Skip to content

පටුනට යන්න

‘ඉඳිකටු සිදුරෙන් යෑම’

‘ඉඳිකටු සිදුරෙන් යෑම’

‘ඉඳිකටු සිදුරෙන් යෑම’

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

බ්‍රිතාන්‍ය දේශ ගවේෂකයන් 1798දී බාස් සමුද්‍රසන්ධිය සොයාගත් විට නාවිකයන් මහත් සේ සතුටු වුණා. ඕස්ට්‍රේලියාවත් ටැස්මේනියාවත් අතර පිහිටි මෙම පටු මුහුදු තීරය සොයාගැනීම නිසා එංගලන්තයේ සිට සිඩ්නි වරායට පැමිණි නැව්වල ගමන් මඟෙහි දුර කිලෝමීටර් 1,100කින් අඩු කරගැනීමට හැකි වුණා.

කොහොමනමුත් බටහිර දෙසින් හමන කුණාටු මෙන්ම දරුණු ජල ප්‍රවාහ සහ මුහුදේ ඇති වන උස රළ පහරවල් නිසා බාස් සමුද්‍රසන්ධිය නාවික ගමන් සඳහා භයානකම මුහුදු තීරයක් ලෙස සලකනවා. එය භයානක වීමට තවත් හේතුවක් වන්නේ සමුද්‍රසන්ධියට ඇතුළු වීම සඳහා බටහිරින් පිහිටි ස්ථානයේ මැදින්ම පිහිටා තිබෙන තියුණු ගල්පර සහිත කිං දූපතයි.

අද නම් බාස් සමුද්‍රසන්ධිය හරහා ගමන් කිරීම දුෂ්කර දෙයක් නොවෙයි. නමුත් පැරණි නාවික උපකරණ භාවිත කරමින් රුවල් ආධාරයෙන් යාත්‍රා කළ නැව්වලට එය ඉතාම අසීරු මෙන්ම බිහිසුණු කාර්යයක්. බටහිර දෙසින් බාස් සමුද්‍රසන්ධියට ඇතුළු වීම ‘ඉඳිකටු සිදුරෙන් යෑමකට’ සමාන කර තිබෙන්නේ ඒ නිසයි.

කෙටිම මඟෙහි යාත්‍රා කිරීම

වර්ෂ 1800 ගණන්වල මුල් කාලයේදී එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිරින් පිහිටි සිඩ්නි වරාය දක්වා යාත්‍රා කිරීමට මාස පහක (දින 150ක) පමණ කාලයක් ගත වුණා. එය කිලෝමීටර් 19,000ක් පමණ දුරැති අධික වෙහෙසකර ගමනක්. එහි සිටි සියගණනක් මඟීන් ගමන් කළේ නැවේ යට තට්ටුවේයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් සංක්‍රමණිකයන් හා සිරකරුවන් වූ අතර ඔවුන් අසීරුතා රැසකට මුහුණ දුන්නා. ඔවුන් මුහුදු ගමන්වලදී ඇති වන රෝගී තත්වයන්ගෙන් හා මන්දපෝෂණයෙන් පෙළුණා. ඒ නැව්වල මීයන්ද බහුලව සිටි අතර මුහුදු ගමන්වලදී බොහෝදෙනෙක් මිය ගියා. * නමුත් වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට තිබූ අධිෂ්ඨානය නිසා බොහෝදෙනෙක් මේ දුෂ්කරතා දරාගත්තා.

කෙසේවෙතත්, 1852දී තත්වය හොඳ අතට හැරුණා. ඊට හේතුව ජේම්ස් ෆෝබ්ස් නමැති කපිතාන්වරයා කෙටි මඟක් සොයාගැනීමයි. එවකට කෙටිම මඟ ලෙස සැලකුවේ දකුණු ඉන්දියානු සාගරය හරහා අක්ෂාංශ 39 ඔස්සේ ඕස්ට්‍රේලියාවට යන ගමන් මඟයි. නමුත් ජේම්ස් ෆෝබ්ස් එම මාර්ගයේ නොගොස් තවත් දකුණු දෙසට නැතහොත් ඇන්ටාක්ටිකාව දෙසට ගොස් එතැන් සිට ඕස්ට්‍රේලියාවට යාත්‍රා කළා. ඒ ගමනේදී ඔවුන්ට පාවෙන විශාල අයිස් කුට්ටි හා විශාල රළ පහරවලට මුහුණ දෙන්න සිදු වුණා. සංක්‍රමණිකයන් 701දෙනෙක් රැගත් මාර්කෝ පෝලෝ නමැති එම නැව ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වරයාට සේන්දු වුණා. ඒ සඳහා ගත වූයේ මීට පෙර ගමන් කිරීම සඳහා ගත වූ මුළු කාලයෙන් අඩක් පමණයි. එනම් දින 68ක් පමණයි. ඒ කාලයේදී බොහෝදෙනෙක් රන් ආකරවල වැඩ කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙමින් සිටි නිසා ෆෝබ්ස් එම කෙටි මඟ සොයාගත්තේ ඊට සුදුසුම කාලයේදී කියා කිව හැකියි. රන් ආකරවල වැඩ කිරීමට කැමැත්තෙන් සිටි දහස්ගණන් ජනයා ඉතාම කෙටි කාලයකින් ඕස්ට්‍රේලියාවට යා හැකි බව දැනගත් විට එහි යෑමට පෙලඹුණා.

