Skip to content

පටුනට යන්න

ගෞරව නාමවලින් ඇමතීම සුදුසුද?

ගෞරව නාමවලින් ඇමතීම සුදුසුද?

බයිබලයෙන් පිළිතුරක්

ගෞරව නාමවලින් ඇමතීම සුදුසුද?

මුල් ශතවර්ෂයේ සිටි යේසුස්ගේ ගෝලයන්ට එදිනෙදා වැඩකටයුතුවලදී හා දේශනා සේවයේ හවුල් වීමේදී උසස් බලධාරීන් සමඟ කටයුතු කිරීමට සිදු වුණා. නමුත් ඔවුන් තමන්ව හඳුන්වා දීමේදී ගෞරව නාම භාවිත කළේ නැහැ. ඒ වුණත් එදා සිටි උසස් බලධාරීන් තමන්ව ගෞරව නාමවලින් ආමන්ත්‍රණය කරයි කියා අපේක්ෂා කළා. ඊට කදිම උදාහරණයක් වන්නේ එවකට සිටි රෝම අධිරාජ්‍යයාව හැඳින්වීමට “ශ්‍රීමත් අධිරාජ්‍යයා” යන යෙදුම ඔවුන් භාවිත කිරීමයි.—ක්‍රියා 25:21.

ආණ්ඩුවේ බලධාරීන් ඉදිරියේ සිටින විට ඔවුන්ව ඇමතීම සඳහා යේසුස්ගේ ගෝලයන් ගෞරව නාම භාවිත කළාද? අප ගැන කුමක් කිව හැකිද?

ගෞරව නාම භාවිත කිරීම අනුමැතිය පෙන්වීමක්ද?

යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් මෙවැනි උපදෙසක් දුන්නා. ‘සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. ගෞරවය දිය යුතු තැනැත්තාට ගෞරවය දෙන්න.’ (රෝම 13:7) උසස් බලධාරීන්ට ගෞරව නාම භාවිත කර කතා කිරීමද මීට ඇතුළත් වෙනවා. එවැනි නිලයන් දරන අයට ගරු කිරීම සඳහා “ගරු” “අති ගරු” වැනි ගෞරව නාම භාවිත කරනවා. නමුත් යම් කෙනෙකුට මෙසේ හැඟෙන්න පුළුවන්. ‘ඔහුගේ හැසිරීම නරක බව දැන දැනත් ඔහුව ගෞරව නාමයකින් අමතන්න මට පුළුවන්ද?’

රජයේ බලධාරීන් බොහෝදෙනෙක් තමන්ගේ කාර්යයන් හරි හැටි ඉටු කළත් ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්න අපට බැහැ. නමුත් බයිබලයේ අපට දිරිගන්වන්නේ “ස්වාමීන් නිසා” රජවරුන්ට හා ආණ්ඩුකාරයන්ට අප යටත් විය යුතු බවයි. (1 පේතෘස් 2:13, 14) එවැනි බලධාරීන්ට තම බලය හෙබවීමට දෙවි ඉඩහැර තිබෙන නිසා ඔවුන්ට දිය යුතු නිසි ගෞරවය ඒ ආකාරයෙන්ම දීමට අප පෙලඹෙනවා.—රෝම 13:1.

එවැනි බලධාරීන්ගේ හැසිරීම ගැන මෙහිදී සැලකිල්ලට භාජන වන්නේ නැහැ. මන්ද එය ගෞරව නාමවලින් ඇමතීමට කිසිසේත් බලනොපෑමයි. එවැනි කෙනෙක්ව ගෞරව නාමවලින් ඇමතුවා කියා ඔහුගේ හැසිරීම් අප අනුමත කරන බවක් ඉන් අඟවන්නේ නැහැ. පාවුල් මුහුණ දුන් එක් සිද්ධියක් ඇසුරෙන් එය අපට පැහැදිලි කරගත හැකියි.

