ඔබට කරන්න පාසැලේ හුඟක් වැඩ තියෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? බයිබලය කියන්නේ නිකම්ම දෙවිගෙන් ලැබී තිබෙන පොතක් විතරක් නෙමෙයි. එය ‘ඉගැන්වීමටත් අන් අයට උපකාර කිරීමටත් කාරණා හරිගැස්වීමටත් ජීවත් විය යුතු ආකාරය කියා දීමටත් උපකාරවත් වෙනවා.’ (2 තිමෝති 3:16, Contemporary English Version) එවැනි ප්‍රයෝජන අත් කරගන්න නම් බයිබලය හොඳින් අධ්‍යයනය කර ඒ ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට ඔබට සිදු වෙනවා. මේ ගැන සිතා බලන්න. යම් දෙයකින් හොඳ ප්‍රතිඵලයක් ලබන්න නම් ඔබ ඒ වෙනුවෙන් වෙහෙසක් දැරිය යුතුයි. යම් ක්‍රීඩාවක් දක්ෂ ලෙස කරන්න නම් එහි නීති රීති දැනගෙන ඔබ හොඳ පුහුණුවක් ලබන්න අවශ්‍යයි. ඔබට යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න ඕනේ නම් ව්‍යායාම් කරන්න සිදු වෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවි ගැන හොඳින් දැනගන්න නම් ඔබ බයිබලය අධ්‍යයනය කළ යුතුයි.

යෞවනයන් ඒ ගැන පවසන දේ. “මගේ පන්තියේ හිටපු යාළුවෝ හුඟක් වැරදි දේවල් කළ නිසා මම ලොකු පීඩනයකිනුයි හිටියේ. ඒ නිසා මගේ අම්මයි තාත්තයි මට උගන්වලා තිබුණු විදිහට දේවල් කරනවද නැත්නම් මගේ යාළුවෝ කරන දේවල් මමත් කරනවද කියලා තීරණය කරන්න මට සිද්ධ වුණා.”—ට්ෂෙඩ්සා.

“මම දන්නවා මම අදහන ආගම හරියි කියලා. ඒත් ඒක මටම ඔප්පු කරගන්න මට ඕනේ වුණා. මගේ පවුලේ අය කරන නිසා නෙවෙයි මගේම කැමැත්තෙන් ඒ ආගම අදහන්නයි මට ඕනේ කළේ.”—නලීසා.

ඔබට කළ හැකි දේ. ඔබට පුළුවන් යම් සැලැස්මකට අනුව බයිබලය අධ්‍යයනය කරන්න. මුලින්ම ඔබ කළ යුත්තේ අධ්‍යයනය කරන්න කැමති කරුණු මොනවද කියලා තෝරාගැනීමයි. එම කරුණු ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * වැනි ප්‍රකාශන භාවිත කරන්න ඔබට පුළුවන්.

ගත හැකි පියවර. අධ්‍යයනය සඳහා පහත සඳහන් විෂයන් ඔබට තෝරාගත හැකියි. එසේ නැත්තම් ඔබ කැමති වෙනත් විෂයන් සටහන් කරගන්න.

□ ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?

□ බයිබලය ලිවීමට එහි ලේඛකයන්ට දෙවිගේ මඟ පෙන්වීම ලැබුණු බවට මට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

□ පරිණාමය විශ්වාස නොකර මැවීම විශ්වාස කරන්න මට තිබෙන පදනම කුමක්ද?

□ දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? එය පිහිටුවා අවසන් බව මම කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

□ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද කියා මම කෙනෙකුට පැහැදිලි කරන්නේ කොහොමද?

□ මිය ගිය අය ඉදිරියේදී නැවත නැඟිටින බව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

□ දෙවි පිළිගන්නේ කුමන ආගමද කියා මට ස්ථිර කරගන්න පුළුවන් කොහොමද?

