Skip to content

පටුනට යන්න

දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද?

දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළ යුතුද?

“දෙවිට නමස්කාර කරද්දී රූප භාවිත කරන එකෙන් ඔහුට තවත් ළං වෙනවා කියලයි මම ඉගෙනගෙන තිබුණේ.”—මැක්.

“අපේ ගේ පුරාම රූප තිබුණා. අපි හිතුවේ ඒකෙන් දෙවි හුඟක් සතුටු වෙයි කියලයි.”—හර්ටර්.

“අපි රූපවලට වැඳ නමස්කර කළා. නමුත් ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියන එක ගැන නම් අපි කවදාවත් හිතුවේ නැහැ.”—සැන්ඩ්‍රා.

ඉහත සඳහන් අදහස් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? දෙවිට නමස්කාර කිරීමේ මාධ්‍යයක් ලෙස රූප භාවිත කළ හැකි බව බොහෝ අය විශ්වාස කරනවා. එම අදහස නිවැරදියි කියා ඔබ සිතනවාද? ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද? දෙවිගේ වචනය වන බයිබලයේ ඒ පිළිබඳව පවසන දේ අපි දැන් සලකා බලමු.

දෙවිට හැඟෙන ආකාරය

බොහෝදෙනෙක් ආගමික පින්තූර හා පිළිමවලට තමන්ගේ භක්තිය හා ගෞරවය පිරිනමනවා. එවැනි දේවලට කුරුස, පිළිම, පින්තූර සහ අහසෙත් පොළොවෙත් තිබෙන දේවලට සමාන ඕනෑම දෙයක් ඇතුළත් වෙනවා. * මිනිසුන් ගෞරවය පුදන දෙයක් ලෙස කොඩිද නම් කරන්න පුළුවන්.

ඈත අතීතයේ සිටම මිනිසුන් දෙවිට නමස්කාර කිරීම සඳහා රූප භාවිත කළා. ක්‍රිස්තු පූර්ව 1513දී දෙවි තෝරාගත් සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට නීති දහයක් දුන්නා. ඒ නීතිවල ආගමික ස්වරූපයක් ගන්නා රූප ගැන දෙවිට හැඟෙන ආකාරය පැහැදිලිවම සඳහන් කර තිබුණා. “රූප සාදා නොගන්න. අහසේ හෝ පොළොවේ හෝ ජලයේ තිබෙන කිසිම දෙයක හැඩයට සමානව රූප සාදා නොගන්න. ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න. මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම අන් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකින්නෙමි.”—නික්මයාම 20:4, 5, නව ලොව පරිවර්තනය, NW.

ඉහත සඳහන් නීතියේ දෙවි කාරණා දෙකක් පැහැදිලිව සඳහන් කළා. පළමු එක නම් දෙවිගේ සෙනඟ නමස්කාරය සඳහා රූප සාදා නොගත යුතු බවයි. දෙවන කාරණය නම් ඒවා ඉදිරියේ වැඳ වැටීම හෝ ඊට නමස්කාර නොකිරීමයි. දෙවි එවැනි තහනමක් පැනවූයේ ඇයි? ඊට හේතුව ලෙස බයිබලයේ පෙන්වන්නේ ‘කිසි මිනිසෙක් කිසි කලක දෙවිව දැක නැතිවීමයි.’ යෙහෝවා දෙවි කියන්නේ අපි වගේ ඇට ලේ මස් නහර තියෙන කෙනෙක් නොවෙයි. ඒ නිසා ඔහුට සමාන රූපයක් සාදන්න කිසිවෙකුට බැහැ. (යොහන් 1:18; 4:24) එමෙන්ම වෙනත් කිසිම දෙයක හැඩයට සමානව රූප සාදා නොගන්න කියා දෙවි ඉල්ලා සිටියේ ‘අන් දෙවිවරුන්ට කරන නමස්කාරය දෙවි හෙළාදකින නිසයි.’ ඒ ගැන ඔහු පවසා තිබෙන්නේ මෙසේයි. “මට හිමි ගෞරවය තවත් කෙනෙකු සමඟවත් මට ලැබිය යුතු ප්‍රශංසාව දේවරූපයක් සමඟවත් බෙදාගන්නේ නැත.” (යෙසායා 42:8NW) එක් අවස්ථාවකදී, ඊශ්‍රායෙල් සෙනඟට මඟ පෙන්වූ නායකයෙක් වන ආරොන් නමස්කාරය සඳහා රූපයක් සෑදුවා. ඒ ක්‍රියාව දෙවි දැඩි ලෙස හෙළාදැක්කා. ඉන් පැහැදිලි වෙන්නේ දෙවිට නමස්කාර කිරීමේ මාධ්‍යයක් ලෙස රූප භාවිත කිරීම වැරදි බවයි.—නික්මයාම 32:4-10.

රූප නමස්කාරය වැරදි ඇයි?

රූප පිළිබඳව බයිබලයේ මෙසේ පවසනවා. “ඒවාට කටවල් ඇත. නමුත් කතා කරන්න බැරිය. ඇස් ඇත. නමුත් කිසිවක් පෙනෙන්නේ නැත. ඒවාට කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.” තවදුරටත් එහි රූප සාදන්නන් ගැන පවසන්නේ ‘ඒවා සාදන අය එම රූප හා සමාන වන්නෝය’ කියායි.—ගීතාවලිය 115:4-8NW.

