Skip to content

පටුනට යන්න

අනාගතය කාගේ අතේද?

අනාගතය කාගේ අතේද?

අනාගතය කාගේ අතේද?

“අද මිනිසුන් මුහුණ දෙන විශාලතම ගැටලුව ගෝලීය උණුසුම ඉහළ යෑමයි” කියා එක් සඟරාවක සඳහන් වුණා. එම ගැටලුව සාර්ථකව විසඳීම සඳහා ‘හැම කෙනෙක්ම එකට එකතු වී බුද්ධිමත්ව සිතා බලා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි’ කියා එම සඟරාවේ තවදුරටත් සඳහන් වුණා.—National Geographic 2007 ඔක්තෝබර් කලාපය.

ඉහත පැවසූ දේ කිරීමට මිනිසුන්ට හැකි වෙයිද? එසේ කිරීමට නම් ඔවුන්ට මෙවැනි කාරණාවලින් වැළකී සිටින්න සිදු වෙනවා. එනම් තණ්හාව, අවබෝධය අඩුකම, නොසැලකිල්ල, ධනයට හා සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට තිබෙන ආශාව සහ තමන්ගේම වාසිය තකා වැඩ කිරීම වැනි දේවල්.

පොදුවේ අපි මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් ගෙන ඒමට මිනිසුන්ට තිබෙන හැකියාව ගැන දෙවිගේ සේවකයෙක් මෙසේ පැවසුවා. “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කරන්න අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවිත ගමනේ පියවර තබන අයුරු තනිව තීරණය කරන්නද ඔහුට හැකියාවක් නැත.” (යෙරෙමියා 10:23, නව ලොව පරිවර්තනය, NW) අද මිනිසුන් මුහුණ දෙන දුක්ඛිත තත්වය දිහා බලද්දී ඉහත වදන් කොතරම් සත්‍යයක්ද! අද විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණුවේ හිණිපෙත්තටම නැඟ තිබුණත් අපි නොසිතූ විරූ ආකාරයකින් විශාල තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. නමුත් හෙට දවස ගැන කුමක් කිව හැකිද?

ගෝලීය උණුසුමට බලපාන ගැටලුවට විසඳුම් සෙවීම පිළිබඳව මිනිසුන් විශාල ලෙස කතාබහ කළත් සිදු වන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. නිදසුනකට 2007දී උතුරු අමෙරිකාවට ඉහළින් තිබෙන නැව් මාර්ග ඇරඹීමෙන් පසු මිනිසුන් ඊට ප්‍රතිචාරය දැක්වූ ආකාරය ගැන එක් සඟරාවක මෙසේ පවසා තිබුණා. ‘ඒ ප්‍රදේශවල තිබූ ඛනිජ තෙල් ලබාගැනීම සඳහා එකිනෙකා පොරකමින් ඒ අවට ඉඩම් මිල දී ගන්න ඔවුන් උත්සාහ කළා.’

බයිබලයේ වසර 2000කට පමණ පෙර මිනිසුන් විසින් “පොළොව විනාශ කරන” කාලයක් පැමිණෙන බවට නිශ්චිතවම පවසා තිබුණා. (එළිදරව් 11:18) කොහොමනමුත් මේ සෑම ගැටලුවකටම විසඳුම් ගෙන එන්න නම් ප්‍රඥාවන්ත මෙන්ම බලවත් පාලකයෙක් අවශ්‍ය බව පැහැදිලියි. එමෙන්ම එම පාලකයාට කැමැත්තෙන්ම කීකරු වන යටත් වැසියන්ද සිටිය යුතුයි. කිසිදිනක අවංක දක්ෂ දේශපාලනඥයෙකුට හෝ විද්‍යාඥයෙකුට එය කළ හැකි වෙයිද? බයිබලයේ ඊට දෙන පිළිතුර මෙයයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න.”—ගීතාවලිය 146:3.

බලවත් පාලකයෙක්

මුළු පොළොවම වැටී තිබෙන මේ තත්වයෙන් ගොඩගැනීමට හැක්කේ එකම එක පාලකයෙක්ට පමණයි. ඔහු ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘ඔහුට යෙහෝවා දෙවිගේ බලය බහුලව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද, දැනගැන්මද, නැණවත් උපදෙස් දීමේ හැකියාවද, දැනුමද බලවත් කෙනෙකු මෙන් ක්‍රියා කිරීමට හැකියාවද, ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් ජීවත් වෙයි. ඔහු අසරණ අයට ධර්මිෂ්ඨකමින් යුක්තිය ඉටු කර දෙයි. ඔහුගේ හුස්මෙන් දුෂ්ටයා මරණයට පත් වන්නේය.’—යෙසායා 11:2-5NW.

