Skip to content

පටුනට යන්න

“ඇත්තටම මම මේ වගේ කෙනෙක්ද?”

“ඇත්තටම මම මේ වගේ කෙනෙක්ද?”

“ඇත්තටම මම මේ වගේ කෙනෙක්ද?”

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබට මිතුරන් අවශ්‍යයි. ඒත් යම් කෙනෙක් සමඟ සංවාදයක් ආරම්භ කරන්න ඔබට පහසු නැහැ. ඔබ කැමති විෂයක් ගැන පැය ගණනාවක් වුණත් කතා කරන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබ ජීවිතය ගත කරන්නේ එකම රටාවටයි. එය වෙනස් වෙනවාට ඔබ කැමති නැහැ. සමහර අවස්ථාවලදී ඔබ මානසික පීඩනයන්ට මුහුණ දෙනවා. නිතරම වගේ කලකිරීමට පත් වෙනවා.

මිනිසුන්ට ඔබ ගැන ඇත්තේ වැරදි වැටහීමක්. ඔවුන් ඔබව දකින්නේ හරිම අමුතු ගතිපැවතුම් තියෙන, කටයුතු කරන්න අමාරු, අනික් අයගේ හැඟීම් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන කෙනෙක් හැටියටයි. ඔබට කෙනෙකුගේ මුහුණේ ඉරියව් සහ අංගචලනයෙන් අදහස් කරන දේ තේරුම්ගන්න බැහැ. ඇස්පරජස් සින්ඩ්‍රොම් හෙවත් ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන අය නිතරම ඉහත කී තත්වයන්ට මුහුණ දෙනවා.

මේ අක්‍රමිකතාවෙන් පෙළෙන අය පෙනුමෙන් අනික් අය වගේ වුණත් හුඟක් වෙලාවට ඔවුන් හරි බුද්ධිමත්. නමුත් ඔවුන්ට ස්නායු වර්ධනයේ දුර්වලතාවක් තිබෙනවා. එය අනෙක් අය සමඟ ඇසුරු කරන්න ඔවුන්ට බාධාවක්. එවැනි තත්වයන්ට මුහුණ දෙන අයගේ ලක්ෂණ හා එක් එක්කෙනාට එය බලපාන ආකාර එකිනෙකට වෙනස්. නමුත් ඉන් පෙළෙන අයෙකුට ඒ සමඟ සාර්ථකව කටයුතු කළ හැකියි. ඒ බව ක්ලෙයාර්ගේ අද්දැකීමෙන් අපි සලකා බලමු.

අක්‍රමිකතාව සොයාගත් අයුරු

කුඩා කාලයේ සිට ක්ලෙයාර් හරිම කුළෑටි, නිහඬ කෙනෙක්. මිනිසුන් ගැවසෙන තැන්වල ඉන්න ඇය හරිම භයයි. ඒ වගේම කෙනෙක්ගේ මුහුණ බලලා කතා කරන්න ඇය කැමති නැහැ. පොඩි කාලේ ඇය කතා කරන්න හොඳින් ඉගෙනගත්තත් වැඩිය කතා නොකළ අතර කතා විලාසයද හරිම ඒකාකාරීයි. ඇය ජීවිතේ කිසිම වෙනසක් දකින්න කැමති වුණේ නැහැ. එහෙම වුණොත් එයින් ඇය කනස්සල්ලට පත් වුණා.

පාසැල් ගුරුවරු හිතුවේ ඇය හිතාමතාම ඒ විදිහට හැසිරෙනවා කියලයි. ඇගේ ඒ අමුතු හැසිරීම් රටාව නිසා අන් අය ඇයව සමච්චලයට ලක් කරද්දී ඇගේ මව හුඟක් දුක් වුණා. ඒ නිසා අන්තිම අවුරුදු කිහිපය ක්ලෙයාර්ට නිවසේ සිට උගන්වන්න මව තීරණය කළා.

අධ්‍යාපනය අවසන් කළ පසු ක්ලෙයාර් රැකියාවන් කිහිපයක්ම කළා. නමුත් ඉන් එකකදීවත් ඇයට සාර්ථක වෙන්න බැරි වුණා. එසේ වුණේ එකම රටාවකට වැඩ කරන්න ඇය පුරුදු වී සිටිම හා ඇගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීමට ඇයට නොහැකි වූ නිසයි. අන්තිමට ඇය සාත්තු නිවාසයක රැකියාවක් කළා. එහි සේවය කළ ප්‍රධාන සාත්තු සේවිකාව ඇගේ අමුතු හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීමෙන් පිටතින් පෙනෙනවාට වඩා බරපතල තත්වයක් ඇයට තිබෙන බව තේරුම්ගත්තා. ඒ වන විට වයස අවුරුදු 16ක්ව සිටි ක්ලෙයාර් ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන බව පැහැදිලිව හඳුනාගත්තා.