පාවුල් ගෞරව නාම භාවිත කළ ආකාර

යෙරුසලමේදී බොරු චෝදනා මත පාවුල්ව අත්අඩංගුවට ගෙන යුදයේ ආණ්ඩුකාර ෆීලික්ස් වෙතට ගෙන ගියා. ආණ්ඩුකාර ෆීලික්ස් කියන්නේ එතරම් හොඳ නමක් දිනාගෙන සිටි කෙනෙක් නොවෙයි. රෝම ඉතිහාසඥයෙක් වන ටැසිටස් ඔහු ගැන මෙසේ පැවසුවා. “ඔහු සිතුවේ කිසි දඬුවමක් නොලැබ ඕනෑම දුෂ්ට ක්‍රියාවක් කිරීමට ඔහුට හැකි බවයි.” ඔහු වඩාත් ප්‍රිය කළේ යුක්තිය ඉෂ්ට කරනවාට වඩා අල්ලස් ලබාගැනීමටයි. පාවුල් අත්අඩංගුවේ සිටි අවුරුදු දෙකක කාලය පුරා ආණ්ඩුකාර ෆීලික්ස් පාවුල්ගෙන් අල්ලස් ලබාගැනීමට උත්සාහ දැරුවා. නමුත් ඔහුට දිය යුතු නිසි ගෞරවය දී ඔහුව ඇමතීමෙන් පාවුල් වැළකී සිටියේ නැහැ. පාවුල් කිසිසේත් ඔහුට අල්ලස් නොදුන් අතර ඔහු ඔහුට ලැබුණු සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුකාර ෆීලික්ස්ට ශුභාරංචිය දේශනා කළා.—ක්‍රියා 24:26.

ආණ්ඩුකාර ෆීලික්ස්ට පසුව එම තනතුරට පත් වූ ආණ්ඩුකාර ෆෙස්ටස් පාවුල්ට ඇති චෝදනාව විභාග කිරීම සඳහා ඔහුව යෙරුසලමට යැවීමට යෝජනා කළා. ඔහු එසේ කළේ යුදෙව් නායකයන්ගේ ප්‍රසාදය දිනාගැනීමටයි. නමුත් ඉන් තමන්ට යුක්තිය ඉටු නොවන බව දැනගත් පාවුල් රෝම පුරවැසියෙක් හැටියට ඔහුට ඇති අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුකාරයාගෙන් මෙසේ ඉල්ලා සිටියා. “මම සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලමි!”—ක්‍රියා 25:11.

පාවුල්ගේ නඩුව පිළිබඳව දෙවන අග්‍රිපා රජුට කෙසේ පැහැදිලි කරන්නද කියා ආණ්ඩුකාර ෆෙස්ටස් දැනගෙන සිටියේ නැහැ. නමුත් අග්‍රිපා රජ නිල සංචාරයක් සඳහා සිසේරියාවට පැමිණි විට ඔහුට ඒ සඳහා අවස්ථාව උදා වුණා. එම නඩු විභාගය ඇසීමට අග්‍රිපා රජද තම කැමැත්ත පළ කළා. පසු දින රජ හමුදා නිලධාරීන් සහ නගරයේ ප්‍රභූවරුන් පිරිවරාගෙන මහත් හරසරින් යුතුව ශ්‍රවණාගාරයට ඇතුල් වුණා.—ක්‍රියා 25:13-23.

පාවුල්ට කතා කිරීමට අවස්ථාව ලැබුණු විට ඔහු ඉතාමත් ගෞරවයෙන් යුතුව “රජ්ජුරුවෙනි” කියා ආමන්ත්‍රණය කරමින් තම කතාව ආරම්භ කළා. එමෙන්ම රජුට යුදෙව් චාරිත්‍ර සහ ඔවුන් අතර තිබූ මතභේද ගැන මනා අවබෝධයක් තිබෙන බව පවසමින් පාවුල් ඔහුව ප්‍රශංසාවට පත් කළා. (ක්‍රියා 26:2, 3) ඒ කාලයේදී අග්‍රිපා රජ ඔහුගේ සහෝදරිය සමඟ ගත කළ දුරාචාරමය ජීවිතය ගැන පාවුල් දැන සිටියත් රජු හැටියට ඔහුට දිය යුතු ගෞරවය දුන්නා.

