Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ වසර දහයක් ඇතුළත ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් 2007දී චීනයේ මිනිසුන් මිලියන 47ක් පමණ පානීය ජල අර්බුදයකට මුහුණ පෑවා. ඒ අතරතුර මිලියන 42ක් සුළි සුළඟින්ද මිලියන 180ක් ගංවතුරින්ද පීඩා වින්දා.—චීනයේ XINHUA NEWS AGENCY.

▪ ‘වර්ෂ 2003දී කළ ගණනය කිරීමකට අනුව ලොව පුරා සිටි ගැබිනි මව්වරුන්ගෙන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් තම දරුවාව ගබ්සා කරනු ලබනවා. යුරෝපයේ එය මව්වරු තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් ලෙස වාර්තා වුණා. එමෙන්ම නැඟෙනහිර යුරෝපයට අයත් රටවල 2003 සිටි ගැබිනි මව්වරුන්ගෙන් සියයට 45ක්ම එසේ කර තිබෙනවා.’—බ්‍රිතාන්‍යයේ BRITISH MEDICAL JOURNAL.

පල්ලිවලත් වීඩියෝ ක්‍රීඩා

“තරුණයන්ව තම පල්ලිවලට ආකර්ෂණය කරගැනීමට ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතුළත් වීඩියෝ ක්‍රීඩා භාවිත කිරීම නිසා සියගණන් පූජකයන් හා ඔවුන්ගේ සේවකයන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ඒවා දැන් ඉතාමත් ජනප්‍රියයි” කියා එක් සඟරාවක සඳහන් වුණා. සාමාන්‍යයෙන් එවැනි ක්‍රීඩාවල යෙදෙන්නේ වැඩිහිටියන් පමණයි. එම ක්‍රීඩාවල යෙදෙන විට එක් පුද්ගලයෙක් සෙබළෙකුගේ චරිතය නිරූපණය කරමින් විවිධ ක්‍රමවලට මිනිසුන්ව ඝාතනය කරනවා. පල්ලිවලට කුමන චෝදනා එල්ල වුණත් ‘තරුණයන්ව එක්රොක් කරගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතුළත් වීඩියෝ ක්‍රීඩා පල්ලිවල එන්න එන්නම වැඩි වී තිබෙනවා.’—The New York Times.

අනන්‍යතාව සොරාගැනීම

එක් පුවත්පතක පවසන ආකාරයට බොහෝ දරුවන් සතු මුදල් බැංකුවලින් සොරාගැනීමට එම දරුවන්ගේ අනන්‍යතාව අයුතු ලෙස යොදාගැනීම වැඩි වෙමින් තිබෙනවා. එවැනි දරුවන්ට අනාගතයේදී මහත් කරදරවලට මුහුණ පාන්න සිදු වෙනවා. බොහෝවිට එවැනි සොරකම් සිදු කරන්නේ පවුල් සාමාජිකයනුයි. සමහරවිට වසර ගණනාවක් යනතුරුම ඊට ගොදුරුවන පුද්ගලයා ඒ බව දන්නේ නැහැ. එම පුවත්පතේ තවදුරටත් පවසන පරිදි “බොහෝ පුද්ගලයන් තම අනන්‍යතාව නීති විරෝධි ලෙස වෙනත් අය භාවිත කරන තිබෙන බව දැනගන්නේ ඔවුන් මුලින්ම රැකියාවට ගිය විටක හෝ රියදුරු බලපත්‍රය ගන්නා විටක හෝ බැංකුවෙන් ණයක් ගන්නා විටකදීයි.” සමහර පුද්ගලයන් ඒ බව දැනගන්නේ බැංකුවෙන් එම ණය පියවන ලෙස ඉල්ලා සිටින විටයි.—The Wall Street Journal.

භයානක ගුවන් ගමනක්!

වර්ෂ 2007 අගෝස්තු 30වෙනිදා අමෙරිකාවේ ගුවන් හමුදාවට අයත් මිසයිල සවි කර තිබූ B-52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානයක් පැය තුනහාමාරක් පුරා පියාසර කළා. එහි මිසයිල සවි කර තිබූ බව අදාළ බලධාරීන් දැන සිටියේ නැහැ. එක් පුවත්පතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. ‘එම මිසයිල සවි කර තිබුණේ වැරදීමකින්. ගුවන් නියමුවන් හා එහි වැඩ කරන කාර්මික ශිල්පීන් ඒ බව දැනගත්තේ යානය පියාසර කර පැය 36ක් ගත වූ පසුවයි. ගුවන් හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ අවස්ථාවේදී එම මිසයිල හය අක්‍රිය තත්වයක තිබුණු නිසා බිය වීමට කිසිදු හේතුවක් නැහැ.’ නමුත් එක් පුද්ගලයෙක් ඒ ගැන පැවසුවේ මෙසේයි. ‘ඒක එහෙමවුණත් අපි ඒ ගැන බය වෙන්න ඕනේ නැද්ද?’—The Washington Post.

පරෙවියන්ගෙන් පරිසර දූෂණය මැනීම

උතුරු ඉන්දියාවේ රාජස්තාන් විශ්වවිද්‍යායේ පර්යේෂකයන් ජායිපූර් නගරයේ සිටින පරෙවියන් සම්බන්ධව අධ්‍යයනයක යෙදුණා. එමගින් හෙළි වුණේ එම නගරයේ පරිසර දූෂණය පිළිබඳව පරෙවියන්ගෙන් යම් නිගමනයකට එළඹිය හැකි බවයි. එක් සඟරාවක පැවසූ පරිදි “පරෙවියන්ගේ පිහාටුවල සමහර ලෝහමය මූලද්‍රව්‍යන්ගේ අංශු රැඳී තිබෙනවා. උන්ගේ පිහාටු වැටුණු පසුවත් ඒවා දකින්න ලැබෙනවා.” සාමාන්‍යයෙන් පරෙවියන්ට තමන්ටම ආවේණික වූ ප්‍රදේශයන් තිබෙනවා. ඒ නිසා උන්ගේ පිහාටු මත රැඳෙන කැඩ්මියම්, ක්‍රෝමියම්, තඹ හා ඊයම් වැනි මූලද්‍රව්‍යන් ප්‍රමාණය අනුව එම ප්‍රදේශයේ කොපමණ පරිසර දූෂණයක් සිදු වෙනවාද කියා ගණනය කළ හැකියි.—New Delhi’s Gobar Times.