අන්තිමේදී තම දුවගේ හැසිරීම් රටාවට හේතුව කුමක්ද කියා තේරුම්ගන්න මවටද හැකි වුණා. එක් දවසක් ක්ලෙයාර්ගේ මිතුරෙක් ඇයට ඇස්පරජස් අක්‍රමිකතාව පිළිබඳ තොරතුරු කිහිපයක් ලබා දුන්නා. එය කියවීමෙන් පසු “ඇත්තටම මම මේ වගේ කෙනෙක්ද? මේ වගේ දේවල් මම කරනවාද?” කියා ඇය ඇගෙන්ම අසා ගත්තා. කොහොමවුණත් ඊට ප්‍රතිකාරයක් හැටියට සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් යම් කාර්යයක දිගටම නියැලෙන්න කියා ඇයට උපදෙස් දුන්නා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් වූ ක්‍රිස් විවිධ ආබාධයන්ගෙන් පෙළෙන දරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව අද්දැකීම් ලත් කෙනෙක්. ක්ලෙයාර්ත් සාක්ෂිකාරයෙක් නිසා ඔවුන් නමස්කාරය සඳහා රැස්වෙන රාජ්‍ය ශාලාවේ නඩත්තු කටයුතුවලට සහභාගි වන ලෙස ක්‍රිස් ඇයට ආරාධනා කළා.

ආත්මවිශ්වාසය ගොඩනඟා ගත් අයුරු

මුලදී නම් ක්ලෙයාර් අනික් ස්වෙච්ඡා සේවකයන් සමඟ කතා කළේ කලාතුරකිනුයි. යම් ගැටලුවක් ඇති වූ විට ඒ ගැන සාකච්ඡා නොකර ඒ බව ඇය සටහනකින් ක්‍රිස්ට දැන්නුවා. ඇය එසේ කළේ ඇයට හැඟෙන දේ පවසනවාට වඩා ලියා දන්වන එක පහසු වූ නිසායි. නමුත් යම් ගැටලුවක් මතු වුණොත් ඒ ගැන තමන් සමඟ සාකච්ඡා කරන්න ක්‍රිස් නිතරම ඇයව දිරිගැන්නුවා. ඔහු ඉතාමත් ඉවසීමෙන් අනික් අය මේ ලෝකය දකින ආකාරයට දකින්න ඇයට ඉගැන්වුවා. ඒ වගේම ඇගේ හැසිරීම් රටාව අන් අයට වඩා හුඟක් වෙනස් බවත් අන් අයගෙන් වෙන්ව එලෙස තනිවම කටයුතු කිරීම සාමාන්‍ය හැසිරීමක් නොවන බවත් ඇයට කාරුණිකව ඔහු පැහැදිලි කළා. ඔහුගේ මේ උපකාරය නිසා අනික් අය සමඟ සහයෝගයෙන් එකට වැඩ කරන්න ක්ලෙයාර් ඉගෙනගත්තා.

කලින් ලැබූ අද්දැකීම්වලින් ඇගේ ආත්ම විශ්වාසය හුඟක් හීන වෙලා තිබුණා. ඒ නිසා ඇයට යම් කාර්යයක් භාර දුන් විට “මට එය කරන්න බැහැ” කියා ඇය ප්‍රතිචාර දැක්වුවා. එවන් අවස්ථාවලදී ක්‍රිස් හුඟක් උපායශිලීව යම් කාර්යයක් ඇයට භාර දීමට කලින් එය කළ යුත්තේ කෙසේද කියා ඇයට පැහැදිලි කළා. ඒ වගේම ඇයට එය කළ හැකි බව කියමින් නිතරම ඇයව දිරිගැන්නුවා. එලෙස ක්ලෙයාර් ඒ කාර්යය නිම කළ පසු ඉන් ඉමහත් සතුටක් අද්දැක්කා. ක්‍රිස්ද ඇයව ප්‍රශංසාවට පත් කළ අතර තව තවත් වැඩ ඇයට භාර දුන්නා. යම් දෙයක් කරන ආකාරය කියලා දෙනවාට වඩා ලියා දීමෙන් ඒ දෙය කරන්න ඇයට පහසු වුණා. එලෙස ක්‍රමක්‍රමයෙන් ඇය තුළ ආත්මවිශ්වාසයක් ගොඩනැඟුණා.

පිරිසක් අතරට ගිහින් කතා කරන්න ක්ලෙයාර් එතරම් කැමැත්තක් නොදක්වන නිසා සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී ඔවුන්ව ඇසුරු කිරීම ඇයට විශාල අභියෝගයක් වුණා. මුලදී රැස්වීම් ශාලාවේ ඉදිරියේම ඇති ආසනයේ ඉඳගන්න ඇය පුරුදු වී සිටියා. නමුත් පසුව රැස්වීම් අවසන් වූ විගස ශාලාව පිටුපසට ගොස් එක් අයෙකු සමඟ හෝ කතා කරන්න ඇය ඉලක්කයක් තබාගත්තා.

