Skip to content

පටුනට යන්න

වනළැහැබේ අධිපතීන් වඳ වී යයිද?

වනළැහැබේ අධිපතීන් වඳ වී යයිද?

වනළැහැබේ අධිපතීන් වඳ වී යයිද?

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

දඩයක්කරුවන් තම ගොදුර සොයාගැනීමට මාන බලමින් වනළැහැබ වෙත පියමං කරද්දී අඩි සළකුණු කිහිපයක් ඔවුන්ගේ නෙත ගැටුණා. කෙමෙන් කෙමෙන් ඔවුන් තම ගොදුර වෙත ළං වුණා. එම සත්වයාගේ රෝම තද දුඹුරු පැහැයෙන් යුක්තයි. උගේ මුඛයට පහළින් කලු පැහැති රැවුලක්ද හිස මත වක් වූ තියුණු අං දෙකක්ද දැකගන්න පුළුවන්. උගේ සම සහ මස් විකිණීමෙන් අත මිට සරු කරගත හැකි බව දඩයක්කරුවන් දැන සිටියා.

දඩයක්කරුවන්ගේ පළමු වෙඩි උණ්ඩයෙන් තුවාල වූ එම සත්වයා රැකවරණය පතා වනළැහැබ වෙත දිව ගියත් දෙවන වෙඩි උණ්ඩයෙන් නම් ඌට ගැලවීමක් ලැබුණේ නැහැ. ටොන් භාගයක් බරැති දැවැන්ත සත්වයාගේ ජීවිතය එතැකින් නිමා වුණා. එය සිදු වූයේ වර්ෂ 1919 අප්‍රියෙල් මාසයේ එක් දවසකයි. එදා ඒ ගොදුර බවට පත් වුණේ පෝලන්තයේ වනාන්තරවල ජීවත් වූ බයිසන් නම් ගව විශේෂයේ අවසන් ගවයායි. එම සිදුවීම ඉතිහාසගත වෙයි කියා නම් දඩයක්කරුවන් කිසිවිටෙකත් සිතන්න නැතුව ඇති. ඒ කෙසේවෙතත් එම ගව විශේෂයට අයත් බයිසන් ගවයන් ඒ වන විටත් සත්වෝද්‍යානවල මෙන්ම සතුන් රැකබලා ගන්නා වෙනත් ස්ථානවලද දකින්න ලැබීම සතුටට කරුණක්!

බයිසන් ගවයන්ගේ ජන්ම භූමිය වූයේ යුරෝපා මහාද්වීපයයි. එහි උන්ව වැඩි වශයෙන් දැකගත හැකියි. එවන් වැඩුණු ගවයෙකුගේ උරහිස තෙක් උස අඩි හයක් පමණද බර කිලෝග්‍රෑම් 900ක්ද වෙනවා. මෙවැනි දැවැන්ත ක්ෂීරපායි සත්වයන්ව හඳුන්වන්නේ වනළැහැබේ අධිපතීන් ලෙසයි.

දැන් අපි උන්ගේ පෙනුම ගැන ටිකක් කතා කරමු. බයිසන් ගවයාට ඇත්තේ අමුතුම ආකාරයේ සිරුරක්. උගේ සිරුරේ ඉදිරිපස පිටුපසට සාපේක්ෂව හුඟක් විශාලයි. එමෙන්ම ඌට පළල් උරහිසක්ද එහි විශාල මොල්ලියක්ද තිබෙනවා. උගේ සිරුරේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම කෙටි රෝමවලින් වැසී තිබුණත් ඉදිරිපස කොටස වැසී තිබෙන්නේ ගන, දිග රෝමවලිනුයි. ඒ වගේම කුඩා රැවුලක්ද උගේ මුඛයට පහළින් දැකගන්න පුළුවන්.

වඳ වීමේ තර්ජනයට ලක් වී

ගණන් බලා ඇති ආකාරයට අද වන විට සිටින්නේ යුරෝපියානු බයිසන් ගවයන් දෙතුන්දාහකට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඊට හේතුව වගාවන් හා කැලෑ එළි කිරීම නිසාත් දඩයක්කරුවන්ට හසුවීම නිසාත් උන් වඳ වීමේ තර්ජනයට ලක් වීමයි. අටවන සියවස වන විට ගෝල් දේශයේ (අද ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල) විසූ යුරෝපියානු බයිසන් ගවයන් සම්පූර්ණයෙන්ම තුරන් වුණා.