එංගලන්තයෙන් පිටත් වූ නැව් කිලෝමීටර් 16,000ක දුර ගෙවා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔට්වේ තුඩුවේ නැවැත්වූවා. එම දිගු ගමනේදී නැව මුහුදේ තිබෙන ස්ථානය දැනගැනීම වැදගත් වුණා. එය දැනගත්තේ අක්ෂාංශ හා දේශාංශ ගණන සොයාගැනීමෙනුයි. නැව තිබෙන ස්ථානයේ අක්ෂාංශ ගණන දැනගැනීමට සෙක්ස්ටන්ට් නමැති මිනුම් උපකරණයක් හා මිනුම් වගු යොදාගත්තා. දේශාංශ ගණන දැනගැනීමට නැව තිබෙන ස්ථානයේ වේලාව දැනගත යුතු වුණා. මෙය කළේ නැවේ ඇති ග්‍රිනිච් මධ්‍යම වේලාවට අනුව සකස් කළ ඔරලෝසුවේ සඳහන් වේලාවත් නැව තිබෙන ස්ථානයට සූර්යයා මුදුන් වන වේලාවත් අතර වෙනස දැනගැනීමෙනුයි. වෙනස් වන සෑම පැයකින්ම දේශාංශ 15ක් නියෝජනය කළා. ඒ අනුව නැව තිබෙන ස්ථානයේ දේශාංශ ගණන තීරණය කළ හැකි වුණා. මෙසේ අක්ෂාංශ හා දේශාංශ ගණන දැනගැනීමෙන් නැව තිබෙන ස්ථානය සෑහෙන දුරට නිවැරදිව දැනගැනීමට දක්ෂ නාවිකයෙකුට හැකි වුණා.

නමුත් මෙම ගණනය කිරීම් වැරදීමටද ඉඩ තිබුණා. සූර්යයා එක දිගට දින ගණනක් වළාකුළුවලින් වැසී යෑම ඊට එක් හේතුවක්. තවත් හේතුවක් නම් එවකට භාවිත කළ ඔරලෝසු බොහෝ අවස්ථාවලදී නිවැරදිව වේලාව නොදැක්වීමයි. දිනකට තත්පරයක් එහා මෙහා වූවා නම් හා එය මාස තුනක් පුරා සිදු වූවා නම් නැව යා යුතු දිශාවෙන් කිලෝමීටර් 50ක් පමණ ඈතට යෑමට ඉඩ තිබුණා. බාස් සමුද්‍රසන්ධිය වෙත පැමිණෙන නැව් වර්ෂාව, මීදුම හෝ අඳුරු කාලගුණය නිසා වැරදි දිශාවකට ගමන් කළා නම් ගල්පර සහිත වික්ටෝරියා වෙරළ තීරයේ හෝ කිං දූපතේ හෝ වැදී විනාශ වීම වැළැක්විය නොහැකි වුණා. නමුත් ඔට්වේ තුඩුවේ නොවැදී සුරක්ෂිතව නැව යා හැකි බව දුටු විට එක්තරා කපිතාන්වරයෙක් “දෙවියන්ගේ පිහිටෙන් අපි බේරුණා” කියා සතුටින් කෑ ගැසුවා. නැව්වල ගමන් කළ බොහෝදෙනා සිතුවේද ඒ ආකාරයටම බව නිසැකයි. බොහෝ නැව් අනතුරකින් තොරව ‘ඉඳිකටු සිදුරෙන්’ ගමන් කළා. එය 19වන සියවසේ සිටි නාවිකයන්ගේ දක්ෂතාව පැහැදිලිව කියා පානවා. නමුත් සමහර නැව්වලට එම ගමන සාර්ථකව නිම කිරීමට හැකි වුණේ නැහැ.