□ ․․․․․

දෙවන අභියෝගය:

ශුභාරංචිය අන් අය සමඟ කතා කිරීම අභියෝගයක් වන්නේ ඇයි? බයිබලයේ තිබෙන ශුභාරංචිය ගැන කෙනෙකු සමඟ කතා කරන්න ඔබ ලැජ්ජා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ශුභාරංචිය කතා කරද්දී මිතුරෙක් මුණගැසෙයි කියන බිය ඔබට තිබෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙවැනි ආඥාවක් දුන්නා. ‘මිනිසුන්ව ගෝලයන් කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) නමුත් අපි එය කළ යුත්තේ යේසුස් ආඥා කළ නිසාම නෙවෙයි. එයට තව බොහෝ හේතු තියෙනවා. නිදසුනකට, සමීක්ෂණවලින් පෙනී යන්නේ හුඟක් යෞවනයන් දෙවි ගැනත් බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් ලෙසටත් විශ්වාස කරන බවයි. ඒත් ඒ යෞවනයන්ට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ප්‍රීතිමත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව ගැන දන්න ඔබ එවැනි යෞවනයන්ට ඒ ගැන කතා කිරීම කොතරම් හොඳ දෙයක්ද!

යෞවනයන් ඒ ගැන පවසන දේ. “ශුභාරංචිය හොඳින් තේරෙන විදිහට කතා කරන්නත් හමු වෙන අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්තත් උනන්දුව දක්වන අයව නැවත මුණගැහෙන්නත් මමයි මගේ යාළුවෙකුයි හොඳින් පුරුදු වුණා. ඒ වෙනුවෙන් ලොකු වෑයමක් දරද්දී ඒ සේවයට තිබුණු මගේ ආසාව තවත් වැඩි වුණා.”—නලීසා.

“මට වඩා වැඩිමල් සහෝදරියක් නිතරම එයත් එක්ක මාව සේවයේ එක්කන් ගියා. එයා හැම වෙලාවෙම වගේ සමහර කාරණා ගැන මම හිතන විදිහ වෙනස් කරගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් මට කියලා දුන්නා. එයාගේ ආදර්ශය නිසා අනිත් අයට ශුභාරංචිය ගැන කතා කරන්න මම දැන් හුඟක් ආසයි. හැබැයි එයා මට උදව් කරපු තරමටම එයාට උදව් කරන්න මට කවදාවත් බැහැ.”—ෂාන්ටේ.

ඔබට කළ හැකි දේ. බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම එක් මිනිසෙකුට හැකියි තව මිනිසෙකුගේ යහපත් ගතිගුණ ඔපවත් කිරීමට.” (හිතෝපදේශ 27:17, නව ලොව පරිවර්තනය, NW) එම බයිබල් වගන්තියට එකඟව අද්දැකීම් තියෙන වැඩිහිටියන්ව ඇසුරු කිරීමෙන් හුඟක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ඔබේ දෙමාපියන් කැමති නම් ඔබත් සමඟ සේවයේ යෑම සඳහා වැඩිහිටියෙක් තෝරාගන්න. (ක්‍රියා 16:1-3) දහනව-හැවිරිදි ඇලෙක්සස් මෙසේ පවසනවා. “අද්දැකීම් තියෙන ආදර්ශවත් වැඩිහිටියන් එක්ක ආශ්‍රය කරන කොට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.”

ගත හැකි පියවර. ඔබේ දෙමාපියන්ට අමතරව ඔබ සමඟ සේවයේ යා හැකි වෙනත් වැඩිහිටි කෙනෙක්ව නම් කරන්න.

․․․․․

තෙවන අභියෝගය:

රැස්වීම්වලට සහභාගි වීම අභියෝගයක් වන්නේ ඇයි? දවස පුරාම පාසලේ වැඩ කරලා තව පැය දෙක තුනක් රැස්වීමට ගිහිල්ලා ඇහුම්කන් දෙන එක හුඟක් අමාරුයි වගේ ඔබට දැනෙන්න පුළුවන්.

ඔබ එය කළ යුත්තේ ඇයි? බයිබලයේ මෙවැනි දිරිගැන්වීමක් සපයනවා. “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙව් 10:24, 25.