දහසයවන සියවසේදී පෝලන්ත රජවරුන් විසින් බයිසන් ගවයන් රැකගැනීමට පියවර ගත්තා. ඔවුන්ගෙන් ප්‍රධාන තැනක් ගත්තේ දෙවන ඔගස්ටස් සිගීස්මන්ඩ් රජයි. ඔහු බයිසන් ගවයන් රැකගැනීම සඳහා පියවරක් ලෙස උන්ව දඩයම් කිරීමේ වරදට මරණ දණ්ඩනය නියම කළා. ඔහු එසේ කළේ යටි අරමුණක් ඇතුවයි. ඒ ගැන බියාලෝවීසා ජාතික වනෝද්‍යානයේ සිටින පශු වෛද්‍යවරයෙක් වන ස්බිග්නිව් ක්‍රාෂීන්ස්කි පැවසුවේ මෙසේයි. “එසේ කිරීමෙන් පාලකයන්ට සහ ඔවුන්ගේ නිලධාරීන්ට බයිසන් ගවයන් දඩයම් කරගැනීමට හැකි වුණා.” එවැනි දැඩි නීතියකින්වත් උන්ව රැකගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ නිසා 18වන සියවසේ අගභාගය වන විට උන්ව දැකගන්න ලැබුණේ පෝලන්තයේ බියාලෝවීසා වනාන්තරයේ සහ කොකෙසස් කඳුකරයේ පමණයි.

දහනවවන සියවස වෙද්දී තත්වය යහපත් අතට හැරෙන්න පටන්ගත්තා. ඊට හේතුව බියාලෝවීසා වනාන්තරය පිහිටි ප්‍රදේශය රුසියානු අධිරාජ්‍යය යටතට පත් වීමයි. එහි පාලකයා වූ පළමුවන ඇලෙක්සැන්ඩර් විසින් බයිසන් ගවයන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙලක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට බයිසන් ගවයන්ගේ ගණන එන්න එන්නම වැඩි වුණා. වර්ෂ 1857 වන විට යුරෝපියානු බයිසන් ගවයන් 1,900ක් පමණ රැකගැනීමට හැකි වුණා. පසු කාලයේදී විශේෂයෙන් ශීත ඍතුවේදී උන්ට අවශ්‍ය ආහාර පාන සපයාගැනීම සඳහා ආහාර ගබඩා ඉදි කිරීම, දිය කඩති සකස් කිරීම සහ උන් ආහාරයට ගන්නා ගස් වර්ග වගා කිරීම වැනි දේ ඔහු සැලසුම් කළා.

ඒ කොහොම වුණත් වසර 60ක් ඇතුළත ගවයන්ගේ ගණන අඩක්ම පහළ බැස්සා. පළමුවන ලෝක මහ යුධ සමයේ එනම් මේ ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට 1919දී පෝලන්තයේ විසූ අවසන් යුරෝපියානු බයිසන් ගවයාව මරා දැමුවා! ජර්මානුවන් උන්ව රැකගැනීමට කොතරම් උත්සාහ කළත් දඩයක්කරුවන්ගෙන්ද ජර්මානු සහ රුසියානු හමුදාවන්ගෙන්ද මිදීමට උන්ට කිසිසේත් හැකි වුණේ නැහැ.

තත්වය යහපත් අතට

යුරෝපියානු බයිසන් ගවයන් රැකගැනීමේ අරමුණින් 1923දී ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවනු ලැබුවා. ඉන් සිදු කළ පළමු කාර්යය වූයේ වෙනත් ගව විශේෂ සමඟ එක් වීමෙන් බිහි නොවූ බයිසන් ගවයන් කොපමණ සිටිනවාද කියා ගණන් බැලීමයි. * ඉන් සත්වෝද්‍යානවල සහ සතුන් රැකබලා ගන්නා ස්ථානවල එවැනි බයිසන් ගවයන් 54ක් සිටින බව සොයාගත්තා. නමුත් තම වර්ගයා බෝ කිරීම සඳහා සුදුසු තත්වයක සිටියේ ඒ අතුරින් කිහිපදෙනෙක් පමණයි. ඊට හේතුව සමහර ගවයන් හුඟක් වයසට ගොස් සිටීම සහ තවත් ගවයන්ට විවිධ ලෙඩ රෝග වැළඳී තිබීමයි. නමුත් ඉන් ගවයන් 12ක් වර්ගයා බෝ කිරීම සඳහා තෝරාගත්තත් දැන් තැනිතලාවේ වෙසෙන බයිසන් ගවයන් බෝවී තිබෙන්නේ ඉන් පස්දෙනෙකුගෙන් බව විශ්වාස කෙරෙනවා.