අවසන් ගමන් යන නැව්

වර්ෂ 1878 ජූනි 1වනදා ලොක් ආඩ් නමැති රුවල් නැව හිරු එළිය වැටෙන්නත් කළින් ඝන මීදුම මැදින් වික්ටෝරියා වෙරළ දෙසට පැමිණෙමින් තිබුණා. කලින් දවසේදීද අවට ප්‍රදේශය මීදුමෙන් වැසී තිබුණු නිසා නාවික උපකරණ යොදාගෙන නැව තිබෙන ස්ථානය සොයාගැනීමට කපිතාන්වරයාට හැකි වුණේ නැහැ. ප්‍රතිඵලය වුණේ ඔහු සිතුවාට වඩා නැව ගොඩබිම දෙසට ළං වී තිබීමයි. මීදුම ඉවත් වූ සැණින් ඔහු දුටුවේ කිලෝමීටර් එකහමාරක් තරම් ළඟින්ම පිහිටි අඩි 300ක් පමණ උස කුළුණු මෙන් වූ කඳුයි. නැව හරවන්න නාවිකයෝ දැඩි වෙහෙසක් දැරුවත් සුළඟ හා රැළි නිසා ඉන් පලක් වූයේ නැහැ. තව පැයක් ගත වෙන්නත් කලින් ලොක් ආඩ් නැව විශාල හඬක් නඟමින් ගල්පරයක හැපුණා. විනාඩි 15කින් එය මුහුදුබත් වුණා.

නැවේ ගමන් කළ 54දෙනාගෙන් දිවි ගලවාගත්තේ අවුරුදු 20ක දෙදෙනෙක් පමණයි. ඒ ඊවා කාමිචෙල් සහ ආධුනික නාවික නිලධාරියෙක් වූ ටොම් පියර්ස් යන දෙදෙනයි. නැව මුහුදුබත් වුණේ ඕස්ට්‍රේලියාවේ ශීත ඍතුවේදී නිසා මුහුදු වතුර ඉතාම ශීතලව තිබුණා. පෙරළුණු ජීවිතාරක්ෂක බෝට්ටුවක පැය ගණනාවක් එල්ලී සිටි ටොම්ව අවසානයේදී ගල් කඳු දෙකක් අතර පිහිටි පටු ස්ථානයකට ගසාගෙන ගියා. ගසාගෙන ආ නැවේ කැඩී බිඳී ගිය කැබලි විසිරී තිබෙන කුඩා වෙරළක් දුටු ටොම් ඒ දෙසට පිහිනා ගොස් දිවි ගලවාගත්තා. පිහිනීමට දැන නොසිටි ඊවා බිඳී ගිය නැවේ කැබැල්ලක පැය හතරක පමණ කාලයක් එල්ලී සිටියා. පසුව ඇයවද ටොම්ව මුලින් ගසාගෙන ගිය තැනටම ගසාගෙන ගියා. ටොම් වෙරළේ සිටිනවා දුටු ඊවා උදව් ඉල්ලා කෑගැසුවා. ඇයව බේරාගැනීමට ඒ ස්ථානයට පිහිනූ ටොම් පැයක පමණ වේලාවක් වෙහෙසී ඇයව වෙරළට ඇදගෙන ආවත් ඇය සිටියේ අඩ සිහියෙනුයි. ඒ ගැන ඊවා පවසන්නේ මෙසේයි. “ඔහු මාව ගුහාවකට අරගෙන ගිහිල්ලා වෙරළට ගහගෙන ආපු බ්‍රැන්ඩි බෝතලයක් හොයාගෙන ඇවිත් මට ඒකෙන් ටිකක් පෙව්වා. එතකොට තමයි මට පණ ආවෙ. ටොම් මට හාන්සි වෙන්න කොළ අතු ගෙනත් බිම ඇතිරුවා. පස්සේ මට ආයෙත් සිහි නැති වුණා. ඒ විදිහට මම පැය ගණනාවක් ඉන්න ඇති.” ඒ අතරතුර ටොම් ඉදිරියේ තිබුණු උස කන්ද නැඟගෙන ගොස් ඒ ප්‍රදේශයේ සිටි මිනිසුන්ගෙන් උපකාර ඉල්ලුවා. නැව මුහුදුබත් වී පැය 24ක් යෑමටත් කලින් ටොම් හා ඊවාව අසළ පිහිටි ගොවි පොළකට ගෙන ගියා. නැව මුහුදුබත් වීම නිසා ඊවාට ඇගේ පියා හා මවද සහෝදරයන් තුන්දෙනා හා සහෝදරියන් දෙදෙනාවද අහිමි වුණා.

