Skip to content

පටුනට යන්න

වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?

වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?

යෞවන අය අසති

වැරදි පෙලඹීමකට හසු නොවී සිටින්න මට හැකිද?

දිනක් ඇන්ජලා සාදයකට සහභාගි වුණා. ටික වේලාවක් යන්න කලින් පිරිමි ළමුන් දෙදෙනෙක් බෑග් කිහිපයක් අතැතිව සාදයට එනවා ඇය දැක්කා. ඒ බෑග්වල මොනවද තියෙන්නේ කියන එක හැමෝම දන්න දෙයක්. මේ පිරිමි ළමුන් දෙදෙනා සාදයට කලින් එහි මත්පැන් තියෙන බව කතා වෙනවා ඇයට ඇසුණා. ඇන්ජලා කලින් ඒ ගැන දැනගෙන හිටියත් ඒ බව ඇගේ දෙමාපියන්ට කිව්වේ නැහැ. ඇය හිතුවේ ඒ පිරිමි ළමුන් දෙදෙනා එහෙම කතා වුණේ විහිළුවටයි කියලා. කොහොමවුණත් වැඩිහිටියනුත් ඒ සාදයට සහභාගි වෙනවනේ කියලා ඇයම සිතින් සිතාගත්තා.

“ඔයා මොනවද මෙතන කරන්නේ? මෙතන තියෙන සතුටත් ඔයා නැති කරලා දානවා” කියලා කවුද කියනවා ඇන්ජලාට ඇහුණා. ඇය හැරිලා බලද්දී එතන හිටියේ ඇගේ හොඳම මිතුරිය ජෙසිකායි. ඇය ඇගේ අතේ තිබුණු එක බියර් බෝතලයක් ඇන්ජලා දෙසට දිගු කරලා මෙහෙම කිව්වා. “මේවා පාවිච්චි කරන්න මම තාම පොඩි වැඩියි කියලා නම් කියන්න එපා.”

ඇන්ජලාට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න ඕන වුණත් ජෙසිකගෙන් එල්ල වුණු බලපෑම හිතුවටත් වඩා ප්‍රබලයි. බියර් ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි ඇයට තිබුණු ගැටලුව. නමුත් මිතුරියගේ සිත රිද්දන්න තියෙන අකමැත්තයි. ඒ වගේම සාදයේ සතුට නැති කරන කෙනෙක් වෙන්න ඇයට වුවමනා වුණේ නැහැ. ‘ඇරත් ජෙසිකා හොඳ ගැහැණු ලමයෙක්. එයත් බියර් බොනවා නම් ඇයි මට බොන්න බැරි? බියර් බොනවා කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වගේ දෙයක්වත් පිරිමි ළමයෙක් එක්ක වැරදි විදිහට හැසිරෙනවා වගේ දෙයක්වත් නෙමෙයිනේ’ කියා ඇන්ජලා සිතුවා.

යොවුන් විය කියන්නේ නොයෙක් ආකාරයේ වැරදි දේ කිරීමට බලපෑම් එල්ල වෙන කාලයක්. විශේෂයෙන් විරුද්ධ ලිංගයේ අයගෙන් එල්ල වෙන බලපෑම ඉතා ප්‍රබලයි. වයස අවුරුදු 17ක් වූ රේමන් * මෙසේ පවසනවා. “අපේ පාසැලේ ගැහැණු ළමයින් වැරදි දේ කරන්න අපිට හරියට බලපෑම් කරනවා. එයාලා ආසයි අපිව අතගාන්න. එහෙම කරලා එයාලා බලනවා අපි කොච්චර දුරට දේවල් කරන්න ඉඩ දෙයිද කියලා. එයාලගෙන් බේරිලා ඉන්න එක එච්චර ලෙහෙසි නැහැ.” දහහත් හැවිරිදි ඩියානාත් ඒ හා සමාන තත්වයකට මුහුණ දුන්නා. “එක දවසක් පිරිමි ළමයෙක් ඇවිල්ලා මගේ කරට අත දැම්මා. එතකොටම මම එයාගේ අතට පහරක් ගහලා මෙහෙම කිව්වා. ‘මොනවද මේ කරන්නේ? ඔයා කවුද?’”

