Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ නත්තල සැමරීම ආගමික උත්සවයක් කියා සළකන්නේ ජර්මනියේ වෙසෙන අයගෙන් සියයට අටක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. වර්ෂ 1980දී එම ගණන සියයට 47යි.—TV NEWS CHANNEL N24, GERMANY.

▪ එක්සත් ජනපදයේ ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ දෙයක් දැන් වර්තා වෙනවා. එනම් ‘වැඩිහිටියන් සියදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවේ පසුවන බවයි. එක්සත් ජනපදයේ එලෙස සිරගත වී සිටින අයගේ සංඛ්‍යාව මිලියන 1.6ක් වෙනවා.’—THE NEW YORK TIMES, U.S.A.

▪ ස්පාඤ්ඤයේ කළ අධ්‍යයනයකින් හෙළි වූයේ සෞඛ්‍යයට අහිතකරයි කියා ජාත්‍යන්තරව නම් කර ඇති කෘමී නාශක බෙහෙත්වලින් එක වර්ගයක් හෝ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ශරීරගත වී තිබෙන බවයි.—UNIVERSITY OF GRANADA, SPAIN.

▪ “තොරතුරු ලබාගැනීමට හැකි වී තිබෙන රටවලින් හෙළි වී තිබෙන්නේ දුම් පානය කිරීම මර්දනය කිරීම සඳහා වියදම් කරන මුදලට වඩා දුම්කොළවලට අය කරන බඳු ප්‍රමාණය 500 ගුණයකින් වැඩි බවයි.”—WORLD HEALTH ORGANIZATION, SWITZERLAND.

▪ ඉස්ලාම් භක්තිකයන්ගේ ගණන කතෝලික භක්තිකයන්ගේ ගණනට වඩා වැඩියි. වර්ෂ 2006දී රෝමානු කතෝලික භක්තිකයන් ලෝක ජනගහනයෙන් සියයට 17.4ක් සිටි අතර ඉස්ලාම් භක්තිකයන් සියයට 19.2ක් සිටියා.—REUTERS NEWS SERVICE, BRITAIN.

ඉපැරණි ක්‍රමයට යාත්‍රා කරන නැව්

වැඩි වන ඉන්ධන මිල මෙන්ම පරිසරයට සිදු වන අහිතකර බලපෑම අවම කරගැනීමට නැව් අයිතිකරුවන් ඈත අතීතයේදී මෙන් සුළඟ උපයෝගී කරගෙන ඊට විසඳුමක් සොයමින් සිටිනවා. ඒ වෙනුවෙන් සිදු කළ එක් අත්හදා බැලීමක් ගැන ප්‍රවෘත්ති පත්‍රයක (Frankfurter Allgemeine Zeitung) සඳහන් වූ පරිදි නැව යාත්‍රා කිරීමට මීටර 300ක් පමණ පරතරයක් ඇතිව පැරෂූටයක් හා සමාන දෙයක් නැවට සම්බන්ධ කර තිබෙනවා. එමගින් සුළඟේ ශක්තිය ප්‍රයෝජනයට ගත හැකි නිසා එන්ජිම දහනය කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වී තිබෙනවා. වර්ග මීටර 1,722ක් තරම් විශාල පැරෂූටයක් හා සමාන දෙයක් සවි කිරීම මගින් මෑතකදී අත්ලාන්තික් සාගරය හරහා බඩු නැවකට ගමන් කිරීමට හැකි වී තිබෙනවා.

ඉඩෝරය ප්‍රශ්නයක් නොවෙයි

“අප්‍රිකාවේ වෙසෙන මැස්සෙක් (Polypedilum vanderplanki) කීට අවස්ථාවේදී දරුණු නියඟයකට හසු වුණොත් ඌ ඉක්මනින්ම සීනි බෝලයක් වන බව” එක් සඟරාවක (Science News) පවසනවා. ඒ කොහොමද? දරුණු නියඟවලදී උගේ ශරීරය සම්පූර්ණයෙන් විජලනය වන විට ඌ සෛලවල තිබෙන ජලය වෙනුවට වීදුරු හා සමාන ද්‍රව්‍යයකින් එම සෛල පුරවාගන්නවා. මෙය හරියට උණු කරගත් සීනි නැවත කැට ගැසුණු විට තිබෙන තත්වය හා සමානයි. වර්ෂාව ලැබී නැවත ක්‍රියාකාරි තත්වයට පත් වන තෙක් ඌට සීනි බෝලයක් ආකාරයෙන් අවුරුදු 17ක් වැනි කාලයක් සිටිය හැකියි.

තාරකා නිරීක්ෂණය කිරීමට හොඳම තැන

ජාත්‍යන්තර කණ්ඩායමක් (Chinese Center for Antarctic Astronomy) විසින් නැඟෙනහිර ඇන්ටාක්ටික් ප්‍රදේශයේ ඩූම් ආගස්හි සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය තාරකා නිරීක්ෂණාගාරයක් පිහිටුවා තිබෙනවා. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 400ක් උසින් පිහිටා තිබෙන අතර ඇන්ටාක්ටික්හි පිහිටි උසම ස්ථානය එයයි. දක්ෂිණ ධෘවයේ සිට මෙයට කිලෝමීටර 1,000ක දුරක් තිබෙන අතර එහි තද ශීත දේශගුණයක්ද පවතිනවා. සමහර අවස්ථාවලදී එම ප්‍රදේශය ඝන අන්ධකාරයෙන් වැසී තිබෙනවා. එහි එතරම් සුළං හමන්නේවත් මාස හතරක් වැනි කාලයකට හිරු එළිය ලැබෙන්නේවත් නැහැ. කෙසේවුවත් තාරකා පිළිබඳව අධ්‍යයනය කිරීමට ලෝකයේ තිබෙන හොඳම තැන මේ ස්ථානය බව විශ්වාස කෙරෙනවා. “මෙම ස්ථානයේ සිට දුරේක්ෂයකින් ගන්නා දර්ශන අභ්‍යාවකාශය තරණය කිරීමේදී ගන්නා පින්තූර මෙන්ම පැහැදිලි බවත් මේ සඳහා යන වියදම ඉතා අඩු බවත්” එම කණ්ඩායමේ ප්‍රධානියා වන ලිෆාන් වෑං පැවසුවා.