Skip to content

පටුනට යන්න

පීඩා ජය ගැනීමට දෙවිගෙන් ලද උපකාර

පීඩා ජය ගැනීමට දෙවිගෙන් ලද උපකාර

පීඩා ජය ගැනීමට දෙවිගෙන් ලද උපකාර

පැවසුවේ වසීර් ආසානොව් විසින්

දවසක් මම ඉක්මනින්ම ඇඳෙන් බැහැලා බයිබලය මගේ ඉනේ බැඳගෙන ඇඳගත්තා. පස්සේ මම ඇඳුම් පොට්ටනියක් ගුලි කරලා ඇඳ උඩ තියලා ඒක ඇඳ රෙද්දෙන් වැහුවා. එහෙම කළේ මම නිදාගෙන ඉන්නවා කියලා පෙන්වන්නයි. ඊට පස්සේ මම ජනේලයෙන් පැනලා විදුලි වේගයෙන් රාජ්‍ය ශාලාවට දුවන ගමන් මට උදව් කරන්න කියලා යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවා. මේ සිද්ධිය වුණේ 1991දීයි. ඒ වෙනකොට මට වයස අවුරුදු 14යි.

මම ඉපදුණේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ ප්‍රදේශ 15න් එකක් වන කසක්ස්තානයේ දකුණු ප්‍රදේශයට වෙන්න පිහිටා තිබුණු නගරයකයි. මම කර්ඩිෂ් ජාතිකයෙක්. මගේ ජාතියේ නිදහස වෙනුවෙන් නායකයෙක් හැටියට නැඟී සිටින්න මට පුළුවන් කියන අදහස දෙමව්පියන් සහ නෑදෑයන් මගේ හිත තුළට දාලා තිබුණා. මගේ ජාතියේ අයට විරුද්ධ වෙන කාට වුණත් මම වෛර කළා. ඒ ඕනෑම කෙනෙක්ව මරන්න වුණත් මම සූදානමිනුයි හිටියේ.

වර්ෂ 1980 අගභාගයේදී මමත් අම්මත් මල්ලිත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒත් අපේ තාත්තා නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. සාමාන්‍යයෙන් කර්ඩිෂ් ජාතිකයන් පවුලේ මූලිකයාට කොහෙත්ම අකීකරු නොවුණත් මම බයිබලය පාඩම් කරන එක නතර කළේ නැහැ. හැබැයි මම තාත්තාට හුඟක් ආදරේ කළා. ඒ වගේම බයිබලයේ සඳහන් සත්‍යය ඉගෙනගන්නත් මම හුඟක් ආසා කළා.

පවුලෙන් සහ පාසැලෙන් පීඩා

එක දවසක් අපේ පාසැලේ ගුරුවරයෙක් මගේ බෑග් එකේ මුරටැඹ සඟරාවක් තියෙනවා දැකලා ඒ ගැන අපේ අම්මාටයි තාත්තාටයි කිව්වා. තාත්තාට මා එක්ක කොච්චර කේන්ති ගියාද කියනවා නම් තාත්තා එදා මට ගහපු පාරට මගේ නහයෙන් ලේත් ආවා. ඊටපස්සේ කෑගහලා එයා මගෙන් ඇහුවා “ඔයා තාමත් ඒ ආගම අදහනවාද” කියලා.

තාත්තා පවුලේ හැමෝටම කිව්වා තවදුරටත් මම එයාගේ පුතෙක් නෙමෙයි කියලා. එදා මට දැනුණු දුක නම් කියලා නිම කරන්න බැහැ! පාසැලේ ළමයිනුත් මාව ගණන් ගත්තේ නැහැ. සමහර ළමයි සහ ගුරුවරු පවා මට ප්‍රසිද්ධියේම සමච්චල් කළා. ගුරුවරු මට විභාගවලදී අඩු ලකුණු දැම්මා. ඒ දේවල් කළේ දෙවි කෙනෙක් නැහැ කියන එයාලාගේ විශ්වාසය මං තුළත් ඇති කරන්නයි.