කාලයක් යද්දී හුඟක් අය සමඟ කතා කරන්න ඇය පුරුදු වුණා. ක්ලෙයාර් පවසන ආකාරයට “එය එතරම් පහසු වුණේ නැහැ.” ඇය මුහුණ දෙන අක්‍රමිකතාව නිසා අදහස් හුවමාරු කරගැනීම අපහසු වුණත් දේවසේවය සඳහා පුහුණුවක් ලබා දීමට සාක්ෂිකරුවන් පවත්වන පාසැලේ නිතරම කතා ඉදිරිපත් කිරීමට ඇයට හැකි වුණා.

විශාල අභියෝග ජය ගනියි

ක්ලෙයර්ගේ ආත්මවිශ්වාසය ටිකෙන් ටික ගොඩනැඟෙද්දී ක්‍රිස් ඇයට සෑම මසකම බයිබලයේ ඇති සත්‍යයන් අන් අය සමඟ කතා කරන්න පැය 50ක පමණ කාලයක් යොදවන්න කියා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් එය ඉදිරිපත් කළ සැණින් ඇය “මට එය කරන්න බැහැ” කියා පැවසුවා.

පැය 50ක් වැය කිරීමට ඇයට නොහැකි වුණත් ඒ සඳහා ගන්නා උත්සාහය ගැන ඇයට සතුටු විය හැකි බව පෙන්වා දෙමින් ක්‍රිස් ඇයව දිරිගැන්වුවා. ක්ලෙයාර් ඒ සඳහා අවංක උත්සාහයක් දැරූ අතර ඉන් ඉමහත් සතුටක් ලැබුවා. දිගින් දිගටම ඒ ඉලක්කය තබාගෙන කටයුතු කරන්න ඇයට හැකි වුණා. බයිබලයේ ඇති සත්‍යන් ඉගෙනගැනීමට කැමති පුද්ගලයන්ව මුණගැසෙන විට ඇගේ ආත්මවිශ්වාසය වැඩි වූ අතර ඒ වෙනුවෙන් කාලය යොදවන්න ඇය තවත් ධෛර්යයවත් වුණා.

රැස්වීම්වලින් ලැබුණු දිරිගැන්වීම් අනුව පූර්ණකාලීන දේවසේවය කළ හැකිදැයි ඇය කල්පනා කළා. පසුව එසේ කිරීමට ඇය තීරණය කළ අතර ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “කරන්න පුළුවන් හොඳම දේ මේකයි.” ඒ තුළින් රැස්වීම්වලට සහභාගිවන බොහෝදෙනෙකු සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට ක්ලෙයාර්ට හැකි වුණා. කුඩා ළමුන් පවා ඇගේ ඇසුරට ප්‍රිය කළ අතර දේශනා සේවයේ සහභාගි වීමට ඇය ඔවුන්ට බොහෝ සෙයින් උපකාර කළා.

ඉවසීම හා දිරිගැන්වීම අත්‍යවශ්‍යයි

ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන සියලුදෙනාටම පූර්ණකාලීන දේවසේවකයෙක් වීමට නොහැකි බව ඇත්තයි. ක්ලෙයාර්ගේ අද්දැකීමෙන් පෙනී යන්නේ එවැනි අයට තමන් සිතනවාට වඩා යමක් කළ හැකි බවයි. එම තත්වය යටතේ කෙනෙක් එකම දින චර්යාවකට ඇලී සිටීමට දැඩි කැමැත්තක් දක්වන නිසා මේ සේවය ඇයට විශාල පිටුවහලක් වුණා. නොපිරිහෙළා තමන්ගේ වගකීම ඉටු කිරීමට ඇය තුළ ඇති දැඩි කැමත්ත හා ගොඩනඟාගෙන තිබූ ආත්මවිශ්වාසය නිසා ඇය කරමින් සිටින සේවය දැඩි කැපවීමකින් කිරීමට ඇයට හැකි වී තිබෙනවා.

තමන් ඇස්පරජස් සින්ඩ්‍රොම් අක්‍රමිකතාවෙන් පෙළෙන බව අන් අය දැනගන්නවාට ක්ලෙයාර් කැමති වුණා. එවිට ඇය වෙනස් ආකාරයට හැසිරෙන්න හේතුව අනික් අය තේරුම්ගන්න යනවා. ක්ලෙයාර් ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබ හැමවිටකම ප්‍රසන්න විදිහට කතාබහ නොකරන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට වෙනත් අය හිතන්නේ ඔබ ඒ අයගේ හැඟීම් තේරුම් නොගන්නා එච්චර හිතන්නේ බලන්නේ නැතුව කතා කරන කෙනෙක් හැටියටයි.” ඒ නිසා තමන්ව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් සමඟ කතා කිරීම ඔබට මහත් උපකාරයක්.

