Skip to content

පටුනට යන්න

නෙත් සිත් වසඟ කරන පෝටෝ රිකෝ දූපත

නෙත් සිත් වසඟ කරන පෝටෝ රිකෝ දූපත

නෙත් සිත් වසඟ කරන පෝටෝ රිකෝ දූපත

වර්ෂ 1493 නොවැම්බර් 19වනදා දේශ ගවේෂකයෙක් වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස් ස්පාඤ්ඤ යුධ නැව් කණ්ඩායමක් සමඟ කැරිබියානු දූපතක නැංගුරම් ලා ගත්තා. ඔහු එම දූපත නම් කළේ සැන් ජුවාන් බව්තීස්ටා ලෙසයි. ඉතා කෙටි කලකින් තමන් පැමිණි කාර්යය ඉටු කරගත් පසු ඔහු ඊළඟ ගවේෂණය සඳහා පිටත් වුණා.

එම දූපතේ රන්වන් වෙරළ තීරය පුරා දකින්න ලැබුණු තාල වර්ගයට අයත් ශාක හා එහි සොබා සෞන්දර්යය ගවේෂකයන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට එතරම් සමත් වුණේ නැහැ. ඒ වෙනුවට කොළොම්බස්ගේ අවධානය යොමු වුණේ විශාල දූපත් සහ ඒවායේ ඇති ධන සම්පත් වෙතටයි.

කොළොම්බස් සමඟ ගවේෂණයට සහභාගි වූවායයි සිතන ස්පාඤ්ඤ ජාතික පොන්සෙ දෙ ලෙඕන් නැවතත් එම දූපත කරා යෑමට තීරණය කළා. එහි ආදිවාසීන් එය හැඳින්වූයේ බොරිකෙන් කියායි. ඔවුන් රත්රන්වලින් නිම කළ විවිධ ආභරණ ඇඳ පැළඳ සිටි බවට ඔහු අසා තිබූ නිසා එහි කඳුකර ප්‍රදේශවල රත්රන් ඇති බවට ඔහු විශ්වාස කළා. ඉන් වසර 15කට පසු ඔහු සිතූ ලෙසම එම දූපතට ගොඩ බැස්සා. වර්ෂ 1521දී ස්පාඤ්ඤ ජාතිකයන් එම දූපතෙහි උතුරු වෙරළ ආසන්නයේ පිහිටි ප්‍රදේශය ඔවුන්ගේ අගනුවර කරගත්තා. පොන්සෙ දෙ ලෙඕන් එම නගරය ‘ධනවත් වරාය’ යන අර්ථය ඇති පෝටෝ රිකෝ ලෙස නම් කළේ ඉතාමත් ඉක්මනින් ඔහුට රත්රන් විශාල ප්‍රමාණයක් සොයාගත හැකියි යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි. *

පොන්සෙ දෙ ලෙඕන් සිතූ ලෙස රත්රන් විශාල ප්‍රමාණයක් ලබාගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. එමෙන්ම එම දූපතේ දේශපාලනික ගැටුම්ද වැඩි වෙන්න පටන්ගත්තා. අවසානයේදී ඔහු අමෙරිකාවේ ෆ්ලොරිඩාවට යෑමට තීරණය කළා.

පෝටෝ රිකෝහි ස්වාභාවික ඛනිජ සම්පත් එතරම් සොයාගත නොහැකි වුණත් එහි ප්‍රධාන වරාය ඉතාමත් වටිනා සම්පතක් බව ස්පාඤ්ඤ ජාතිකයන් තේරුම්ගත්තා. 16වන සියවසේදී අමෙරිකාවේ සිට ස්පාඤ්ඤය දක්වා රත්රන් ගෙනයෑමට භාවිත කරන විශාල නැව් ආරක්ෂිතව නවතා තැබීමට ඔවුන් එම වරාය භාවිත කළා. වැඩිකල් යන්න මත්තෙන් සැන් ජුවාන් නගරය ස්පාඤ්ඤ ජාතිකයන්ට අයිති ශක්තිමත් මධ්‍යස්ථානයක් බවට පත් වුණා.