වර්තමානයේ සෑම අවුරුද්දකම බාස් සමුද්‍රසන්ධිය හරහා ලොකු කුඩා නැව් දහස් ගණනක් යාත්‍රා කරනවා. ඔවුන් එම ගමන්වලදී මුහුදුබත් වූ නැව් සියගණනක් පසු කරගෙන යන බව නිසැකයි. එවැනි නැව් ගැන තොරතුරු සපයන ස්ථාන අතරින් සංචාරකයන් ඇදී එන එක් තැනක් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පෝට් කැම්ප්බල් ජාතික උද්‍යානයේ පිහිටි ලොක් ආඩ් අනුස්මරණ ස්ථානයයි. මේ ස්ථාන නරඹන විට අපට මතක් කර දෙන්නේ වඩා හොඳ ජීවිතයක් සොයා ලෝකයෙන් අඩක් දුර ගෙවා ‘ඉඳිකටු සිදුර’ හරහා දුෂ්කර ගමනක් ගිය 19වන සියවසේ සිටි ධෛර්යයවන්ත මිනිසුන් ගැනයි.

[පාදසටහන]

^ 7 ඡේ. වර්ෂ 1852දී එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට ගිය ගමන්වලදී අවුරුද්දක් හෝ ඊට අඩු දරුවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් මිය ගියා.

[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ටොම් හා ඊවාට මොකද වුණේ?

ලොක් ආඩ් වේ සිටි අයගෙන් දිවි ගලවාගත් ටොම් පියර්ස් හා ඊවා කාමිචෙල් ඕස්ට්‍රේලියාව පුරා ජනප්‍රිය වීමට වැඩි කල් ගියේ නැහැ. එක් පොතක සඳහන් වුණේ “ටොම්ව වීරයෙක් ලෙසත් ඊවාව රූප සුන්දරියක් ලෙසත් වර්ණනා කරමින් දෙදෙනා විවාහ විය යුතු බවට පුවත්පත්වල පළ වුණා” කියායි. තමන් හා විවාහ වීමට ටොම් ඊවාට යෝජනා කළත් ඊට එකඟ නොවූ ඊවා ඉන් මාස තුනකට පසු නැවත අයර්ලන්තයට ගියා. පසුව ඇය වෙනත් කෙනෙකු සමඟ විවාහ වුණා. වර්ෂ 1934දී ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 73යි. ටොම්ට මොකද වුණේ? ඔහු නැවතත් මුහුදු ගමන්වල යෙදුණා. වැඩිකල් යෑමට පෙර තවත් වරක් ඔහු ගමන්ගත් නැවක් මුහුදුබත් වුණා. දෙවන වරටත් ඔහු දිවි ගලවාගත්තා. දුම් නැව් කපිතාන්වරයෙක් ලෙස අවුරුදු ගණනාවක්ම රැකියාව කළ ඔහු 1909දී මිය යන විට වයස අවුරුදු 50ක්ව සිටියා.—Cape Otway—Coast of Secrets.

[හිමිකම් විස්තර]

Both photos: Flagstaff Hill Maritime Village, Warrnambool

[15වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ෆෝබ්ස් විසින් එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වඩාත් ඉක්මන් කෙටි මඟක් ඔස්සේ යාත්‍රා කළ “මාර්කෝ පෝලෝ” නැව (ඉහළින්)

[රූප සටහන]

පැරණි මඟ

අක්ෂාංශ 39

කෙටිම මඟ

ඇන්ටාක්ටික් වෘත්තය

[සිතියම]

අත්ලන්තික් සාගරය

ඉන්දියානු සාගරය

ඇන්ටාක්ටිකාව

[හිමිකම් විස්තර]

From the newspaper The Illustrated London News, February 19, 1853

[15වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

බටහිර දෙසින් බාස් සමුද්‍රසන්ධියට ඇතුළු වීම ‘ඉඳිකටු සිදුරෙන් යෑමකට’ සමාන කර තිබෙනවා

[සිතියම]

ඕස්ට්‍රේලියා

වික්ටෝරියා

මෙල්බර්න්

පෝට් කැම්ප්බල් ජාතික උද්‍යානය

ඔට්වේ තුඩුව

බාස් සමුද්‍රසන්ධිය

කිං දූපත

ටැස්මේනියාව

[16වන පිටුවේ පින්තූරය]

“ලොක් ආඩ්” නැව ගල්පරයක හැපී විනාඩි 15කින් මුහුදුබත් වුණා

[හිමිකම් විස්තර]

La Trobe Picture Collection, State Library of Victoria

[17වන පිටුවේ පින්තූරය]

පෝට් කැම්ප්බල් ජාතික උද්‍යානයේ පෙන්වා ඇති ආකාරයට (1) ලොක් ආඩ් නැව ගල්පරයේ හැපුණු තැන හා (2) ටොම් පියර්ස් සොයාගත් ගුහාව තිබෙන තැන

[හිමිකම් විස්තර]

Photography Scancolor Australia