නොනවත්වාම මෙවැනි බලපෑම් ඔබටත් එල්ල විය හැකියි. එවැනි බලපෑම් ගැන එක් පුද්ගලයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ඒක හරියට අපි දොර අරින්න අකමැති අවස්ථාවක යම් කෙනෙක් නොනවත්වාම දොරට තට්ටු කරනවා වගේ.” එවැනි බලපෑමකට ඔබත් අසු වී තිබෙනවාද? පහත සඳහන් දේවල් සම්බන්ධයෙන් ඔබට බලපෑම් එල්ල වී තිබෙනවාද?

□ දුම් පානය

□ මත්පැන් භාවිතය

□ මත්ද්‍රව්‍ය භාවිතය

□ කාමුක දර්ශන නැරඹීම

□ වැරදි ලිංගික හැසිරීම්

□ වෙනත් ․․․․․

ඉහත කාරණා අතුරින් එකක් හෝ ඔබ ලකුණු කර ඇත්නම් ඉන් අදහස් කරන්නේ ඔබට දෙවිට සේවය කළ නොහැකි බව නම් නොවෙයි. වැරදි ආශාවන් පාලනය කරන්නත් ඒවාට එරෙහිව සිටින්නත් ඔබට පුළුවන්. ඒ කොහොමද? ඒ සඳහා වැරදි පෙලඹීමක් ඇති වීමට හේතුව හඳුනාගැනීම අවශ්‍යයි. එවැනි හේතු තුනක් දැන් අපි සලකා බලමු.

1. පව් කිරීමට ඇති නැඹුරුවාව. අපි හැම කෙනෙක් තුළම වැරදි දේ කරන්න නැඹුරුවාවක් තිබෙනවා. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් පවා ඒ බව පිළිගත්තා. “හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (රෝම 7:21) හරි දේ කරන්න උත්සාහ කරන කෙනෙකුට පවා “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්” නිසා වැරදි දේ කිරිමට පෙලඹිමක් ඇති විය හැකියි. ඒ නිසා පරෙස්සම් වීම ඉතාමත් වැදගත්. (1 යොහන් 2:16) වැරදි දේවල් ගැන දිගින් දිගටම සිතීමෙන් සිදු වන්නේ තත්වය තවත් දරුණු අතට හැරීමයි. ඒ ගැන බයිබලය පවසන්නේ “ආශාවන් පාලනය කරන්නේ නැත්නම් ඔහු තුළ පව් කරන්න පෙලඹීමක් ඇති වේ” කියායි.—යාකොබ් 1:15.

2. බාහිර බලපෑම්. කොහේ බැලුවත් තියෙන්නේ වැරදි කරන්න පොලඹවන දේවල්. ටීනා පවසන්නේ, “පාසලේ හා රැකියා ස්ථානයේ සිටින හැම කෙනෙක්ම වගේ කතා කරන්නේ ලිංගික කාරණා ගැනයි. රූපවාහිනියෙන් සහ චිත්‍රපටවලින් සිත් වශී කරවන දේවල් පෙන්නුවත් එහි භයානක පැත්ත ගැන පෙන්වන්නේ හුඟක් අඩුවෙන්.” ඒ වගේ දේවලින් ඇති වෙන බලපෑම කොතරම්ද කියා ටීනා අද්දැක තිබෙනවා. ඇගේ අද්දැකීම ඇය මෙසේ විස්තර කරනවා. “මට අවුරුදු 16ක් වෙද්දී පෙම්වතෙක් හිටියා. දවසක් මගේ අම්මා මට කිව්වා ඔයා ඔය විදිහට හැසුරුණොත් නම් අන්තිමේදී ගැබ්ගෙන තමයි නතර වෙන්නේ කියලා. අම්මා එහෙම කියද්දී මම පුදුම වුණා. හැබැයි මාස දෙකකට පස්සේ අම්මා කිව්වා වගේම මම ගැබ්ගත්තා.”

3. ‘යොවුන් වියට ආවේණික වූ ආශාවන්.’ (2 තිමෝති 2:22) ඉහත සඳහන් බයිබල් පදයට යොවුන් වියේදී ඇති විය හැකි ඕනෑම ආකාරයේ ආශාවක් ඇතුළත් විය හැකියි. සමහරවිට එය අනිත් යෞවනයන් විසින් තමන්ව පිළිගන්නවාට හෝ වෙනත් අය තමන්ව වැඩිහිටියෙක් ලෙස සලකනවාට වැඩි කැමැත්තක් දැක්වීම විය හැකියි. එවැනි ආශාවන් වැරදියි කියා කියන්න බැහැ. නමුත් ඒවා පාලනය කර නොගත්තොත් ඊට එරෙහිව සිටීමට ඔබට අමාරු වෙයි. සිතන්න යෞවනයෙක් තමන්ව අන් අය වැඩිහිටියෙක් ලෙස සලකනවාට වැඩි කැමැත්තක් දක්වනවා කියලා. එවැනි කෙනෙකුට පවුලේ අයට විරුද්ධව කැරලි ගැසීමට පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. වයස අවුරුදු 17ක් වූ ස්ටීව්ටත් සිදු වුණේ එයයි. ඔහු පවසන්නේ, “මගේ අම්මා තාත්තා එපා කියපු දේමයි මම කළේ. මේ හැම දෙයක්ම මම කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා වැඩි කාලයක් යන්න කලිනුයි.”

