Skip to content

පටුනට යන්න

සයුරේ සම්පත් සයුරට අහිමි වෙයිද?

සයුරේ සම්පත් සයුරට අහිමි වෙයිද?

සයුරේ සම්පත් සයුරට අහිමි වෙයිද?

“බොහෝ මසුන් අල්ලාගත හැකි කාලවල්ද නොහැකි කාලවල්ද තිබෙනවා. නමුත් දැන් වගේ මසුන් හිඟ කාලයක් නම් මම කවදාවත් දැකලා නැහැ. සැමන්, මෝරු සහ පොකිරිස්සන් වැනි සෑම මත්ස්‍ය වර්ගයක්ම හිඟ වී ගෙන යනවා.” එංගලන්තයේ වෙසෙන ධීවරයෙක් වූ 65 හැවිරිදි ජෝර්ජ් පැවසුවේ එයයි.

එය ජෝර්ජ්ට පමණක් සීමා වූ ගැටලුවක් නොවෙයි. ලොව පුරාම වෙසෙන ධීවරයන් මේ තත්වයට මුහුණ දෙනවා. පේරූ රටේ ජීවත් වන විශාල ධීවර නෞකාවක කපිතාන්වරයෙක් වූ ඔගස්ටීන්ගේ අදහස වූයේ මෙයයි. “සැමන් මසුන් හිඟවෙන්න පටන්ගත්තේ දැනට අවුරුදු 12කටත් පෙර සිටයි. සාමාන්‍යයෙන් අවුරුද්ද පුරාම අපිට පේරූ මුහුදු තීරයේ මසුන් විශාල ප්‍රමාණයක් අල්ලාගැනීමට හැකි වුණත් දැන් නම් මාස කිහිපයක් යනතුරුම එක මත්ස්‍යයෙක්වත් හසු වෙන්නේ නැහැ. කලින් නම් අපිට වෙරළේ සිට කිලෝමීටර් 25කට වඩා වැඩි ඈතකට නොගොස් මසුන් අල්ලාගැනීමට හැකි වුණා. නමුත් දැන් නම් කිලෝමීටර් 300ක දුර ගෙවාගෙන ගියත් මදි.”

ස්පාඤ්ඤයේ ගැලිසියාවේ වෙසෙන ආන්ටෝනියෝ පැවසුවේ මෙසේයි. “මම අවුරුදු 20ක් තිස්සේ මසුන් අල්ලනවා. මුහුදේ ඉන්න මසුන් ක්‍රමක්‍රමයෙන් අඩු වී ගෙන යන බව මට වැටහුණා. ඊට හේතුව මසුන් බෝ වෙනවාට වඩා වැඩි වේගයකින් අපි උන්ව අල්ලාගැනීමයි.”

සාමාන්‍යයෙන් වනාන්තරයක මෙන් නොව සාගරයේ සිදු වන හානි පැහැදිලිව දැකගන්න බැහැ. නමුත් එය හානියට ලක් වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් මෙවැනි අනතුරු ඇඟවීමක් කළා. “මේ වන විට ලොව මසුන් වැඩි වශයෙන් දැකගත හැකි ස්ථාන සියයට 75කම වාගේ මත්ස්‍ය සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වී හෝ අඩු වෙමින් පවතිනවා. මෙය ඉතා දුක්බර තත්වයක්.”

