Skip to content

පටුනට යන්න

සාර්ථකත්වයට රහස කුමක්ද?

සාර්ථකත්වයට රහස කුමක්ද?

සාර්ථකත්වයට රහස කුමක්ද?

යෙහෝවා දෙවිගේ අරමුණු හා ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් අපට සැබෑ සාර්ථකත්වය අද්දැකිය හැකියි. එවැනි ජීවිතයක් ගත කරන අය ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැල වී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”ගීතාවලිය 1:3NW.

අපි පව්කාරයන් නිසා අපිට වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙනවා. ඒ නිසා අපි අතින් යම් යම් අඩු පාඩුකම් සිදු වුණත් අපිට සාර්ථක ජීවිතයක් ගත කළ හැකියි. ඒ කොහොමද? ඒ සඳහා ඔබට උපකාරවත් වන බයිබලයේ සඳහන් දෙවිගේ ප්‍රඥාව කියාපාන ප්‍රතිපත්ති හයක් පහත දැක්වෙයි.—යාකොබ් 3:17.

1 මුදල් පිළිබඳව නිසි ආකල්පයක් තබාගන්න

‘මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.’ (1 තිමෝති 6:10) මුදල් අපට අවශ්‍ය නැහැයි කියා මින් අදහස් වන්නේ නැහැ. මන්ද ජීවිතේ එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීමට අපි හැම කෙනෙක්ටම මුදල් අවශ්‍යයි. නමුත් ගැටලුව වන්නේ මුදලට ප්‍රේම කිරීම හෙවත් මුදලට දැඩි ආශාවක් දැක්වීමයි. ඊට හේතුව මුදල් කෙනෙකුගේ දෙවි හෝ ස්වාමියා බවට පත් විය හැකි වීමයි.

මේ ලිපි මාලාවේ මුල්ම ලිපියේ සාකච්ඡා කළ ආකාරයට ධන සම්පත් අත් කරගැනීමෙන් තමන්ට සාර්ථක විය හැකියි කියා බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් එය හරියට මිරිඟුවක් පසුපස හඹා යනවා හා සමානයි. එහි ප්‍රතිඵලය බලාපොරොත්තු සුන් වීම හා වේදනාවයි. ධන සම්පත් අත් කරගැනීමට අධික ආශාවක් දැක්වීම නිසා හොඳ මිතුරන් හා පවුල් සාමාජිකයන් අතර තිබෙන බැඳීම පවා නැති වී යනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ට ඇති කනස්සල්ල හා කාර්යබහුලත්වය නිසා ඔවුන්ගේ නින්ද පවා නැති වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහෝමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය. නමුත් ධනවතාට තමා සතු වස්තු සම්භාරය නිසා නින්ද නොයයි.”—දේශනාකාරයා 5:12NW.

ධන සම්පත් පසුපස හඹා යෑමෙන් කෙනෙකුව වේදනාවට පත් කරනවා පමණක් නොවෙයි කෙනෙකුව නොමඟද යැවිය හැකියි. යේසුස් එක් අවස්ථාවක ‘ධනය මුළා කරවන බලපෑමක්’ කියා සඳහන් කළේ ඒ නිසයි. (මාක් 4:19) ධනය අපව මුළා කරවන්නේ සාර්ථකත්වය හා සන්තෝෂය ඉන් අත් කරගත හැකියි කියා හැඟෙන්න සැලැස්වීමෙනුයි. මිනිසුන් මුදල් පසුපස හඹා යන්නේ ඒ නිසයි. නමුත් ‘ධනයට ඇලුම් වන්නා තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවන’ බව බයිබලයේ සඳහන් වෙනවා.—දේශනාකාරයා 5:10NW.

