Skip to content

පටුනට යන්න

කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක්

කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක්

කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක්

පැවසුවේ චොං ඉල් පාක්

“ඔයා නම් මහ බයගුල්ලෙක්. ඔයා ආගමේ මුවාවෙන් යුද්දෙට යන්නේ නැතුව ඉන්න හදන්නේ මැරෙන්න තියෙන බය හින්දයි.” මම මීට අවුරුදු 55කට කලින් ඒ කියන්නේ 1953 ජූනි මාසයේ හමුදාවේ ප්‍රධානියෙක් ඉදිරියේ පෙනී සිටි අවස්ථාවක ඔහු මට චෝදනා කළේ එහෙමයි.

මෙවැනි දෙයකට මට මුහුණ දීමට සිදු වුණේ කොරියාවේ යුද්ධය පැවති කාලයේදීයි. හමුදා ප්‍රධානියා තුවක්කුවක් රැගෙන මේසය උඩ තබා මෙහෙම කිව්වා. “ඔයා යුද්දෙට ගිහිල්ලනේ මැරෙන්න භය. මම ඔයාව මෙතනදීම මරනවා. මොකද කියන්නේ ඔයා යුද්දෙට බැඳෙනවාද නැද්ද?”

“නැහැ. කොහොමටවත් නැහැ” කියා මම ස්ථිරව පැවසුවා. එවිට මාව මරන්න දේවල් සූදානම් කරන්න කියා ප්‍රධානියා නිලධාරියෙකුට පැවසුවා.

මම හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසයි මට මෙවැනි දෙයකට මුහුණ දෙන්න සිදු වුණේ. මම ප්‍රධානියාගේ කාර්යාලයේ සිටින අතරතුරදී මම ඔහුට පැහැදිලි කළා මගේ ජීවිතය කැප කර තිබෙන්නේ දෙවිටයි. ඒ නිසා මගේ ජීවිතය වෙන කිසිම දෙයකට කැප කරන්න බැහැයි කියලා. ඉන් පසු අප අතර විනාඩි කිහිපයක නිහඬතාවක් තිබුණා. ටික වේලාවකින් නිලධාරියා ඇවිත් මාව මරන්න සියල්ල සුදානම් කියා පැවසුවා.

ඒ කාලයේදී දකුණු කොරියාවේ සිටි අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන එතරම් දැන සිටියේ නැහැ. විශේෂයෙන්ම අපි ආගමික හේතු මත හමුදා සේවය ප්‍රතික්ෂේප කරන බව ඔවුන් දැන සිටියේ නැහැ. හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න හේතුව මම දැන් පැහැදිලි කරන්නම්.

මගේ තරුණ කාලය

මම ඉපදුණේ 1930 ඔක්තෝබර් මාසයේයි. අපි ජීවත් වුණේ එවකට කොරියාවේ අගනුවර වූ සියෝල් නගරයට ආසන්න ප්‍රදේශයකයි. මම තමයි පවුලේ වැඩිමලා. මගේ සීයා චීනයේ දර්ශනවාදියෙකු වූ කොන්ෆියුස්ගේ දර්ශනය තදින් විශ්වාස කළ කෙනෙක්. ඔහු මාවත් ඒ දර්ශනවාදී අදහස්වලට අනුව පුහුණු කළා. මම පාසැල් අධ්‍යාපනයක් ලබනවාට ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා සීයා මිය යන කල් මම පාසැල් ගියේ නැහැ. මම පාසැල් යන්න පටන් ගනිද්දී මට වයස අවුරුදු දහයයි.

වර්ෂ 1941දී දෙවන ලෝක මහ යුද්ධයේදී ජපානය හා එක්සත් ජනපදය අතරත් යුද්ධයක් පටන්ගත්තා. ඒ කාලයේදී කොරියාව ජපාන පාලනය යටතේ පැවති නිසා අපේ පාසැලේ සෑම උදෑසනකම ජපානයේ අධිරාජ්‍යයාට ගෞරව දැක්විය යුතු වුණා. මගේ නැන්දා සහ ඇගේ ස්වාමිපුරුෂයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් තම ආගමික විශ්වාසයන් නිසා යුද්ධයට කිසිම ආකාරයකින් සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ව කොරියාවේ දෙවන ලෝක මහ යුධ සමයේදී සිරභාරයට ගත්තා. ඒ කාලයේදී ජපන් ජාතිකයන් සාක්ෂිකරුවන්ට ඉතා දරුණු ලෙස හිංසා පීඩා කළා. මේ හේතුවෙන් බොහෝ සාක්ෂිකරුවන් මිය ගිය අතර මගේ මාමත් ඉන් මිය ගියා. ඊට පස්සේ නැන්දා ජීවත් වුණේ අපිත් එක්කයි.