රූපවලට නමස්කාර කිරීම දෙවිට කරන අසාධාරණයක් කියාද කිව හැකියි. ඔබේ දරුවාට ඔබ හුඟක් වටින තෑග්ගක් දුන්නා කියා සිතන්න. නමුත් ඔහු ඔබට ස්තුති නොකර වෙනත් අයෙකුට හෝ වෙනත් වස්තුවකට ස්තුති කරනවා. එවිට ඔබට කොහොම හැඟෙයිද? තමන්ට ලැබිය යුතු ගෞරවය, ස්තුතිය හා ප්‍රශංසාව පණ නැති දේවලට මිනිසුන් පිරිනමද්දී ජීවිතය අපට ලබා දුන් නිර්මාණකරුටත් හැඟෙන්නේ ඒ ආකාරයටයි.—එළිදරව් 4:11.

දෙවිගේ ස්වරූපයෙන් නිර්මාණය කර තිබෙන මිනිසුන් අජීවී දේවලට වන්දනාමාන කිරීමෙන් ඔවුන් තමුන්ටම අගෞරව කරගන්නවා. (උත්පත්ති 1:27) අතීතයේදී එසේ කළ අය ගැන දෙවිගේ සේවකයෙක් වූ යෙසායා පැවසුවේ මෙසේයි. ‘ඔවුන් නමස්කාර කරන්නේ ඔවුන්ගේ අත්වලින් නිමැවුණු දෙවිවරුන්ගේ [රූපවලටයි.] ඔවුන් මෙසේ කිරීම නින්දාවටත් ලැජ්ජාවටත් කාරණයකි. ඔවුන්ට කිසිසේත් සමාව දෙන්න ඔබට [යෙහෝවා දෙවිට] නොහැකියි.’—යෙසායා 2:8, 9NW.

රූප වන්දනාව දෙවි දැඩි ලෙස හෙළාදැකීමට තවත් හේතුවක් වන්නේ එමගින් දෙවිගේ සතුරන් වන භූතයන්ට නමස්කාරය පිරිනැමෙන නිසයි. දෙවිව අත්හැර ගිය ඊශ්‍රායෙල් සෙනඟගෙන් සමහර අය “පූජා ඔප්පු කළේ දෙවිට නොව භූතයන්ටය” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—ද්විතීය කතාව 32:17NW.

ඒ කාලයේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් දෙවිට නමස්කාර කිරීමේදී රූප භාවිත කළාද? කොහෙත්ම නැහැ. යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් පැවසුවේ “කුඩා දරුවෙනි, දේවතා රූපවලින් පරෙස්සම් වන්න” කියායි. (1 යොහන් 5:21) එක් පොතක ඔවුන් ගැන මෙසේ සඳහන් වුණා. ‘ඔවුන් රූප නමස්කාරය තරම් හෙළාදැක්ක තවත් දෙයක් නැතුව ඇති.’—Early Church History to the Death of Constantine.

දෙවිට නමස්කාර කළ හැක්කේ කෙසේද?

“සැබෑ නමස්කාර කරන්නන් විසින් පියාණන්ට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද [එනම්, දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සත්‍යයට එකඟව] නමස්කාර [කරන්නේය.] සැබවින්ම පියාණන් තමන්ට නමස්කාර කරන පිණිස එබඳු අයව සොයන්නේය.” (යොහන් 4:23) දෙවි කැමති අපි ඔහුගේ ප්‍රතිපත්ති, ඔහු කැමති හා අකමැති දේවල්, අප වෙනුවෙන් ඔහු අරමුණු කර ඇති දේවල් ගැන හොඳින් දැනගන්නවාටයි. (යොහන් 17:3) ඒ නිසයි ඔහුගේ වචනය වන බයිබලය අපට ලබා දී තිබෙන්නේ. (2 තිමෝති 3:16) එමෙන්ම බයිබලයේ පවසන ආකාරයට ‘ඔහු අප එකිනෙකාට නුදුරුව සිටිනවා.’ ඒ නිසා ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට කිසිම රූපයක ආධාරයක් නොමැතිව දෙවිට යාච්ඤා කිරීමට අපට හැකියි.—ක්‍රියා 17:27.

කලින් සඳහන් කළ සැන්ඩ්‍රා මෙසේ පවසනවා. “මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වෙන ශාලාවට ගියාම ඒකේ කිසිම රූපයක් තිබුණෙ නැහැ. ඔවුන් මට බයිබලයෙන් දෙවිගේ ගුණාංග සහ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන කියලා දුන්නා. ඒ නිසා මම දැනගත්තා දෙවිට මම යාච්ඤා කරන්න ඕනේ කොයි විදිහටද කියලා. දැන් මට දෙවි ගැන හරි අවබෝධයක් තියෙනවා. දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම දැන් හුඟක් ශක්තිමත්.” ඇත්තෙන්ම බයිබලයේ ඇති සත්‍යය මගින් ලබන නිදහස හා සතුට මොන තරම්ද කියා සැන්ඩ්‍රා හොඳින්ම තේරුම්ගත්තා. (යොහන් 8:32) ඔබටත් එය අද්දැකිය හැකියි.

[පාදසටහන]

මේ ගැන ඔබ සිතුවාද?

▪ ඕනෑම ආකාරයක රූපවලට නමස්කාර කිරීමෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?—ගීතාවලිය 115:4-8; 1 යොහන් 5:21.

▪ සැබෑ දෙවිට නමස්කාර කළ යුත්තේ කෙසේද?—යොහන් 4:24.

▪ ඔබට දෙවි ගැන සත්‍යය ඉගෙනගත හැක්කේ කෙසේද? ඉන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?—යොහන් 8:32; 17:3.