Skip to content

පටුනට යන්න

දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ

දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ

දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ

ඔබේ දරුවා ළඟ ඔබේ වාහනයේ යතුර තිබෙනවා කියා සිතන්න. එසේත් නැත්නම් ඔහුට අන්තර්ජාලයේ ඕනෑම ස්ථානයක සැරිසරන්න හැකියාව තිබෙනවා කියා සිතන්න. මේ කාරණා දෙක අතුරින් ඔබට තිගැස්මක් ඇති වන්නේ කුමන කාරණය ගැනද? මේ ක්‍රියාකාරකම් දෙකෙහිම අනතුරුදායක පැති තිබෙන අතර ඒවා වගකීමෙන් කළ යුතුයි. කිසිම දවසක වාහනයක් පදවන්න එපා කියා දරුවන්ට පවසන්න දෙමාපියන්ට බැහැ. නමුත් එය ආරක්ෂිතව පැදවීමට ඔවුන්ව පුහුණු කරන්න දෙමාපියන්ට හැකියි. අන්තර්ජාලය භාවිත කිරීම සම්බන්ධයෙනුත් එය සැබෑවක්. පහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති ඊට උපකාරවත් වෙයි.

“සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතිව කටයුතු කරති.” (හිතෝපදේශ 13:16, නව ලොව පරිවර්තනය, NW) අන්තර්ජාලය භාවිත කරන දරුවන් සිටින දෙමාපියන්ට ඒ පිළිබඳව මූලික අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් කෙරෙන කාර්යය ගැනත් ක්ෂණික පණිවිඩ යැවීමේදී වෙබ් අඩවි නැරඹීමේදී හා අන්තර්ජාලයෙන් වෙනත් ක්‍රියාකාරකම්වල නියැලෙද්දී දරුවන් කරන්නේ කුමක්ද යන්න ගැනත් ඔබ දැන සිටීම වැදගත්. දෙදරු මවක් වන මාෂේ මෙවැනි දෙයක් පැවසුවා. “ඒ දේවල් ගැන දැනගන්න ඔබ දැන් වයසයි කියා හෝ ඔබ එතරම් දැනුම් තේරුම් නැති කෙනෙක් කියා සිතන්න එපා. දිනෙන් දින දියුණු වන තාක්ෂණය ගැන ඔබත් දැනුවත් වෙන්න.”

“ඔබ අලුතෙන් නිවසක් ඉදි කරනවා නම් ඒ නිවසේ තිබෙන සඳැල්ල වටා කුඩා තාප්පයක් බැඳිය යුතුයි.” (ද්විතීය කතාව 22:8NW) අහිතකර වෙබ් අඩවිවලට පිවිසීමේ හැකියාව වළක්වාලීමට හා පරිගණක තිරය මත දිස්වන නුසුදුසු වෙබ් අඩවි කරා රැගෙන යන පණිවිඩ අවහිර කිරීම සඳහා මෘදුකාංග වැඩසටහන් හා අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් උපකාර ලබාගත හැකියි. පරිගණකයකට ඒවා ඇතුල් කිරීම හරියට ආරක්ෂාව සඳහා සඳැල්ල වටා “කුඩා තාප්පයක්” බඳිනවා වගෙයි. දරුවන්ගේ නම් සහ ලිපින වැනි පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ අන් අයට ලබාගැනීමට නොහැකි වන සේ ඒවා අවහිර කිරීමට ක්‍රම යොදාගන්න දෙමාපියන්ට හැකියි. නමුත් එයින් සියලු අහිතකර දේවල් වළක්වන්න බැහැ. මන්ද පරිගණකය පිළිබඳ මනා අවබෝධයක් ඇති වයසින් වැඩි දරුවන්ට ඒවායින් රිංගා යාමට හැකියාවක් තිබීමයි.

“නිතරම අන් අයගෙන් වෙන්ව සිටන තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1NW) බ්‍රිතාන්‍යයේ කළ එක් සමීක්ෂණයකට අනුව වයස අවුරුදු නවයත් දහනවයත් අතර සිටින යෞවනයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට තමන්ගේ නිදන කාමරයේ සිටම අන්තර්ජාලය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. පරිගණකය සියලුදෙනාටම පෙනෙන ස්ථානයක තැබීමෙන් දෙමාපියන්ට හැකියි දරුවන් කරන්නේ කුමක්ද කියා අධීක්ෂණය කිරීමට. එවිට දරුවන් නුසුදුසු වෙබ් අඩවි කරා යෑමෙන් වළකිනවා.

මේ නිසා ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’ (එෆීස 5:15, 16) දරුවන් කොපමණ වේලාවක් අන්තර්ජාලය භාවිත කරනවාද? ඒ කොයි අවස්ථාවේද? ඔවුන්ට භාවිත කිරීමට සුදුසු හා නුසුදුසු වෙබ් අඩවි මොනවාද? ඉහත සඳහන් කාරණා සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දෙමාපියන් වන ඔබයි. ඒ පිළිබඳව ඔබ දරුවන් සමඟ සාකච්ඡා කළ යුතු අතර ඔබ දුන් මඟ පෙන්වීම් ඔවුන් තේරුම්ගත් බවට සහතික විය යුතුයි.

දරුවන් නිවසෙන් පිට සිටින විට ඔවුන්ව අධීක්ෂණය කළ නොහැකි බව ඇත්තයි. ඒ නිසා කළ යුතු වැදගත්ම දේ වන්නේ දරුවන් තුළ හොඳ ප්‍රතිපත්ති පැළපදියම් කිරීමයි. එවිට දරුවන් ඔබ ළඟ නොසිටින අවස්ථාවලදී පවා ඥානවන්ත තීරණ ගැනීමට ඔවුන්ට හැකියි. * (ෆිලිප්පි 2:12) අන්තර්ජාලය භාවිත කිරීමේදී දරුවන්ට ඔබ පනවා ඇති නීති පිළි නොපැදීමෙන් අත්විඳීමට සිදු වන ප්‍රතිඵල ගැන දරුවාට පැහැදිලිවම පවසා ඔබ කියූ ලෙසම එය ක්‍රියාත්මක කරන්න.