සැන් ජුවාන් නගරයෙහි ශක්තිමත් දැවැන්ත බලකොටු දෙකක් දැකගන්න ලැබෙනවා. ඒවා උසින් අඩි 42ක් වන අතර ගනකම අඩි 20ක් පමණ වෙනවා. එම නගරය ආරක්ෂා කිරීමට එහි වැසියන් කොතරම් වෙහෙසක් දැරුවාද කියා එමගින් මනාව පිළිඹිබු වෙනවා. අදටත් එහි පැමිණෙන සංචාරකයන් එම බලකොටු නැරඹීමට අමතක කරන්නේ නැහැ. එම බලකොටු සහ එහි ඇති ඉපැරණි ගොඩනැගිලි දැකීමෙන් යටත් විජිත සමයේදී මිනිසුන් ගත කළ ජීවිතය මොන වගේද යන්න ගැන සංචාරකයන්ට හොඳින් තේරුම්ගත හැකියි.

ඉපැරණි සැන් ජුවාන් නගරයේ සංචාරය

එහි ඇති විශාල බලකොටුවලින් වට වූ නගරය හඳුන්වන්නේ ඉපැරණි සැන් ජුවාන් ලෙසයි. ඒ වටා ඇත්තේ අලුතෙන් ඉදි කළ ගොඩනැඟිලි සහිත කාර්යබහුල නව නගරයයි. සාගරයෙන් වට වූ ඉපැරණි සැන් ජුවාන් නගරය ඈතින් සිට බැලූ විට දිස්වන්නේ සයුරේ පාවෙන නෞකාවක් ලෙසයි. එහි ඉදිරිපස කොටස හෙවත් ඇණිය අත්ලාන්තික් සාගරය දෙසට නෙරා තිබෙනවා. එහි ඇති බලකොටුව හඳුන්වන්නේ එල් මොරෝ ලෙසයි. එම බලකොටුව මගින් වරායට ඇතුල් වෙන ස්ථානයට ආරක්ෂාව සැලසෙනවා. එල් මොරෝ බලකොටුවට සැතපුමක් පමණ දුරින් නැඟෙනහිරට වෙන්න තවත් බලකොටුවක් දැකගන්න ලැබෙනවා. එම බලකොටුව ඈතට දිස්වෙන්නේ නැවක පිටුපස කොටසක ආකාරයටයි. එය සැන් ක්‍රිස්ටෝබල් ලෙස හඳුන්වන අතර ගොඩබිම දෙසින් එල්ල විය හැකි සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීමටද එමගින් හැකියි. සැන් ජුවාන් නගරය තිබෙන්නේ ඒ බලකොටු දෙකට මැදිවයි. වසර 1983දී යුනෙස්කෝ සංවිධානය මගින් එය ලෝක උරුමයක් ලෙස නම් කළා.

ඉපැරණි නගරය ඔවුන් පිළිසකර කර තිබෙන්නේ විශාල වෙහෙසක් දරායි. එහි දකින්න තිබෙන නිවෙස් ආකර්ෂණීය ලෙස වර්ණගන්වා තිබෙනවා. නිවෙස්වල ඇති සඳළුතල, මැද මිදුල් විවිධාකාර පැළවලින් අලංකාර කර තිබෙනවා. එම නගරයේ ඇති පටු මාවත් නිලට හුරු අළු පැහැයක් ගන්නා පාෂාණ අතුරා සකස් කර තිබෙනවා. එම පාෂාණ රැගෙන තිබෙන්නේ ස්පාඤ්ඤයේ ඇති යපස් නිධිවලිනුයි. යපස් උණු කිරීමේදී ඉතිරි වන ද්‍රව්‍යවලින් සදාගත් එම පාෂාණ ස්පාඤ්ඤයේ සිට පෝටෝ රිකෝ දක්වා නැව් යාත්‍රා කරද්දී එහි බර රඳවාගැනීමටද ඔවුන් භාවිත කළා.

