Skip to content

පටුනට යන්න

“තටු නැති ගුවන් යානය”

“තටු නැති ගුවන් යානය”

“තටු නැති ගුවන් යානය”

හොංකොංහි පිබිදෙව්! ලේඛක විසින්

චීනයේ ෂැංහයි නගරයට පැමිණෙන දුම්රියට ගොඩ වී අලුත් අද්දැකීමක් ලබන්නට බොහෝදෙනා ඉතා ආශාවෙන් බලා සිටිනවා. දෙසවනට කිසිම බාධාවක් නැතුව දුම්රිය ඉදිරියට යද්දී ඔවුන්ගේ සිත් ප්‍රීතියෙන් පිනා යනවා. මෙහි වේගය පැයට කිලෝමීටර් 430යි. මෙය මගීන්ව ගෙනයන ලොව වේගවත්ම දුම්රිය මාර්ගය වන අතර කිලෝමීටර් 30ක් පමණ දුරකින් පිහිටා ඇති පූඩොං ජාත්‍යන්තර ගුවන් තොටුපළට මිනිත්තු අටක් වැනි ඉතාමත් කෙටි කාලයකින් ළඟා වෙනවා. වෙනත් දුම්රියවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම දුම්රියට රෝද නොමැති වීමයි.

චුම්බක බලයෙන් ක්‍රියා කරන ෂැංහයි සිට පූඩොං දක්වා මගී ප්‍රවාහනය කෙරෙන ලොව එකම දුම්රිය ලෙස නම් දරා ඇත්තේ මෙම මැග්ලෙව් දුම්රියයි. (Magnetic Levitation) මෙහි එන්ජිම ක්‍රියා කරවීම සඳහා කිසිවෙක් නැහැ. ඒ වෙනුවට ප්‍රධාන පාලක මැදිරිය මගින් පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් දුම්රිය ක්‍රියා කරවනවා.

මැග්ලෙව් දුම්රියේ වෙනස

ඉහළ තාක්ෂණයකින් යුත් මෙම දුම්රිය සහ එහි ගමන් මාර්ගය ඉදි කිරීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. මේ දුම්රිය සහ එහි ගමන් මාර්ගය අතර ඇත්තේ ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක්. ෂැංහයිහි තිබෙන පස ඉතාමත් බුරුල් නිසා මෙම ගමන් මාර්ගය ඉදි කිරීමේදී ඒ සඳහා කොන්ක්‍රීට් ආධාරක සවි කළ යුතු වුණා. එම කොන්ක්‍රීට් ආධාරක උෂ්ණත්වය නිසා යම් ප්‍රමාණයකට හැකිලීමට හෝ පළල් වීමට හැකි බවද ඉදි කිරීමේදී ඉංජිනේරුවන් සලකිල්ලට ගත යුතු වුණා.

කෙසේවෙතත් අනිකුත් දුම්රියවලට වඩා මෙම දුම්රියේ ප්‍රයෝජන රැසක් තිබෙනවා. මෙහි සාමාන්‍ය දුම්රියකින් පිටවන එන්ජින් හෝ රෝද ශබ්ද ඇසෙන්නේ නැහැ. එමෙන්ම අහිතකර දුමක්ද පිට වන්නේ නැහැ. මෙම දුම්රියේ සහ එහි ගමන් මාර්ගයේ නඩත්තු කිරීම් සිදු වන්නේ ඉතා කලාතුරකිනුයි. මෙම දුම්රියේ මගීන් ප්‍රවාහනය කිරීමේදී වැය වන ශක්තිය ගුවන් යානයක වැය වන ශක්තියට වඩා පස් ගුණයකින් අඩුයි. ඒ වගේම වායු සමීකරණ පද්ධතියක් සඳහා වැය වන ශක්තිය හා සසඳද්දී මෙම දුම්රිය සඳහා වැය වන ශක්තිය ඉතාමත් අඩුයි. ඊට අමතරව කඳු සහ වංගුවලදී ඉතා පහසුවෙන් ධාවනය කිරීමට හැකි නිසා භූමියේ එතරම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වන්නේද නැහැ.

පුදුමයට කාරණයක් වන්නේ එවැනි වාසි ප්‍රයෝජන රැසක් තිබුණද තවදුරටත් මෙවැනි දුම්රියන් නොසෑදීමයි. ඊට එක් හේතුවක් වන්නේ එහි මූලික වියදම ඉතා අධික වීමයි. චීනයේ නිලධාරීන් ෂැංහයි සිට බීජිං දක්වා එවැනි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම තාවකාලිකව නවතා තිබෙන්නේ සාමාන්‍ය ධාවනයේ යෙදෙන දුම්රිය මාර්ගයකට වඩා දෙගුණයක් මුදල් ඒ සඳහා වැය වීම නිසයි. ඒ වගේම මේ සඳහා වෙනමම මාර්ග තැනීමට සිදු වීමද ඊට බලපානවා.