“ඇගේ ගෙයි වැසියන්ගේ ඕනෑ එපාකම් ගැන ඇය [හොඳ මවක්] සෝදිසියෙන් සිටින්නීය.” (හිතෝපදේශ 31:27NW) දරුවන් අන්තර්ජාලය භාවිත කරන විට දෙමාපියන් ඒ පිළිබඳව අධීක්ෂණය කළ යුතු අතර එසේ කරන බව ඔවුන්ට දැනෙන්න සලස්වන්න. නමුත් එසේ කිරීම දරුවාගේ නිදහස පැහැරගැනීමක් නොවෙයි. අන්තර්ජාලය පොදුවේ සෑම කෙනෙක්ම භාවිත කරනවා. ඒ නිසා දරුවන් නිතරම පිවිසෙන වෙබ් අඩවි සහ ඊ-මේල් විටින් විට පරීක්ෂා කර බලන්න කියා අමෙරිකාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය (FBI) නිර්දේශ කරනවා.

“සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත. එවිට සියලු දුෂ්ට මාර්ගවලින්ද වංචනික දේ කතා කරන තැනැත්තාගෙන්ද ඔබ ගැලවෙනු ඇත.” (හිතෝපදේශ 2:11, 12NW) තමන්ගේ දරුවන්ව අධීක්ෂණය කිරීම සහ ඔවුන් කරන දේවල් සොයා බැලීම සම්බන්ධයෙන් දෙමාපියන්ට කළ හැකි දේ සීමිතයි. නමුත් ඊටත් වඩා ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට හොඳ ප්‍රතිපත්ති ඉගැන්වීමත් ඔබගේ හොඳ ආදර්ශයත් බෙහෙවින් උපකාරවත් වෙනවා. ඒ නිසා අන්තර්ජාලය භාවිතයේදී දරුවා හසු විය හැකි උගුල් පිළිබඳව දරුවා සමඟ සාකච්ඡා කරන්න. ඒ සඳහා හොඳම ක්‍රමය නම් විවෘත අදහස් හුවමාරුවයි. එක් ක්‍රිස්තියානි පියෙක් වන ටාම් පැවසුවේ මෙසේයි. “අපි අපේ පුතාලා දෙන්නත් එක්ක අන්තර්ජාලය භාවිත කරන නරක මිනිසුන් ගැන කතා කළා. ඒ වගේම කාමුක දර්ශන කියන්නේ මොනවාද, ඇයි අපි ඒවා මඟහරින්න ඕනේ සහ නාඳුනන අය සමඟ අදහස් හුවමාරු නොකරන්න ඕනේ ඇයි කියලා අපි එයාලට පැහැදිලි කළා.”

දරුවන්ව ආරක්ෂා කරගත හැකි ආකාරය

අන්තර්ජාලය භාවිතයෙන් සිදු වන අනතුරු වැළැක්වීමට දෙමාපියන් යම් වෑයමක් දැරිය යුතුයි. ලෝකයේ තාක්ෂණය අද දිනෙන් දින දියුණු වෙමින් තිබෙනවා. නවීන තාක්ෂණයේ ප්‍රයෝජනවත් පැති වගේම අනතුරුදායක පැතිද තිබෙනවා. එම උගුල් හඳුනාගැනීමට දරුවන්ට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? බයිබලයේ ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.”—දේශනාකාරයා 7:12NW.

ප්‍රඥාවන්තව කටයුතු කරන්න දරුවන්ට උගන්වන්න. අන්තර්ජාලය වගකීමකින් යුතුව භාවිත කරන ආකාරය ගැනත් ඉන් ඇති විය හැකි අනතුරුවලින් වැළකී සිටිය හැකි ආකාරය ගැනත් ඔවුන්ව දැනුවත් කරන්න. එසේ කිරීමෙන් අන්තර්ජාලය දරුවන්ට අනතුරුදායක දෙයක් නොව ප්‍රයෝජනදායක දෙයක් බවට පත් කරගත හැකියි.

[පාදසටහන]

^ 7 ඡේ. ජංගම දුරකථන, සිම්පියුටර්, වීඩියෝ ක්‍රීඩා ඇතුළත් උපකරණ මගින්ද දරුවන්ට අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි බව මතක තබාගන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එංගලන්තයේ වයස අවුරුදු නවයත් දහනවයත් අතර යෞවනයන්ගෙන් සියයට 57ක්ම සතිපතා කාමුක දර්ශන නරඹනවා. නමුත් දරුවන් එසේ කරන බව දැන සිටින්නේ ඉන් සියයට 16කගේ දෙමාපියන් පමණයි

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විද්වතුන් විශ්වාස කරන පරිදි සෑම දිනකම නරක දේවලට පොලඹවන 7,50,000ක් පමණ දෙනෙක් අන් අයව ගොදුරු කරගැනීමට සංවාද කුටි හා වෙබ් අඩවිවල සැරිසරනවා

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අමෙරිකාවේ වයස අවුරුදු 12ත් 17ත් අතර යෞවනයන් සියයට 93ක් අන්තර්ජාලය භාවිත කරනවා

[8, 9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අන්තර්ජාලය වගකීමකින් යුතුව භාවිත කරන ආකාරය ඔබේ දරුවාට උගන්වන්න ඔබට හැකිද?