Skip to content

පටුනට යන්න

යාච්ඤා සඳහා ආධාරක භාවිත කිරීම දෙවිට ප්‍රසන්නද?

යාච්ඤා සඳහා ආධාරක භාවිත කිරීම දෙවිට ප්‍රසන්නද?

බයිබලයෙන් පිළිතුරක්

යාච්ඤා සඳහා ආධාරක භාවිත කිරීම දෙවිට ප්‍රසන්නද?

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, යූදා, රෝමානු කතෝලික හා ඕතඩොක්ස් ආගම් අදහන අය යාච්ඤා කිරීම සඳහා ආධාරක භාවිත කරනවා. එවැනි ආධාරක ඇතුව යාච්ඤා කිරීමෙන් දෙවිට ළං වීමටත් ඔහුගේ අනුමැතිය දිනාගැනීමට හෝ ආශීර්වාද ලබාගැනීමටත් හැකි බව සෑම රටකම වගේ වෙසෙන මිලියන ගණන් ජනයා විශ්වාස කරනවා. නමුත් ඒ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

අවුරුදු දහස් ගණනකට පෙර ඈත අතීතයේ සිටම යාච්ඤා කිරීම සඳහා යම් ආධාරක භාවිත කළා. උදාහරණයකට එක් විශ්වකෝෂයකට අනුව පුරාණයේ පිහිටි නිනිවය ප්‍රදේශයෙන් “ශුද්ධයයි සලකන ගසක් ඉදිරියේ පියාපත් දෙකක් සහිත ස්ත්‍රීන් යාච්ඤා කිරීමට සැරසී සිටින ආකාරය දැක්වෙන පිළිරු” පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබුවා. “ඒ ස්ත්‍රීන්ගේ වමතේ කොන්තද දකින්න තිබුණා.”—The Catholic Encyclopedia.

කොන්ත භාවිත කිරීමේ අරමුණ කුමක්ද? ඉහත සඳහන් කළ විශ්වකෝෂයේ තවදුරටත් පවසන පරිදි “එකම යාච්ඤාව කිහිපවිටක්ම කීමට සිදු වෙද්දී අතින් ගණන් කිරීමෙන් වැරදි සිදු විය හැකි නිසා එය නිවැරදිව කිරීමට යම් උපකරණයක් අවශ්‍ය වුණා.”

එකම යාච්ඤාව නැවත නැවත කීම සඳහා ඊටත් වඩා පහසු ක්‍රමයක් භාවිත කරනවා. ඇතැම් රටවල යාච්ඤා කිරීම සඳහා මන්ත්‍ර සුත්‍ර ලියැවුණු සිලින්ඩරාකාර වස්තුවක් භාවිත කරනවා. අතින්, සුළගින්, ජලයෙන් හෝ විදුලියෙන් එය කරකවන වාර ගණන හා සමාන වාර ගණනක් ඔවුන් යාච්ඤා ඔප්පු කරන බව ඔවුන් සිතනවා. එවැනි දේවල් භාවිත කිරීම ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

“එකම දේ නැවත නැවතත් නොකියන්න”

ක්‍රිස්තියානීන් නොවන මිලියන ගණන්දෙනා පවා විශ්වාස කරන දෙවිගේ අනාගතවතෘවරයෙක් වූ යේසුස් ක්‍රිස්තුස් එකම යාච්ඤාව නැවත නැවත කීම ගැන දෙවිට හැඟෙන ආකාරය මෙසේ පැහැදිලි කළා. “ඔබ යාච්ඤා කරන විට, අන්‍යජාතීන් මෙන් එකම දේ නැවත නැවතත් නොකියන්න. තමන් පවසන වචන රාශිය නිසා ඔවුන්ට සවන් දෙනු ඇතැයි ඔවුහු සිතති.” *මතෙව් 6:7.