ඒ විතරක් නොවෙයි මුදලට ආශා වෙන කෙනෙකුට ඉතිරි වන්නේ කනස්සල්ල හා කලකිරීම පමණයි. ඒ වගේම එවැනි කෙනෙක් අපරාධ කිරීමට පවා පෙලඹෙන්න පුළුවන්. (හිතෝපදේශ 28:20) නමුත් සැබෑ සතුට හා සාර්ථකත්වය අත් කරගැනීමට නම් ත්‍යාගශීලීකම, සමාව දීම, යහපත් සදාචාර ප්‍රමිති රැකීම, ප්‍රේමය හා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම වැනි දේ වැදගත් වෙනවා.

2 ත්‍යාගශීලීකම වර්ධනය කරගන්න

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) යම් කෙනෙක් දීමට පෙලඹෙන්නේ කලාතුරකින් නම් ඔහු සතුටක් ලබන්නේ ඒ මොහොතට පමණයි. ඊට වෙනස්ව දීමට ලැදි කෙනෙක් හැමවිටම සතුටින් සිටිනවා. ඇත්තටම ත්‍යාගශීලීකම විවිධ පැතිවලින් අපට පෙන්වන්න පුළුවන්. මෙය කළ හැකි හොඳම ක්‍රමය නම් අනික් අය වෙනුවෙන් යහපත කිරීමට නිතරම ඉදිරිපත් වීමයි.

සමීක්ෂකයෙක් වූ ස්ටීවන් ජී. පෝස්ට් පරාර්ථකාමීත්වය, සතුට හා සෞඛ්‍ය ගැන අධ්‍යයනයන් කිහිපයක යෙදුණා. එමගින් පරාර්ථකාමී හා අන් අය වෙනුවෙන් බොහෝ දේ කිරීමට නැඹුරු වන පුද්ගලයෙකුගේ ආයු කාලය වැඩි බව හෙළි වුණා. එවැනි පුද්ගලයන් යහපත් හැසිරීමක් පවත්වාගෙන යන අතර මානසිකවත් ශාරීරිකවත් ඉතා හොඳ මට්ටමක සිටිනවා. ඔවුන්ට දැනෙන මානසික පීඩනයද අඩුයි.

ත්‍යාගශීලී පුද්ගලයෙක් කිසිදා හිඟයට පත් වන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි. අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ.” (හිතෝපදේශ 11:25NW) සැබෑ ත්‍යාගශීලී පුද්ගලයෙක් අන් අය වෙනුවෙන් යමක් දෙන්නේ හෝ කරන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙයි. යෙහෝවා දෙවි එවැනි පුද්ගලයෙක්ව අගය කරන අතර ඔහුට ප්‍රේමයද පෙන්වනවා.—හෙබ්‍රෙව් 13:16.

3 සමාව දීමට පසුබට නොවන්න

‘යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.’ (කොලොස්සි 3:13) අද දින බොහෝදෙනා සමාව දීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් එකට එක කරමින් එකිනෙකාගෙන් පළිගැනීමට උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය කෝපය, වෛරය හා සැහැසියාවයි.

එහි බලපෑම් එතනින් නතර වන්නේ නැහැ. කැනඩාවේ මොන්ට්‍රියල්හි පළ වූ එක් පුවත්පතක මෙසේ වාර්තා වුණා. ‘අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල සිටි 4,600කට වැඩි පිරිසක් සමඟ කළ සමීක්ෂණයකින් පැහැදිලි වූයේ නිතරම කෝපයට පත් වෙන හා අකරුණාවන්තව කටයුතු කරන අයගේ පෙනහළු එතරම් යහපත් තත්වයක නැති බවයි.’ සමහරවිට ඒ හානිය දුම්පානය කරන අයගේ තත්වයට වඩා බරපතළයි. නමුත් ඊට වෙනස්ව අන් අයට සමාව දීම එකිනෙකා සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට විතරක් නොවෙයි කදිම ඔසුවක් කියාද කිව හැකියි.—එම පුවත්පත The Gazette.

