Skip to content

පටුනට යන්න

ගමන් මඟෙන් ආපස්සට ගලන ගඟ

ගමන් මඟෙන් ආපස්සට ගලන ගඟ

ගමන් මඟෙන් ආපස්සට ගලන ගඟ

කාම්බෝජයේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ කවදා හෝ ආපස්සට ගමන් කරන ගඟක් දැක තිබෙනවාද? අවුරුද්දෙන් අඩක්ම වනාන්තරයක් ජලයෙන් යට වී තිබෙන බව ඔබ දැක තිබෙනවාද? එසේත් නැත්නම් මිනිසුන් පාවෙන නිවෙස්වල දිවි ගෙවන ආකාරය කිසි දිනක හෝ ඔබ දැක තිබෙනවාද? එසේ සිතීම පවා පුදුමය දනවන්නක් විය හැකියි. නමුත් මෝසම් වැසි සමයේ කාම්බෝජයේ සවාරියක් යන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඒ සිදුවීම් සියල්ල සියැසින් දැකගන්න ඔබට හැකි වන බව නම් නොඅනුමානයි!

සෑම වසරක මැයි මාසයේ මැදභාගයේ සිට ඔක්තෝබර් දක්වා එම ප්‍රදේශවල උදේ කාලයේදී පැහැදිලි අහසක් දැකගන්න ලැබෙනවා. නමුත් සවස් කාලයේදී නම් අහස් කුස කලු වළාවෙන් බර වී මොරසූරන වැසි කඩා හැළීමට පටන්ගන්නවා. ඒත් සමඟම වියළි භූමි ජලයෙන් යට වී ගංගා පිටාර ගලනවා.

ගඟ ආපස්සට ගලන්නේ ඇයි?

මෙහි ඇති සිතියම දෙස හොඳින් බලන්න. එහි මීකොං ගඟ සහ ටෝනලෙ සැප් ගඟ යා වෙන ස්ථානය ඔබ දුටුවාද? එසේ යා වූ ගංගා දෙක නැවතත් බාසාක් සහ මීකොං ලෙස අතු ගංගා දෙකකට බෙදී යනවා. ඉන්පසු එම ගංගා වියට්නාමය හරහා දකුණු දෙසට ගමන් කරන අතර ඉන් විශාල මීකොං ඩෙල්ටාව සෑදෙනවා.

මෝසම් වැසි කඩා හැළෙද්දී ඩෙල්ටාව අවට පහත් බිම් සියල්ලම ජලයෙන් යට වී යනවා. ඒ හේතුවෙන් වියළී තිබූ අතු ගංගා ජලයෙන් වැසී එම ප්‍රදේශවල ජල මට්ටම වැඩි වෙනවා. ඒ සමඟම ටෝනලෙ සැප් ගංගාව ආපස්සට එනම් උතුරු දෙසට ගලා යනවා. එහි ගමනාන්තය වන්නේ ටෝනලෙ සැප් විලයි.

ටෝනලෙ සැප් විල පිහිටා තිබෙන්නේ කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි තැනිතලාවකයි. වියළි කාලයේදී එම විලෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 3,000ක් පමණ වුණත් මෝසම් වැසි සමයේදී එහි විශාලත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා හතර පස් ගුණයකින් වැඩියි. එලෙස එය ගිනිකොනදිග ආසියාවේ වැඩිම ජල ස්කන්ධයක් හිමි මිරිදිය විල බවට පත් වෙනවා.

කලින් දකින්න තිබූ ගස්, කුඹුරු යායවල්, මහමාර්ග විතරක් නොවෙයි මුළු ගම් පළාතම දැන් ජලයෙන් යට වෙලා. කලින් ධීවරයන්ගේ බෝට්ටු ගමන් කළේ අඩි තුනක් පමණ ගැඹුරු ජලයේ වුණත් දැන් ඔවුන්ට ගමන් කරන්න සිදු වී තිබෙන්නේ අඩි 30ක් පමණ ගැඹුරු ජලයේයි. අපි එය ස්වාභාවික විපතක් ලෙස සැලකුවත් කාම්බෝජියානු වැසියන් නම් එය සලකන්නේ ආශීර්වාදයක් හැටියටයි. ඒ ඇයි?

ඔවුන් ලබන ප්‍රයෝජන

ආපස්සට ගලා එන ටෝනලෙ සැප් ගංගාවේ විශාල ලෙස දියළු පස් තැම්පත් වන නිසා ඒ අවට ප්‍රදේශය ඉතාමත් සාරවත්. ඒ විතරක් නොවෙයි මීකොං ගඟෙන් ඇදී එන මිරිදිය මසුන්ට තම වර්ගයා බෝ කිරීමට ටෝනලෙ සැප් විල කදිම ස්ථානයක්ද වෙනවා. එය ලොව මිරිදිය මසුන්ගෙන් බහුලම විල් අතුරින් එකක්. වැසි සහිත කාලය නිමා වෙනවාත් සමඟම විලේ ජල මට්ටම විගසින් බැස යන නිසා සමහර අවස්ථාවලදී ධීවරයන්ට ගස් අතු අතරේ හිර වී සිටින මසුන්ව පවා අල්ලා ගැනීමට හැකියාව ලැබෙනවා.