මසුන් වඳ වී යෑම අපේ ආහාර වේලටද බලපානවා. ඊට හේතුව මසුන් ප්‍රෝටීන් අඩංගු ආහාරයක් නිසා අපේ ආහාර වේලේ වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් අහිමි වීමයි. සාමාන්‍යයෙන් සාගරය පුරාම මසුන් ගහනව දකින්න ලැබෙන්නේ නැහැ. සමහර ස්ථානවල මසුන් වෙසෙන්නේ ඉතාමත් ස්වල්ප වශයෙනුයි. මසුන් බහුල ලෙස ගැවසෙන වෙරළ ආසන්නයේ ශාක ප්ලවාංග (ජලය මතුපිට පාවෙන ශාක සහ ක්ෂුද්‍ර ජීවීන්) වැඩි වශයෙන් දකින්න ලැබෙන අතර ඒවා ආහාරයට ගැනීමෙන් මසුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකියි. ඒ නිසා මසුන් ගහනව වෙසෙන්නේ වෙරළ තීරයේ කියා කිව හැකියි. නමුත් ධීවරයින් එවැනි මත්ස්‍ය බිම් විනාශ කරමින් සිටින්නේ කෙසේද? ඊට පිළිතුරු සොයාගැනීමට ඉතිහාසය දෙස මදක් හැරී බලමු.

ග්‍රෑන්ඩ් බෑන්ක්ස් මුහුදු තීරය

ඉතාලි ජාතික දේශ ගවේෂකයෙක් වූ ජෝන් කාබට් * එංගලන්තයේ සිට අත්ලාන්තික් සාගරය හරහා තම නාවික ගමන දියත් කළ අතර එහිදී ඔහුට ග්‍රෑන්ඩ් බෑන්ක්ස් ලෙස හඳුන්වන විශාල මත්ස්‍ය සම්පත් බිමක් සොයාගත හැකි වුණා. එම තීරය කැනඩාවේ වෙරළ තීරයට නුදුරින් තිබෙන නොගැඹුරු මුහුදු ප්‍රදේශයක්. එම සොයාගැනීම සිදු වූයේ දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොළොම්බස් 1492දී දියත් කළ සුප්‍රසිද්ධ නාවික ගමනෙන් වසර පහකට පසුවයි. ග්‍රෑන්ඩ් බෑන්ක්ස් තීරය සොයාගැනීමත් සමඟම බොහෝ ධීවරයින්ද මසුන් අල්ලාගැනීමට එම ප්‍රදේශ කරා ගියා. මෝරුන්ගෙන් ගහන එවැනි ස්ථානයක් යුරෝපියයන් මින් පෙර කිසි දිනක දැක තිබුණේ නැහැ.

මේදය රහිත ඉතාමත් වටිනා මත්ස්‍ය වර්ගයක් වන මෝරු අධික මිලකට විකිණිය හැකියි. ඒ නිසා මෝරුන්ට ලොව පුරා හොඳ ඉල්ලුමක් තිබෙනවා. සාමාන්‍යයෙන් අත්ලාන්තික් සාගරයේ වෙසෙන මෝරෙකු බරින් කිලෝග්‍රෑම් 1.4ත් නවයත් අතර වෙනවා. නමුත් සමහර මෝරු මිනිසුන් තරම්ම විශාලයි. කෙසේවෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟම ට්‍රෝලර් යාත්‍රා සහ ට්‍රෝලර් දැල් භාවිත කරමින් මෝරු විශාල ප්‍රමාණයක් ඇල්ලීමට ධීවරයින් සමත් වී තිබෙනවා.

කාර්මික දියුණුව හා ධීවර කර්මාන්තය

දහනවවන සියවස වෙද්දී හුරුල්ලන් වැනි මත්ස්‍යය විශේෂ හිඟ වී යයි කියා සමහර යුරෝපියයන් සිතුවා. කොහොමවුණත් සත්ව විද්‍යාඥයෙක් වන තෝමස් හක්ස්ලි 1883දී ලන්ඩනයේ පැවති ධීවර ප්‍රදර්ශනයකදී පැවසුවේ මෙසේයි. ‘සාගරයේ සිටින මසුන් ප්‍රමාණය හා සසඳද්දී අපි අල්ලාගන්නා ප්‍රමාණය එතරම් සැලකිය යුතු ගණනක් නොවෙයි. මෝරු ඇතුළු අනිකුත් සෑම මත්ස්‍ය වර්ගයක්ම තව තවත් වැඩි වන බව මගේ විශ්වාසයයි.’