දිගටම එකිනෙකාට සමාව දීමට ඔබට හැක්කේ කෙසේද? ඔබ ගැනම සෝදිසි කර බලන්න. ඔබ යම් කෙනෙකුගේ සිත රිදවා තිබෙනවා කියා සිතන්න. එවන් අවස්ථාවකදී ඔවුන් ඔබට සමාව දෙනවා නම් ඔබ එය අගය කරන බව නිසැකයි. එසේනම් ඔබත් දිගටම අන් අයට සමාව දීමට සැදී පැහැදී සිටීම සුදුසු දෙයක් නොවෙයිද! (මතෙව් 18:21-35) නමුත් මෙහිදී තමාවම පාලනය කරගැනීමට පුරුදු වීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා උපක්‍රමයක් ලෙස සමහර අය එකේ සිට දහයට ගණන් කරනවා. එසේත් නැත්නම් කෝපය නිවෙන තුරු මදක් සිටින්න ඔබට හැකියි. එවිට තමන්වම පාලනය කරගැනීම ශක්තිමත් ගතිලක්ෂණයක් බව ඔබට වැටහේවි. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “ඉක්මනින් කේන්ති නොගන්නා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.” මෙහිදී “බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය” යන්නෙන් අදහස් වන්නේ එවැනි කෙනෙක් සාර්ථක පුද්ගලයක් බව නොවෙයිද?—හිතෝපදේශ 16:32NW.

4 දෙවි දී තිබෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න

“යෙහෝවා දෙවිගේ ආඥා පවිත්‍රය. ඒවා ඇස් දීප්තිමත් කරන්නේය.” (ගීතාවලිය 19:8NW) දෙවි ප්‍රතිපත්ති දී තිබෙන්නේ අපේම යහපත උදෙසායි. එය අපේ ජීවිතේ සෑම පැත්තකටම අදාළ කරගත හැකියි. එවැනි ප්‍රතිපත්ති පිළිපැදීමෙන් බේබදුකම, මත්ද්‍රව්‍ය භාවිතය, අනාචාරය සහ කාමුක දර්ශන නැරඹීම වැනි ඉතාමත් හානිකර පුරුදුවලින් වැළකී සිටීමට අපට හැකි වෙනවා. (2 කොරින්ති 7:1; කොලොස්සි 3:5) එවැනි හානිකර පුරුදුවල ප්‍රතිඵලය විය හැක්කේ අපරාධ, දුගීකම, අවිශ්වාසය, පවුල් බිඳවැටීම, මානසික පීඩනය, ලෙඩ රෝග සහ අකල් මරණ වැනි දේවලට මුහුණ දීමයි.

ඊට වෙනස්ව දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගන්න අයට එකිනෙකා සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගත හැකි අතර මනසේ සාමය හා අන් අයගේ ගෞරවයද දිනා ගත හැකියි. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්, ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.” (යෙසායා 48:17, 18NW) අපේ නිර්මාණකරුගේ කැමැත්ත නම් අපි හොඳම දේ භුක්ති විඳිනවා දැකීමයි. සාර්ථකත්වය අත් කරගැනීම සඳහා අප “යා යුතු හරි මඟ” ඔහු පෙන්වා දෙන්නේ ඒ නිසයි.

ප්‍රේමය පෙන්වන්න

“ප්‍රේමය ගොඩනංවන්නේය.” (1 කොරින්ති 8:1) කෙනෙකුට ප්‍රේමය නැතිව ජීවත් විය හැකිද? එවැනි කෙනෙකුට තම ජීවිතේ හිස් බවක් හැඟෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසයි දෙවිගේ සේවකයෙක් වූ පාවුල් පැවසුවේ අන් අය කෙරෙහි ‘මට ප්‍රේමය නැත්නම් මම කිසි වැදගැම්මකට නැති පුද්ගලයෙක් වෙමි. මට ඉන් කිසි ප්‍රයෝජනයක් නැත’ කියා.—1 කොරින්ති 13:2, 3.