සෑම වසරකම එලෙස ගංවතුර ගැලීම නිසා පරිසර පද්ධතියේ විශාල වෙනස්කම් සිදු වෙනවා. ගංගා පිටාර ගැලූ එම ප්‍රදේශවල ශාක වැඩෙන්නේ නිවර්තන කලාපයට වඩා හාත්පසින්ම වෙනස්වයි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයේ වැවෙන ශාකවල කොළ වියළි කාලයේදී හැළෙන අතර ඒ කාලයේදී එහි වර්ධනය සිදු වන්නේ ඉතාමත් සෙමින්. නමුත් වැසි සහිත කාලයේදී ගස්වල දළු ලියලා ශාක ඉක්මනින් වර්ධනය වෙන්න පටන්ගන්නවා. නමුත් ටෝනලෙ සැප් විලෙහි වැඩෙන ශාකවල කොළ හැළෙන්නේ වියළි කාලයේදී නොව වැසි වැස ගංගා පිටාර ගැලුවායින් පසුවයි. නමුත් එහි වර්ධනය සිදු වන්නේ ඉතාමත් සෙමින්. ඒත් වියළි කාලය පටන්ගැනීමත් සමඟම ඉක්මනින්ම ශාකවල දළු ලියලා ඒවා හොඳින් වැඩෙන්න පටන්ගන්නවා. එලෙස එහි වර්ධනයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ ටෝනලෙ සැප් විලෙහි ජලය හිඳී ගිය විට එහි තැන්පත් වී ඇති දිරාගිය කොළ රොඩු නිසයි.

පාවෙන නිවෙස්

විලෙහි ජීවත් වෙන මිනිසුන් ගැන කිව හැක්කේ කුමක්ද? සමහර අය ඔවුන්ගේ නිවෙස් ආධාරක කණු මත ඉදි කර තිබෙනවා. වියළි කාලයේදී මෙම ගෙවල් තිබෙන්නේ අඩි 20ක් පමණ උඩින්. නමුත් ගංවතුර කාලයේදී ධීවර බෝට්ටු ඔවුන්ගේ නිවෙස්වල දොරකඩ අසලටම ගත හැකි වන සේ ජල මට්ටම ඉහළ නඟිනවා.

තවත් අය ජීවත් වන්නේ නිවෙස් ආකාරයට තනා ඇති බෝට්ටු හෝ පාරුවක් වැනි පෘෂ්ඨයක් මත සෑදූ නිවෙස් තුළයි. එහි ජීවත් වන පවුල්වල සමාජිකයන් ගණන වැඩි වෙද්දී ඔවුන් තමන්ගේ පා වෙන නිවෙස් තවත් විශාල කරගන්නවා. එලෙස ටෝනලෙ සැප් විලෙහි පාවෙන කුඩා ගම්මාන 170ක් පමණ තිබෙන බවට ගණන් බලා තිබෙනවා.

සාමාන්‍යයෙන් දහවල් කාලයේදී ලොකු කුඩා සෑම කෙනෙක්ම මසුන් ඇල්ලීමෙහි නිරත වෙනවා. ජල මට්ටම ඉහළ හෝ පහළ යෑම අනුව සමහරවිට ඔවුන් තම පාවෙන නිවෙස් මසුන් ඇල්ලීමට කදිම ස්ථාන කරා හෝ සැතපුම් ගණනාවක් දුර වෙරළ තීරයකට රැගෙන යනවා.

ඒ විලෙහි පාවෙන වෙළඳසැල්ද දැකගන්න පුළුවන්. ඔවුන් වෙළදාම් කිරීම සඳහාද පෞද්ගලික ගමනාගමනය සඳහාද ඒ ඔරු භාවිත කරනවා. ඒ විතරක් නොවෙයි පාවෙන පාසැල්ද එහි දැකගන්න ලැබෙනවා. එහි දකින්න ලැබෙන තුරුලියවල වර්ධනය හා මිනිසුන් දිවි ගෙවන ආකාරය තීරණය වන්නේ ආපස්සට ගලා බසින ගඟේ රිද්මයට අනුකූලවයි කියා පැවසුවොත් එය වඩාත් නිවැරදියි!

[23වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

වියළි කාලය

වැසි සහිත කාලය

කාම්බෝජය

ටෝනලෙ සැප් විල

ටෝනලෙ සැප් ගඟ

මීකොං ගඟ

නොම්පෙන්

බාසාක් ගඟ

මීකොං ඩෙල්ටාව

වියට්නාමය

[23වන පිටුවේ පින්තූරය]

ටෝනලෙ සැප් ගඟේ දරුවෙක් ඔරු පදිමින්

[23වන පිටුවේ පින්තූර]

එක් ගම්මානයක් වියළි සහ වැසි සහිත කාලයේදී

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Map: Based on NASA/​Visible Earth imagery; village photos: FAO/​Gordon Sharpless