Skip to content

පටුනට යන්න

මරණය සියල්ලේ අවසානයද?

මරණය සියල්ලේ අවසානයද?

එය සිදු වුණේ 1987 පෙබරවාරි මාසයේ එක් දවසකයි. වයස අවුරුදු 85ක් වූ පුද්ගලයෙක් වකුගඩු පෙරීම සඳහා තම සිරුරට සවි කර තිබූ යන්ත්‍රය ගලවා දැමීමට තීරණය කළා. ඉන් සති දෙකකට පසු ඔහු දිවියෙන් සමුගත්තා. ඒ වන විට ඔහු ළඟ සිටියේ ඔහුගේ පුතා පමණයි.

මරණයෙන් පසුව නැවත ජීවත් විය හැකිද යන්න පිළිබඳව කතා කිරීමට මිය යෑමට කලින් ඔහුටත් ඔහුගේ පුතාටත් අවස්ථාව උදා වුණා. ඔවුන් මින් පෙරද එම විෂය ගැන කතා කර තිබුණා. මිය ගිය පුද්ගලයා ඉතා උගත් කෙනෙක්. පරිණාමවාදය විශ්වාස කළ ඔහු දෙවි කෙනෙක්ව විශ්වාස කළේ නැහැ. ඒ වගේම ඔහු ආගම් තුළ දකින්න ලැබෙන කුහකකම්ද තරයේ හෙළාදැක්කා.

මරණය අභියස සිටි තම පියාව සනසවන්න සහ ඔහුට යම් බලාපොරොත්තුවක් ලබා දෙන්න පුතාට අවශ්‍ය වුණා. ඒ නිසා මරණයෙන් පසුව නැවතත් මේ පොළොව මත ජීවිත් විය හැකියි යන කාරණය ඔහු තම පියාට පෙන්වා දුන්නා. කලින් පියා ඒ ගැන විශ්වාස නොකළත් මරණය දිනෙන් දින ළං වෙද්දී නැවතත් මේ පොළොව මත සෞඛ්‍යසම්පන්න ජීවිතයක් භුක්ති විඳීමට ආශාවක් ඔහු තුළ ඇති වුණා.

මරණය අභියස සැනසීම

සාමකාමී තත්වයක් යටතේ නැවතත් මේ පොළොව මත සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්න ලැබෙනවා නම් ඊට බහුතරයක් කැමති වන බව නම් නිසැකයි. නමුත් සතුන්ගේ තත්වය ඊට වඩා හුඟක් වෙනස්. ඒ නිසයි බයිබලයේ සතුන්ව “කල්පනා ශක්තියක් නැති” ජීවීන් ලෙස විස්තර කර තිබෙන්නේ. (2 පේතෘස් 2:12) සාමාන්‍යයෙන් මිනිසුන් මිය ගියොත් භූමදාන කරනවා. එමෙන්ම අනාගතය ගැන ඔවුන් නිතරම කල්පනා කරනවා. අසනීප වෙන්නවත් මහලු වී මිය යන්නවත් අපි කවුරුත් කැමති නැහැ. නමුත් අපි හැම කෙනෙකුටම ඊට මුහුණ දෙන්න සිදු වෙනවාමයි.

සාමාන්‍යයෙන් තමන් හෝ තමන් ප්‍රේම කරන කෙනෙක් මිය යන බව දැනගත් විට මරණය ගැන බැරෑරුම්ව සිතන්න කෙනෙක් පෙලඹෙනවා. කොහොමවුණත් ඒකාන්ත ආකල්පයක් ඇතුව ඒ ගැන කල්පනා කරන්න කියා බයිබලයේ අපව දිරිගන්වනවා. එහි සඳහන් වන පරිදි ‘උත්සවයක් තිබෙන ගෙදරකට යනවාට වඩා මරණ ගෙදරකට යෑම හොඳය. ජීවත්ව සිටින්නෝ මේ ගැන හොඳින් කල්පනා කළ යුතුයි.’ (දේශනාකාරයා 7:2, නව ලොව පරිවර්තනය, NW) ඒ ඇයි?

ඊට එක් හේතුවක් නම් සාමකාමී සුරක්ෂිත තත්වයක් යටතේ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීමට ආශාවක් අපි තුළ උපතින්ම පැළපදියම් වී තිබීමයි. අපි කිසිම කෙනෙක් මිය යන්නවත් ඒ ගැන සිතන්නවත් කැමති නැහැ. ඊට හේතුව බයිබලයේ පැහැදිලි කර ඇත්තේ මෙසේයි. “[දෙවි] මිනිසාගේ සිතෙහි නිමක් නැතිව ජීවත් වීමේ සිතුවිලි තබා ඇත.” (දේශනාකාරයා 3:11NW) මේ ගැන සිතා බලන්න. අපේ නිර්මාතෘ අපිව සදාකල් ජීවත් වීම සඳහා නිර්මාණය නොකළා නම් ජීවත් වීමට දැඩි ආශාවක් අපි තුළ ඇති වෙයිද? මරණයෙන් පසු නැවතත් මේ පොළොව මත කිසිදා මිය නොයෙන ජීවිතයක් ගැන විශ්වාස කළ හැකිද?

