Skip to content

පටුනට යන්න

රොබෝවරු මිනිසුන් අභිභවා යයිද?

රොබෝවරු මිනිසුන් අභිභවා යයිද?

රොබෝවරු මිනිසුන් අභිභවා යයිද?

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

රොබෝවරු කියද්දී ඔබේ මනසට නැඟෙන්නේ මොන වගේ පින්තූරයක්ද? සමහර අයට ඔවුන් මිත්‍රශීලී, මිනිසුන්ට උපකාර කරන අය හැටියට හැඟෙනවා. තවත් සමහරු සිතන්නේ කවදා හරි රොබෝවරු මිනිස් බුද්ධිය අභිභවා ගොස් මිනිසුන්ට අභියෝගයක් විය හැකි බවයි. නමුත් සමහර අයට නම් එය යන්ත්‍රයක් විතරයි.

අද සිටින රොබෝවරු ගැන කුමක් කිව හැකිද? එක් ආයතනයක 2006දී කළ ගණනය කිරීමකට අනුව ලොව පුරා විවිධ සේවාවන් සැපයීම සඳහා රොබෝවරු මිලියනකට ආසන්න ගණනක් යොදවාගෙන තිබෙනවා. එම ප්‍රමාණයෙන් අඩක් පමණ ව්‍යාප්තව ඇත්තේ ආසියා මහද්වීපය තුළයි. රොබෝවරුන්ට එතරම් ඉල්ලුමක් ඇත්තේ ඇයි?—එම ආයතනය International Federation of Robotics.

රොබෝවරු කරන කාර්යයන්

කිසි මහන්සියක් දැනෙන්නේ නැති, ස්වාමියාට එරෙහිව පැමිණිලි නොකරන, සතියේ දින හතේම පැය 24 පුරා වැඩ කරන කාර්යක්ෂම සේවකයෙක් ගැන සිතා බලන්න. කර්මාන්ත ශාලාවල වැඩ කරන රොබෝවරු හරියට ඒ වගෙයි. ඔවුන් විශේෂයෙන් විදුලි සහ ගෘහ උපකරණ වගේම මෝටර් රථ අංගෝපාංග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල සේවය කරනවා. රොබෝ යන නම ඔවුන්ට ලැබුණේ චෙක් භාෂාවෙන් රොබෝටා කියන වචනයෙනුයි. එහි අර්ථය “බලෙන් වැඩ ගන්නවා” යන්නයි. වර්ෂ 2005දී කළ ගණනය කිරීමකට අනුව මෝටර් රථ කර්මාන්තයේ සිටින සෑම සේවකයන් 10දෙනෙකුටම එක් රොබෝවරයෙක් බැගින් සිටිනවා.

කර්මාන්ත ශාලාවල විතරක් නොවෙයි වෙනත් ක්ෂේත්‍රවලත් රොබෝවරු සේවය කරනවා. හඬ හඳුනාගැනීමේ උපකරණ, රැහැන් රහිත සන්නිවේදන, චන්ද්‍රිකා තාක්ෂණය මගින් යම් වස්තුවක පිහිටීම සොයාගැනීමේ ක්‍රමය (GPS) හා උෂ්ණත්වය, ශක්තිය, ශබ්ද තරංග, රසායනික හා විකිරණශීලී ද්‍රව්‍ය වැනි දේවලට සංවේදී විවිධ අංගෝපාංග සහිත රොබෝවරුද අද දකින්න ලැබෙනවා. මින් පෙර සාදා නැති ආකාරයේ විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැකි රොබෝවරු දැන් නිෂ්පාදනය වෙනවා. එමෙන්ම වසර කිහිපයකට පෙර කිරීමට නොහැකියි කියා පෙනුණ විවිධ කාර්යයන් මේ රොබෝවරු ලවා ඉටු කරගෙන තිබෙනවා. අපි දැන් ඒ ගැන මදක් සලකා බලමු.