අතීතයේ සැන් ක්‍රිස්ටෝබල් බලකොටුවේ තිබුණු කාල තුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සැරසී සිටින අයුරු අදටත් දැකගත හැකියි. අතීතයේ රත්රන් රැගෙන යාමට විශාල නැව් භාවිත කළත් අද ඒ හා සමාන නැව් භාවිත කරන්නේ සංචාරකයන් රැගෙන යාමටයි. ඒ වගේම එහි වැසියන්ගේ මිත්‍රශීලිත්වය මෙන්ම නිස්කලංක පරිසරයද සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබාගන්නට සමත් වී තිබෙනවා. තවමත් එම මාවත්වල ගමන් කරද්දී ප්‍රමුඛත්වය ලැබෙන්නේ පයින් ගමන් කරන අයටයි. ඒ නිසා සංචාරකයන් මාවත්වල සිට සුන්දර දර්ශන ඡායාරූපගත කරද්දී වාහනවල ගමන් කරන අයට ඉවසීමෙන් බලා සිටීමට සිදු වෙනවා.

සංරක්ෂණය කළ සුන්දර ස්ථාන

පෝටෝ රිකෝ දූපතෙහි ජනගහනයෙන් තුනෙන් එකක්ම ජීවත් වන්නේ සැන් ජුවාන් නගරයේයි. සැන් ජුවාන් නගරයට අමතරව එම දූපතේම වෙනත් ආකර්ෂණීය ස්ථානද දැකගන්න පුළුවන්. අනිත් දූපත් හා සසඳන විට මෙම දූපත එතරම් විශාල නොවුණත් එහි ඇති දේශගුණික වෙනස්කම්, කඳු යායවල් නිසා විවිධ ගස් කොළංවලට සහ සතුන්ට විසීමට කදිම නිවහනක් වී තිබෙනවා. අපි දැන් සලකා බලන්න යන්නේ පෝටෝ රිකෝහි වනජීවී නිලධාරීන් විසින් සංරක්ෂණය කිරීමට වෙර දරන එවැනි පරිසර පද්ධති හතරක් ගැනයි.

එල් යුන්කේ ජාතික වනෝද්‍යානය කැරිබියානු දූපත්වල තිබෙන වැසි වනාන්තර කිහිපය අතුරින් සංරක්ෂණය කරන ලද වනාන්තරයක් ලෙස මෙය නම් කළ හැකියි. කඳු බෑවුම් ඔස්සේ ගලා බසින දිය ඇළි මගින් එම පරිසරය හැඩගන්වනවා. බ්‍රොමිලියාසියා කුලයට අයත් තැඹිලි පැහැයෙන් යුත් මලින් සැරසුණු පැළ ඒ වනාන්තරය සිසාරා දැක ගත හැකියි. තාල වර්ගයට අයත් ගස්, විවිධ වැල් සහ වෙනත් විශාල මීවන ශාක එම වනාන්තරය පුරා ගහනව තිබෙනවා. ඒ වගේම වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙන පෝටෝ රිකෝ ගිරවුන්ගේ සහ කෝකී නම් මැඩියන්ගේ නාදය වනාන්තරය පුරාම පැතිර පවතිනවා.

එල් යුන්කේහි තිබෙන කඳු බෑවුම් පුරා දකින්න ලැබෙන ට්‍රම්ප්ෆට් නම් ශාක වර්ගයේ කොළවල පැහැය නිසා එය ඈතට දිස්වන්නේ හරියට රිදී සළුවක් එලා තිබෙනවා වගෙයි. වසර කිහිපයකට පෙර ඇති වූ හියූගෝ හරිකේන් චණ්ඩ මාරුතයෙන් පසු මේ ශාක වර්ගය වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා. එක් ජීව විද්‍යාඥයෙක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “ස්වාභාවික විපත්වලින් ඇති වන හානියෙන් මේ වනාන්තරය ගොඩගන්න එතරම් වෑයමක් දරන්න ඕනේ නැහැ. මිනිසුන් ඒ ප්‍රදේශ අල්ලාගැනීමට උත්සාහ කිරීම තමයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ.” එම වනාන්තරයේ ශාක විශේෂ 225ක්ද මීවන විශේෂ 100ක්ද ඕකිඩ් විශේෂ 50ක්ද දැකගන්න තිබෙනවා. එහි නානාප්‍රකාර ශාක විශේෂ ගහනව තිබෙන නිසා එය එක්සත් ජාතීන්ගේ ජෛව ගෝල රක්ෂිතය ලෙස නම් කර තිබෙනවා.