කොච්චර පීඩා තිබුණත් බයිබලයෙන් ඉගෙනගනිමින් සිටි සත්‍යයන් අනික් අය එකක් බෙදාගන්න, සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න මම උත්සාහ කළා. මම තාම සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන බවත් බයිබලය කියවන බවත් තාත්තා දැනගෙන තියෙනවා. එක් ඉරිදා දවසක රැස්වීමට යන්න අවශ්‍ය නිසා ගෙදරින් පැනගන්න මම හේතුවක් හොය හොයයි හිටියේ. එත් එකපාරටම තාත්තා ඇවිල්ලා මට මෙහෙම කිව්වා. “හැම ඉරිදාම මේ වෙලාවට ඔයා ඉන්න ඕනේ ඇඳේ!” කියලා. එහෙම කළේ නැත්නම් මට හුඟක් දඬුවම් විදින්න සිදු වෙයි කියලාත් තාත්තා කිව්වා. තාත්තා යමක් කිව්වොත් ඒක ඒ විදිහටම කරන බව මම දැනගෙන හිටියා.

මගේ තාත්තාට මීට වඩා කරුණාවන්ත වෙන්න උදව් කරන්න කියලා මම එදා සැබෑ දෙවි යෙහෝවාගෙන් අඬ අඬා ඉල්ලුවා. මට මතක් වුණා දෙවිගේ සෙනඟ වූ ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවේ ඉද්දී වින්ද පීඩා. මගේ තාත්තා කටයුතු කළෙත් හරියට යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඊශ්‍රායෙල්වරුන්ට යන්න නොදුන් පාරාවෝ රජ වගෙයි.—නික්මයාම 5:1, 2.

මම ගත් වැදගත් තීරණ

මට රැස්වීම් යන්න නොලැබෙන එක ගැන මම හුඟක් කනස්සල්ලෙනුයි හිටියේ. එක ඉරිදාවක මම රැස්වීමට යනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ ගැන මම ඇඳේ නිදාගෙන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. හැබැයි එකපාරට තාත්තයි අම්මයි මගේ කාමරේට ආවා. එතකොට මම නිදාගෙන ඉන්නවා වගේ හිටියා. තාත්තා මාව දැකලා මෙහෙම කියනවා මට ඇහුණා. “කොච්චර කීකරු පුතෙක්ද මට ඉන්නේ.” ඊටපස්සේ එයාලා මාව සිපගෙන කාමරෙන් පිටවුණා. මම ආයෙමත් යාච්ඤා කරන්න පටන්ගත්තා.

ටික වෙලාවකට පස්සේ මේ ලිපියේ මුලින් සඳහන් කළ විදිහට මම ඇඳගෙන රැස්වීමට ගියා. රැස්වීම ඉවර වුණු ගමන්ම ඒ කියන්නේ හරියටම පැය දෙකකට පස්සේ මම ඉක්මනින්ම ගෙදර ආවා. ගෙදර මොනවා වෙලාද කියලා දන්නේ නැති නිසා මම හරිම බයෙන් තමයි ආවේ. එදා මම ඇත්තටම ඇඳේ හිටියේ නැහැ කියලා අම්මා දැනගෙන හිටියත් තාත්තාට එයා ඒ ගැන මුකුත් කියලා තිබුණේ නැහැ. කොහොමවුණත් අම්මා මට කිව්වා ආයෙමත් ඒ වගේ දෙයක් කළොත් තාත්තාට කියනවා කියලා.

වර්ෂ 1992 එක දවසක මගේ යාළුවෙක් එක්ක විශේෂ උත්සවයකට යන්න මම අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර ඉල්ලුවා. මම උත්සවයක් කියලා කිව්වේ සාක්ෂිකරුවන් පැවැත්වූ එක්රැස්වීමකටයි. ඒක තිබුණේ ටරාස් කියන නගරයේයි. ඒ නගරය පිහිටලා තිබුණේ අපේ ගේ තිබුණු කරාටාවූ නගරයේ ඉඳලා කිලෝමීටර් 100ක් විතර දුරිනුයි. ඒ එක්රැස්වීමේදී තමයි මම බව්තීස්ම වුණේ. මම එහෙ යන්න සල්ලි හොයාගත්තේ කොහොමද දන්නවාද? මම අම්මාගෙන් සූරියකාන්ත ඇට බාල්දියක් ඉල්ලාගෙන ඒවා බැදලා විකුණුවා. එක්රැස්වීමට ගිහින් එන්න ඒ මුදල් මට හොඳටම ප්‍රමාණවත් වුණා.

