Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීම විශ්වාස කළ හැකිද?

නැවත නැඟිටීම විශ්වාස කළ හැකිද?

වසර කිහිපයකට පෙර තිරගත වූ එක් ප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටයක මෙවැනි දර්ශනයක් දකින්න ලැබුණා. එහි රඟපෑ එක් තරුණයෙක් තමන් ආදරය කළ අයෙකුගේ සොහොන ඉදිරිපිට සිටගෙන මෙසේ පැවසුවා. “මරණය ජීවිතේ කොටසක් කියලා මගේ අම්මා නිතරම කිව්වා. ඒත්, ඒක එහෙම නොවුණා නම්!”

බිලියන ගණන් මිනිසුන්ට තමන් ආදරය කළ අය මිය ගිය විට මොන තරම් වේදනාවක් දැනෙනවාද කියා එවැනි වදන් මගින් පැහැදිලි වෙනවා. මරණය කියන්නේ කොතරම් දරුණු සතුරෙක්ද! නමුත් ‘අන්තිම සතුරා වන මරණය නැති කර දමන’ බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. (1 කොරින්ති 15:26) දෙවි අපිව නිර්මාණය කර තිබෙන්නේ සදාකල් ජීවත් වීමටයි. නමුත් අපි මිය යන්නේ ඇයි? මරණය නැති කර දමන්නේ කෙසේද?

අපි මහලු වී මිය යන්නේ ඇයි?

අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.” (ද්විතීය කතාව 32:4NW) දෙවි මුල් මිනිසා වූ ආදම්ව නිර්මාණය කළේ මානසිකව හා ශාරීරිකව කිසිම අඩුවක් නැතිවයි. එමෙන්ම දෙවි ඒදන් නම් උයනක සදාකල් ජීවත් වීමේ හැකියාවද ඔහුට ලබා දුන්නා. (උත්පත්ති 2:7-9) ඒත් ආදම්ට එය අහිමි වුණේ ඇයි? ඔහු මහලු වී මිය ගියේ ඇයි?

ඊට හේතුව දෙවි නොකන්න කියා අණ කළ ගහෙන් ගෙඩි කෑමෙන් ඔහු දෙවිට අකීකරු වීමයි. එහි ප්‍රතිඵලය ගැන දෙවි ආදම්ට කලින්ම අනතුරු අඟවා තිබුණා. “ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:16, 17NW) ආදම් සහ ඔහුගේ භාර්යාව වූ ඒව දෙවිට අකීකරු වීම නිසා දෙවි ඔවුන්ව උයනෙන් පන්නා දැමීමට අප්‍රමාදව පියවර ගත්තා. බයිබලයේ පවසන්නේ, “ඔහු [ආදම්] ජීවන වෘක්ෂයෙන්ද පල කා සදහටම ජීවත් නොවන පිණිස” දෙවි එසේ කළ බවයි.—උත්පත්ති 3:1-6, 22NW.

ආදම් සහ ඒව මිය ගියේ ඔවුන්ගේ අකීකරුකම නිසයි. ඒත් ඔහුගෙන් පැවත එන සියලුදෙනාම මහලු වී මිය යන්නේ ඇයි? ආදම් සහ ඒව නිසා ඔහුගෙන් පැවත එන අයටද පාපය උරුම වීමේ ප්‍රතිඵලයක් හැටියට සියලුදෙනාම මහලු වී මිය යනවා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12.

මිය ගිය අයට ඇති අපේක්ෂාව

අපි මේ ලිපියේ මුලින්ම සඳහන් කළ පරිදි සදහටම ‘මරණය නැති කර දමන’ බව නම් ස්ථිරයි! (1 කොරින්ති 15:26) එය කළ හැක්කේ කෙසේද කියා බයිබලයේ පැහැදිලි කරනවා. “එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් නිසා සියලු ආකාර මිනිසුන් ලැබූ විපාකය නම්, ජීවනය සඳහා තමන්ව ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරනු ලැබීමය.” (රෝම 5:18) යම් කෙනෙකුව දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨයයි ගණන් ගනු ලැබීමටත් සදාකාල ජීවනය අත් කරගැනීමටත් හැකි වන්නේ කුමකින්ද?

