Skip to content

පටුනට යන්න

පාරාදීස පොළොවක ප්‍රීතිමත් ජීවිතයක්!

පාරාදීස පොළොවක ප්‍රීතිමත් ජීවිතයක්!

මිය ගිය අයට නැවතත් මේ පොළොව මත ජීවිත් විය හැකි බව යේසුස් තම ගෝලයන්ට ස්ථිර ලෙසම පැවසුවා. ‘නැවත-මැවීමේදී [සියල්ල අලුත් කරන කාලයේදී] ඔවුන්ට සදාකාල ජීවනයද උරුම වන්නේය.’ ‘සියල්ල අලුත් කරන කාලය’ කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?—මතෙව් 19:25-29.

බයිබල් ලේඛකයෙක් වූ ලූක් ඊට සමාන අදහසක් ඉදිරිපත් කරමින් යේසුස් පැවසූ දේ මෙසේ වාර්තා කළා. “මතු පැමිණෙන කාලයේදී” ඔහුගේ අනුගාමිකයන් ‘සදාකාල ජීවනය ලබන්නේය.’ (ලූක් 18:28-30) ‘සියල්ල අලුත් කරන කාලය’ සහ “මතු පැමිණෙන කාලය” ලෙස යේසුස් දෙවිදිහකට සඳහන් කළේ ඇයි?

ඊට හේතුව මිනිස් වර්ගයා සඳහා වූ දෙවිගේ මුල් අරමුණට එකඟව මේ පොළොව පත් කරන බව අවධාරණය කිරීමයි. ආදම් සහ ඒව පව් කිරීමට කලින් භුක්ති විඳිමින් සිටි තත්වය නැවතත් මිනිස් වර්ගයාට අත්විඳිය හැකියි. “මතු පැමිණෙන කාලයේදී” නැවතත් ඒදන් උයන මෙන් ‘සියල්ල අලුත් කරන්න’ යනවා.

පාරාදීසය මොන වගේද?

දෙවි ඔහුගේ රාජ්‍යය මගින් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන්න යනවා. ඒ ගැන මෙසේ යාච්ඤා කළ යුතු බව යේසුස් මේ පොළොව මත සිටිද්දී ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10) එම රාජ්‍යයේ රජු ලෙස දෙවි ඔහුගේ පුත්‍රයාව පත් කර තිබෙනවා. දෙවිගේ මුල් අරමුණට එකඟව මේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට ඔහු පියවර ගන්නවා.

දේවරාජ්‍යයේ පාලකයා ලෙස දෙවි පත් කළ රජු ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුව ඔහුගේ කර පිට තිබෙන්නේය. [ඔහුව] සමාදානයේ කුමාරයා කියාද හඳුන්වයි. මෙතැන් පටන් සදහටම ඔහුගේ රාජ්‍යයත් ස්ථිරව පිහිටුවනු පිණිස ඔහු යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරයි.’ (යෙසායා 9:6, 7NW) එම “ආණ්ඩුව” මගින් දෙවිගේ අරමුණු ඉටු වෙන්නේ කෙසේද?

ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දී තිබෙනවා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් [ආණ්ඩුවක්] පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44NW.

දේවරාජ්‍යයේ පාලකයා හැටියට යේසුස් ‘සියල්ල අලුත් කරන කාලයේදී’ මේ පොළොව මොන වගේ තත්වයකට පත් වෙයිද කියා දැන් අපි සලකා බලමු.

පාරාදීස පොළොවක් මත ගත කරන ජීවිතය කෙබඳුද?

මිය ගිය අයව නැවත නැඟිටවනු ලබයි

‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. [එවිට ඔවුන්] පිටතට එන්නෝය.’—යොහන් 5:28, 29.

‘ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙනවා.’—ක්‍රියා 24:15.

මරණය, අසනීප සහ මහලු වීම තවත් නැහැ

“එකල අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය. කොර අය මුවෙකු මෙන් දිව යන්නේය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නේය.”—යෙසායා 35:5, 6NW.

“දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.

බහුල ලෙස ආහාර

“භූමිය බොහෝ පල දරන්නේය. මන්ද දෙවි, අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය.”—ගීතාවලිය 67:6NW.

“පොළොව ධාන්‍යවලින් පිරී යයි. කඳු මුදුන්ද ධාන්‍යවලින් පිරී ඉතිරෙයි.”—ගීතාවලිය 72:16NW.

සෑමදෙනාටම නිවාස සහ තෘප්තිමත් වැඩ

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදි වතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ නිවෙස් වෙන අය අයිති කරගන්නේ නැත. ඔවුන් වගා කළ කෙත්වතුවල අස්වැන්න වෙන කෙනෙකු භුක්ති විඳින්නේ නැත.”—යෙසායා 65:21, 22NW.

අපරාද, සැහැසියාව සහ යුද්ධ තවත් නැහැ

“දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22NW.

“ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල් තළද පිහිවලින් දෑකැතිද සාදාගන්නෝය. තවදුරටත් ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:4NW.

බිය වීමට කිසිවක් නැති අතර සාමය දසත පැතිර යයි

“ඔවුහු සැබවින්ම සුරක්ෂිතව කල් ගෙවන්නෝය. ඔවුන්ව බියගැන්වීමට කිසිවෙකු නොසිටිනු ඇත.”—එසකියෙල් 34:28NW.

“මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හිංසා කරන්නේවත් විනාශ කරන්නේවත් නැත. මන්ද මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.”—යෙසායා 11:9NW.

පාරාදීස පොළොවක් තුළ දෙවිටත් අසල්වැසියන්ටත් ප්‍රේම කරන මිනිසුන් සමඟ වාසය කරන්න ලැබීම මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද! (මතෙව් 22:37-39) දෙවිගේ සියලු පොරොන්දු එලෙසම ඉටු වන බවට බයිබලයේ සහතික කරනවා. ‘මා කියූ දේ ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.’—යෙසායා 46:11NW.

යෙහෝවා දෙවි ගැනත් පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණු ගැනත් ඔබට ඉගෙනගැනීමට තව බොහෝ දේ තිබෙනවා. නිදසුනකට, අපි පාරාදීස පොළොව අද්දර සිටින බවට ඇති සාක්ෂි මොනවාද? මේ පොළොව මත පවතින සියලු ආණ්ඩු වෙනුවට දේවරාජ්‍යය පිහිටු වන්නේ කොහොමද? ඉන්පසුව කුමක් සිදු වෙයිද? එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.—වැඩි විස්තර සඳහා මෙම සඟරාවේ 32වන පිටුව බලන්න.

මිනිසුන් කාලයක් පුරා බලා සිටි ආකාරයට අනිවාර්යයෙන්ම මේ මුළු පොළොවම පාරාදීසක් බවට පත් වෙනවා. මිය ගිය බහුතරයක් නැවතත් මේ පොළොව මත ජීවත් වන බව ස්ථිරයි. නැවත නැඟිටීම සිහිනයක් නොවෙයි. එය ඉටු වෙනවාමයි! මන්ද එය දෙවිගේ කැමැත්තයි. “මතු පැමිණෙන” “සැබෑ ජීවිතය” එයයි.—1 තිමෝති 4:8; 6:19.