ඉහත සඳහන් බලපෑම් හරිම ප්‍රබලයි. ඒ වුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔබට පුළුවන්. ඒ කොහොමද?

▪ පළමුව ඔබට එවැනි ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි දේවල් හඳුනාගන්න. (ඉහත සඳහන් පරිදි එය ඔබ දැනටමත් කර ඇති.)

▪ ඉන්පසුව එවැනි බලපෑම් ඇති වන්නේ කුමන අවස්ථාවලදීද කියා සිතා බලන්න. ඒ පහත සඳහන් කුමන අවස්ථාවලදීද?

□ පාසැලේදී

□ රැකියා ස්ථානයේදී

□ තනිව සිටින විටදී

□ වෙනත් ․․․․․

වැරදි කිරීමට පෙලෙඹීමක් ඇති වෙන අවස්ථාවන් හඳුනාගැනීම ඉන් වැළකී සිටීමට උපකාරයක්. මෙම ලිපියේ කලින් සඳහන් කළ ඇන්ජලා ගැන සිතා බලන්න. ඇය සහභාගි වූ සාදයේ තමන්ට යම් වැරදි පෙලඹීමක් එල්ල වෙයි කියා කලින් දැනගන්න ඇයට තිබුණු අවස්ථාව කුමක්ද? ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම මඟහරින්න ඇයට හැකියාව තිබුණද?

▪ ඔබට ඇති විය හැකි වැරදි බලපෑම් මේ වන විට ඔබ හඳුනාගෙන තිබෙනවා. ඒවා ඇති වන්නේ කුමන අවස්ථාවලදීද කියා ඔබ දැනටමත් අවබෝධ කරගෙන තිබෙනවා. දැන් ඔබ කළ යුත්තේ අදාළ පියවර ගැනීමයි. ඔබේ මූලික ඉලක්කය විය යුත්තේ වැරදි බලපෑම් සම්පූර්ණයෙන්ම මඟහරවාගැනීම හෝ අවම කර ගැනීමයි. ඒ සඳහා ඔබට කළ හැකි දේ පහත සටහන් කරන්න.

․․․․․

․․․․․

(නිදසුනක්: ඔබ පාසැල් ඇරී ගෙදර යන විට දුම්පානය සඳහා ඔබව පොලඹවන්න උත්සාහ කරන ඔබේ මිතුරන් මඟ අසල සිටිනවා කියා සිතන්න. එසේනම් ඔබ යන මඟ වෙනස් කිරීමට හෝ ඔවුන්ව මඟහැරීම සඳහා පියවර ගැනීමට ඔබට සිදු වෙනවා. ඔබ අන්තර්ජාලය භාවිත කරනවා නම් තත්වය කුමක්ද? එවැනි අවස්ථාවලදී කාමුක දර්ශන තිරයේ දිස්වෙනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම අවහිර කරගැනීමට පරිගණක ක්‍රම භාවිත කළ හැකියි.)

අපිට හැම වැරදි බලපෑමක්ම මඟහරවාගන්න බැහැ. කවදාහරි දවසක ඔබ නොසිතන මොහොතක ඔබ බලාපොරොත්තු නොවන ප්‍රබල බලපෑමකට ඔබ හසු වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

සූදානමින් සිටින්න. බයිබලයේ පවසන පරිදි “සාතන් ඔහුව [යේසුස්] වරදකට හසු කරගන්න” උත්සාහ කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට යේසුස් ඉක්මනින් පියවර ගත්තා. (මාක් 1:13) ඒ ඇයි? යේසුස් දැනගෙන හිටියා එවැනි වැරදි පෙලඹීමකට තමන්ව හසු වෙන්න පුළුවන් බව. මොකද යේසුස් කියන්නේ තීරණ ගැනීමේ නිදහස තිබුණු කෙනෙක්. ඒ නිසා ඔහු ගන්න තීරණ මත ඒ බලපෑමට හසුවෙන්න ඉඩ තිබුණා. නමුත් ඔහුගේ අධිෂ්ඨානය වුණේ සැමවිටම ඔහුගේ පියාට කීකරු වීමයි. (යොහන් 8:28, 29) ඒ බව ඔහු පැවසූ මෙම වදන් මගින් පැහැදිලි වෙනවා. “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත කිරීමට නොව, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටය.”—යොහන් 6:38.

