Skip to content

පටුනට යන්න

ජීවිතයේ අරමුණ

ජීවිතයේ අරමුණ

ජීවිතයේ අරමුණ

අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි සෑම දෙයක්ම කරන්නේ අරමුණක් ඇතුවයි. උදාහරණයකට යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වන ජල චක්‍රය ගැන සිතා බලන්න. මේ ගැන කාව්‍යමය ආකාරයෙන් බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “සියලු ගංගා ගලා බසින්නේ මුහුද වෙතටය. එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත. මුහුදේ ජලය නැවතත් දිය ඇළි, ගංගාවලට එකතු වෙයි.”—දේශනාකාරයා 1:7NW.

ජල චක්‍රය ලෙස හඳුන්වන්නේ සූර්ය රශ්මිය නිසා පොකුණු, ගංගා හා ජලාශවල ජලය වාෂ්ප වී ඉහළට යන අතර එය නැවතත් වර්ෂාව ආකාරයෙන් පොළොවට පතිත වීමයි. එයින් දෙවිගේ පොරොන්දුවල ඇති විශ්වාසවන්තභාවය කොතරම්ද කියා පැහැදිලි වෙනවා. දෙවි ජල චක්‍රය ගැන විස්තර කිරීමෙන් පසු මෙවැනි දෙයක් පවසනවා. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:10, 11NW.

ජීවිතය පවත්වාගෙන යෑමට වර්ෂාවෙන් ලැබෙන පිරිසිදු ජලය අත්‍යවශ්‍යයි. ඒ හා සමානව අපි ජීවත් වෙන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට ‘[දෙවිගේ] මුවින් නික්මෙන වචන’ අපට අත්‍යවශ්‍යයි. මේ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.”—මතෙව් 4:4.

දෙවි පවසා තිබෙන දේවල් අප අපේ ජීවිතයට අදාළ කරගන්නවා නම් දෙවිගේ අරමුණට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගත හැකියි. ඒත් එසේ කිරීමට දෙවිගේ අරමුණ කුමක්ද කියා අප දැන සිටිය යුතුයි. උදාහරණයකට දෙවි පොළොව සෑදුවේ ඇයි? පොළොව සඳහා වූ දෙවිගේ අරමුණ අපට බලපාන්නේ කෙසේද? අප දැන් ඒ ප්‍රශ්න ගැන ටිකක් සොයා බලමු.

පොළොව සඳහා දෙවිගේ අරමුණ

මිනිසාට හොඳම දේ ලබා දීම සඳහා දෙවි පළමු මිනිස් යුවළ වන ආදම් සහ ඒවව ඒදන් නම් පාරාදීස උයනක පදිංචි කළා. පසුව දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරවන්න. පොළොවද පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”—උත්පත්ති 1:26-28NW; 2:8, 9, 15.

දෙවි පළමු මිනිස් යුවළට පැවසූ දෙයින් පැහැදිලි වන්නේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා දැකීම දෙවිගේ අරමුණ වූ බවයි. බයිබලයේ පොළොව සම්බන්ධයෙන් සඳහන් වන්නේ මෙයයි. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.”ගීතාවලිය 115:16NW.

දෙවිගේ අරමුණට එකඟව මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙද්දී එය භුක්ති විඳීමට නම් මිනිසා දෙවිට කීකරු විය යුතුයි. ඒත් ආදම් දෙවිට කීකරු වුණාද? නැහැ. ඔහු දෙවිට අකීකරු වී පව්කාරකම උරුම කරගත්තා. ඒ නිසා ඔහුගෙන් පැවත එන අප සියලුදෙනාටම පාපය හා මරණය උරුම වී තිබෙනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12.

අප සියලුදෙනාම පව්කාරයන් නිසා අපි සෑම කෙනෙක්ම මිය යනවා. ඒ වගේම පොළොව පාරාදීසයක් බවට පත් වෙලත් නැහැ. මෙයින් අදහස් කරන්නේ දෙවිගේ මුල් අරමුණ වෙනස් වී ඇති බවද?

නැහැ. කිසිසේත්ම නැහැ. ඊට හේතුව අපි කලින් සඳහන් කළ බයිබල් පදයේ පවසන්නේ “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත” කියායි. තවද දෙවි මෙසේද පොරොන්දු වී තිබෙනවා. “මා කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි.” (යෙසායා 55:11; 46:10NW; 45:18) දෙවිගේ කැමැත්ත නම් ඔහු මුලින්ම අරමුණු කළ දෙයට අනුව මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වී එහි වෙසෙන සියලුදෙනාම හැමදාටම දෙවිට ප්‍රීතියෙන් සේවය කරනවා දැකීමයි.—ගීතාවලිය 37:29; යෙසායා 35:5, 6; 65:21-24; එළිදරව් 21:3, 4.