ඒ සඳහා ආදම්ගෙන් උරුම වූ පාපය සම්පූර්ණයෙන්ම මකා දැමීමට දෙවි දුන් දීමනාව උපකාරවත් වෙයි. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. “අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23) දෙවි ලබා දී තිබෙන ඒ අනගි දීමනාව ගැන යේසුස් මෙසේ පැවසුවා. “මන්ද, දෙවි ලෝකයට [මුළු මිනිස් වර්ගයාට] මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

යෙහෝවා දෙවි සහ අප වෙනුවෙන් දුක් විඳි යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේමය ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් යේසුස්ව හැඳින්වූයේ “මට ප්‍රේම කළ, මා උදෙසා තමන්වම පාවා දුන්නාවූ, දෙවිගේ පුත්‍රයා” හැටියටයි. (ගලාති 2:20) ‘තම ජීවිතය පූජා කරමින්’ අප උරුම කරගත් පාපයෙන් හා මරණයෙන් අපව මුදවාගැනීමට හැකි එකම තැනැත්තා යේසුස් බව පැවසිය හැක්කේ ඇයි?—මතෙව් 20:28.

ඊට හේතුව ආදම්ගෙන් පාපය උරුම කර නොගත් එකම මිනිසා යේසුස් වීමයි. යේසුස් මිනිසෙකු ලෙස ඉපදුණු ආකාරයෙන් එය පැහැදිලි වෙනවා. ඔහුගේ ජීවිතය ස්වර්ගයේ සිට ආශ්චර්යයවත් ලෙස අවිවාහක තරුණියක් වූ මරියාගේ ගර්භාෂය තුළ වැඩෙන්න සැලැස්වූවා. ඒ නිසයි යේසුස්ගේ උපත පිළිබඳව දැන්වූ දේවදූතයා මරියාට මෙසේ පැවසුවේ. ඉපදෙන දරුවා “ශුද්ධයයිද, දෙවිගේ පුත්‍රයායයිද කියනු ලබන්නේය.” (ලූක් 1:34, 35) ‘පළමුවන මිනිසා වූ ආදම්ගෙන්’ යේසුස්ට පාපය උරුම නොවූ නිසා ඔහුව “අන්තිම ආදම්” ලෙස හැඳින්වූවා. (1 කොරින්ති 15:45) යේසුස් පව් රහිත මිනිසෙකු වූ නිසා තමන්ගේ ජීවිතය “අනුරූපී” පූජාවක් ලෙස දීමට ඔහුට හැකි වුණා. ඉන් අදහස් වන්නේ වරක් පව් රහිතව සිටි ආදම්ගේ ජීවිතයට යේසුස් පූජා කළ ජීවිතය එක හා සමාන වූ බවයි.—1 තිමෝති 2:6.

පළමුවන ආදම් නිසා අපට අහිමි වූ පාරාදීස පොළොවක සදාකාල ජීවිතය නැවතත් ලබා දීමට තම පුත්‍රයාගේ ජීවිත පූජාව නැමති ඒ දීමනාව තුළින් දෙවි සැලසුම් කළා. නමුත් එමගින් ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට නම් දැනටමත් මිය ගොස් සිටින බොහෝදෙනා නැවත නැඟිටිය යුතුයි. එය මොන තරම් මවිතකර බලාපොරොත්තුවක්ද! ඇත්තටම එය අපට විශ්වාස කළ නොහැකි දෙයක්ද?

