Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ වර්ෂ 2002දී චීනයේ “වැඩිම අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් හිමි ධනවතුන් කිසිවෙක් සිටියේ නැහැ. නමුත් 2006දී ධනවතුන් 15ක් වාර්තා වූ අතර 2007 වන විට එය 106ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.”—CHINA DAILY, CHINA.

▪ “ඉන්දියාවේ සම්පාදනය කර ඇති අලුත් නීතියකට අනුව තමන්ගේ මහලු දෙමාපියන්ව රැකබලා නොගන්නා අයව සිර භාරයට ගැනීමට පියවර ගෙන තිබෙනවා. අතීතයේ පටන් පැවත ආ සමාජ වගකීම් පැහැරහැරීම ඊට හේතුවයි.”—REUTERS, INDIA.

▪ “එංගලන්තයේ අද වන විට ඉස්ලාම් දහම අදහන අයගේ සංඛ්‍යාව එංගලන්ත සභාවේ සමාජිකයන්ගේ සංඛ්‍යාවට සමානකමක් දක්වන බව වාර්තා වෙනවා.”—THE ECONOMIST, BRITAIN.

ගස්වලින් ලෝහ

“දිරාගිය ශාක මගින් රත්රන් සොයාගත හැකියි” කියා එක් රුසියානු සඟරාවක සඳහන් වුණා. සයිබීරියාවේ වැඩෙන සදාහරිත ශාක, ලෝහ මිශ්‍ර පසෙන් මූලද්‍රව්‍ය උරාගන්නා බවත් එම ශාක මියැදුණු පසු උරාගත් මූලද්‍රව්‍ය නැවතත් පසට එක් වෙන බවත් (උලන් උඩේ, ඉර්කුට්ස්ක් සහ නොවොසිම්බිරිස්ක් යන නගරවල වෙසෙන) විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයාගත්තා. මේ අයුරින් පස් ටොන් එකකින් ප්ලැටිනම් ග්‍රෑම් පහක්ද රිදී කිලෝග්‍රෑම් තුනක්ද රත්රන් මිලිග්‍රෑම් 200ක් පමණද තිබෙන බව සයිබීරියානු විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවා.—Vokrug Sveta.

සොහොන් පිටියෙත් ප්‍රථමාධාර පහසුකම්!

හෘද ස්පන්දනය නතර වුණොත් නැවතත් එය ප්‍රකෘතිමත් කළ හැකි ඉලෙක්ට්‍රෝනික උපකරණයක් (defibrillator) ඕස්ට්‍රේලියාවේ සොහොන් පිටිවල වැඩ කරන අයට ලබා දී තිබෙනවා. ඒ ඇයි? මිය ගිය පුද්ගලයාගේ හිතවතෙකුට දැඩි වේදනාව නිසා හෘදයාබාධයක් වැලඳුණොත් එය ප්‍රයෝජනවත් වන බව එක් පුවත්පතක සඳහන් වුණා. එක් ප්‍රථමාධාර සේවා සපයන ආයතනයක නිලධාරිනියක් (සීසෙනාන්ඩා සාන්ටෝස්) මෙසේ පැවසුවා. ‘එවැනි අවස්ථාවලට සහභාගි වීමේදී කෙනෙකුට හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. ඊට සෙනඟ විශාල ලෙස ගැවසීම, හිතවතුන් වේදනාවෙන් හා කනස්සල්ලෙන් පසුවීම සහ පරිසරයට උචිත නොවන අයුරින් ඇඳ පැළඳ සිටීම වැනි දෑ හේතු වෙනවා.’ හඬ කවා ඇති උපදෙස් මාලාවක් එම ඉලෙක්ට්‍රෝනික උපකරණයේ තිබෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට හෘදයාබාධයක් තිබෙනවාද කියා හඳුනාගෙන විද්‍යුත් කම්පනය ලබා දෙන්න එම උපකරණයට හැකියි.—Sun-Herald.

සම්පත් පරිභෝජනයට බලපාන දික්කසාදය

දිනෙන් දින වැඩි වන දික්කසාද, සම්පත් පරිභෝජනයට අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා. ‘දික්කසාදයන් වැඩි වෙත්ම නිවෙස් සහ වෙනත් සම්පත්වල අවශ්‍යතාව වැඩි වෙනවා. ඔවුන් සම්පත් සැලකිල්ලෙන් භාවිත කළා නම් 2005දී අමෙරිකාවේ නේවාසික කාමර මිලියන 38ක්, විදුලි බලය කිලෝවොට්ස් බිලියන 73ක් සහ ජලය ගැලුම් බිලියන 627ක් නාස්ති වීමෙන් වළක්වාගැනීමට හැකිකම තිබුණා.’ වර්ෂ 2000දී අමෙරිකාවේ නිවෙස් මිලියන 6.1ක පමණ එලෙස සම්පත් නාස්ති වී තිබෙනවා.—Proceedings of the National Academy of Sciences.

ඇල්පෙනිති හිසක් තරම් කුඩා බයිබලයක්!

එක් පුවත්පතක සඳහන් වූ පරිදි ඊශ්‍රායෙලයේ වෙසෙන විද්‍යාඥයන් විසින් බයිබලයේ “පැරණි ගිවිසුම” “ඇල්පෙනිති හිසකට වඩා කුඩා” රත්රන් අලේප කළ කුඩා සිලිකන් චිපයක් (chip) මත මුද්‍රණය කර තිබෙනවා. එය කර තිබෙන්නේ රත්රන් ආලේප කළ සිලිකන් චිපය මත ගැල්ලියම් අයන ගැටීමට සැලැස්වීමෙනුයි. මහාචාර්යවරයෙක් වූ යූරි සිවාන් පවසන පරිදි ‘මේ ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි වන දෙයක් වන්නේ ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ සිතාගත නොහැකි දේ කළ හැකි බවයි.’—Science Daily.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/​Ariel Schalit