මම ගෙදර ආවාට පස්සේ තාත්තා මගෙන් ඇහුවා යාළුවත් එක්ක ගිය ගමන කොහොමද කියලා. මම කිව්වා හොඳයි කියලා. ඉන් එහාට තාත්තා මගෙන් මුකුත් අහපු නැති එක ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වුණා. ඒ දවස්වල හිතෝපදේශ 3:5,6 යන බයිබල් පද මගේ හිතට තදින්ම කාවැදිලා තිබුණා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ ගන්නා සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—නව ලොව පරිවර්තනය.

දෙවිගෙන් ඈත් වී ගත කළ කාලය

බව්තීස්ම වීමෙන් පසුව පවා මට එල්ල වුණු පීඩාවල අඩුවක් නම් තිබුණේ නැහැ. සාක්ෂිකරුවන් සමඟ දිගටම පාඩම් කරද්දී තාත්තාගෙන් මම නොසෑහෙන්න ගුටි කෑවා. සමහර වෙලාවට අනිත් අය ඉදිරිපිටත් හුඟක් ගුටි කෑවා. හැම දවසකම වගේ සමච්චල්වලට සහ විවිධ පීඩනවලට මම මුහුණ දුන්නා. හුඟක් වෙලාවට මම ඉකි ගගහා අඬලා තියෙනවා. ඒ කාලයේදීම තමයි කසක්ස්තානය සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන් වුණේ. මගේ දෙමව්පියන් සහ නෑදෑයන්ට ඕනේ කළේ මම දේශපාලන කටයුතුවල යෙදෙනවා දකින්නයි. එයාලා හිතුවේ මම ඒ අවස්ථාව මඟහරියි කියලයි.

ඒ කාලයේදී මගේ අයියා ක්‍රීඩාවලින් හුඟක් දක්ෂකම් පෙන්වුවා. තාත්තා නිතරම මට කිව්වේ එයා වගේ වෙන්න කියලයි. කොහොමවුණත් 1994 අවසානයේදී මමත් ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. සහජයෙන්ම මට ඒ සඳහා හැකියාවක් තිබුණු නිසා මම ඉක්මනින්ම පාපන්දු සහ ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවලින් පදක්කම් දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි ඊටපස්සේ මම නීති විද්‍යාවත් හැදෑරුවා. මම හිතුවේ එතකොට මට මගේ ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන් වෙයි කියලයි. දේශපාලන කටයුතුවල යෙදුණා විතරක් නෙවෙයි තරුණ සංවිධානයක් පිහිටුවන්නත් මම උත්සාහ කළා.

ඔයා දිනුවා තාත්තේ

බයිබලය කියවීම සහ රැස්වීම්වලට සහභාගි වීම නතර කිරීම නිසා යෙහෝවා දෙවිත් එක්ක තිබුණු මගේ මිත්‍රත්වය හුඟක් පළුඳු වුණා. මම වැඩිහිටියෙක් වුණාට පස්සේ නැවතත් යෙහෝවා දෙවිට සේවය කරනවා කියලා මම නිතරම හිතුවා. එකෙන් තමයි මට පුංචි හරි සහනයක් ලැබුණේ. එක දවසක් තාත්තා මගෙන් ඇහුවා මම තාමත් සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරනවාද කියලා. එතකොටම මම මෙහෙම කිව්වා. “නැහැ. ඔයා දිනුවා තාත්තේ. ඔයාට දැන් සතුටුයිද?” එතකොට තාත්තා හරි ආඩම්බරෙන් මට කිව්වා “දැන් නම් ඔයා මගේ පුතාමයි” කියලා.

මම රැස්වීම් නොගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මම යන්න ආසා කළත් මට ඒක කරන්න බැරි වුණා. මට ආයෙමත් යන්න ලැජ්ජ හිතුණා. මම හිතුවා රැස්වීමට එන අය මගේ තත්වය තේරුම්ගන්න එකක් නැහැ කියලා.

