Skip to content

පටුනට යන්න

ගලින් නිම වූ සිත්තම්

ගලින් නිම වූ සිත්තම්

ගලින් නිම වූ සිත්තම්

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

අප අවට පරිසරයේ දකින්න තිබෙන සිත් වසඟ කරන දර්ශන චිත්‍රයට නැඟීමට කලාකරුවන් විවිධ ක්‍රම උපයෝගි කරගන්නවා. අප මේ ලිපියේ කතා කරන්නේ එවන් එක් කලා නිර්මාණයක් ගැනයි. එනම් ඉතාලියේ ෆ්ලොරන්ස්හි මොසෙයික් කලාව ගැනයි. මෙය ඉතාමත් සංකීර්ණ වූ නිර්මාණයක්. මෙම නිර්මාණය සඳහා ගල් වර්ග, පිඟන් මැටි සහ වීදුරු භාවිත කරනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ සඳහා භාවිත කරන දේවල් නිශ්චිත හැඩයෙන් යුත් ඒවා නොවීමයි. ඒවා එකින් එක කොතරම් හොඳින් අලලා තියෙනවාද කියනවා නම් එම ගල් අතර කිසිම හිඩසක් දකින්න ලැබෙන්නේ නැහැ.

කලාකරුවන් මේ සඳහා විවිධ වර්ණවලින් යුත් ගල් භාවිත කරනවා. ඒවා අතර නීල කාන්ත, පළිඟු, මැලකයිට් වැනි ගල් වර්ගද කහ, දුඹුරු, කොළ සහ රතු වර්ණයෙන් යුත් පිඟන් මැටිද වෙනවා. ඊට අමතරව අගස්ති, ජැස්පර්, ඔනික්ස් සහ වෙනත් වර්ණවලින් යුත් ගල්ද ඒ සඳහා භාවිත කරනවා. මෙම ගල් විවිධ හැඩවලින්ද ලා වර්ණයේ සිට තද වර්ණය දක්වා විවිධ පැහැයන්ගෙන්ද යුක්තයි. ඒවා භාවිත කරමින් ගස් කොළන්, ජල පහරවල් සහ වලාකුළු වැනි සිත්තම් නිර්මාණය කරනවා.

මෙම මොසෙයික් චිත්‍ර අලුත් දෙයක් නොවෙයි. මෙය මුලින්ම නිර්මාණය කළේ මැද පෙරදිග කියා සිතිය හැකියි. එය ක්‍රිස්තු පූර්ව පළමු සියවස වන විට රෝමයේ බිත්ති සැරසීමට සහ බිම අලංකාර කිරීමට යොදාගනු ලැබුවා. මෙම චිත්‍ර කලාව මධ්‍යකාලීන යුගයේත් පස්වන හා හයවන සියවස්වලත් වැඩි වශයෙන් යොදාගත්තා. නමුත් 16වන සියවසේ ෆ්ලොරන්ස්හි ටොස්කානා නගරයේ කළ මෙම චිත්‍ර කලාව ඉතා ප්‍රසිද්ධ වුණා. අද වන විට මෙම චිත්‍ර විවිධ ස්ථානවලද යුරෝපයේ කෞතුකාගාරවලද දැකිය හැකියි.

මෙම චිත්‍ර නිර්මාණය කිරීම සඳහා විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් වැය වන නිසා මේවා මිලෙන් ඉතා අධිකයි. ඒ හේතුවෙන් එදා මෙන් අදත් මෙම චිත්‍ර මිල දී ගැනීමට හැකි වී තිබෙන්නේ මිනිසුන් අතලොස්සකට පමණයි.

සාදාගන්නා ආකාරය

ෆ්ලොරන්ස් මොසෙයික් නිර්මාණයක් කිරීම සඳහා මුලින්ම කරන්නේ පිටපත් කරන ලද පින්තූරයක් තෝරාගැනීමයි. පසුව එම පින්තූරය කුඩා කෑලිවලට කපාගන්නවා. එසේ කපාගන්නා ලද කෑලිවලට වඩාත්ම සරිලන ගල් තෝරා ඒවා එම කෑලිවල අලවාගන්නවා.

මේ සඳහා භාවිත කරන ගල්, පිඟන් මැටි හෝ වීදුරු කැබැල්ලක ගනකම මිලිමීටර් දෙකක් හෝ තුනකට අඩුයි. එසේ අලවාගත් කෑලි පින්තූර කෑලිවලට සරිලන සේ කපාගැනීම සඳහා කියතක් වැනි වූ උපකරණයක් භාවිත කරනවා. (ඉහළ පින්තූරයේ පෙන්වා ඇති පරිදි) එසේ කපාගන්නා අතරතුර එම කියත යම් විශේෂිත වූ ද්‍රවයකින් නිතර නිතර තෙත් කරගන්න අවශ්‍යයි. ඒ ආකාරයට කොතරම් හොඳින් එම කැබලිවල දාර ඔපමට්ටම් කර තිබෙනවාද කියනවා නම් ඒ එක් එක් කෑලි සම්බන්ධ කළ විට ඒ අතරින් කිසිදු ආලෝකයක් දිස් නොවෙයි. ඉතා සියුම් නිර්මාණයක් වන මිදි වැලක ඇති හීනි කෙඳි වැනි කුඩා දඟර නිර්මාණය කිරීමට සිදු වූවා කියා සිතන්න. එම නිර්මාණය මේ ආකාරයට කිරීම කොතරම් අසීරු වෙයිද!

මෙලෙස සකසා ගත් කොටස් එකට එකතු කර ගල් ලෑල්ලක් වැනි වූ යමක් මත අලවාගන්නවා. ඉන්පසු එය හොඳින් පිරිමැද ඔපමට්ටම් කරගන්නවා. මොසෙයික් නිර්මාණයක් කිරීමේදී කලාකරුවන් ඉතා දක්ෂ අන්දමින් ලා පැහැයේ සිට තද වර්ණය දක්වා ගල්වල ඇති වර්ණ යොදාගන්නවා. එම නිසා සියුම් මල් පෙතිවල වර්ණ එයාකාරයෙන්ම ඉස්මතු කිරීමට හැකි වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි පළතුරු, මල් බඳුන් සහ සමනල්ලු වැනි නිර්මාණයන් කිරීමට මෙම ක්‍රමය භාවිත කරනවා. එය නිම කළ පසු ඡායාරූපයකට වඩා ආකර්ෂණීයයි.

ෆ්ලොරන්ස් මොසෙයික් නිර්මාණයන් සඳහා භාවිත කරන ගල්, පිඟන් මැටි සහ අනිකුත් සියලු දේවල් ලබාගන්නේ අප අවට පරිසරයෙනුයි. ඉන් පැහැදිලි වන්නේ ඒ සෑම දෙයක්ම සෑදීමට බලවත් දෙවි කෙනෙක් සිටිය යුතු බවයි. මොසෙයික් නිර්මාණයන් සඳහා භාවිත කරන වර්ණවත් මෙන්ම වටිනා ගල් වර්ග, ඒවා නිර්මාණය කළ දෙවිගේ බලය පිළිබඳ නිහඬ සාක්ෂියක් නොවෙයිද!

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos pages 16 & 17: Su concessione del Ministero per i Beni e le Attività Culturali-Opificio delle Pietre Dure di Firenze, Archivio Fotografico