Skip to content

පටුනට යන්න

පිළිතුරක් සොයාගත හැක්කේ කොහෙන්ද?

පිළිතුරක් සොයාගත හැක්කේ කොහෙන්ද?

පිළිතුරක් සොයාගත හැක්කේ කොහෙන්ද?

සියලුම ආගම්වලින් ඉටු විය යුතු එක් දෙයක් වන්නේ අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය පෙන්වා දීමයි. නමුත් බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ ආගම්වලින් එය ඉටු වී නැති බවයි. කතෝලික භක්තිකයෙක් ලෙස ඇති දැඩි වූ ඩෙනීස් මෙවැනි දෙයක් පවසනවා. ‘කතෝලික ආගමේ මම ඉගෙනගෙන තියෙන විදිහට දෙවි අපව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ යහපත්කම පෙන්වීමට හා ස්වර්ගයේ ඔහු සමඟ සදාකාලිකව ප්‍රීතිය භුක්ති විඳීමටයි.

‘ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට මට හොඳ පිළිතුරක් එයින් ලැබුණේ නැහැ. මගේ එකම බලාපොරොත්තුව ස්වර්ගයට යන එක නම් ඒ වෙන කල් මම මෙහෙ මොනවද කරන්නේ?’ මෙය ඩෙනීස්ට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවෙයි. එක් සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ඊට සහභාගි වූ අයගෙන් තුනෙන් දෙකක්ම පැවසුවේ ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට ඔවුන්ට තම ආගම්වලින් සෑහීම ගෙන දෙන පිළිතුරක් නොලැබුණු බවයි.

ඒ හේතුව නිසා බොහෝදෙනෙක් ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා විද්‍යාවෙන් හෝ දර්ශනවාදි අදහස්වල පිහිට පතනවා. නමුත් ඊට සෑහීම ගෙන දෙන පිළිතුරු ලැබී තිබෙන්නේ කිහිපදෙනෙකුට පමණයි. බොහෝදෙනෙක් තවමත් ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උනන්දු වන්නේ ඇයි?

සහජ නැඹුරුවාව

එක් මහාචාර්යවරයෙක් (Dr. Kevin S. Seybold) පවසන පරිදි සෑම මිනිසෙකුටම මොනයම් දෙයකට හෝ නමස්කාර කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. මෑතකදී විද්‍යාඥයන් පිරිසක් පිළිගෙන තිබෙන්නේ මිනිසුන්ට තම ජීවිතය ගැන ගැඹුරින් සිතා බැලීමේ අවශ්‍යතාවක් සහජයෙන්ම තිබෙන බවයි. ඒ වගේම තවත් සමහරුන් මිනිසාගේ සැකැස්ම දිහා බලද්දී ඔහුට උසස් බලයක් සමඟ සම්බන්ධ වීමේ වුවමනාවක් තිබෙන බව විශ්වාස කරනවා.

මොනයම් දෙයකට හෝ නමස්කාර කිරීමට මිනිසාට අවශ්‍යතාවක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව ලෝකයේ බුද්ධිමතුන් හා ප්‍රවීණයන් තවමත් විවාද කරමින් සිටිනවා. නමුත් බොහෝදෙනෙකුට එවැනි අවශ්‍යතාවක් තිබෙන බව පිළිගැනීමට විද්‍යාත්මක හේතු අවශ්‍ය වන්නේ නැහැ. අප මෙහි සිටින්නේ ඇයි? අපේ ජීවිතය ගත කළ යුත්තේ කෙසේද? සියලු බලැති දෙවි කෙනෙකු සිටිනවා නම් ඔහු අපට දඬුවම් කරයිද? වැනි ප්‍රශ්න අපිට පැනනගින්නේ සෑම කෙනෙකුටම ජීවිතේ එවැනි අවශ්‍යතාවක් තිබෙන නිසයි.

අප අවට ලෝකය දෙස හොඳින් නිරීක්ෂණය කරනවා නම් අපට ඉහත සඳහන් කළ සමහර ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකියි. පරිසරයේ තිබෙන සංකීර්ණ දේවල්, උදාහරණයකට ඒක සෛලීය ජීවියෙකුගේ පටන් ආලෝක වර්ෂ මිලියනයකට එහා තිබෙන මන්දාකිණි ගැන සිතා බලන්න. ඒවායින් පැහැදිලි වන්නේ ඒ දේවල් සැලසුම් කිරීමට හා නිර්මාණය කිරීමට බුද්ධිමත් කෙනෙක් සිටිය යුතු බව නොවෙයිද! බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙසේයි. ‘ඔහුගේ [දෙවිගේ] අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය [සෑදූ දා] පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට නැත.’—රෝම 1:20.

ඔබේ සහජ අවශ්‍යතාව ඉටු කරගැනීම

දෙවි මිනිසුන්ව නිර්මාණය කර ඇත්තේ “සදාකල් ජීවත් වීමේ ආශාව” ඇතුව බව බයිබලයේ පවසනවා. (දේශනාකාරයා 3:11NW) අපේ ආශාව වන්නේ ජීවත් වීම මිස මිය යෑම නොවෙයි. ඒ නිසා ඇයි අපි ජීවත් වෙන්නේ වැනි ප්‍රශ්න ගැන සොයා බැලීමට අප තුළ සහජ අවශ්‍යතාවක් තිබෙනවා.

සාමාන්‍යයෙන් මිනිසුන් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට කැමතියි. විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් මිනිසා ලබා තිබෙන දියුණුව ගැන නිරීක්ෂණය කළ ලේඛකයෙක් ඔහුගේ සඟරාවකට මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබුණා. “අප ඇයි මෙහි සිටින්නේ? අපේ බලාපොරොත්තුව කුමක්ද? වැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට හැකි වී නැහැ.” (The Wall Street Journal) එසේනම් ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරක් දෙවිගෙන් ලබා ගනිමු. ඊට හේතුව ගැන බයිබලයේ පවසන්නේ “අප අපවම නිර්මාණය කර නොගත්තේය. අපේ නිර්මාතෘ ඔහුය [දෙවිය] “ කියායි.—ගීතාවලිය 100:3NW.

යෙහෝවා දෙවි ජීවිතේ උල්පත බව යේසුස් තේරුම්ගත්තා. ඒ නිසයි ඔහු දෙවි වෙතට හැරෙන්න කියා අපව දිරිගැන්නුවේ. එසේනම් ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරක් දැනගැනීමට අපට උපකාර කළ හැක්කේ දෙවිට කියා සිතීම සාධාරණ දෙයක් නොවෙයිද!.—ගීතාවලිය 36:5, 9; මතෙව් 5:3, 6.

අපගේ කැමැත්ත වන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට විශ්වාසවන්ත පිළිතුරක් දැනගැනීමයි. මේ සම්බන්ධයෙන් අපේ ජීවනදායකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේ ගැන දැනගැනීමෙන් සෑහීම ගෙන දෙන පිළිතුරක් අපට ලබාගත හැකියි.