වර්ෂ 1945දී කොරියාව ජාපන පාලනයෙන් නිදහස් වුණා. හිරෙන් නිදහස් වී පැමිණි තවත් සාක්ෂිකරුවන්ගේ සහ මගේ නැන්දාගේ උපකාරය ඇතුව මම බයිබලයේ සත්‍යයන් උනන්දුවෙන් අධ්‍යයනය කළ අතර 1947දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වුණා. මුල්ම ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ සහෝදර ඩෑන් සහ සහෝදරි අර්ලින් 1949 අගෝස්තු මාසයේ කොරියාවේ සියෝල් නගරයට පැමිණියා. ඉන් මාස කිහිපයක් ඇතුළත එම පාසැලෙන් පුහුණුව ලැබු තවත් අය පැමිණියා.

වර්ෂ 1950දී මම තව තුන්දෙනෙක් සමඟ දෙවිට පූර්ණ කාලීනව සේවය කරන්න පටන්ගත්තා. දෙවන ලෝක මහ යුද්ධයෙන් පසු කොරියාවේ පූර්ණ කාලීන සේවයේ මුලින්ම යෙදුණේ අපියි.

කොරියාවේ යුධ සමයේදී

වැඩිකල් නොගොස් 1950 ජූනි 25වෙනිදා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයක් පටන්ගත්තා. ඒ වන විට කොරියාවේ තිබුණේ 61දෙනෙකුගෙන් සමන්විත එක සභාවක් පමණයි. එය පිහිටා තිබුණේ සියෝල් නගරයේයි. යුධමය වාතාවරණය නිසා වෙනත් රටවලින් සියෝල් නගරයේ සේවය කිරීමට පැමිණි අයට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රටින් පිටවෙන්න කියා ඇමරිකානු තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් කළා. මේ නිසා බොහෝ කොරියානු ජාතික සාක්ෂිකරුවන්ද සියෝල් නගරයෙන් පිට වී දකුණු කොරියාවේ වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා.

කෙසේවෙතත් හමුදා සේවයේ නිරත විය හැකි තරුණ වයසේ සිටි මං වගේ අයට සියෝල් නගරයෙන් පිට වීමට ඉඩ දුන්නේ නැහැ. එකපාරටම කොමියුනිස්ට් හමුදාව කොරියාව ආක්‍රමණය කළ අතර සියෝල්ද එම පාලනය යටතට පැමිණියා. ඒ කාලයේදී මට පුංචි කාමරයක මාස තුනක් සැඟවී සිටීමට සිදු වුණා. මං වගේම කොමියුනිස්ට් හමුදාවෙන් සැඟවී සිටින පාසැල් ගුරුවරයෙක්ද මා සමඟ සිටියා. මම සෑම දවසකම ඔහු සමඟ බයිබලය පාඩම් කළා. පසුව ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වුණා.

උතුරු කොරියාවෙන් පැමිණි කොමියුනිස්ට් හමුදා නිලධාරීන් අපි සැඟ වී සිටි තැන සොයාගත්තා. අපි බයිබල් ශිෂ්‍යයන් බව ඔවුන්ට හඳුන්වා දුන් අතර බයිබලයේ සඳහන් දේවරාජ්‍ය ගැන ඔවුන්ට කතා කළා. පුදුමයෙන් පුදුමයට පත් කරමින් ඔවුන් අපිව අත් අඩංගුවට ගන්නවා වෙනුවට අපේ පණිවිඩය ගැන උනන්දුවක් දැක්වූවා. සමහර අය දෙවිගේ රාජ්‍ය ගැන තව තවත් දැනගැනීමට කිහිප වතාවක්ම පැමිණියා. දෙවි අපව ආරක්ෂා කරන බවට ලොකු විශ්වාසයක් මේ අද්දැකීමෙන් අපට ලැබුණා.