යෞවනයන් ඒ ගැන පවසන දේ. “රැස්වීම්වලට කලින් සුදානම් වෙන එක හුඟක් වැදගත්. ඒත් ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි ඔබ හොඳින් සුදානම් වුණොත් ඒකට ඊට සහාභාගි වෙන්නත් ඒකෙන් ලොකු ප්‍රීතියක් අද්දකින්නත් ඔබට පුළුවන්.”—එල්ඩා.

“මම හොඳින් සුදානම් වෙලා රැස්වීම්වලට ගිහිල්ලා අදහස් දක්වපු දවසට වෙනදාට වඩා ලොකු ප්‍රීතියක් අද්දකිනවා.”—ජෙසිකා.

ඔබට කළ හැකි දේ. රැස්වීමට සුදානම් වෙන්න හොඳින් කාලය ගන්න. හැකි නම් එහිදී අදහස් දක්වන්න. එසේ කිරීමෙන් වෙනදාට වඩා ප්‍රීතියක් ඉන් ලැබිය හැකි වෙනවා වගේම ඔබත් එම රැස්වීමට දායක වූ බව ඔබට හැඟෙයි.

නිදසුනක් ලෙස යම් ක්‍රීඩාවකින් ලොකු සතුටක් ලබාගත හැක්කේ එම ක්‍රීඩාව රූපවාහිනියකින් නැරඹීමෙන්ද එසේ නැත්තම් එම ක්‍රීඩාවේ නිරත වීමෙන්ද? ඇත්තෙන්ම එය නරඹනවාට වඩා එයට සහභාගි වීමෙන් වැඩි සතුටක් ලබන බව ස්ථිරයි. රැස්වීම්වලට සහභාගි වීමේදීත් ඒ දේම අදාළ කරගන්න ඔබට පුළුවන්ද?

ගත හැකි පියවර. ඔබට රැස්වීම්වලට සුදානම් වීම සඳහා විනාඩි 30ක් වෙන් කළ හැක්කේ කවදාද?

․․․․․

බයිබලයේ සඳහන් මෙම වගන්තියේ සත්‍යතාව බොහෝ යෞවනයන් අත්හදා බලා තිබෙනවා. “ යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.” (ගීතාවලිය 34:8NW) යම් රසවත් කෑමක් ගැන ඇසූ පමණින් එය කොතරම් රසවත්ද කියා ඔබට කියන්න බැහැ. එහි රස දැනගන්න නම් ඔබ එය කාලම බලන්න වෙනවා. අපි දෙවිට කරන නමස්කාරයත් හරියට ඒ වගේ. බයිබලය අධ්‍යයනය කිරීමෙන්, ශුභාරංචිය අන් අය සමඟ කතා කිරීමෙන්, රැස්වීම්වලට සහභාගි වීමෙන් මොන තරම් ප්‍රීතියක් අද්දැකිය හැකිද කියා ඔබම අත්හදා බලන්න. බයිබලයේ පවසන ආකාරයට නිකම්ම අසන්නෙකු නොවී අසන දේ ‘පිළිපැදීමෙන් සන්තෝෂය ලබන්න’ ඔබට හැකි වෙන බව නිසැකයි.—යාකොබ් 1:25.

[පාදසටහන]

^ 19 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

සිතා බලන්න

▪ යෞවනයෙක්ට නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලීම එතරම් ප්‍රිය නොවන දෙයක් ලෙස හැඟෙන්නේ ඇයි?

▪ මේ ලිපියේ කතා කළ අභියෝග තුනෙන් ඔබ මුහුණ දෙන්නේ කුමන අභියෝගයටද? එය ජය ගැනීමට ඔබට හැක්කේ කෙසේද?

[20, 21වන පිටුවේ පින්තූරය]

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න ව්‍යායාම් අවශ්‍යයි, ඒ හා සමානව යෙහෝවා දෙවි ගැන හොඳින් දැනගන්න බයිබලය අධ්‍යයනය කිරීම අවශ්‍යයි