එම තැනැත්තා කවුද? ඒ අපි වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙක් නොවෙයි. (යොහන් 3:16) මුළු පොළොවම පාලනය කිරීම සඳහා යෙහෝවා දෙවි ඔහුට බලය හා අයිතිය ලබා දී තිබෙනවා.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15.

පාලකයා වීමට යේසුස් ක්‍රිස්තුස් සුදුස්සෙක් වීමට තවත් හේතු තිබෙනවා. එනම් දෙවිගේ නිර්මාණයන් ගැන ඔහුට මනා දැනුමක් තිබීමයි. ඊට හේතුව දෙවි විශ්වය නිර්මාණය කරද්දී යේසුස් දෙවිගේ “ප්‍රධාන සේවකයා” ලෙස කටයුතු කිරීමයි. (හිතෝපදේශ 8:22-31NW) මේ ගැන සිතා බලන්න. මිනිසුන් විසින් පොළොවේ ඇති කර තිබෙන විනාශයට පිළියමක් ගෙන ඒමේ කාර්යය භාර දී තිබෙන්නේ කාටද? පොළොව හා එහි ඇති සියල්ල නිර්මාණය කිරීමට දෙවිට සහය දුන් එකම තැනැත්තා වන යේසුස්ටයි.

යේසුස්ගේ පාලනය යටතේ සිටින්නන් කවුරුන්ද? දෙවිව හොඳින් හඳුනන, පාලකයා ලෙස යේසුස්ව පිළිගන්න, මෘදු ගුණැති, ධර්මිෂ්ඨ අයයි. (ගීතාවලිය 37:11, 29; 2 තෙසලෝනික 1:7, 8) ඔවුන් ලස්සන උයනක් බඳු පාරාදීසයක් බවට පත්වූ මෙම ‘පොළොව උරුම’ කරගන්නා බව යේසුස් පැවසුවා.—මතෙව් 5:5; යෙසායා 11:6-9; ලූක් 23:43.

බයිබලයේ සඳහන් එම පොරොන්දු ඔබට සැබෑවක් කරගත හැකිද? යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

මේ මුළු පොළොවම විනාශය අද්දර තිබෙන බව පෙනුණත් මිනිස් වාසය සඳහා එය දිගටම පවතින බවට නම් කිසිම සැකයක් නැහැ. නමුත් යේසුස්ගේ පාලනය ප්‍රතික්ෂේප කරන, දෙවිගේ නිර්මාණයන් අගය නොකරන අය සිටින්නේ අනතුරක බව නම් සහතිකයි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට දිරිගන්වන්නේ සදාකාල ජීවනයට මඟ පෙන්වන ඒ දැනුම ලබාගන්නා ලෙසයි.

[8වන පිටුවේ කොටුව]

විසඳුම කුමක්ද?

මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතයේ අහිතකර ප්‍රතිඵල තිබෙන බව දැන දැනත් මිලියන ගණන්දෙනා ඒවා භාවිත කිරීමට පෙලඹෙනවා. ඔවුන් තම ජීවිතය දෙවිගෙන් ලද දායදයක් ලෙස සලකන්නේ නැහැ. (ගීතාවලිය 36:9; 2 කොරින්ති 7:1) පොළොව කෙරෙහිද බොහෝ මිනිසුන්ට ඇත්තේ එවැනි ආකල්පයක්. ඒ නිසා පොළොවේ විනාශයට දායක වන දේවල් කිරීමට ඔවුන් නිතරම නැඹුරු වෙනවා.

ඊට විසඳුමක් විද්‍යාවෙන් හා අධ්‍යාපනයෙන් සොයාගත හැකිද? ඇත්තෙන්ම බැහැ. එසේනම් ඊට ඇති විසඳුම කුමක්ද? එයට මූලිකම හේතුව දෙවි පොළොව කෙරෙහි දක්වන සැලකිල්ල මිනිසුන් නොදැක්වීමයි. එමනිසා මිනිසුන් දෙවි පිළිබඳ දැනුම ලබාගැනීම අවශ්‍යයි. බයිබලයේ පොරොන්දු වන්නේ පොළොවට කිසිවෙක් ‘හිංසා කරන්නේවත්’ එය ‘විනාශ කරන්නේවත් නැති’ කාලයක් පැමිණෙන බවයි. ඊට හේතුව ‘මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී’ තිබීමයි.—යෙසායා 11:9NW.

[8, 9වන පිටුවේ පින්තූරය]

පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ කාර්යයට හවුල් වීමට යේසුස්ගේ පාලනයට කීකරු වන්නන්ටද ප්‍රස්තාවක් තිබෙනවා