එක්සත් ජාතීන්ගේ හමුදාව නැවතත් සියෝල්ට පැමිණීම හේතුවෙන් 1951 මාර්තු මාසයේදී මට ටේගු නගරයට යෑමට විශේෂ අවසරයක් ලැබුණා. මට එහිදී වෙනත් සාක්ෂිකරුවන් සමඟ මාස කිහිපයක්ම සේවය කිරීමට හැකි වුණා. වර්ෂ 1951 නොවැම්බර් මාසයේදී යුද්ධය නිමා වෙන්න කලින් සහෝදර ඩෑන් ස්ටීල් නැවතත් සියෝල්ට පැමිණියා.

දේශනා සේවය නැවතත් සැලසුම් කිරීමට සහෝදර ඩෑන්ට උපකාර කිරීමට මට හැකි වුණා. ඒ වගේම මුරටැඹ සඟරාව සහ දේශනා සේවය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් අඩංගු රාජ්‍ය සේවා පත්‍රිකාව කොරියානු භාෂාවට පරිවර්තනය කර ඒ පිටපත් විවිධ ප්‍රදේශවල තිබුණු සභාවලට යවනු ලැබුවා. ඉඳ හිට ඩෑන් සහ මම අනිත් සහෝදරයන්ව දිරිගැන්වීම සඳහා ඔවුන් හමුවීමට ගියා.

වර්ෂ 1953දී නිව් යෝක් නගරයේ පිහිටි ගිලියද් පාසැලේ පුහුණුවක් ලැබීම සඳහා මට ආරාධනාවක් ලැබුණා. මම ඒ ගමනට සියල්ල සුදානම් කර ගුවන් ගමන් බලපත්‍රය ලබාගත්තත් මට යන්න ලැබුණේ නැහැ. ඊට හේතුව කොරියානු රජයෙන් මට හමුදා සේවය සඳහා වාර්තා කරන්න කියා ලිපියක් එවා තිබීමයි.

ජීවිතයත් මරණයත් අතර තීරණයක්

හමුදා සේවයට බඳවා ගන්නා කාර්යාලයේ සිටි නිලධාරියාට මම කිසිම දේශපාලන පක්ෂයක පැත්තක් නොගෙන කටයුතු කරන බව පැහැදිලි කළා. එවිට මම කොමියුනිස්ට්වාදියෙක් කියා සිතා ඒ ගැන සොයා බැලීමට මාව හමුදාවේ ප්‍රධානියෙක් ළඟට යැව්වා. මම මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කළේ ඒ අවස්ථාවේදී මට මුහුණු දීමට සිදු වූ තත්වය ගැනයි. ඒ වෙලාවේ මාව මරනවා වෙනුවට එම ප්‍රධානියා නිලධාරියෙකුට බැටන් පොල්ලක් දී මට පහර දෙන්න කියා නියම කළා. ඒ පහරකෑම්වල වේදනාව දරාගැනීම එතරම් පහසු වුණේ නැහැ. ඒත් මට දිගටම විඳදරාගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා.

මාව නැවතත් හමුදා සේවකයන්ව බඳවා ගන්නා කාර්යාලයට යොමු කළා. එහිදී මගේ විශ්වාසයන් ගැන සත පහකටවත් ගණන් නොගත් නිලධාරීන් මට බලෙන්ම හමුදා හැඳුනුම්පත් අංකයක් දුන්නා. ඉන් පසු මාව කොරියාව ආසන්නයේ පිහිටි චෙජු ඩෝ නම් දුපතේ පුහුණුවීම් සඳහා යවනු ලැබුවා. පසුවදා උදේ සියලු සෝල්දාදුවන්ට තමන් හමුදාවට බැඳෙන බවට ප්‍රතිඥාවක් දීමට තිබුණා. මට එසේ කිරීමට නොහැකි බව පැවසූ නිසා මාව අවුරුදු තුනකට සිරගත කළා.