පාවුල් කතා කරමින් සිටිද්දී ඊට බාධා කරමින් ආණ්ඩුකාර ෆෙස්ටස් මෙසේ පැවසුවා. “පාවුල්, ඔබට පිස්සු.” ඒ ගැන කෝප වෙනවා වෙනුවට පාවුල් ඉතාමත් සන්සුන්ව ඔහුව “අතිඋත්තම” යන ගෞරව නාමයෙන් ඇමතුවා. (ක්‍රියා 26:24, 25) ඒ තුළින් ආණ්ඩුකාර ෆෙස්ටස්ගේ නිලයට ඔහු ගරු කරන බව පෙන්වූවා. මෙහිදී අපට යම් ප්‍රශ්නයක් මතු වෙනවා. කෙනෙකුට ගෞරව නාමයකින් කතා කිරීමේදී යම් සීමාවන් තිබෙනවාද?

සීමාව කුමක්ද?

බයිබලයේ රෝම පොතේ 13:1හි මෙසේ පවසනවා. “දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි.” එයින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ බලධාරීන්ට හිමි බලයේ යම් සීමාවක් තිබෙන නිසා ඔවුන්ට හිමි වන ගෞරවයෙත් යම් සීමාවක් තිබෙන බවයි. ඒ බව යේසුස් තම ගෝලයන්ට පැවසූ මෙම වදන්වලින්ද සනාථ වෙනවා. “ඔබ, රබ්බියයි කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම ගුරුතුමෙකි. ඔබ සියල්ලෝම සහෝදරයෝය. තවද, පොළොවෙහිදී කාටවත් පියාණන්යයි නොකියන්න. මන්ද ඔබට ඉන්නේ එකම පියෙකි. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තාය. ‘නායකයන්’ කියාවත් කියවා නොගන්න. මන්ද ඔබට ඉන්නේ එකම නායකයෙකි. ඒ ක්‍රිස්තුස්ය.”—මතෙව් 23:8-10.

ආණ්ඩුවේ බලධාරීන්ව ගෞරව නාමවලින් ඇමතීමට අපිට හැකි වුණත් ආගමික පදවි නාම භාවිත කිරීමේදී අපිට සීමාවන් තිබෙන බව පැහැදිලියි. යම් හෙයකින් එවැනි බලධාරියෙකුව ඇමතීමට ආගමික පදවි නාමයක් භාවිත කරනවා නම් එවන් අවස්ථාවලදී අපි ඉන් වැළකී සිටිනවා. ඉන් අදහස් කරන්නේ ඕනෑම ආකාරයේ ආගමික පදවි නාමයකින් කෙනෙකුව ඇමතීමෙන් අපි වැළකී සිටිය යුතු බවයි. නමුත් බයිබලයේ සඳහන් උපදෙස් අදාළ කරගන්නා පුද්ගලයෙක් එවැනි බලධාරීන්ට ගෞරවයෙන් යුතුව සැලකීමටත් ‘දෙවිගේ දේ දෙවිට දෙන්නත්’ පෙලඹෙනවා.—මතෙව් 22:21.

මේ ගැන ඔබ සිතුවාද?

යේසුස්ගේ ගෝලයන් ආණ්ඩුවේ බලධාරීන්ගේ අධිකාරය සැලකුවේ කෙසේද?—රෝම 13:7.

▪ පාවුල් ආණ්ඩුවේ බලධාරීන්ව ඇමතීමට ගෞරව නාම භාවිත කළාද?—ක්‍රියා 25:11; 26:2, 25.

▪ යේසුස් අනුමත නොකළ ගෞරව නාම මොනවාද?—මතෙව් 23:8-10.

[20, 21වන පිටුවේ පින්තූරය]

පාවුල් දෙවන අග්‍රිපා රජව ඇමතුවේ කෙසේද?