පොදු සේවකයෙක්. බ්‍රිතාන්‍යයේ තිබෙන එක් රෝහලක බෙහෙත් ශාලාවේ අත් සහිත රොබෝවරයෙක් වැඩ කරනවා. තත්පර කිහිපකයකින් අවශ්‍ය බෙහෙත් සපයන්න ඊට හැකියි. ඒ වගේම අමෙරිකාවේ බොහෝ තැපැල් කාර්යාලවල ලියුම් වර්ග කරන්න, ඔසවාගෙන යන්න සහ වෙනත් වැඩ කටයුතු සඳහා රොබෝවරුන්ව යොදාගන්නවා. දිගු අත් සහිත රොබෝවරු භාවිත කරමින් මිනිසුන්ට ළඟා වීමට අසීරු ගුවන් යානාවල තටු ඇතුළත වැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට හැකියි.

මිතුරෙක්. ජපානයේ එක්තරා රෝහලක සිටින මහලු රෝගීන්ගේ හිත සුව පිණිස භාවිත කරන ඉතා හුරුබුහුටි, ලොම්වලින් පිරුණු රොබෝ සීල් මත්ස්‍යයෙක් සිටිනවා. එම මත්ස්‍යයා ස්පර්ශය, ආලෝකය, ශබ්දය, උණුසුම වැනි දේවලට සංවේදී වන අතර ඇත්ත සතෙක් වගේ හඬ නඟන්න, ඇසෙන් ඉඟි කරන්න සහ වරල් සොලවා ප්‍රතිචාරය දක්වන්න එයට පුළුවන්. මිතුරෙකුගෙන් සිදු වන කාර්යය මේ රොබෝ මගින් සිදු වන බවද එය යම් ආකාරයක චිකිත්සක ක්‍රමයක් බවද සමහර අය විශ්වාස කරනවා.

වෛද්‍ය සේවකයෙක්. අත් තුනක් සහිත රොබෝවරුන්ව භාවිත කරමින් දැන් හෘද සැත්කම් කිරීමට පවා සමත් වී තිබෙනවා. එවැනි සැත්කම් කිරීමේදී වෛද්‍යවරයා කරන්නේ යම් පරිගණක පද්ධතියක් උපයෝගී කරගනිමින් එම රොබෝගේ අත් පාලනය කිරීමයි. එසේ කිරීමෙන් සැත්කම කළ යුතු නිසි ස්ථානයට එම අත් ස්ථානගත කළ හැකි නිසා ඇති විය හැකි අවදානම් සහිත තත්වයන් මඟහරවා ගත හැකියි. එවැනි සැත්කම්වලින් රෝගියාගේ වේදනාව සහ ලේ ගැලීම අවම කරගැනීමට මෙන්ම ඉක්මන් සුවයද ලබාගත හැකියි.

ගෘහ සේවකයෙක්. නිවසේ ඇති දූවිලි පිසදමමින් පිරිසිදු කිරීමේ කටයුතුවල නියැලෙන රොබෝවරුද සිටිනවා. එක් බොත්තමක් එබූ සැණින් එම රොබෝවරු නිවසේ බඩු මුට්ටු නැති ස්ථාන සියල්ලේම දූවිලි ඇදගන්නවා. කාර්යය අවසන් වූ පසු බැටරිය චාජ් කරගැනීම සඳහා අදාළ ස්ථානයට යෑමට ඊට හැකියි. ගණන් බලා ඇති ආකාරයට එවැනි යන්ත්‍ර මිලියන දෙකකට වැඩි ගණනක් අද වන විට භාවිත වෙනවා.