ෂැංහයිහි ධාවනය වන මැග්ලෙව් දුම්රිය සඳහා භාවිත කර ඇත්තේ ජර්මානු තාක්ෂණයයි. මෙවැනි දුම්රිය සෑදීම පිළිබඳව තවදුරටත් ජර්මනිය, ජපානය සහ වෙනත් රටවල් පරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා. ජපානය විසින් 2003 දෙසැම්බර් මාසයේ වැඩි දියුණු කරන ලද මැග්ලෙව් දුම්රියක් පැයට කිලෝමීටර් 581ක වේගයෙන් ධාවනය වුණා. එය ලොව වේගවත්ම ධාවනය ලෙස වාර්තාගත වුණා. ඒ කොහොමවුණත් මගීන්ව ප්‍රවාහනය කිරීමට තිබෙන වේගවත්ම දුම්රිය වන්නේ ෂැංහයිහි තිබෙන දුම්රියයි.

පූඩොං සිට ෂැංහයි දක්වා ධාවනය වන දුම්රියේ සිටින්නාවූ මගීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටින්නේ සෑම මැදිරියකම තිබෙන වේගය සනිටුහන් වෙන තාක්ෂණික උපකරනයේ උපරිම වේගය සනිටුහන් වන තුරුයි. මෙම දුම්රිය කොතරම් වේගයෙන් ගමන් කරනවාද කියනවා නම් මුල් වතාවට එහි ගමන් ගන්නා අයෙකුට අවට ඇති සුන්දර දර්ශන නැරඹීමට හැකියාවක් නොලැබෙන නිසා දෙවන වතාවටත් එම දුම්රියෙන් ගමන් කිරීමට සිදු වෙනවා. මැග්ලෙව් දුම්රිය “තටු නැති ගුවන් යානය” ලෙස හැඳින්වීමට හේතුව එහි ගමන් ගන්නා අයෙකුට නම් පුදුමයක් නොවෙයි.

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මැග්ලෙව් දුම්රිය ක්‍රියාකරන ආකාරය

ඉලෙක්ට්‍රොනිකව පාලනය කළ හැකි විද්‍යුත් චුම්බක (1) දුම්රිය මැදිරිවල යටි පැත්තෙත් දුම්රිය මාර්ගයෙත් තිබෙනවා. (2) මේවා අතර අඟල් භාගයක පරතරයක් දකින්න තිබෙනවා. (3) වෙනත් චුම්බකත් දුම්රිය එහි මාර්ගයේ සමබරව ගමන් කිරීමට උපකාරවත් වෙනවා. (4) ගමන් මාර්ගයේ ඇති විද්‍යුත් දඟරවලින් චුම්බක බලයක් ඇති කිරීම නිසා දුම්රිය ඉදිරියට ගමන් කරනවා.

විදුලිය පිරිමැසීම සඳහා පාලක මධ්‍යස්ථානය විසින් (5) ඒ අවස්ථාවේදී දුම්රිය ගමන් ගන්නා ප්‍රදේශයට පමණක් විදුලිය මුදා හරිනවා. දුම්රියේ වේගය වැඩි කිරීමට හෝ කන්දක් නැඟීමට සිදු වන අවස්ථාවකදී පමණක් වැඩි බලයක් ඊට ලබා දෙනවා. දුම්රියේ වේගය අඩු කිරීමට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමට සිදු වන විට ගමන් මාර්ගයේ ඇති විදුලිය ගමන් කරන දිශාවත් වෙනස් කරනවා.

ආරක්ෂා සහිත බව

මැග්ලෙව් දුම්රිය අධි වේගයකින් ධාවනය වුණත් එය දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවීමට තිබෙන ඉඩ කඩ අඩුයි. ඊට හේතුව (6) දුම්රිය එහි මාර්ගය සමඟ බැඳී පවතින ආකාරයට සාදා තිබීමයි. එම නිසා අධි වේගයෙන් ගමන් ගන්නා දුම්රිය තුළ සිටින මගීන්ට ආරක්ෂිත පටි පැළඳීමට අවශ්‍ය නොවන අතර මැදිරි තුළ නිදහසේ එහා මෙහා ගමන් කිරීමටද හැකියි. හදිසියෙන්වත් දුම්රියට ලබා දෙන විදුලිය ඇණ හිටියොත් දුම්රියේ තිබෙන බැටරි මගින් මුදාහරින බලයෙන් වේගය පාලනය කිරීමට හැකි වෙනවා. එමගින් දුම්රියේ වේගය පැයට කිලෝමීටර 10ක් දක්වා අඩු වී සෙමින් සෙමින් දුම්රිය නතර වෙනවා.

යම් රෝගී තත්වයක් නිසා කෙනෙක් ශරීරගත කර තිබෙන උපකරණයට මෙහි චුම්බක බලයෙන් යම් බලපෑමක් තිබෙනවාද? සොයාගැනීම්වලට අනුව එවැනි දෙයක් ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. ඊට හේතුව මෙයින් පිට වන චුම්බක බලය සාමාන්‍යය දුම්රියකින් පිට වන චුම්බක බලයට වඩා අඩු වීමයි.

[24, 25වන පිටුවේ පින්තූරය]

දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 430කට වඩා වැඩියි!

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 24 and 25: All photos and diagrams: © Fritz Stoiber Productions/Courtesy Transrapid International GmbH & Co. KG