විශ්වාස කිරීමට පදනම

මිනිසුන්ව නිර්මාණය කළ යෙහෝවා දෙවිට මිය ගිය පුද්ගලයෙකුව නැවතත් ඔහු කලින් සිටි ස්වරූපයෙන්ම නැවත ජීවත් කරවීමට නොහැකියි කියා ඔබ සිතනවාද? නිදසුනකට දරුවෙකු පිළිසිඳ ගැනීම ගැන සිතා බලන්න. එම හැකියාව දෙවි මුල් ස්ත්‍රිය වූ ඒවට ලබා දුන්නා. බයිබලයේ පවසන්නේ, “ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය” කර මාස නවයකට පසු ඔවුන්ගේ ස්වරූපයෙන් යුත් සම්පූර්ණයෙන් වැඩුණු දරුවෙක් මෙලොවට බිහි කළ බවයි. (උත්පත්ති 4:1NW) එලෙස ගර්භාෂය තුළ දරුවෙකුගේ වර්ධනය සිදු වන ආකාරය ඇත්තෙන්ම ආශ්චාර්යයක්! එය තවමත් මිනිසුන්ට වටහාගැනීමට නොහැකි වී තිබෙනවා.—ගීතාවලිය 139:13-16.

සෑම දවසකම සියදහස් ගණන් දරුවන් උපදින නිසා එය මිනිසුන්ට සාමාන්‍ය දෙයක්. නමුත් මිය ගිය කෙනෙකු නැවත ජීවත් වීම නම් බොහෝදෙනෙකුට සිතාගත නොහැකි දෙයක්. එක් අවස්ථාවක මිය ගිය කුඩා දැරියක් නිසා වැළපෙන අයට දුක් නොවන්න කියා යේසුස් පැවසුවා. එවිට ‘ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණා.’ නමුත් යේසුස් මිය ගිය දැරියට පැවසුවේ ‘දැරිය, නැඟිටින්න! ඒ දැරිය එකෙණෙහිම නැඟිට ඇවිද්දේය. එය දුටු විගස [පැමිණ සිටි අය] ඉමහත් ප්‍රීතියකින් විස්මයට පත් වුණා.’—මාක් 5:39-43; ලූක් 8:51-56.

යේසුස් ඔහුගේ මිත්‍රයා වූ ලාසරුස්ගේ සොහොන විවෘත කරන ලෙස ඉල්ලා සිටි විට ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තා යේසුස්ට මෙසේ පැවසුවා. “ඔහු මිය ගොස් දවස් හතරක් වන බැවින් දැන් ගඳ ගසනවා ඇති.” නමුත් යේසුස් ලාසරුස්ව නැවත නැඟිටෙවූ විට ඔවුන් මොන තරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න ඇද්ද! (යොහන් 11:38-44) යොහන් බව්තීස්ත සිරගෙයි සිටින විට යොහන්ගේ ගෝලයෝ ඇවිත් යේසුස් ‘මළවුන්ව නැඟිටුවනු ලබන බව’ පැවසුවා. ඉන් පෙනී යන්නේ ඔහු කළ ඒ ආශ්චාර්යයන් ගැන බොහෝදෙනා දැනගත් බවයි.—ලූක් 7:22.

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව

එදා නැවත නැඟිටවූ අය නැවතත් අසනීප වී මිය යන බව දැනගෙනත් යේසුස් ඔවුන්ව නැවත නැඟිටවූයේ ඇයි? ඔහු එසේ කළේ ආදම් නිසා අහිමි වූ පාරාදීස පොළොවක සදාකාල ජීවිතය නැවතත් ලබා දීමට ඔහුට හැකි බව ඔප්පු කර පෙන්වීමටයි. ඔහු කළ ආශ්චාර්යයන් මගින් හෙළි වුණේ මිලියන ගණන්දෙනා අවසානයේදී මේ ‘පොළොව උරුම කරගෙන එහි සදාකාලයටම ජීවත් වන’ බවයි.—ගීතාවලිය 37:29NW.

අපි ‘දේවභක්තික’ ජීවිතයක් ගත කරනවා නම් එම ප්‍රීතිමත් අපේක්ෂාව ඇති අය සමඟ විසීමට අපටත් හැකියි. එවැනි ජීවිතයක් ගත කරන අයට ‘දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දුවක්’ බයිබලයේ දී තිබෙනවා. “මතු පැමිණෙන ජීවිතය” “සැබෑ ජීවිතය” ලෙසද බයිබලයේ හඳුන්වනවා.—1 තිමෝති 4:8; 6:19.

ධර්මිෂ්ඨකම රජයන ලොවක ගත කළ හැකි සැබෑ ජීවිතය මොන වගේද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.