Skip to content

පටුනට යන්න

දිගු කල් ජීවත් වීමේ රහස කුමක්ද?

දිගු කල් ජීවත් වීමේ රහස කුමක්ද?

දිගු කල් ජීවත් වීමේ රහස කුමක්ද?

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

▪ වර්ෂ 2006දී කළ ගණනය කිරීමකට අනුව ජපානයේ ඔකිනාවා දූපතේ සිටින මිලියන 1.3ක් පමණ ජනගහනයෙන් 740දෙනෙක් වයස අවුරුදු 100 හෝ ඊට වඩා වැඩි වයස් කාණ්ඩවල සිටිනවා. ඉන් සියයට 90ක්ම ස්ත්‍රීන්. ඒ ගැන සමීක්ෂණයක් කළ එක් මහාචාර්යවරයෙක් වන මාකෝටෝ සූසූකී පැවසූ පරිදි වයස අවුරුදු 100ට වැඩි අයගේ අනුපාතය සෑම මිනිසුන් 1,00,000කට 50දෙනෙකු පමණ වන අතර බොහෝ දියුණු රටවල එම අනුපාතය 1,00,000කට දසදෙනෙකු හෝ 20දෙනෙකු පමණ වෙනවා.

කලින් සඳහන් කළ සමීක්ෂණය “ලොව වැඩිම කාලයක් නොනවත්වා කළ සමීක්ෂණය” ලෙස ඇතමුන් සලකනවා. එමගින් “ඉතා හොඳ සෞඛ්‍යකින් හෙබි මහලු අය අසාමාන්‍ය ගණනක්” සිටින බව හෙළි වුණා. ඊට හේතුව සොයා බැලීමට සූසූකී ඇතුළු කණ්ඩායම එවන් අයගේ ජීවන රටාව හා ජාන පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒ සඳහා ඔවුන් වයස අවුරුදු 100 සහ 70 ගණන්වල පසුවන 900දෙනෙකුව යොදාගත්තා. ඔවුන්ගේ ශරීර කෙට්ටු වුණත් ඔවුන් ඉතා ශක්තිමත්, සෞඛ්‍යසම්පන්න අය බව එමගින් හෙළි වුණා. එමෙන්ම ඔවුන්ගේ රුධිර සංසරණය කිසිම අවහිරයකින් තොරව සිදු වන බවත් හෘදයාබාධ සහ පිළිකාවන් වැලඳීමේ ප්‍රවණතාව අඩු බවත් පෙනී ගියා. ඒ විතරක් නොවෙයි වෙනත් රටවල සිටින වයස අවුරුදු 90 ගණන්වල අයට වඩා ඔකිනාවාහි වෙසෙන මහලු අය වයසට යෑම නිසා ඇති වන මානසික දුර්වලතාවන් අඩු බව සොයාගත්තා.

එයට ප්‍රධාන වශයෙන් ජාන බලපෑවත් වෙනත් සාධකද ඊට හේතු වෙනවා. ඔවුන් දුම්පානයෙන් වැළකී සිටින අතර මත්පැන් පිළිබඳවද ඔවුන්ට තිබෙන්නේ සමබර ආකල්පයක්. එමෙන්ම සමබර ආහාර වේලක් ගැනීමටද ඔවුන් පුරුදු වී සිටිනවා. ඊට කැලරි අඩු ආහාර, එළවළු, පලතුරු, ශරීරයට ගුණදායක මේද හා කෙඳි සහිත ආහාරද ඇතුළත්. ඔවුන් අනවශ්‍ය ලෙස කුස පිරෙන තුරු ආහාර අනුභව කරන්නේද නැහැ. මහාචාර්ය බ්‍රෙඩ්ලී විල්කාක්ස් පැවසුවේ මෙසේයි. “ඔබේ කුස පිරුණු බව ඔබට හැඟෙන මුල්ම අවස්ථාවේදීම ආහාර ගැනීම නතර කරන්න. මන්ද අපට කුස පිරෙන්න ආහාර ලැබී තිබෙනවා කියා ආමාශයෙන් මොළයට සංඥාව නිකුත් වන්නේ ඒ බව මුලින්ම අපට හැඟුණු අවස්ථාවේ සිට විනාඩි 20කට පසුවයි.”

සාමාන්‍යයෙන් ඔකිනාවාහි වෙසෙන මහලු අය වත්තේ පිටියේ වැඩ කිරීමට, දිනපතා ඇවිදීමට, පාරම්පරික නැටුම් හා වෙනත් අංගයන්හි නියැලීමට පුරුදු වී සිටිනවා. ඔවුන්ට ඇත්තේ ඉතාමත් ශක්තිමත් පෞරුෂයක්. ඔවුන් ඉතා ශුභවාදීව සිතන අතර ඕනෑම දෙයකට හැඩ ගැසීමට ඔවුන් සූදානම්. එමෙන්ම ඕනෑම මානසික පීඩනයකට හොඳින් මුහුණ දීමට ඔවුන්ට හැකි අතර විශේෂයෙන්ම එවැනි කාන්තාවන්ට “සමාජය සමඟ හොඳන් පෑහී කටයුතු කළ හැකියි.”

මෙතරම් දිගු කලක් ඔවුන් ජීවත් වන්නේ “කිසිම ඖෂධයක් නිසා නොවෙයි” කියා මහාචාර්ය විල්කාක්ස් පැවසුවා. ඔවුන්ගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ ඊට ඔවුන්ගේ ජාන, සමබර ආහාර වේල්, ව්‍යායාම්, හොඳ සෞඛ්‍ය පුරුදු සහ “මානසික පීඩනයන්ට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව” හේතු වන බවයි.