තෝමස් හක්ස්ලි එම ප්‍රකාශය පැවසීමෙන් පසුව ග්‍රෑන්ඩ් බෑන්ක්ස් ආශ්‍රිත ධීවර කර්මාන්තයේ පැහැදිලි දියුණුවක් දකින්න ලැබුණත් ඔහුගේ ඒ මතය ගැන සමහර අය සැක පළ කළා. මසුන් අල්ලාගත් විගස ශීත කළ හැකි ක්‍රමයක් 1925දී ඇමරිකාවේ මැන්චෙස්ටර් නගරයේ විසූ ක්ලැරන්ස් බර්ඩ්සි විසින් සොයාගත්තා. ඒ නිසා ග්‍රෑන්ඩ් බෑන්ක්ස්හි සිටි මෝරුන්ට තිබුණු ඉල්ලුම තවත් වැඩි වුණා. එමෙන්ම ඩීසල්වලින් ක්‍රියා කළ හැකි ට්‍රෝලර් යාත්‍රා භාවිත කරමින් මෝරු විශාල ප්‍රමාණයක් අල්ලාගැනීමට ධීවරයින් සමත් වුණා. මේ ආකාරයට එහි සිටි මෝරු සූරා කෑමට ඔවුන් තව තවත් පෙලඹුණා.

වර්ෂ 1951දී අමුතුම වර්ගයේ නෞකාවක් බ්‍රිතාන්‍යයේ සිට ග්‍රෑන්ඩ් බෑන්ක්ස් දක්වා යාත්‍රා කළා. එම නෞකාව දිගින් අඩි 280ක් පමණ වූ අතර ඊට ටොන් 2,600ක පමණ බරක් වුණත් දරාගත හැකියි. මසුන් අල්ලාගත් විගස ශීත කළ හැකි ප්‍රථම නෞකාව වූයේ එයයි. එම නෞකාවේ පිටුපස කොටස පහත්ව පිහිටා තිබූ අතර එතැනින් ධීවරයින්ට කුඩා දොඹකර යොදා ට්‍රෝලර් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීමට හැකි වුණා. එලෙස ඇල්ලූ මසුන්ව නෞකාවේ පහළ තට්ටුවේ ඇති යන්ත්‍ර මගින් කටු ඉවත් කර, ඇසුරුම්වල බහා ශීත කරනු ලැබුවා. එමෙන්ම ඔවුන් රේඩාර් මාර්ගයෙන් මසුන් ගහනව සිටින ස්ථාන සොයාගත් අතර සති ගණනාවක් පුරා මසුන් රාශියක් අල්ලාගැනීමට ඔවුන්ට හැකි වුණා.

වෙනත් රටවල වෙසෙන ධීවරයන්ද ලාභ ඉපයීමට මෙය කදිම මඟක් යයි සිතූ නිසා ඔවුන්ද ඒ හා සමාන සිය ගණන් නෞකාවලින් ග්‍රෑන්ඩ් බෑන්ක්ස් කරා පැමිණියා. එවැනි නෞකාවල ඇති ට්‍රෝලර් දැල් මගින් පැයකට ටොන් 200ක් පමණ මසුන් අල්ලාගත හැකි වූ අතර සමහර නෞකාවලට ටොන් 8,000ක පමණ බරක් දැරිය හැකි වුණා. ඒවායේ ට්‍රෝලර් දැල් කොතරම් විශාලද කියනවා නම් ඒවා මගින් ජම්බෝ ජෙට් යානයක් වුණත් වැසිය හැකියි.