අභ්‍යාවකාශ ගවේෂකයෙක්. අඟහරු ග්‍රහයා මත ගවේෂණයන් කළ හැකි විවිධ තාක්ෂණික අංගෝපාංගවලින් යුත් රෝද හයකින් සමන්විත ස්පිරිට් ලෙස හඳුන්වන ජංගම රොබෝවරයෙක් සිටිනවා. එයින් ග්‍රහයා මත තිබෙන පස් හා පාෂාණවල සංයුතිය ගැන ගවේෂණය කරන්නත් එහි සවි කර ඇති කැමරා යොදාගනිමින් මේ වන විට ඡායාරූප 88,500කට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාගන්නත් හැකි වී තිබෙනවා. ඒවාට පෘථිවිය, වලාකුළු, ආවාට, දූවිලි කුණාටු සහ අඟහරු සිට හිරුගේ නැඟීමේ දර්ශනද ඇතුළත්. ස්පිරිට් ජංගම රොබෝවරයාට අමතරව අඟහරු මත ගවේෂණ කරන තවත් ජංගම රොබෝවරයෙක්ද සිටිනවා.

ජීවිත බේරාගන්නෙක්. ලෝක වෙළඳ මධ්‍යස්ථාන දෙක බෝම්බ ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී එම ගොඩනැඟිල්ලේ සිර වී සිටි අයව සොයාගැනීම සඳහා පැසි පන්දුවක් තරම් කුඩා රොබෝවරු 17ක් භාවිත කළා. අද වන විට ඊටත් වඩා තාක්ෂණයෙන් දියුණු රොබෝවරු නිර්මාණය කර තිබෙනවා. පහත රූපය බලන්න.

සාගර ගවේෂකයෙක්. සාගර පර්යේෂණ සඳහා දිය යට කිමිදෙන රොබෝ ලෙස හඳුන්වන රොබෝවරයෙක්ව යොදාගන්නවා. ඒවා ස්වංක්‍රීයව ක්‍රියා කරන අතර සාගර පතුළේ ඇති දුරකථන සන්නිවේදන රැහැන්, තල්මසුන් සිටින තැන් සහ සාගර පතුලේ ඇති පුපුරන ද්‍රව්‍ය තිබෙන ස්ථාන සොයා බැලීම සඳහා භාවිත කරනවා.

මිනිසුන් හා සමාන රොබෝවරු

සියවස් ගණනාවකට පෙර සිටම මිනිසුන්ට සමාන රොබෝවරු නිර්මාණය කිරීමේ සිහිනයක් පර්යේෂකයන් තුළ තිබුණා. නමුත් එය එතරම්ම ලෙහෙසි කාර්යයක් නම් නොවෙයි! එක් පුවත්පතක ඒ ගැන මෙසේ සඳහන් වුණා. “දැකීමට, ඇසීමට, ගඳ සුවඳ දැනීමට හා ස්පර්ශ කිරීමට හැකියාවක් ඇති කෘතිම ස්නායු පද්ධතියක් මෙන්ම මිනිසුන්ගේ බුද්ධියට යම්තාක් දුරකට හෝ සමාන බුද්ධියක් ඇති රොබෝවරයෙක්ව නිර්මාණය කරනවාට වඩා සුපිරි පරිගණක, සුවිසල් ගොඩනැඟිලි හා විශාල නගර සැලසුම් කිරීම ඉතාමත් පහසුයි.”—Business Week.

නිදසුනකට, ඇවිදින රොබෝවරු නිර්මාණය කරන්න පර්යේෂකයන් උත්සාහ කළා. එය ලෙහෙසි දෙයක් ලෙස පෙනුණත් ඔවුන්ට එය කිරීමට වසර 11ක් ගත වුණා. වර්ෂ 1997දී ජපන් ඉන්ජිනේරුවන්ට එය නිර්මාණය කරන්න විශාල වෙහෙසක් හා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදු වුණා. එදා පටන් මේ දක්වා එම නිර්මාණය වැඩි දියුණු වෙමින් පවතිනවා. එවැනි රොබෝවරුන්ට දැන් ඇවිදින්න විතරක් නෙවෙයි පඩි නගින්න, දුවන්න, නටන්න, යම් දේවල් රැගෙන යන්න, තල්ලු කරන්න වගේම වැටුණොත් නැවත සිටගන්න පවා හැකියාව තිබෙනවා.