වැරදි පෙලඹීමට හසු නොවී සිටීමට ඔබ අදිටන් කර ගත යුතු හේතු දෙකක්ද ඒ බලපෑමෙන් ජය ගැනීමට ඔබට ගත හැකි පියවර දෙකක් ලියන්න.

1. ․․․․․

2. ․․․․․

වැරදි ආශාවලට ඉඩහැරීමෙන් ඊට අපි වහල් විය හැකි බව මතක තබාගන්න. (තීතස් 3:3) ඔබව පාලනය කරන්න ඔබේ ආශාවන්ට ඉඩ දෙන්නේ ඇයි? එසේ ඔබේ ආශාවන්ට ඔබව පාලනය කිරීමට ඉඩ නොදී ඥානවන්තව කටයුතු කරන්න.—කොලොස්සි 3:5.

[පාදසටහන]

^ 6 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ දේවදූතයන්ට පවා නරක බලපෑම් එල්ල විය හැකිද?—උත්පත්ති 6:1-3; යොහන් 8:44.

▪ නරක බලපෑමකට ඔබ එරෙහිව සිටීමෙන් අන් අය කෙරෙහි කුමන බලපෑමක් ඇති කළ හැකිද?—හිතෝපදේශ 27:11; 1 තිමෝති 4:12.

[27වන පිටුවේ කොටුව]

මෙය අත්හදා බලන්න

මාලිමා යන්ත්‍රයක් ගෙන එහි කටුව හැරී තියෙන්නේ කුමන දිශාවටද කියා නිරීක්ෂණය කරන්න. කොතන තැබුවත් එහි කටුව පෙන්නුම් කරන්නේ උතුරු දිශාවයි. ඉන්පසුව එය අසලින් කාන්දමක් තබන්න. දැන් ඔබ දකින්නේ කුමක්ද? එය තවදුරටත් උතුරු දිශාව නොපෙන්වා කාන්දම තිබෙන දෙසට හැරී තිබෙන බව ඔබ දකියි.

මාලිමා යන්ත්‍රයකට ඔබේ හෘදය සාක්ෂි සමාන කරන්න පුළුවන්. හරි දේ කිරීමට එය පුහුණු කළොත් මාලිමාව උතුරු දිශාව පෙන්වනවා වගේ අපේ හෘදය සාක්ෂියත් ඥානවන්ත තීරණ ගන්න අපට උපකාර කරයි. එමෙන්ම කාන්දමක් දිශාව පෙන්වන කටුව වෙනතකට හරවනවා වගේ නරක ආශ්‍රය මගින් හරි දේ හා වැරදි දේ අතර වෙනස නිවැරදිව හඳුනාගැනීමෙන් අපව වළක්වනවා. ඒ නිසා එවැනි පුද්ගලයන් හා නරක පෙලඹීම් ඇති කරවන දේවලින් වැළකී සිටීමට නිතරම උත්සාහ කරමු.—හිතෝපදේශ 13:20.

[27වන පිටුවේ කොටුව]

යෝජනාවක්

වැරදි දෙයක් කිරීමට යම් කෙනෙක් ඔබව පොලඹවන විටදී ඊට ප්‍රතිචාරය දැක්විය හැකි ආකාරය ගැන කලින්ම සිතා බලන්න. එවන් අවස්ථාවක ඔබ කළ යුත්තේ එය ඔබ ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිව හා සෘජුව පැවසීමයි. නිදසුනකට පාසැල් සිසුවෙක් පානය කිරීමට ඔබට දුම්වැටියක් දුන්නා කියා සිතන්න. එවිට ඔබට මෙසේ පැවසිය හැකියි. “මට එපා! මම ඕවා පාවිච්චි කරන්නේ නැහැ.”

[28වන පිටුවේ පින්තූරය]

වැරදි ආශාවලට ඉඩහැරීමෙන් ඊට අපි වහල් විය හැකියි