“එකම දේ නැවත නැවතත්” කියන යාච්ඤා දෙවි අනුමත නොකරනවා නම් එවැනි යාච්ඤා සඳහා භාවිත කරන ආධාරක දෙවි අනුමත කරයිද? දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය කොන්ත වැනි ආධාරක භාවිත කරමින් දෙවිට යාච්ඤා කළ බවට පෙන්වන එකම සාක්ෂියක්වත් බයිබලයේ නැහැ. ඊට හේතුව තේරුම්ගැනීමට යාච්ඤාව කියන්නේ කුමක්ද සහ එහි අරමුණ කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීම උපකාරවත් වෙනවා.

දෙවිව ප්‍රසන්න කරන යාච්ඤා

යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේ දෙවිව “අපගේ පියාණෙනි” කියා හැඳින්වූවා. අපට ජීවිතය දුන් දෙවි අපෙන් දුරස්ව සිටින කෙනෙක්වත් අද්භූත බලවේගයක්වත් නොවෙයි. ඒ නිසා ඔහුව ප්‍රසන්න කිරීමට මන්ත්‍ර සූත්‍ර සහ මැතිරීම් වැනි දේවල් කිරීම අවශ්‍ය නැහැ. මන්ද යෙහෝවා දෙවි කියන්නේ ප්‍රේමණීය පියෙක්. ඔහු කැමති අපි ඔහුව හොඳින් හඳුනාගෙන ඔහුට ප්‍රේම කරනවාටයි. “මා පියාණන්ට ප්‍රේම කරන බව” යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:31) පුරාණ ඊශ්‍රායෙලයේ සිටි අනාගතවතෘවරයෙක්ද “යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය” කියා පැවසුවා.—යෙසායා 64:8.

යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටියත් ඔහුට ළං වීමට අපට හැකිද? ඔව්. (යාකොබ් 4:8) උදාහරණයකට කිට්ටු මිතුරන් දෙදෙනෙක් ගැන සිතමු. ඔවුන් එකිනෙකා තමන්ගේ හැඟීම් සහ අදහස් බෙදාගැනීමෙන්ද හොඳින් සවන් දීමෙන්ද හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගන්නවා. ඒ හා සමානව දෙවි සමඟත් අපිට කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අදහස් හුවමාරුව අවශ්‍යයි. දෙවි අපිට ඔහුගේ වචනය වන බයිබලය තුළින් කතා කරනවා. ඔහුගේ ක්‍රියා, පෞද්ගලිකත්වය සහ අරමුණු මොනවාද යන්න එමගින් අපිට හෙළි කර තිබෙනවා. (2 තිමෝති 3:16) අනිත් අතට අපිට යාච්ඤාව තුළින් දෙවිට කතා කළ හැකියි. ඒත් අපි එය කළ යුත්තේ කළ යුතු නිසාම නොව හදපත්ලෙන් නැඟෙන අවංක අදහස් පැවසීමෙනුයි.

මේ ගැන ටිකක් සිතා බලන්න. ප්‍රීතියෙන් කල් ගෙවන පවුලක සිටින දරුවන් තම දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කරගන්නේ කෙසේද? ඔවුන් එකම දේ නැවත නැවත කියන්නේවත් ඒ සඳහා යම් ආධාරක භාවිත කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් ගෞරවාන්විතව තමන්ගේ සිතේ තිබෙන දේ අවංකව පවසමින් අර්ථාන්විත අදහස් හුවමාරුවක් පවත්වාගන්නවා නිසැකයි.

දෙවිට යාච්ඤා කළ යුත්තේද ඒ හා සමානවයි. අපේ හදවතේ තිබෙන ඕනෑම දෙයක් දෙවිට පැවසීමට අපට හැකියි. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.’ (ෆිලිප්පි 4:6, 7) අප යම් දෙයක් සම්බන්ධයෙන් කනස්සල්ලෙන් සිටින විට එම කාරණය ගැන නිතර නිතර දෙවිට පැවසිය හැකියි. නමුත් එය එකම දේ නැවත නැවත කීමක් නොවෙයි.—මතෙව් 7:7-11.