වර්ෂ 1929 ශරත් ඍතුවේදී තැනිතලාවල වෙසෙන බයිසන් ගවයන් දෙදෙනෙකුව වනයට මුදාහැරියා. ඒ ගවයන් සඳහා බියාලෝවීසා වනාන්තරයේ වෙනමම සංරක්ෂිත කලාපයක් වෙන් කර තිබුණා. ඉන් වසර දහයකට පමණ පසු ගවයන්ගේ ගණන 16ක් දක්වා වැඩි වුණා.

වර්තමාන තත්වය

විසිඑක්වන සියවසේ මුල්භාගය වන විට ලොව පුරාම යුරෝපියානු බයිසන් ගවයන් 2,900ක් පමණ සිටි බවට ගණන් බලා තිබෙනවා. ඉන් 700ක් පමණ වෙසෙන්නේ පෝලන්තයේයි. ඒ වසර ගණනාව පුරා බයිසන් ගවයින් බෙලෝරුසියාව, කිරිගිස්තානය, ලිතුවේනියාව, රුසියාව සහ යුක්‍රේනය යන රටවලද ව්‍යාප්ත වුණා.

එවැනි තත්වයක් තිබුණද බයිසන් ගවයන්ගේ පැවැත්මට තර්ජනයක් නැතුවාම නොවෙයි. ආහාර හා ජල හිඟය, කෘමි උවදුරු සහ දඩයක්කරුවන් තවමත් උන්ට තර්ජනයක්. ගවයන් ස්වල්ප ප්‍රමාණයකින් තම වර්ගයා බෝ කිරීම නිසා වර්ධනයේ යම් දෝෂ ඇති වීමද උන්ගේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා. එවැනි හේතු නිසා යුරෝපියානු බයිසන් ගවයින් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක් හැටියට රතු දත්ත ලැයිස්තුවේ නම් කර තිබෙනවා. රතු දත්ත ලැයිස්තුව ලෙස හඳුන්වන්නේ ලොව පුරා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සතුන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවයි.

බයිසන් ගවයන් රැකගැනීමට මිනිසුන් දැරූ මහත් වෑයමේ ප්‍රතිඵලයක් ලෙස අදටත් බයිසන් ගවයන් දැකගැනීමට අපිට හැකි වී තිබෙනවා. ඒ පිළිබඳව කලින් අදහස් දැක්වූ වෛද්‍ය ක්‍රාෂීන්ස්කි පැවසුවේ මෙසේයි. “කෙටි කාලයක් ඇතුළත මෙම සත්ව වර්ගය සදහටම තුරන් වී යෑමේ තර්ජනයට මුහුණ දී තිබියදී ඔවුන් මහත් පරිශ්‍රමයක් යොදා උන්ව රැකගත්තා.” ඒ වුණත් බයිසන් ගවයන් ඇතුළු බොහෝ සතුන්ගේ පැවැත්ම ගැන අපිට ස්ථිර වෙන්න බැහැ. නමුත් “වනළැහැබේ අධිපතීන්” වන බයිසන් ගවයන් මෙලොවින් තුරන් වීමට ඉඩ නොදී උන්ව රැකගැනීමට හැකි වීම මොන තරම් සතුටට කරුණක්ද!

[පාදසටහන]

^ 13 ඡේ. යුරෝපියානු බයිසන් ගවයන් වර්ග දෙකක් සිටිනවා. එක් වර්ගයක් තැනිතලාවල ජීවත් වන අතර අනික් වර්ගය කොකෙසස් බයිසන් හෙවත් කඳුකරයේ වෙසෙන ගවයනුයි. වර්ෂ 1927දී අවසාන කොකෙසස් බයිසන් ගවයා මිය ගියා. නමුත් ඊට කලින් එම වර්ගයේ ගවයෙක් තැනිතලාවේ වෙසෙන බයිසන් ගවයෙක් සමඟ එක් වීමෙන් පැටවෙකු බිහි කළා. එලෙස බෝ වූ ගවයන් කිහිපදෙනෙක් තවමත් සිටිනවා.

[10වන පිටුවේ පින්තූර]

බියාලෝවීසා වනාන්තරයේ යුරෝපියානු බයිසන් ගවයෙක්

[හිමිකම් විස්තර]

All photos: Białowieski Park Narodowy