විශ්වාසවන්තකම රැකගත් තවත් අය

මට ගිලියද් පාසැලේ පුහුණුව ලැබීමට යන්න තිබුණු දවසේ මම දැක්කා අහස් යානාවක් පියාසර කරනවා. මට ඒ වෙලාවේ මතක් වුණා මම යන්න තිබුණේ ඒ අහස් යානාවේ නේද කියලා. ඒත් ඒ ගැන මට ලොකු දුකක් දැනුණත් මට මේ වන තෙක්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ලැබුණු එක ගැන මම සතුටු වුණා. හමුදා සේවය ප්‍රතික්ෂේප කළ එකම කොරියානු ජාතික සාක්ෂිකරුවා මම විතරක් නෙවෙයි. ඊට පසු අවුරුදුවල තවත් සාක්ෂිකරුවන් 13,000කට වැඩි පිරිසක් ඒ ස්ථාවරයේම සිටියා. මේ සෑමදෙනාම සිරභාරයේ සිටි මුළු කාලය අවුරුදු 26,000කට වඩා වැඩියි.

මට අවුරුදු තුනක සිර දඬුවමක් නියම වෙලා තිබුණත් 1955දී මගේ යහපත් හැසිරීම නිසා මාව අවුරුදු දෙකකින් නිදහස් කළා. මම නැවතත් පූර්ණ කාලීන සේවය කරන්න පටන්ගත් අතර 1956 ඔක්තෝබර් මාසයේ කොරියාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. වර්ෂ 1958දී නැවත ගිලියද් පාසැලට මට ආරාධනාවක් ලැබුණා. එම පාසැලේ පුහුණුවෙන් පසු නැවතත් මාව කොරියාවට යැව්වා.

මම කොරියාවට පැමිණ ටික කාලයකට පසු ඇදහිලිවන්ත සහෝදරියක් වන හයෙං සෙං මට මුණ ගැසුණා. අපි 1962දී විවාහ වුණා. ඇය බෞද්ධ පසුබිමක හැදී වැඩුණු කෙනෙක්. ඇයට බයිබලයේ සඳහන් සත්‍යය දැනගන්න ලැබුණේ ඇගේ පන්තියේ මිතුරියෙකුගෙනුයි. අපි විවාහ වී මුල් අවුරුදු තුනේදී කොරියාවේ සභාවල සිටින සහෝදර සහෝදරියන්ව දිරිගැන්වීම සඳහා සෑම සතියකම එක් එක් සභාවලට ගියා. වර්ෂ 1965 සිට අප සියොල් නගරයේ සිට කිලෝමීටර් 60ක් පමණ ඈතින් පිහිටා තිබෙන ශාඛා කාර්යාලයේ සේවය කරනවා.

සිදු වී තිබෙන වෙනස්කම්

දකුණු කොරියාවේ කොයි තරම් දේවල් වෙනස් වෙලාද! දෙවන ලෝක මහ යුද්ධයෙන් සහ උතුරු කොරියාව සමඟ පැවති යුද්ධයෙන් පසු ගොඩනැඟිලි සියල්ල බිඳ වැටී, මහා මාර්ග කැඩී බිඳී සුන් බුන් ගොඩක් හා සමාන තත්වයකට දකුණු කොරියාව පත් වී තිබුණා. විදුලි බලය කඩින් කඩ ලැබුණු අතර සමහර දවස්වලට විදුලි බලය කොහොමටවත් තිබුණේ නැහැ. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබුණා. ඒත් පසුගිය වසර 50 ඇතුළත දකුණු කොරියාව හිතා ගන්නවත් බැරි තරමට වෙනස් වී තිබෙනවා.

දැන් දකුණු කොරියාව ධනවත් රටවල්වලින් එකක් බවට පත් වී තිබෙනවා. එහි නගර දැන් හුඟක් දියුණුයි. ඒ වගේම අධිවේගී දුම්රිය මාර්ග, ඉලෙක්ට්‍රෝනික උපකරණ හා මෝටර් රථ නිපදවීම අතින් දකුණු කොරියාව දැන් ඉතා ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම මෝටර් රථ නිපදවීමේ පස්වෙනි ස්ථානයේ සිටින්නේ දකුණු කොරියාවයි. නමුත් මේ සෑම දෙයකටම වඩා දකුණු කොරියානු රජය එහි මහජනයාගේ ශුභ සිද්ධිය තකා මානව හිමිකම් සම්බන්ධයෙන් කර තිබෙන වෙනස්කම් මගේ සිත් ගත්තා.

