Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

බේබදුකමේ යදම් බිඳ දමයි (2007 මැයි) මම සාක්ෂිකරුවන් දෙන සඟරා ඉඳහිට කියවනවා. රූපවාහිනියේ සහ පුවත් පත්වල පළවෙන දේවල් වගේ නෙමෙයි ඒ සඟරාවල කදිම දිරිගන්වන සුළු ලිපි සඳහන් වෙනවා. මම මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක් නෙමෙයි. නමුත් ඒවාට ඇබ්බැහි වූ මගේ සහෝදරයන් සහ මිතුරන් කිහිපදෙනෙක්ම සිටිනවා. මට ලැබුණු මේ සඟරාවේ සඳහන් වී තිබුණා එක පුද්ගලයෙක් වසර ගණනාවක් පුරා මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටියත් මාස තුනක් වැනි කෙටි කාලයකින් ඔහුට එයින් සම්පූර්ණයෙන්ම මිදීමට හැකි වූ බව. ඔහුගේ ඒ ක්‍රියාව නම් ඇත්තටම අගය කරන්න වටිනවා. නමුත් මට හිතෙන්නේ ඒ අද්දැකීම අසාමාන්‍ය එකක් කියලයි. මොකද කාලයක් පුරා මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙකුට එක පාරටම ඒකෙන් මිදෙන එක එතරම් පහසු නැහැ. කෙනෙක් ඒ වගේ දෙයක් කරන්න හැදුවත් කලින් කලට යම් පසුබෑම්වලට ලක් වෙන්න පුළුවන්.

ඇමරිකාවේ ජී. ඒ.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: මත්පැන්වලට ඇබ්බැහි වී සිටින කෙනෙකුට ඉන් මිදීමට පහසු බව අප ඉන් අදහස් කළේ නැහැ. එවැනි කෙනෙක් නොයෙක් වර පසුබෑම්වලට ලක් විය හැකියි. ඒ නිසා ඒ සඳහා දැඩි වෑයමක් දැරීමට සිදු වෙනවා. මත්පැන්වලට ඇබ්බැහි වී සිටි කෙනෙක් මත්පැන් භාවිත කිරීම නතර කළත් ඒ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් නැවතත් පරණ තත්වයට පත් වෙන්න පුළුවන්. එම ලිපියේ සඳහන් වූ පරිදි අවුරුදු දහයක් මත්පැන් ගැනීමෙන් වැළකී සිටි කෙනෙක් පැවසුවේ “හුඟක් අය දන්නේ නැහැ මට මේ තත්වයට එන්න කොච්චර අමාරු වුණාද කියලා. එක සැරයක් හරි බිව්වොත් නැවත පරණ තත්වයට වැටෙන්න පුළුවන්. මත්පැන් පානය නොකරන්න මම අරන් තියෙන තීරණයට එකඟව වැඩ කරන්න ශක්තිය දෙන්න කියලා මම දෙවිට දිගටම යාච්ඤා කරනවා.” ඒ ආකාරයට බොහෝදෙනෙකුට දෙවිගේ උපකාරය ඇතුව මත්පැන්වලට වහල් නොවී සිටිමට හැකි වී තිබෙනවා.—ගීතාවලිය 55:22.

බයිබලය විශ්වාස කළ හැකිද? (2007 නොවැම්බර්) මට වයස අවුරුදු දොළහයි. තොරතුරු ගොඩක් ඇතුළත් වුණු එම විශේෂ පිබිදෙව්! කලාපයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බයිබලයේ තිබෙන අදහස් එකිනෙකට ගැටෙන්නේ නැති බවට හත්වන පිටුවේ දක්වා තිබුණු කරුණු මගේ සිත්ගත්තා. මම මීට පෙර කල්පනා කර තිබුණේ නැති දේවල් සිතා බලන්න ඒ තොරතුරු මට උපකාරවත් වුණා. ඊළඟ විශේෂ කලාපය ලැබෙන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

එක්සත් ජනපදයේ ඩී. එෆ්.

සිතා බලන්න පිබිදෙව්! සඟරාවේ අලුතින් හඳුන්වා දී ඇති සිතා බලන්න කියන කොටසට මම හුඟක් කැමතියි. සමහර ලිපි අවසානයේ සිතා බලන්න යන කොටසේ අසා තිබෙන ප්‍රශ්න මට හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. කියවූ තොරතුරු හොඳින් මතක තබාගන්නත් කල්පනා කර බලන්නත් එය මට උපකාරවත් වෙලා තියෙනවා. අපි ගත කරන කාර්යයබහුල ජීවිතය නිසා අප කියවන සමහර වැදගත් සහ දිරිගන්වන තොරතුරු අපට ගිලිහී යන්න පුළුවන්.

බ්‍රසීලයේ එම්.ඒ. එස්.

මරණයෙන් සියල්ල අවසන් වෙයිද? (2007 දෙසැම්බර්) මීට මාස හයකට කලින් මගේ අම්මා අනතුරකින් මිය ගියා. මේ ලිපියේ තියෙන තොරතුරු කියවීමෙන් මම ලොකු සහනයක් අද්දැක්කා. නැවත නැඟිටීමේදී මට අම්මව දකින්න ලැබෙයි කියන බලාපොරොත්තුව නිසා මම තවත් ශක්තිමත් වුණා. ඒ තොරතුරුවලට හුඟක් ස්තුතියි.

බ්‍රසීලයේ එල්. එල්. ආර්.

යෞවන අය අසති. . . බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි? (2007 නොවැම්බර්) මම දුරාචාරයේ යෙදෙන්නේ නැත්නම් කෙනෙකු සමඟ තනියම කාලය ගත කළාට කමක් නැහැ කියලයි මම හිතුවේ. ඒත් පසුව මට මගේ පෙම්වතා සමඟ එකට කාලය ගත කරනවාට වඩා වැඩි දෙයක් අවශ්‍ය වුණා. ඒ නිසා මම ඔහු සමඟ නරක විදිහට හැසිරෙන්න පටන්ගත්තා. අද්දැකීම් අඩු අපි වගේ යෞවන අයට උපකාර කිරීම ගැන මම හුඟක් සතුටු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව බයිබලයේ ඇති ඉගැන්වීම් ඉතාමත් සරලව හා පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැනත් මම ඔයාලට ස්තුතිවන්ත වෙන්න කැමතියි.

ජපානයේ ඊ. එෆ්.