Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවිය (www.watchtower.org) භාෂා 314කින් තොරතුරු සපයනවා. පසුගිය වසරේදී මිලියන විසිදෙකකට වඩා මේ වෙබ් අඩවියට පිවිසුණා. සාමාන්‍යක් හැටියට දිනකට 60,000කට වඩා වැඩිදෙනෙක් ඊට පිවිස තිබෙනවා.

▪ “වත්මන් ලෝකය මුහුණ පා සිටින අතිදුෂ්කර ගැටලුවලින් එකක් වන්නේ සියලුදෙනාටම පිරිසිදු ජලය ඇති තරම් සැපයීමට නොහැකි වීමයි. . . . පානීය ජලය අවශ්‍ය බොහෝ ස්ථානවල තිබෙන්නේ ජලය නොව තුවක්කුයි.”—එ.ජ. මහ ලේකම් බැන් කි මූන්.

නිරෝගිව සිටීමට . . .

මානසික පීඩනයෙන් පෙළෙන අශුභවාදී අයට වඩා ප්‍රීතියෙන් සිටින ශුභවාදී අය නිරෝගියි කියා පොදුවේ විශ්වාස කරනවා. එක් අධ්‍යයනකට අනුව පර්යේෂකයන් නිගමනය කළේ “ප්‍රීතියෙන්” සිටින අයගේ රුධිරයේ කෝටිසෝල් මට්ටම අඩු බවයි. කෝටිසෝල් කියන්නේ හෝමෝනයක්. නමුත් කාලයක් පුරා කෝටිසෝල් මට්ටම ඉහළ ගොස් තිබීම විශේෂයෙන්ම මානසික පීඩනය ඇතුළු තවත් බොහෝ අසනීපවලට හේතු වෙනවා. ඒ වගේම ප්‍රීතියෙන් සිටින අයගේ රුධිරය තුළ “ශරීරයේ ඉදිමීම් ඇති කරන ප්‍රෝටීන වර්ග දෙකක්” අඩු මට්ටමක පවතින බවද සොයාගෙන තිබෙනවා. ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ඇන්ඩෘ ස්ටෙප්ටෝ පවසන ආකාරයට “මානසික ස්වභාවයේ වෙනස්කම් සිදු වීම පරම්පරාවෙන් උරුම වන දෙයක් නොවෙයි. එයට මිත්‍රත්වයන් හා තමන් අත් කරගන්නා දේවල් නිසා ඇති වන හැඟීම බලපානවා.”

නව තාක්ෂණයෙන් නව සඳ බැලීම

මුස්ලිම්වරුන් නිරාහාරව සිටීමේ කාලය අවසන් කිරීමෙන් පසු පවත්වනු ලබන රාමසාන් උත්සවයේ දිනය තීරණය කරන්නේ නව සඳ බැලීමෙනුයි. සියවස් ගණනාවක සිට ඔවුන් මෙය කරනු ලබනවා. ආගමික නායකයෙක් පියවි ඇසින් නව සඳ බලා තම භක්තිවන්තයන්ට ඒ ගැන නිවේදනය කළා. එය පුරාණයේ පටන් සිදු වන දෙයක්. එහෙත් අවුරුදු කිහිපයක සිට ඇතැම් ආගමික නායකයන් නව සඳ බැලීම සඳහා නව තාක්ෂණය යොදාගැනීමට අවසර දී තිබෙනවා. ඉරානයේ ආගමික නායකයන් සමඟ එක්ව එහි සිටින නක්ෂස්ත්‍රකරුවන් ඉතාම සියුම් නවීන දුරේක්ෂ, රාත්‍රියේදී පැහැදිලිව දැකිය හැකි උපකරණ හා නිරීක්ෂණ උපකරණ සහිත ගුවන් යානාද ඒ සඳහා යොදාගන්නවා. නව සඳ කලින්ම දකින තරමට උත්සවයද ඉක්මන් වෙයි.

ළදරු විනිසුරුවන්

ළදරුවන් මාස හයක් තරම් කුඩා අවධියේ සිට එනම් “කතා කිරීමට කලින් සිටම මිනිසුන්ගේ හැසිරීම ගැන යම් විනිශ්චයන් කිරීමේ හැකියාව” වර්ධනය කරගන්නා බව එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසනවා. මොවුන් මාස හයත් දහයත් අතර වසයේ පසුවන ළදරුවන් පිරිසකට මෙවැනි දෙයක් දකින්න සැලැස්සුවා. එක් බෝනික්කෙක් උස් තැනකට නඟින්න උත්සාහ කරන අතරේදී එතැන සිටි සමහර බෝනික්කන් ඒ බෝනික්කාට උදව් කළ අතර අනිත් බෝනික්කන් ඒ බෝනික්කාව පහතට ඇද්දා. ඉන්පසු “මේ දරුවන්ට සෙල්ලම් කිරීමට තමන් කැමැති බෝනික්කන්ව තෝරාගැනීමට ඉඩ දුන්නා.” ඒ සෑම ළදරුවෙක්ම පාහේ තෝරාගත්තේ උපකාර කළ බෝනික්කන්වයි. මින් යම් දුරකට පැහැදිලි වන්නේ “සෙල්ලම් කිරීමට හොඳ අය හා නරක අය කවුද කියා තෝරාගැනීමට ළදරුවන්ට පවා හැකි” බවයි.—Houston Chronicle.

“බෝතල් කළ ජලයට පිපාසයක්”

“ඇමරිකානුවන්ට බෝතල් කළ ජලයට ඇත්තේ මහත් පිපාසයක්. ඔවුන් වසරකට වතුර බෝතල් බිලියන 30ක් මිල දී ගන්නවා” කියා එක් සඟරාවක සඳහන් වෙනවා. නමුත් බෝතල් කර ඇත්තේ නළ ජලය බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. “අසනීපවලට තිබෙන බය නිසා නගර සභාවෙන් සපයන නළ ජලයට වඩා බෝතල් කළ ජලය පානය කරන එක හොඳයි කියා යමෙක් සිතනවා නම් ඔහුට වැරදී ඇති” බව එහි සඳහන් වෙනවා. බොහෝ රටවල නගර සභාවෙන් ජලය සපයන්නේ ප්‍රමිතියකට අනුවයි. “අධික මිලක්” වැය වන බෝතල් කළ ජලය සමඟ බලන විට නළ ජලය ලැබෙන්නේ “නොමිලේ” කියා පැවසිය හැකියි.—U.S.News & World Report.