ඉහත සඳහන් වූ ප්‍රේමය ලිංගික ආකර්ෂණය නිසා ඇති වන ප්‍රේමයක් නොවෙයි. ඒ වෙනුවට එය දෙවිගේ ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රේමයක්. * (මතෙව් 22:37-39) එම ප්‍රේමය නිතරම ක්‍රියාවට පොලඹවනවා. පාවුල් පැවසූ පරිදි එම ප්‍රේමය බොහෝ ඉවසිලිවන්ත වන අතර කරුණාවන්තයි. එය ඊර්ෂ්‍යා වන්නේ නැහැ. පුරසාරම් දොඩන්නේත් අහංකාර වන්නේත් නැහැ. එවැනි ප්‍රේමයක් තිබෙන කෙනෙක් තමන්ගේ කාරණා සොයන්නේවත් ඉක්මනින් කෝප වන්නේවත් අමනාපයක් සිතේ තබාගන්නේවත් නැහැ. එවැනි ප්‍රේමයකින් එකිනෙකාව ගොඩනැංවිය හැකි අතර අන් අය සමඟ හොඳින් පැහී කටයුතු කිරීමටද හැකි වෙනවා. විශේෂයෙන් පවුල් සමාජිකයන් අතර යහපත් සබඳතාවයකට එය මහත් රුකුලක්.—1 කොරින්ති 13:4-8.

දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇත්තේ උණුසුම් සෙනෙහසකින් යුතු වූ ප්‍රේමයක්. ඒ නිසා දෙමාපියන් දරුවන්ව යහමඟට යොමු කිරීමට ඔවුන්ට බයිබලයෙන් මඟ පෙන්වීම් සපයනවා. එවැනි ප්‍රේමණීය පවුලක් තුළ ඇති දැඩි වන දරුවන් දෙමාපියන්ගේ රැකවරණය අද්දකිනවා. ඒ වගේම තමන් ඉතා වටිනා අය ලෙස ඔවුන්ට හැඟෙන අතර සැබෑ ආදරයද ඔවුන් භුක්ති විඳිනවා.—එෆීස 5:33–6:4; කොලොස්සි 3:20.

අමෙරිකාවේ වෙසෙන යෞවනයෙක් වූ ජැක් ඇති දැඩි වූයේ බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නා පවුලක් තුළයි. ඔහු තම දෙමාපියන්ට එවූ ලිපියක මෙවැනි දෙයක් සඳහන් වී තිබුණා. “මම නිතරම උත්සාහ කළේ බයිබලයේ සඳහන් වී තිබෙන ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න. එයින් ඔබට යහපතක් සිදු වෙයි’ යන ප්‍රතිපත්තිය අදාළ කරගන්නයි. (ද්විතීය කතාව 5:16) ඒක අදාළ කරගත්ත නිසා මට හැකි වුණා සාර්ථක වෙන්න. දෙමාපියන් හැටියට ඔයාලා මාව ඇති දැඩි කරන්න ගත්ත වෙහෙස වෙන කවරදාටත් වඩා දැන් මම අගය කරනවා. මොකද මම දැන් ගත කරන්නේ ප්‍රීතිමත් ජීවිතයක් නිසා. ඒකට මම ඔයාලා දෙන්නාට හුඟක් ස්තුතිවන්ත වෙනවා.” ඔබ දෙමාපියෙක් නම් එවැනි ලිපියක් ඔබට ලැබුණොත් ඔබට ඒ ගැන කෙසේ හැඟෙයිද? ඔබ ඉන් ඉමහත් සතුටක් ලබන්නේ නැද්ද?

ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමයක් ඇති කෙනෙක් නිතරම “සත්‍යය ගැන ප්‍රීති වන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 13:6; යොහන් 17:17) ඒ සම්බන්ධයෙන් අපි උදාහරණයක් සලකා බලමු. විවාහ ජීවිතයේ ගැටලු අද්දකින යුවළක් යේසුස් පැවසූ මේ වචන කියවා බලනවා කියා සිතන්න. “දෙවි එක් කළ දෙය [එනම් විවාහ යුවළක්] කිසිවෙක් වෙන් නොකෙරේවා.” (මාක් 10:9) ඇත්තටම ඔවුන් බයිබලයේ සඳහන් ‘සත්‍යය [එනම් දෙවි සපයන දැනුම] ගැන ප්‍රීති වන’ යුවළක්ද? දෙවි මෙන් ඔවුනුත් විවාහය පරිශුද්ධ දෙයක් ලෙස සලකයිද? ප්‍රේමය පදනම් කරගෙන ගැටලුව නිරාකරණය කරගැනීමට ඔවුන් උත්සාහ කරයිද? ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ට සාර්ථක මෙන්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් භුක්ති විඳිය හැකි බව නම් නිසැකයි.

6 දෙවිගේ මඟ පෙන්වීම් පතන්න

“තම ආත්මික අවශ්‍යතාව [දෙවිගේ මඟ පෙන්වීම්] ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.” (මතෙව් 5:3) සතුන්ට වෙනස්ව මිනිසුන්ට දෙවිගේ ප්‍රතිපත්ති තේරුම්ගන්නත් ඒවා අගය කරන්නත් හැකියාවක් තිබෙනවා. ඒ නිසයි මෙවැනි ප්‍රශ්න අසන්න අපි පෙලඹෙන්නේ. ජීවිතයේ බලාපොරොත්තුව කුමක්ද? නිර්මාණකරුවෙක් සිටිනවාද? මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද? අපේ අනාගතය කෙබඳුද?

ලොව පුරා වෙසෙන මිලියන ගණන්දෙනා ඉහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් සොයාගෙන තිබෙනවා. උදාහරණයකට ඉහත සඳහන් වන අවසාන ප්‍රශ්නය මිනිසුන් සඳහා දෙවි අරමුණු කර ඇති දෙයට සම්බන්ධයි. ඒ අරමුණ කුමක්ද? දෙවිට ප්‍රේම කරන, ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන සියලුදෙනාටම මේ පොළොව මත පරාදීස තත්වයක සදාකල් ජීවත් වීමේ හැකියාව ලබා දීමයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29NW.

අපේ නිර්මාණකරුට අවශ්‍ය වන්නේ අපි ජීවිතේ අවුරුදු 70ක් හෝ 80ක් වැනි කෙටි කාලයකට සාර්ථකත්වය අද්දකිනවාට නොවෙයි. ඒ වෙනුවට ඔහු කැමති අපි සදහටම සාර්ථකත්වය අද්දකිනවාටයි! නිර්මාණකරු ගැන ඉගෙන ගත යුතු හොඳම කාලය මෙයයි. යේසුස් ඒ ගැන පැවසුවේ මෙසේයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ඔබ ඒ දැනුම ලබාගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නවා නම් බයිබලයේ සඳහන් මෙම සත්‍යය ඔබ අද්දකිනවා නොඅනුමානයි. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”—හිතෝපදේශ 10:22NW.

[පාදසටහන]

^ 22 ඡේ. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල හෙවත් අලුත් ගිවිසුමේ බොහෝ අවස්ථාවලදී “ප්‍රේමය” යන වචනය අගාපේ යන ග්‍රීක වචනයේ පරිවර්තනයක් ලෙස දැක්වෙනවා. එය ප්‍රතිපත්ති හා යුතුකම් වැනි දෑ ඉටු කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වන ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමයක්. කෙසේවෙතත් අගාපේ යනු කිසිම හැඟීමකින් තොර දෙයක් නොවෙයි. එය උණුසුම් ගැඹුරු හැඟීමක් මුසු වූ ප්‍රේමයක්.—1 පේතෘස් 1:22.

[7වන පිටුවේ කොටුව]

සාර්ථකත්වය අත් කරගැනීමට තවත් මඟ පෙන්වීම්

දෙවිට ගරු බිය දක්වන්න. “ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.”—හිතෝපදේශ 9:10NW.

මිතුරන් තෝරාගැනීමේදී ඥානවන්ත වන්න. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නේය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20NW.

