Skip to content

පටුනට යන්න

සාර්ථකත්වය සොයා . . .

සාර්ථකත්වය සොයා . . .

සාර්ථකත්වය සොයා . . .

යොවුන් වියේදීම සංගීත ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන්න පටන්ගත් ඇය බොහෝ ධන සම්පත් අත් කරගත්තා. යොවුන් වියේදී එලෙස කීර්තිය හා ධනය අත් කරගත හැක්කේ කිහිපදෙනෙකුට පමණයි. ඒ කොහොමවුණත් ඇගේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් පරිහානියට ලක් වුණා. ඇගේ විවාහයන් දෙකම අසාර්ථක වුණා. පසුව ඇය මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අතර ඇගේ මුළු ජීවිතයම බිඳ වැටෙන්න පටන්ගත්තා.

ඉහත සඳහන් තරුණියගේ ජීවිත කතාව දැන් හැමෝම දන්නා රහසක්. සාමාන්‍යයෙන් එවැනි ප්‍රසිද්ධ අයගේ ඛේදනීය ජීවිත කතා ඉක්මනින් පැතිරෙනවා. ව්‍යාපාර ලෝකයේ අති සාර්ථකයි කියා සිතන අයගේ ජීවිත පවා ගැටලුවලින් පිරී තිබෙනවා. නිව් යෝක් නගරයේ සිටින දියුණු ව්‍යපාරිකයන් ගැන එක් පුවත්පතක පළ වූ ආකාරයට විශාල මුදල් ප්‍රමාණයක් සෙවීමේ අරමුණින් කටයුතු කරන අයගේ පවුල් ජීවිත බිඳ වැටෙමින් තිබෙනවා. එවැනි පීඩනයන් නිසා මත්ද්‍රව්‍යට ඔවුන් ඇබ්බැහි වී සිටිනවා විතරක් නොවෙයි සමහර අය ගොඩ එන්න බැරි තරමටම මානසිකව බිඳ වැටෙනවා.

මිනිසුන් එවැනි ගැටලුවලට මුහුණ පාන්නේ ඔවුන් සතුට හා සාර්ථකත්වය සොයාගැනීම සඳහා වැරදි ක්‍රම අනුගමනය කරන නිසාද? අපට ජීවත් වීම සඳහා යම් මුදලක් අවශ්‍ය බව ඇත්තයි. නමුත් සාර්ථකත්වය තීරණය වන්නේ රැස් කරගන්නා මුදල් මතද? අධ්‍යයනවලින් ඔප්පු වන්නේ ඊට වඩා වෙනස් දෙයක්. උදාහරණයකට චීනයේ කළ එක් අධ්‍යයනයකින් පෙනීගියේ මෑතකදී ආදයම දළ වශයෙන් සියයට 250කින් ඉහළ ගියත් ඒ කාල සීමාව තුළදී මිනිසුන්ගේ තෘප්තිය අඩු වුණා මිස වැඩි වුණේ නැති බවයි.

ඉන් පැහැදිලි වන්නේ ගේ දොර, යාන වාහන හෝ කෙනෙකුගේ වෘත්තියෙන් සැබෑ සාර්ථකත්වය අත් කරගත නොහැකි බවයි. ඊට වෙනස්ව යම් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය මැනිය හැක්කේ ඔහුගේ ජීවිතයේ බලාපොරොත්තුව හා ප්‍රතිපත්ති මත බව සිතීම සාධාරණ නැද්ද? උදාහරණයකට කෙනෙකුට හොඳ පෞරුෂයක් හා ධන සම්පත් තිබෙනවා කියා සිතන්න. නමුත් ඔහු සදාචාරමය අතින් පහත් තත්වයක සිටිනවා විය හැකියි. එවැනි දේ අත් කරගෙන සිටින තවත් අයෙකුට මෙසේ සිතිය හැකියි. ‘ධන සම්පත් හා කීර්තියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මගේ ජීවිතයේ බලාපොරොත්තුව කුමක්ද?’

සැබෑ සාර්ථකත්වය අත් කරගෙන සිටින අය ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගෙන තිබෙන්නේ ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් හා ප්‍රතිපත්ති මතයි. එමනිසා ඔවුන්ට මනසේ සාමය හා අන් අයගේ ගෞරවය ලැබෙනවා. ඔවුන් තමන්ගේම ආත්මාර්ථකාමී ආශාවන් මුදුන්පත් කරගන්නවා වෙනුවට අරමුණක් සහිත තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. ‘ඊට උපකාරවත් වන්නේ කුමන ප්‍රතිපත්තිද? ඔවුන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද?’ එවැනි ප්‍රශ්නවලට පිළිතුරු අපටම සොයාගත හැකිද? නැත්නම් වෙනත් මඟ පෙන්වීමක් පැතිය යුතුද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[3වන පිටුවේ කොටුව]

සාර්ථකත්වය ගැන මිනිසුන් සිතන අයුරු

සමීක්ෂණයකින් ඔප්පු වූ ආකාරයට මලල ක්‍රීඩාවල යෙදෙන යෞවනයන් සාර්ථකත්වයක් ලබාගැනීමේ අරමුණින් ශරීරයට අහිතකර තහනම් උත්තේජක භාවිත කරනවා. එක් වාර්තාවක ඒ ගැන මෙවැනි දෙයක් සඳහන් වුණා. “පාසැල් සිසුන් පිරිසක් සමඟ කළ සමීක්ෂණයකදී ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්න අසනු ලැබුවා. ‘තහනම් උත්තේජක භාවිත කිරීමෙන් ඔබ ජයග්‍රහනය අත් කරගත්තත් ඉන් අවුරුදු පහකට පසුව ඔබ රෝගී වන බව දන්නවා නම් ඔබ ඊට එකඟ වෙනවාද?’ සියල්ලන්ම ඊට එකඟ වුණා. ඉන්පසු ප්‍රශ්නය මෙයාකාරයෙන් යොමු කළා. ‘අවුරුදු පහකින් ඔබ මිය යන බව දන්නවා නම් ඒත් ඔබ ඒවා භාවිත කරනවාද?’ එවිට සියයට 65ක්ම ඊට එකඟ වුණා.”—Education Update online.