දෙවිව ප්‍රසන්න කරන බොහෝ යාච්ඤා බයිබලයේ සඳහන් වෙනවා. ඊට ගීතිකාද යේසුස් කළ යාච්ඤාද ඇතුළත්. * (ගීතාවලිය 17 සහ 86 යන පරිච්ඡේද, ශීර්ෂපාඨ; ලූක් 10:21, 22; 22:40-44) යේසුස් කළ එවැනි යාච්ඤාවක් යොහන් 17වන පරිච්ඡේදයේ සඳහන් වන අතර ඔබත් එය කියවා බලන්න. එය කියවද්දී යේසුස් ඔහුගේ ඇතුළාන්ත හැඟීම් යෙහෝවා දෙවිට පැවසූ ආකාරය ගැන සිතා බලන්න. එවිට ඔහු කළ යාච්ඤාව ආත්මාර්ථකාමී එකක් නොවන බව ඔබට වැටහේවි. මන්ද යේසුස්ට ඔහුගේ අනුගාමිකයන් කෙරෙහි තිබුණු ගැඹුරු ප්‍රේමය එමගින් මනාව පැහැදිලි වෙනවා. ඔහු මෙසේ යාච්ඤා කළේ ඒ නිසයි. “ශුද්ධ වූ පියාණෙනි” ‘දුෂ්ටයා [සාතන්] නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න.’—යොහන් 17:11, 15.

යේසුස් කළ යාච්ඤාවේ යම් යාන්ත්‍රික බවක් ඔබට හැඟුණද? කොහෙත්ම නැහැ. යාච්ඤාව සම්බන්ධයෙන් යේසුස් තබා ඇත්තේ මොන තරම් කදිම ආදර්ශයක්ද! දෙවිට ළං වීමට කැමති සෑමදෙනාම දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගෙන ඔහුව දැන හඳුනා ගත යුතුයි. එවන් දැනුමක් මත පදනම් වූ ප්‍රේමය දෙවිව අසතුටට පත් කරන ආගමික වත් පිළිවෙත් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ව පොළඹවනවා. එවැනි අයට යෙහෝවා දෙවි සහතික කරන්නේ මෙසේයි. “මම ඔබට පියෙක් වන්නෙමි. ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය.”—2 කොරින්ති 6:17, 18.

[පාදසටහන්වල]

^ 8 ඡේ. ආදර්ශ යාච්ඤාවේදී යේසුස් පැවසුවේ ‘ඔබ මේ යාච්ඤාවම කිව යුතුයි’ කියා නොවෙයි. ඔහු එලෙස පැවසුවා නම් එය කලින් ඔහු කිවූ දෙයට පටහැනියි. ඒ වෙනුවට ඔහු පැවසුවේ “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය” කියායි. (මතෙව් 6:9-13) යේසුස් ආදර්ශ යාච්ඤාවෙන් කාවැද්දවීමට උත්සාහ කළේ අපේ ජීවිතයේ මූලික තැන දිය යුත්තේ අනිකුත් දේවලට වඩා නමස්කාරයට සම්බන්ධ කාරණාවලට බවයි.

^ 15 ඡේ. විවිධ අවස්ථාවලදී ගායනා කරන ලද එවැනි ගීතිකා මන්ත්‍ර කියන්නාක් මෙන් නැවත නැවත පවසා තිබුණේවත් ඒවා පැවසීමට කොන්ත වැනි ආධාරක භාවිත කළේවත් නැහැ.

මේ ගැන ඔබ සිතුවාද?

▪ යාච්ඤා කරද්දී එකම දේ නැවත නැවත කීම සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස කොන්ත වැනි ආධාරක භාවිතයට සම්බන්ධ වන්නේ කෙසේද?—මතෙව් 6:7.

▪ දෙවිව අපේ පියා ලෙස සලකන බව අපේ යාච්ඤා මගින් හෙළි වෙනවාද?—යෙසායා 64:8.

▪ දෙවි අසතුටට පත් කරන ආගමික වත් පිළිවෙත් අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු අපව සලකන්නේ කෙසේද?—2 කොරින්ති 6:17, 18.