විනාශය කරා පියමං කිරීම

එක් පොතක මෙවැනි අදහසක් පළ වුණා. “වර්ෂ 1970 ගණන්වල අගභාගයේදී බොහෝ අය සිතුවේ සාගර සම්පත් කිසි දිනක ක්ෂය නොවන බවයි.” වර්ෂ 1980 ගණන්වලදී වැඩි වැඩියෙන් ග්‍රෑන්ඩ් බෑන්ක්ස් වෙත ට්‍රෝලර් යාත්‍රා ගමන් කරන්න පටන්ගත්තා. එයින් මත්ස්‍ය සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වී යයි කියා විද්‍යාඥයින් විසින් අනතුරු ඇඟවූවත් ඒ වන විට මසුන් ඇල්ලීම දස දහස් ගණන්දෙනාගේ ජීවනෝපාය වී හමාරයි. රජයේ බලධාරීන්ද එය රැකගැනීමට කිසිදු පියවරක් ගත්තේ නැහැ. වර්ෂ 1992 වෙද්දී විද්‍යාඥයින් පෙන්වා දුන් ආකාරයට වසර 30ක් ඇතුළත සියයට 98.9ක් වැනි විශාල ප්‍රමාණයකින් මෝරු සංඛ්‍යාව අඩු වී ගොස් තිබුණා. දේශ ගවේෂක ජෝන් කාබට් ග්‍රෑන්ඩ් බෑන්ක්ස් සොයාගෙන වසර 500කට පසුව එම ස්ථානය විනාශයට ලක්ව තිබූ නිසා ග්‍රෑන්ඩ් බෑන්ක්ස්හි මෝරු ඇල්ලීම තහනම් කළත් ඉන් කිසිදු පලක් වුණේ නැහැ.—Ocean’s End.

මෝරු ගහනය නැවතත් ඉක්මනින්ම වැඩි වෙයි කියා ධීවරයින් සිතුවා. සාමාන්‍යයෙන් මෝරු වසර 20කට වඩා වැඩි කාලයක් ජීවත් වුණත් උන්ගේ බෝවීම සිදු වන්නේ ඉතාමත් සෙමින්. ඒ නිසා 1992 පටන් ඔවුන් අපේක්ෂා කළ ආකාරයට මෝරුන්ගේ වැඩි වීමක් නම් කොහෙත්ම දකින්න ලැබුණේ නැහැ.

එක් තැනකට සීමා නොවූ අර්බුදයක්

මසුන් වඳ වී යෑමේ තර්ජනය එක් තැනකට පමණක් සීමා වී නැහැ. ග්‍රෑන්ඩ් බෑන්ක්ස් මුහුදු තීරය ඊට එක් උදහරණයක්. වර්ෂ 2002දී බ්‍රිතාන්‍යයේ පාරිසරික අමාත්‍යවරයා මෙවැනි අදහසක් පළ කළා. “ලොව පුරා වෙසෙන මසුන්ගෙන් සියයට 60ක් පමණ දැන් විනාශ වී ගෙන යනවා.” එවැනි මත්ස්‍ය විශේෂ අතරට කෙලවල්ලන්, අසිපත් මසුන්, තල්මසුන් හා ගල් මාළු එක් වෙනවා.

බොහෝ ධනවත් රටවල මත්ස්‍යයින් දැන් වඳ වෙමින් යන අතර එවැනි රටවල වෙසෙන ධීවරයින් දැන් වෙනත් ස්ථාන සොයායමින් සිටිනවා. උදාහරණයකට අප්‍රිකානු වෙරළ තීරය කියන්නේ මසුන් ඉතා බහුල ලෙස දැකගත හැකි තීරයක්. වෙනත් රටවලින් පැමිණෙන ධීවරයන්ට එහි මසුන් ඇල්ලීමට අවසර දීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ට විදේශ විනිමය ඉපයීමට එය කදිම අවස්ථාවක් නිසයි. නමුත් එය අප්‍රිකානු ධීවරයින්ගේ ජීවනෝපායට පහරක් වන නිසා ඔවුන් ඊට අප්‍රසාදය පළ කිරීම පුදුමයට කරුණක් නොවෙයි.

විසඳුමක් නැත්තේ ඇයි?