විශ්වාස කිරීමට හේතු

පසුගිය වසරේ අමෙරිකාවේ විශ්‍රාමිකයන්ගේ සංගමයෙන් ප්‍රකාශයට පත් කරන සඟරාවේ “මරණයෙන් පසු ජීවිතයක්” යන මැයෙන් යුත් ලිපියක් පළ වුණා. එම සංගමය මගින් වයස අවුරුදු 50ට වැඩි අයව සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ අතර එහි ප්‍රතිඵල ගැන ඒ ලිපියේ මෙසේ සඳහන් වී තිබුණා. ‘මරණයෙන් පසු ජීවිතයක් තිබෙනවා යන කාරණයට සියයට 73ක් පමණ එකඟ වෙනවා. නමුත් සියයට 25ක් පමණ ඊට එකඟ වෙන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ සියල්ල මරණයෙන් අවසන් වන බවයි.’ මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් ඇත්තටම ආශා කරන දෙයද?—AARP The Magazine.

නිව් යෝර්ක්හි වෙසෙන කතෝලික භක්තිකයෙක් වූ ටාම් දැක්වූ අදහස් එම ලිපියේ සඳහන් වුණා. “ආගමික නායකයන් මරණයෙන් පසු ජීවිතයක් ගැන දේශනා කරනවා. ඔවුන්ට ඒ ගැන විවිධ මත තිබෙනවා. ඒත් අපි විශ්වාස කළ යුතු දේ තීරණය කරන්න ඕනේ අපිමයි. මම පල්ලියට යන කෙනෙක් වුණාට මරණයෙන් පසු නැවත ජීවත් වීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් තියෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද!”

ටාම්ට මෙන් බොහෝදෙනෙකුට මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාසයක් නැහැ. අපි මේ ලිපියේ මුලදී කතා කළ පියා නිතරම ඔහුගේ පුතාට මෙසේ පැවසුවා. “මරණයට මුහුණ දෙන්න ශක්තියක් නැති අයට නම් ඒ වගේ විශ්වාසයක් තියෙන එක හොඳයි.” නමුත් ඔහුට මෙන්ම ඒ පිළිබඳව විරුද්ධ මත දරන සියලුදෙනාටම එක දෙයක් පිළිගන්න සිදු වෙනවා. එනම්, වටහාගැනීමට අසීරු ආශ්චර්යවත් ක්‍රියා ගැන විශ්වාස කරන්න නම් සර්වපරාක්‍රම දෙවි කෙනෙක් ගැන විශ්වාස කිරීමට සිදු වෙන බව.

උදාහරණයකට බිලිඳෙකුගේ මොළයේ සෛල ඇති වීම ගැන කල්පනා කර බලන්න. දරුවෙකු පිළිසිඳ ගැනීමෙන් සති තුනකට පසුව මොළය තුළ ස්නායු සෛල ඇති වීමට පටන්ගන්නවා. එම සෛල ඇති වීමේ වේගය මිනිත්තුවකට ලක්ෂ 25ක් තරම් වෙනවා! මාස නවයකට පසුව ඉගෙනගැනීමේ අසීමිත හැකියාවෙන් අනූන මොළයක් සහිත බිලිඳෙක් මෙලොව එළිය දකිනවා. අණුක ජීව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වොට්සන් පැවසූ ආකාරයට “විශ්වයේ මෙතෙක් සොයාගෙන තිබෙන වඩාත්ම සංකීර්ණ දෙය මොළයයි.”

එවැනි පුදුමාකාර ක්‍රියා ගැන සිතා බලද්දී බොහෝ අය මවිතයට පත් වෙනවා. ඔබටත් හැඟෙන්නේ එලෙසද? එවැනි දේවල් ගැන හොඳින් කල්පනා කර බැලීමෙන් අතීතයේදී සිටි මිනිසෙක් ඇසූ මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට ඔබටත් හැකි වෙයි. “මිනිසාගේ හුස්ම නික්ම ගිය පසු ඔහු යළි ජීවත් වේද?” ඉන්පසු ඔහුම ස්ථිර විශ්වාසයකින් ඊට මෙසේ පිළිතුරු දුන්නා. “ඔබ අඬගසන්නේය. මම උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් මැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටියි.”—යෝබ් 14:14, 15NW.

මරණයෙන් පසුව නැවතත් මේ පොළොව මත ජීවත් විය හැක්කේ කෙසේද? එය විශ්වාස කිරීමට අපට තිබෙන හේතු මොනවාද? ඒ ගැන අපි දැන් සලකා බලමු.