නරක පුරුදුවලින් වැළකී සිටින්න. “බේබද්දෝද කෑදරයෝද දිළිඳුකමට පැමිණෙන්නෝය.”—හිතෝපදේශ 23:21NW.

පළි නොගන්න. “කාටවත් නපුරට නපුර නොකරන්න.”—රෝම 12:17.

වෙහෙසී වැඩ කරන්න. “යමෙකු වැඩ කිරීමට අකමැති නම්, ඔහු නොකා සිටීවා!”—2 තෙසලෝනික 3:10.

රන් අණ පිළිපදින්න. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 7:12.

දිව පාලනය කරගන්න. ‘ජීවිතයට ඇලුම් වෙන්නත් යහපත් දවස් දකින්නත් කැමති තැනැත්තා, තමාගේ දිව නපුරෙන් වළක්වාගනීවා.’—1 පේතෘස් 3:10.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ප්‍රේමය හොඳ ඔසුවක්!

වෛද්‍යවරයෙක් හා ලේඛකයෙක් වූ ඩීන් ඔනිෂ් ඔහුගේ එක් ප්‍රකාශනයක මෙසේ සඳහන් කළා. “අපව රෝගියෙක් කරන්න, සුව කරන්න, දුක හෝ සතුට ළඟා කරන්න, දුක් විඳින්න හෝ දුක තුනී කරන්න මේ සෑම දේකටම මුල් වන්නේ ප්‍රේමය හා ලෙන්ගතුකමයි. එවැනි බලපෑමක් සිදු කළ හැකි නව ඖෂධයක් ඇත්නම් රටේ වෙසෙන සෑම වෛද්‍යවරයෙකුම පාහේ තම රෝගීන්ට එය නිර්දේශ කරයි. එසේ නොකළොත් එය නීති විරෝධී ක්‍රියාවක් වෙයි.”

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අඳුරු අතීතය එළිය කළ සාර්ථකත්වය

බෝල්කන්හි ජීවත් වුණු මෙලාන්කෝ එම රටේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ හමුදාවට බැඳුණා. ඔහු වීර ක්‍රියා කිරීමට කැපීපෙනුණු කෙනෙක් වූ නිසා රැම්බෝ යන චිත්‍රපට වීරයාගේ නම ඔහුට පටබැඳුණා. කාලයක් යද්දී හමුදාවේ කුහකකම් හා දූෂණ නිසා මෙලාන්කෝ හුඟක් කලකිරුණා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “ඉන්පසුව මම මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කිරීම, සූදුව සහ අනාචාරය වැනි නරක පුරුදුවල නියැලුණා. මගේ ජීවිතේ මම ගත කළේ ඉතාමත් නරක විදිහටයි. ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මට තේරුණේ නැහැ.”

ඒ කාලයේදීම වගේ මෙලාන්කෝට බයිබලය කියවන්න අවස්ථාව ලැබුණා. එක් අවස්ථාවක ඔහු ඔහුගේ ඥාතියෙක්ව මුණගැහෙන්න ගිය විට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන මුරටැඹ සඟරාවේ පිටපතක් ඔහුට ලැබුණා. එහි තිබූ තොරතුරුවලට ඔහු ආශාවක් දැක්වූ අතර ඉක්මනින්ම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. බයිබලයේ සඳහන් සත්‍ය තුළින් සැබෑ සතුට හා සාර්ථකත්වය සොයාගැනීමට ඔහුට හැකි වුණා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “ඒවා මගේ ජීවිතයට ලොකු ශක්තියක් වුණා. මගේ නරක පුරුදු සියල්ලම අතහැරලා මගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න මට හැකි වුණා. පසුව මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් බවට පත් වුණා. මගේ පෞද්ගලිකත්වය දැන් කොච්චර වෙනස් වෙලාද කියනවා නම් මට රැම්බෝ කියනවා වෙනුවට දැන් කින්නේ බනී කියලයි. ඒ මට පුංචි කාලේ දාලා තිබුණු නමයි.”