වර්ෂ 1953දී කොරියානු රජය මාව සිරභාරයට ගත් අවස්ථාවේදී ඔවුන් අපි හමුදාවට බැඳීමට අකමැති වීමට හේතු ගැන හරියාකාරව දැන සිටියේ නැහැ. ඒ නිසා අපෙන් සමහරදෙනෙක් කොමියුනිස්වාදීන් කියා ඔවුන් චෝදනා කළා. ඒ වගේම සමහර සාක්ෂිකරුවන්ට මැරෙන තුරු පහර දුන්නා. තම ස්ථාවරය නිසා සිරගත වූ සමහර තරුණ සාක්ෂිකරුවන් පසු කාලයේදී තමන්ගේ දරුවන් සහ මුණුපුරන්ද ඒ දඬුවම් විඳිනවා දැක තිබෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමුදාවට බැඳීමට අකමැති වීමට හේතුව ඔවුන්ගේ ආගමික විශ්වාසය බව පසුගිය වසරවලදී මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කිරීම සතුටට කරුණක්. එක් සාක්ෂිකරුවෙක් තමාගේ විශ්වාසය නිසා හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළ විට ඊට විරුද්ධව චෝදනා කරමින් ඔහුව වරදකරුවෙක් බවට පත් කළ එක් නීතිඥයෙක් පවා තමා අතින් සිදු වුණේ ලොකු වරදක් බව ප්‍රසිද්ධ සඟරාවක පළ කර තිබුණා.

ආගමික විශ්වාසයන් නිසා හමුදාවට බැඳීමට අකමැති තරුණයන් ගන්නා තීරණයට වෙනත් බොහෝ රටවල්වල මෙන් දකුණු කොරියාවේ රජයද ගරු කරයි කියා මම බලාපොරොත්තු වුණා. එවැනි තීරණයක් ගන්නා තරුණයන්ට ‘සන්සුන්, තැන්පත් ජීවිතයක් ගත කිරීමට හැකි වන ලෙස’ රජයෙන් ඊට අවසර ලබා දිය යුතුයි කියා මම දිගටම දෙවිට යාච්ඤා කළා.—1 තිමෝති 2:1, 2.

පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන සාක්ෂි දැරීමට හැකි සෑම අවස්ථාවක්ම යෙහෝවා දෙවිගේ සේවකයන් සළකන්නේ මහත් වරප්‍රසාදයක් ලෙසයි. (ක්‍රියා 5:29) දෙවිට විශ්වාසවන්තව සිට ඔහුගේ සිත සතුටු කිරීම අපේ එකම අරමුණයි. (හිතෝපදේශ 27:11) ‘අපේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන’ මිලියන ගණනක් අතර මටත් සිටින්න ලැබීම මොන තරම් සතුටක්ද!—හිතෝපදේශ 3:5, 6, නව ලොව පරිවර්තනය.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පුදුමයෙන් පුදුමයට පත් කරමින් ඔවුන් අපිව අත් අඩංගුවට ගන්නවා වෙනුවට අපේ පණිවිඩය ගැන උනන්දුවක් දැක්වුවා”

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කොරියාවේ සාක්ෂිකරුවන් හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ට සිරගත වීමට සිදු වූ මුළු කාලය අවුරුදු 26,000යි

[12වන පිටුවේ පින්තූරය]

1953 හමුදා සිර කඳවුරේදී

[15වන පිටුවේ පින්තූරය]

1952 යුධ සමයේදී ඩෑන් ස්ටීල් සමඟ ගිය එක් සභාවක්

[15වන පිටුවේ පින්තූරය]

1961දී අපි විවාහ වෙන්න කලින්

[15වන පිටුවේ පින්තූරය]

1956දී සංචාරක අවේක්ෂකයෙකු සමඟ

[15වන පිටුවේ පින්තූරය]

දැන් හයෙං සුං සහ මම