දෙවි ඔහුගේ අරමුණ ඉටු කිරීමට පියවර ගත්තේ කෙසේද?

යෙහෝවා දෙවි ඔහුගේ අසීමිත වූ ප්‍රඥාවෙන් හා ප්‍රේමයෙන් මිනිසා උරුම කරගෙන තිබෙන පව්කාර තත්වයෙන් සහ මරණයෙන් ඔවුන්ව මුදාගැනීමට පියවර ගත්තා. මුල්ම මිනිසා වූ ආදම්ගෙන් පැවත එන සෑම කෙනෙක්ම පව්කාරකම උරුම කරගෙන තිබෙන නිසා දෙවි ආදම්ගෙන් නොපැවතෙන කෙනෙක්ව මිනිසුන්ව මුදාගැනීමට තෝරාගත්තා. එය මිනිසුන්ව මුදාගැනීමට ගෙවූ වන්දියක් හා සමාන වුණා. දෙවිට කීකරු වන ජනයාට එයින් ප්‍රයෝජන ගෙන සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා. (මතෙව් 20:28; එෆීස 1:7; 1 තිමෝති 2:5, 6) දෙවි එම වන්දිය ලබා දීමට පියවර ගනු ලැබුවේ කෙසේද?

යෙහෝවා දෙවි විසින් එවන ලද දේවදූතයෙක් වන ගාබ්‍රියෙල් කන්‍යාවක් වූ මරියාට පැවසුවේ ඇය ‘පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා නැති’ වුණත් ආශ්චර්යවත් ආකාරයකින් දරුවෙකු බිහි කරන බවයි. දෙවි එය සිදු කළේ මෙසේයි. දෙවි ස්වර්ගයේ සිටි තම පුත්‍රයාව දරුවෙකු ලෙස මරියාගේ ගර්භාෂයේ ආශ්චර්යවත් ආකාරයෙන් පිළිසිඳ ගැනීමට සැලැස්සුවා. මේ අනුව මරියාගේ කුස තුළ දෙවිගේ පුත්‍රයා වැඩුණා.—ලූක් 1:26-35.

ඉන් මාස නවයකට පසු කිසිම පව්කාරකමක් උරුම නොවූ පරිපූර්ණ දරුවෙකු ලෙස යේසුස් උපත ලැබුවා. එය ආදම් පව් කිරීමට කලින් සිටි තත්වය හා සමානයි. යේසුස් වැඩුණු පසු ඔහු තම ජීවිතය මිනිස් වර්ගයා වෙනුවෙන් පූජා කළා. එමගින් දෙවිට කීකරු වන අයට පාපයෙන් හා මරණයෙන් ගැලවීම ලැබිය හැකියි. ආදම් නිසා මිනිසා පාපයට හා මරණයට ගොදුරු වුවත් “අන්තිම ආදම්” වන යේසුස් මාර්ගයෙන් ඉන් මිදීමට මිනිසාට හැකි වුණා.—1 කොරින්ති 15:45, 47.

දෙවි යේසුස් මාර්ගයෙන් අපට පෙන්වූ ප්‍රේමයට අප බෙහෙවින් ස්තුතිවන්ත විය යුතු නැද්ද! එම ප්‍රේමය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) දෙවි අපට පෙන්වූ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දක්වන්නේ කෙසේද? දෙවි අපට ලබා දුන් එම වටිනා ත්‍යාගය අප අගය කළ යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද? දෙවි පෙන්වූ ප්‍රේමය අගය කළ සමහර අය ගැන දැන් සලකා බලමු.

අර්ථවත් ජීවිතයක් ගත කිරීම

කලින් ලිපියේ සඳහන් කළ ඩෙනීස් පවසන්නේ දෙවිගේ නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වීමෙන් ඇගේ ජීවිතයට අර්ථයක් ලැබුණු බවයි. ඇය තවදුරටත් පැවසුවේ මෙසේයි. “දෙවි මනුෂ්‍යයන් සඳහා අරමුණු කර ඇති දේ සම්පූර්ණයෙන්ම ඉටු වන්නේ අනාගතයේදීයි. නමුත් දෙවිට සේවය කරන අයට ඔහු දැන් යම් කාර්යයක් පවරා තිබෙන බව මම බයිබලයෙන් දැනගත්තා. ඒක තමයි නිදහසේ තේරීම් කිරීමට දෙවි මට දීලා තියෙන හැකියාව ප්‍රයෝජනයට ගනිමින් දෙවිගේ අරමුණට එකඟව ජීවත් වෙමින් ඔහුව ගෞරවයට පත් කිරීම. ඒකෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ.”