රොබෝවරුන්ගේ අනාගතය

අනාගතයේදී තවත් මොන වගේ දේවලට රොබෝවරුන්ව යොදාගනියිද? මේ වන විට නාසා ආයතනය අභ්‍යාවකාශය තරණය කිරීමට හැකි රොබෝවරු නිර්මාණය කරමින් සිටිනවා. ඒවා මගින් අනතුරුදායකයයි පෙනෙන කාර්යයන් ඉටු කරගත හැකි බව ඔවුන්ගේ අදහසයි. පරිගණක තාක්ෂණයේ ප්‍රධාන පුරෝගමියෙක් වූ බිල් ගේට්ස් මෙවැනි අදහසක් පළ කළා. “පෙනෙන විදිහට රොබෝවරුන්ට එදිනෙදා වැඩවලට උපකාර කරන්නෙක් මෙන්ම මහලු අයට හිතවත් මිතුරෙක් ලෙසද විශාල කාර්යයක් ඉටු කළ හැකි වෙයි.”

එමෙන්ම 2025 වන විට දරුවන් සහ මහලු අයව රැකබලා ගන්න වගේම ගේ දොර වැඩවලට සහාය විය හැකි රොබෝවරු නිර්මාණය කිරීමටද ජපන් රජය බලාපොරොත්තු වෙනවා. වර්ෂ 2050දී රොබෝවරුන්ගෙන් සමන්විත පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කිරීමටද පර්යේෂකයන් අපේක්ෂා කරනවා. ඒ වගේම දශක කිහිපයක් ඇතුළත මිනිස් බුද්ධිය අභිභවා යා හැකි රොබෝවරුන්ව නිර්මාණය කිරීමද ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ඉහත කී නිර්මාණයන් කළ හැකි බව පර්යේෂකයන් සිතුවත් ඔවුන් සෑම කෙනෙක්ම එසේ ශුභවාදීව හිතන්නේ නැහැ. පර්යේෂකයෙක් වන ජෝඩන් බී. පෝලක් මෙසේ පැවසුවා. “එසේ කිරීමෙන් අපි මිනිස් සිරුරේ ඇති අවයවයන් අවතක්සේරුවට ලක් කරනවා.”

රොබෝවරු නිර්මාණය කිරීම කොතෙක් දුරට දියුණු වෙයිද කියා අපිට ස්ථිර වෙන්න බැහැ. නමුත් ප්‍රඥාව, යුක්තිය, බලය හා ප්‍රේමය වැනි ගතිලක්ෂණ ඇතිව රොබෝවරු නිර්මාණය කරන්න කිසි දිනක නොහැකි බව නම් ස්ථිරයි. මන්ද එම ගතිලක්ෂණ තිබෙන්නේ මිනිසුන්ට පමණයි. ඊට හේතුව වෙනත් නිර්මාණයන්ට වෙනස්ව තමන්ගේ ස්වරූපයෙන් මිනිසුන්ව දෙවි නිර්මාණය කර තිබීම බව බයිබලයේ පෙන්වනවා. (උත්පත්ති 1:27) මිනිසුන් කියන්නේ නිකම්ම හැඟීම් දැනීම් නැති යන්ත්‍ර නෙවෙයි. ඒ වෙනුවට ඔවුන්ට නිදහසේ තීරණ ගන්න, කල්පනා කරන්න සහ දෙවිට නමස්කාර කරන්න හැකියාව තිබෙනවා. රොබෝවරුන්ට වඩා වෙනස් ආකාරයට අපව නිර්මාණය කර තිබීමෙන් අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට ළංවීමට අපිට හැකි වීම මොන තරම් සතුටක්ද!—යාකොබ් 4:8.

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy Aaron Edsinger

Courtesy OC Robotics

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy AIST

© 2008 Intuitive Surgical, Inc.

Courtesy iRobot Corp.

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: NASA/​JPL-Solar System Visualization Team; left: NASA/​JPL/​Cornell University

© The RoboCup Federation

Greg McFall/​NOAA/​Gray’s Reef National Marine Sanctuary

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© 2007 American Honda Motor Co., Inc.