ප්‍රමාණය ඉක්මවා මසුන් ඇල්ලීම නතර කරනු ලැබුවා නම් ගැටලුව විසඳෙයි කියා යමෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එය හිතන තරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ධීවරයින් මේ සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කර ඇති නිසා කිසිම කෙනෙක් එය නතර කිරීමට කැමැත්තක් දක්වයි කියා සිතන්න බැහැ. ඒ විතරක් නොවෙයි ධීවර කර්මාන්තය මගින් රජයන්ද ඉතාමත් අධික ලාභයක් උපයන නිසා ඔවුන්ද මේ ගැටලුවට මූලික හේතුවක් වී තිබෙනවා. එක් සඟරාවක මෙවැනි අදහසක් පළ වුණා. ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් ජාතීන්ට මසුන් ඇල්ලීම පිළිබඳව යම් යම් සීමා තහංචි පැන වූවත් ඔවුන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනවලට නම් ඒ සඳහා කිසිම සීමාවක් හෝ තහංචියක් පනවා නැහැ.’—Issues in Science and Technology.

මේ ගැටලුවට දායක වන තවත් පිරිසක් වන්නේ විනෝදයට මසුන් අල්ලන අයයි. ඒ ගැන එක් සඟරාවක මෙවැනි අදහසක් පළ වුණා. “මෙක්සිකානු බොක්කේ වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින මත්ස්‍ය විශේෂයන්ගෙන් සියයට 64ක්ම විනාශ වී තිබෙන්නේ විනෝදයට මසුන් අල්ලන්නන් විසිනුයි.” ධීවරයන් හා විනෝදයට මසුන් අල්ලන්නන්ටද රජයේ නිලධාරීන් විසින් කිසිම තහනමක් නොදමන්නේ ඔවුන්ගේ දේශපාලන වාසිතකායි. ඒ නිසා ඔවුන් මසුන්ව ආරක්ෂා කරගැනීමට කිසිදු පියවරක් ගන්නේ නැහැ.—New Scientist.

ලොව පුරා ඇති මත්ස්‍ය බිම් රැකගත හැකිද? බොයිස් තෝන්-මිලර් ඔහු ලියූ පොතෙහි මෙවැනි අදහසක් පළ කළා. “මිනිසුන්ගේ ආකල්ප හා ක්‍රියාකාරකම් වෙනස්වන තාක්කල් කිසිම සාගර සම්පතක් ආරක්ෂා කළ නොහැකියි.” (The Living Ocean) අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍ය මගින් අනාගතයේදී සෑම ජීවියෙක්ම රැකගන්නා බවට සහතික කර තිබීම මොන තරම් සතුටට කාරණයක්ද!—දානියෙල් 2:44; මතෙව් 6:10.

[පාදසටහන]

^ 8 ඡේ. ඉතාලියේ උපත ලද ජෝන් කාබට්ව එහිදි හැඳින්වූයේ ජෝවාන්නී කාබෝටෝ ලෙසයි. වර්ෂ 1480 ගණන්වල ඔහු එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයට ගිය අතර 1497දී එහි සිට ඔහු තම නාවික ගමන දියත් කළා.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති වනාන්තරයක් හා සමානව සාගර සම්පත්ද විනාශ වී තිබෙනවා

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මේ වන විට ලොව මසුන් වැඩි වශයෙන් දැකගත හැකි ස්ථාන සියයට 75කම වාගේ මත්ස්‍ය සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වී හෝ අඩු වෙමින් පවතිනවා.”—එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මසුන් ප්‍රෝටීන් අඩංගු ආහාරයක් නිසා අපේ ආහාර වේලේ වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් අහිමි වෙනවා

[23වන පිටුවේ පින්තූරය]

කාම්බෝජය

[23වන පිටුවේ පින්තූරය]

ඇලස්කාවේ ධීවර කර්මාන්තය

[23වන පිටුවේ පින්තූරය]

කොංගෝ ජනරජය

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Janis Miglavs/​DanitaDelimont.com

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © Mikkel Ostergaard/​Panos Pictures; middle: © Steven Kazlowski/​SeaPics.com; bottom: © Tim Dirven/​Panos Pictures