මෙම අක්‍රමිකතාවෙන් පෙළෙන අයට ක්‍රිස් සහ ක්ලෙයාර් උනන්දු කරන්නේ පුංචි පුංචි ඉලක්ක තබාගෙන ඒ එක් එක් ඉලක්ක අත් කරගන්න කියායි. එවැනි කෙනෙකුට මේ තත්වය හොඳින් තේරුම්ගත හැකි කෙනෙකුගේ උපකාරය අත්‍යවශ්‍යයි. ඒ තුළින් මෙම තත්වයෙන් සාර්ථකව ජය ගැනීමට ඔබට හැකි වන අතර තමන් වටිනා පුද්ගලයෙක් යන හැඟීම තමා තුළම ඇති කරගැනීමට හැකි වෙනවා.

ක්ලෙයාර්ගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන කෙනෙකු සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමත් නිතරම ඔවුන්ව දිරිගැන්වීමත් අවශ්‍ය බවයි. ඊට එකඟ වෙමින් ක්ලෙයාර් මෙසේ පවසනවා. “අද මම කරමින් ඉන්න මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.”

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තමන් ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන බව අන් අය දැනගන්නවාට ක්ලෙයාර් කැමති වුණා

[22වන පිටුවේ කොටුව]

ඇස්පරජස් සින්ඩ්‍රොම්

වර්ෂ 1944දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වූ හාන්ස් ඇස්පරජ මෙම අක්‍රමිකතාව සොයාගත්තා. කෙසේවෙතත් ඒ පිළිබඳව තවදුරටත් අවබෝධ කරගෙන එම අක්‍රමිකතාවෙන් පෙළෙන අයට උපකාර කිරීමට හැකි වුණේ මෑතකදී කළ පර්යේෂණවලින් පසුවයි. තවමත් එය ඕටිසම් අක්‍රමිකතාවේ යම් අඩු බලපෑමක් එල්ල කරන තත්වයක්ද නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක්ද කියා වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී නැහැ. අද වන තුරු එය ඇතිවීමට හේතුව කිසිවෙක් දන්නේ නැහැ. කෙසේවෙතත් එය මානසික බිඳ වැටීමක් නිසා හෝ ඇති දැඩි කිරීමේදී දෙමාපියන් අතින් සිදු වන යම් දුර්වලතාවක් නිසා ඇති වෙන දෙයක් නොවෙයි.

[24වන පිටුවේ කොටුව]

උපකාර පිරිනැමිය හැකි ක්‍රම

ඇස්පරජස් අක්‍රමිකතාවෙන් පෙළෙන අය කෙරෙහි වැඩි අවධානයක් දෙමින් ඔවුන්ව හොඳින් තේරුම්ගැනීමට උත්සාහ කරන්න. සංවාදයකට මුලපිරීමට එවැනි අයට අපහසු වුණත් ඔවුන්ට මිතුරන් අවශ්‍ය බව තේරුම්ගන්න. ඔවුන් සමඟ කටයුතු කරන්න අමාරු ඔවුන් හිතාමාතාම ඒ විදිහට කටයුතු කරන නිසා නොවෙයි.

ඔවුන් සමඟ කටයුතු කරන විට ඉවසිලිවන්තව ඔවුන්ගේ ගැටලුව තේරුම්ගන්න උත්සාහ ගන්න. ඔවුන්ට යම් දෙයක් කිරීමට ඔබ පවසනවා නම් එය නිවැරදි මෙන්ම පැහැදිලිව පවසන්න. කළ යුතු යම් දෙයක් වෙනස් කිරීමට ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු පැහැදිලිවම ඔවුන්ට තෝරා දෙන්න. හැකි නම් කළ යුතු දේ ඔබ කර පෙන්වන්න.

ඔවුන් යම් දෙයක් ඇසීමෙන් හෝ දැකීමෙන් කනස්සල්ලට හෝ වේදනාවට පත් වී සිටිනවා නම් සිත සන්සුන් කරවන සංගීතයකට සවන් දීමට හෝ අලංකාර දර්ශනයක් නැරඹීමට දිරිගන්වන්න.

[23වන පිටුවේ පින්තූරය]

ක්ලෙයාර්ට වෙනත් අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ක්‍රිස් පෙන්නවා දෙයි

[23වන පිටුවේ පින්තූරය]

අන් අය සමඟ මිතුරු වීමට ක්ලෙයාර් මුල් පියවර ගත්තා