ග්වානීකා ජෛව ගෝල රක්ෂිතය. ලොව පුරා වියළි කලාපීය වනාන්තර ඉතිරිව ඇත්තේ සියයට එකක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. එල් යුන්කේ සිට පැය කිහිපයක් ගමන් කිරීමෙන් පසුව ග්වානීකා වනාන්තරය දැකගන්න පුළුවන්. සමහර උද්භිත විද්‍යාඥයන් එය වියළි කලාපීය වනාන්තරවලට හොඳම උදාහරණය ලෙස පෙන්වා දෙනවා. පෝටෝ රිකෝ දූපතට ආවේණික කුරුල්ලන්ටද විවිධ ශාක විශේෂ 750කටද එය කදිම නිවහනක්. එහි ඇති ශාක විශේෂ අතුරින් සියයට හතක්ම වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා. රොන් සොයා යන ගුමන කුරුල්ලන්ව සහ සමනලුන්ව ආකර්ෂණය කරන අනේක විධ මල් වර්ගද එහි දැකගන්න පුළුවන්. එම වනාන්තරයේ සීමාවේ ඇති වෙරළ තීරයේ දාර කැස්බෑවන් ඇතුළු විවිධ කැස්බෑ වර්ගද දැකගන්න ලැබෙනවා.

කඩොලාන සහ කොරල් පර. ග්වානීකා රක්ෂිතයේ වෙරළ ආසන්නයේ කඩොලාන විශාල වශයෙන් දැකගන්න පුළුවන්. වනජීවී නිලධාරීන් ඒ ගැන පවසන්නේ මෙයයි. “එම රක්ෂිතයේ කඩොලාන කිසිම බාධාවකින් තොරව වැඩීමට හේතුව කාර්මික සහ කෘෂි කාර්මික කටයුතු එහි සිදු නොවීමයි. කොරල් පරවල වෙසෙන මත්ස්‍යයන්ට තම වර්ගයා බෝ කිරීමට මෙම කඩොලාන කදිම ස්ථානයක්.” ඒ අවට මෙන්ම පෝටෝ රිකෝ දූපතේද ආලෝකය විහිදුවන කුඩා ජලජ ජීවින්ගෙන් සමන්විත මුහුදු බොකු දැකගන්න පුළුවන්. ඒවාද සංචාරකයන්ගේ නෙත් වසඟ කරගන්න සමත් වී තිබෙනවා.— කොටුව බලන්න.

කොරල් පර ආශ්‍රිත ප්‍රදේශ සංරක්ෂිත කලාප ලෙස නම් කර ඇති නිසා එහි මසුන් ඇල්ලීම තහනම්. ඒ නිසා කිමිඳුම්කරුවන්ට කිසිම බාධාවකින් තොරව මුහුද යට වෙසෙන කැස්බෑවන්, මැනටියන් සහ විවිධ වර්ණවලින් යුත් මසුන්ව දැක බලාගන්න අවස්ථාව සැලසෙනවා.

ඈත අතීතයේ එම දූපතට පා තැබූ කොළම්බස් සහ ධන සම්පත් සොයා පැමිණි ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට පෝටෝ රිකෝ දූපත සමත් නොවුණත් අද දින එය සංචාරකයන්ව වසඟ කරගෙන තිබෙනවා. ඔවුන් එය සලකන්නේ ස්වාභාවික සම්පත්වලින් අනූන සුන්දර දූපතක් ලෙසයි.

[පාදසටහන]

^ 4 ඡේ. වැඩිකල් යන්න මත්තෙන් සිතියම් අඳින්නන් අතරේ එම දූපත සහ නගරය හඳුන්වන නම පිළිබඳව පැටලිලිසහගත තත්වයක් ඇති වුණා. ඒ නිසා එදා පටන් එම දූපත සැන් ජුවාන් ලෙස නොව පෝටෝ රිකෝ ලෙස හැඳින්වූවා.