ඒ හා සමානව අපටත් දෙවිගේ කැමැත්තට අනුව කටයුතු කළ හැකියි. යේසුස්ගේ ජීවිත පූජාවෙන් දැන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ලබා ගැනීමට බැරි බව ඇත්තයි. එයින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත හැක්කේ දෙවිගේ රාජ්‍යයේදීයි. එහිදී පව්කාර තත්වයකින් තොරව ධර්මිෂ්ඨ අය පරිපූර්ණ ජීවිතයක් භුක්ති විඳිනවා. නමුත් ඒ කාලය පැමිණෙන තෙක් අපි ජීවත් වන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයා දැනගැනීමෙන් අර්ථවත් මෙන්ම තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි.

මෙම ලිපි මාලාවේ මුල් ලිපියේ සඳහන් කළ ඩේව්ට හිස්කමෙන් මිදී ජීවිතේ සැබෑ තෘප්තිය ලැබීමට හැකි වුණේ අපි ජීවත් වන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර සොයා දැනගත් නිසයි. “මම දෙවිගේ අරමුණු ගැන දැනගන්න කලින් ගත කළ ජීවිතයේ කිසිම වැඩක් නැහැ කියලා මට දැන් තේරෙනවා. මට ඒ කාලයේදී දැනුණු හිස්කමට හේතුව දෙවිව හරියාකාරව නොදැන ඔහුට නමස්කාර කිරීම බව මට තේරුණා. නමුත් මට දැන් ඒ හිස්කම දැනෙන්නේ නැහැ. මගේ ජීවිතයට දැන් බලාපොරොත්තුවක් තියෙන නිසා ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා මම දන්නවා.”

ඇයි අපි ජීවත් වෙන්නේ යන ප්‍රශ්නයට බයිබලයේ දී තිබෙන පිළිතුර ඇත්තෙන්ම සහනයක්. අප මෙහි සිටින්නේ දෙවිට අප සම්බන්ධයෙන් අරමුණක් තිබුණු නිසයි. අප ඔහුගේ නාමය ප්‍රශංසා කරනවා දැකීමත් ඔහු සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වා ගැනීමත් ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් තිබෙනවා දැකීමත් දෙවිගේ එකම ආශාවයි. අප එසේ කරනවා නම් අපට දැනුත් සදහටත් බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාව අද්දැකිය හැකියි. “ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.”—ගීතාවලිය 144:15NW.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දුක් වේදනාවලට හේතුව

අද පවතින දුක් වේදනා නිසා අප ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දැනගැනීම අපහසුයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වික්ටර් ඊ. ෆ්‍රැන්කල් පැවසුවේ මෙසේයි. “අප ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් තිබෙනවා නම් දුක් විඳීමටත් හේතුවක් තිබිය යුතුයි. අපට මරණය වළක්වන්න බැහැ වගේ අපට පැමිණෙන දුක් පීඩාත් වළක්වන්න බැහැ.”

දුක් වේදනා සහ මරණයට දෙවි වග කිව යුතු නැහැ. ඊට හේතුව මුල් මිනිස් යුවළ දෙවිගෙන් ඈත් වී තමන්ගේ කැමැත්තට අනුව ක්‍රියා කිරීම බව බයිබලයේ පැහැදිලි කරනවා. ඒ නිසා ඔවුන්ගෙන් පැවත එන සෑම කෙනෙකුටම පව්කාරකම උරුම වී තිබීම දුක් වේදනා ඇති වීමට හේතුවයි.

අප ජීවත් වෙන්නේ ඇයි කියා දැනගැනීමෙන් ජීවිතයේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. නමුත් එය අපට දුක් වේදනා ඇති වීමට හේතුව දැනගැනීමට සහ ඒවා සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වෙනවා. ඒ වගේම දෙවි දුක් වේදනා හා මරණය සම්පූර්ණයෙන්ම නැති කරන කාලයක් ලබා දෙන බවට දී තිබෙන පොරොන්දුව අපට මහත් අස්වැසිල්ලක් වෙනවා.

[7වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

බයිබලයේ සඳහන් ජල චක්‍රය මගින් දෙවිගේ පොරොන්දු කොතරම් විශ්වාසවන්තද කියා පැහැදිලි වෙනවා

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

වර්ෂාව

වාෂ්ප වීම

වාෂ්ප වීම

පොකුණු සහ ගංගා

සාගර

[8, 9වන පිටුවේ පින්තූරය]

අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් බවට පත් වී ප්‍රීතිමත් ජනයාගෙන් පිරී යන බවට අපට ස්ථිර විය හැක්කේ ඇයි?

[9වන පිටුවේ පින්තූරය]

‘දෙවි මට දීලා තියෙන තීරණ ගැනීමේ නිදහසට අනුව දෙවිට සේවය කිරීම තරම් තෘප්තියක් ලැබෙන වෙන කිසිම දෙයක් නැහැ.’—ඩෙනීස්