Skip to content

පටුනට යන්න

මහා විපතක් අත ළඟද?

මහා විපතක් අත ළඟද?

මහා විපතක් අත ළඟද?

ටුවාලු දූපත් සමූහයට අයත් එක් දූපතක වෙසෙන 73-හැවිරිදි වාල් ලීසාගේ අද්දැකීම ගැන නවසීලන්තයේ එක් පුවත්පතක මෙවැනි දෙයක් වාර්තා වුණා. “මුහුදු ජල මට්ටමේ ඉහළ යෑම ගැන දැනගන්න ඔහුට කාලගුණික වාර්තා අවශ්‍ය නැහැ. ඔහු පුංචි කාලේ දකින්න තිබූ වෙරළවල් දැන් ඛාදනයට ලක් වෙලා. ලුණු වතුර නිසා වගා බිම් පාළු වෙලා ගිහින්. වර්ෂ 2007 අප්‍රියෙල් මාසයේදී පැමිණි දරුණු රළ පහරක් නිසා වාල් ලීසාට උන් හිටි තැන් පවා අහිමි වුණා. ඔහු ජීවත් වුණු ස්ථානයේ ඉතිරි වුණේ සුන්බුන් පමණයි.”—The New Zealand Herald.

මුහුදු මට්ටමේ සිට මීටර් හතරක් වැනි අඩු උස ප්‍රමාණයකින් පිහිටා තිබෙන ටුවාලු දූපත්වල වෙසෙන මිනිසුන් ගෝලීය උණුසුම * නිසා නිරන්තරයෙන් දරුණු කාලගුණික තත්වයන්ට මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝදෙනාට එම ප්‍රදේශ අත්හැර දමා යෑමට සිදු වී තිබෙන අතර තවත් දහස් ගණනක් දැනටමත් එසේ කර තිබෙනවා.

ටුවාලු වැසියන් එවැනි තත්වයක් අද්දකිද්දී තවත් රටවල වෙසෙන අය අද්දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ආසියාතික රටවල සමහර ප්‍රදේශවල වෙසෙන අයට පානීය ජලය ලබාගැනීම පවා ඉතා දුෂ්කර වී තිබෙනවා. යම් අවස්ථාවලදී ජලය ලබාගැනීම සඳහා ඔවුන්ට කිලෝමීටර් ගණනාවක් දුර ගෙවා යෑමට පවා සිදු වෙනවා. සමහර ප්‍රදේශවල තත්වය ඊටත් වඩා දරුණුයි. ඕස්ට්‍රේලියාවේ යම් ප්‍රදේශවල වෙසෙන මිනිසුන් දරුණු නියඟයන්ට මුහුණ දෙනවා. ඔවුන් එවැනි තත්වයකට මුහුණ දෙන්නේ ඇයි? ඉහත කතා කළ තත්වයන් හා ටුවාලු දූපත්වල වෙසෙන අය මුහුණ දෙන තත්වය ගෝලීය උණුසුම සිදු වෙමින් තිබෙන බවට පෙන්වන සාක්ෂියක්ද?

ඇති විය හැකි තත්වයන්

බොහෝදෙනා විශ්වාස කරන්නේ ගෝලීය උණුසුම වැඩි වීමට මිනිසුන්ගේ ක්‍රියා හේතු වන බවයි. ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා දරුණු කාලගුණික තත්වයන්ට මෙන්ම පරිසරයටද අහිතකර බලපෑම් එල්ල වෙනවා. නිදසුනකට අයිස් දියවීමෙන් හා සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වීමෙන් සාගර ජල මට්ටම ඉහළ යා හැකියි. එමගින් ටුවාලු වැනි දූපත් නැත්තටම නැති වී යෑමට ඉඩ තිබෙනවා. එමෙන්ම නෙදර්ලන්තය හා ෆ්ලොරිඩාව වැනි රටවල වැඩි භූමි ප්‍රමාණයක් ජලයෙන් යට වී යා හැකියි. ෂැංහයි සහ කල්කටාවේද බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවලද වෙසෙන මිලියන ගණන් අයට උන් හිටි තැන් පවා අහිමි වෙන්න පුළුවන්.

හිමාලයේ සිට ගලා බසින අයිස් ගංගාවලින් ඒ අවට තිබෙන ගංගා හතක් පෝෂණය වෙනවා. ලෝක ජනගහනයෙන් සියයට 40කට ජලය සැපයීමට මේ ගංගාවලට හැකියාව තිබෙනවා. නමුත් ගෝලීය උණුසුම නිසා එම අයිස් ගංගා හිඳී යෑමෙන් මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. හිම වලසුන් ඇතුළු හිමෙහි වෙසෙන දහස් ගණන් සත්ව විශේෂයන්ගේ පැවැත්මටද එය මහත් තර්ජනයක් වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි උෂ්ණත්වය ඉහළ යෑම නිසා දරුණු කුණාටු, ගංවතුර හා නියඟයන් පවා ඇති විය හැකියි.

උෂ්ණත්වය ඉහළ යෑම නිසා මදුරුවන් සහ බැක්ටීරියාවන්ගෙන් ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාවද වැඩි විය හැකියි. එක් සඟරාවක පවසන ආකාරයට “දේශගුණික වෙනස්කම් නිසා මුහුණ දීමට සිදු වන අනතුරුදායක තත්වය න්‍යෂ්ටික අවි මගින් කරන විනාශය තරම්ම විනාශකාරී විය හැකියි. කෙටි කාල පරිච්ඡේදයක් තුළ එමගින් පරිසරයට සිදු කරන අහිතකර බලපෑම් දැකගත නොහැකි වුණත් තව දශක තුන හතරකින් නැවත ගොඩගත නොහැකි ආකාරයේ දරුණු විනාශයක් දැකගත හැකි වෙයි.” විද්‍යාඥයන් පවසන ආකාරයට ගෝලීය උණුසුම නිසා ඇති වන බලපෑම ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ශීඝ්‍රයෙන් සිදු වෙනවා.—Bulletin of the Atomic Scientists.

මිහිතලයේ අනාගතය ගැන විද්‍යාඥයන් පවසන දේවල් අපිට විශ්වාස කළ හැකිද? ගෝලීය උණුසුම ගැන තිබෙන මතවලට විරෝධය පළ කරන වෙනත් අය පවසන්නේ ඒවා පදනම් විරහිත බවයි. තවත් අය ඒ කාරණා පිළිබඳව දෙගිඩියාවෙන් පසු වෙනවා. එසේනම් සත්‍යය කුමක්ද? අපෙත් මිහිතලයෙත් අනාගතය තිබෙන්නේ අනතුරකද?

[පාදසටහන]

^ 3 ඡේ. “ගෝලීය උණුසුම” ලෙස හඳුන්වන්නේ වායුගෝලයේ හා සාගරවල උෂ්ණත්වය ඉහළ යෑමයි.