ඒ කාලයේදීම මම තේරුම්ගත්තා යෙහෝවා දෙවිට සේවය කරන එක ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ කියලා. ‘මොනවාවුණත් මම යෙහෝවා දෙවිට ආදරෙයි.’ නමුත් විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙනගන්න කියලා තාත්තා මට බල කළා. මෙවර මම තාත්තාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර එය පිළිගත්තා. මම හිතුවා අල්මා-අටාවල තිබෙන විශ්වවිද්‍යාලයට ගියාම මට කවදාහරි නැවතත් සාක්ෂිකරුවන්ව මුණගැහෙන්න පුළුවන් වෙයි කියලා.

තත්වයන් වෙනස් වූ ආකාරය

මම විශ්වවිද්‍යාලයේ ඉගෙනීම පටන් අරන් වැඩිකල් යන්න මත්තෙන් මට විදීයේ සාක්ෂි දරමින් හිටිය සාක්ෂිකරුවන් දෙන්නෙක්ව මුණගැහුණා. එයාලා මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා හිතන විදිහට මේ පොළොව පාලනය කරන්නේ කවුද?”

“යෙහෝවා දෙවිගෙත් මුළු මිනිස් වර්ගයාගෙත් සතුරා වන සාතන් හෙවත් යක්ෂයා” කියලා මම උත්තර දුන්නා. (2 කොරින්ති 4:3, 4) ඊටපස්සේ මම එයාලාට කිව්වා මම බව්තීස්ම වූ සාක්ෂිකරුවෙක් වුණාට දැන් ඒ කිසිදෙයකට සහභාගි වෙන්නේ නැහැ කියලා.

වර්ෂ 1996 අගභාගයේදී මම නැවතත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. පාඩම් කිහිපයකට පසු යෙහෝවා දෙවිට සේවය කරන්න මට තිබුණු ආශාව තව තවත් වැඩි වුණා. පස්සේ මම අල්මා-අටාවල හිටිය සාක්ෂිකරුවන් එක්ක නමස්කාරයට සම්බන්ධ සෑම දේකම වගේ නියැලුණා. වර්ෂ 1997 සැප්තැම්බර්වලදී මම පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා.

ඉන් වසරකට පස්සේ තාත්තා මාව බලන්න ආවාම අපි දෙන්නා ආදරෙන් වැලඳගත්තා. තාත්තා මෙතෙක් කල් මට සැලකූ විදිහ ගැන එයා මගෙන් සමාව ඉල්ලුවා. තාත්තා කිව්වා මෙච්චර කල් මං ගැනත් මගේ විශ්වාසයන් ගැනත් එයා හිතාගෙන හිටියේ වැරදි විදිහටයි කියලා. ඒත් මම එයාට කිව්වා “තාත්තා මම ඔයාට හුඟක් ආදරෙයි” කියලා.

මම තාත්තාට බයිබලය මත පදනම් ප්‍රකාශන දුන්නාම එයා ඒක සතුටින් පිළිගත්තා. ඒ වගේම තාත්තා මගෙන් බයිබලයකුත් ඉල්ලුවා. එයා කිව්වා අකුරක් නෑර ඒක එයාට කියවන්න ඕනේ කියලා. ඊට අවුරුද්දකට පස්සේ නැවතත් තාත්තා මාව බලන්න ආවා. හැබැයි මේ පාර එයා අම්මාවත් එක්ක ගෙන ආවා. මෙදා සැරේ අපි හැමෝම සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වුණා. ඒ රැස්වීමට පැමිණි විවිධ ජාතීන්ට අයත් අය තාත්තාව පිළිගත්ත විදිහ තාත්තාගේ හිතට තදින්ම කාවැදුණා. පස්සේ එයා දිගටම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කියවන්න පටන්ගත්තා.

බහුල ආශීර්වාද!