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අරේසීබෝ නිරීක්ෂණාගාරය

සැන් ජුවාන් නගරයට බටහිර දෙසින් කිලෝමීටර් 80ක් ගමන් කරන විට අරේසීබෝ නිරීක්ෂණාගාරය දැකගන්න පුළුවන්. එහි ලොව විශාලතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය තිබෙන අතර එහි විශ්කම්භය අඩි 1,000ක් පමණ වෙනවා. එය ඒ තරම්ම විශාල නිසා වෙනත් දුරේක්ෂවලින් හඳුනාගත නොහැකි වස්තූන් හඳුනාගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා.

[හිමිකම් විස්තර]

Courtesy Arecibo Observatory/​David Parker/​Science Photo Library

[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 තරුසයුරේ ගිලී නෑම

පෝටෝ රිකෝ දූපතට නැඟෙනහිර දෙසට වෙන්න පිහිටි වයිඛාවෙස් නම් දූපතෙහි බයෝලුමිනසන්ස් නම් කුඩා බොක්කක් තිබෙනවා. එහි ආලෝකය නිකුත් කරන ඒක සෛලීය ජලජ ජීවීන් රාශියක් දැකගන්න ලැබෙනවා. එවැනි ජීවීන් ලොව වැඩියෙන්ම දැකගත හැක්කේ එම බොක්ක ආශ්‍රිතවයි. ජලය මතුපිට ඇති වන යම් සෙලවීමකින් බාධාවට පත් වෙන මෙම පුංචි ජීවීන් (dinoflagellates) සැණෙකින් කොළ පාටට හුරු නිල් පාටකින් ආලෝකයක් නිකුත් කරනවා. මෙය සොබා සෞන්දර්යයේ ඉතාමත් ආකර්ෂණීය දෙයක් ලෙස සලකන්න පුළුවන්.

එහි පැමිණෙන සංචාරකයන්ට තමන් ගමන් කරන බෝට්ටුව වටා එහා මෙහා විදුලි වේගයෙන් පීනා යන මේ පුංචි ජීවීන්ගේ ආලෝකය දැකගන්න පුළුවන්. එය දිස් වෙන්නේ හරියට තරු කඩා හැලෙන විට විහිදෙන ආලෝකය වගෙයි. ඒ වගේම පිහිනුම්කරුවන් පිහිනන විටකදී ජලයේ ඇති වන සෙලවීම හේතුවෙන්ද එම ජීවීන් බැබළෙන්න පටන්ගන්නවා. ඔවුන් තම අත් ඉහළට එසවූ විට දෑතින් වැටෙන දිය බිඳු දිස්වෙන්නේ හරියට බැබළෙන තාරකා කඩා වැටෙනවා වගෙයි. එක් සංචාරකයෙක් ඒ ගැන පැවසුවේ ‘අපි තරුසයුරේ ගිලී නානවා වගේ දැනෙනවා’ කියායි.

[15වන පිටුවේ පින්තූරය]

එල් මොරෝ

[15වන පිටුවේ පින්තූරය]

සැන් ක්‍රිස්ටෝබල් සිට ඉපැරණි නගරය දිස් වන අයුරු

[15වන පිටුවේ පින්තූරය]

ඉපැරණි සැන් ජුවාන් නගරය

[16වන පිටුවේ පින්තූරය]

එල් යුන්කේ වැසි වනාන්තරයේ මීවන ශාකයක්

[16, 17වන පිටුවේ පින්තූරය]

ග්වානීකා වෙරළ තීරය

[හිමිකම් විස්තර]

© Heeb Christian/​age fotostock

[17වන පිටුවේ පින්තූරය]

පෝටෝ රිකෝ ගිරවුන්

[17වන පිටුවේ පින්තූරය]

කොරල් පර

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Passport Stock/​age fotostock

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: Passport Stock/​age fotostock

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Parrots: U.S. Geological Survey/​Photo by James W. Wiley; reef: © Stuart Westmorland 2005; swimmer: Steve Simonsen