වර්ෂ 2001 සැප්තැම්බර් මාසයේදී මම රුසියානු ජාතික යෙලෙනා සමඟ විවාහ දිවියට පා තැබුවා. ඇය බව්තීස්ම වී තිබුණේ 1997දීයි. ඇය 2003 මැයි මාසයේ ඉඳලා පූර්ණකාලීන සේවය කරමිනුයි සිටියේ. ටික කාලයකට පස්සේ අපිට ආරංචි වුණා මගේ දෙමව්පියන් බයිබලය පාඩම් කරන්න පටන්ගෙන යෙහෝවා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගෙන තියෙනවා කියලා. ඒත් ඒක මට තාත්තාම කියන කල් මම විශ්වාස කළේ නැහැ. එක දවසක් තාත්තා මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා යෙහෝවා තමයි ඉන්න එකම සැබෑ දෙවි කියලා. එදා මට පුදුම සතුටක් දැනුණා!

අපි අල්මා-අටාවල ජීවත් වෙද්දී චීනය, ඉරානය, පකිස්තානය, සිරියාව සහ තුර්කිය වැනි රටවලින් පැමිණි අය සමඟ බයිබලය පාඩම් කරන්න මට ලැබුණු අවස්ථාව ගැන මම හුඟක් සතුටු වුණා. එක දවසක් ඉරානයෙන් පැමිණි පූජකවරයෙක් පර්සියානු භාෂාවෙන් ඔහු සමඟ බයිබල් පාඩමක් කරන්න කියලා මගෙන් ඉල්ලුවා. ඇෆ්ගනිස්තානයේ කලින් හමුදාපතිවරයෙක් වෙලා සිටිය කෙනෙක් පවා යෙහෝවා දෙවි පිළිබඳව ඔහු ඉගෙනගත් දේවල් ගැන හුඟක් සතුටට පත් වුණා. ඒ විතරක් නෙවෙයි සිරියාවෙන් පැමිණි තවත් කෙනෙක් සමඟ මගේම මව් භාෂාව වන කර්ඩිෂ්වලින් පාඩමක් කරන්න මට අවස්ථාව උදා වුණා. ඒ වගේම මම පොඩි කාලයේ ඉගෙනගත්ත කසක්ස් සහ රුසියානු භාෂාවලින් පාඩම් පවත්වන්නද මට හැකි වුණා.

මමත් යෙලෙනාත් දැන් අල්මා-අටාවල තිබෙන කසක්ස් භාෂාව කතා කරන සභාවක සේවය කරනවා. ඒ නගරයේ තවත් සභා 35කට වැඩියෙන් තිබෙනවා. ගිය අවුරුද්දේ ඉඳලා අපි දෙන්නාට අල්මා-අටාවල මෑතකදී නිම කළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ තාවකාලිකව සේවය කරන්න අවස්ථාව උදා වුණා.

කලින් මම පුරුදු වෙලා හිටියේ සතුරන්ට වෛර කරන්නයි. ඒත් යෙහෝවා දෙවි ඉගැන්වූයේ සතුරන්ට ප්‍රේම කරන්නයි. නෑයන්ගෙන් හෝ මිතුරන්ගෙන් කුමන පීඩාවක් ආවත් අත් නෑර දිගටම දෙවිට සේවය කරන්න මම ඉගෙනගත්තා. (ගලාති 6:9) “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” අපි දෙන්නාට දැන් හැකිවීම ගැන අපි හුඟක් සතුටු වෙනවා.—1 කොරින්ති 15:58.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ආයෙමත් ඒ වගේ දෙයක් කළොත් තාත්තාට කියන බව අම්මා මට කිව්වා

[15වන පිටුවේ පින්තූරය]

මම පොඩි කාලේ රැස්වීම්වලට ගිය කරාටාවූවල තිබුණු රාජ්‍ය ශාලාව

[15වන පිටුවේ පින්තූරය]

මගේ දෙමව්පියන් දැන් අපි කරන සේවය අගය කරනවා

[15වන පිටුවේ පින්තූරය]

යෙලෙනා සහ මම විවාහ වූ දවස

[15වන පිටුවේ පින්තූරය]

මමත් යෙලෙනාත් අල්මා-අටාවල තිබෙන ශාඛා කාර්යාලය ඉදිරිපිට