Skip to content

පටුනට යන්න

මිතුරන්ගේ වැරදි හෙළි කරන එක හරිද?

මිතුරන්ගේ වැරදි හෙළි කරන එක හරිද?

යෞවන අය අසති

මිතුරන්ගේ වැරදි හෙළි කරන එක හරිද?

“එයා මගේ හොඳ යාළුවෙක් නිසා එයාගේ වැරදි හෙළි කරන එක මට ගොඩක් අමාරු වුණා.”—ජේම්ස්. *

“මට මුලදී හුඟක් භය හිතුණා. මොකද මම මගේ යාළුවන්ගේ වැරදි හෙළි කළ නිසා මාව කවුරුත් ගණන් ගත්තේ නැහැ.”—ඈන්.

“සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 18:24, නව ලොව පරිවර්තනයNW) ඔබට එවැනි හොඳ මිතුරෙක් සිටිනවාද? එසේනම් එවැනි මිත්‍රත්වයක් ඔබ බොහෝ සෙයින් අගය කළ යුතුයි.

ඔබේ මිතුරෙක් වරදක් කර තිබෙනවා නම් තත්වය කුමක්ද? උදාහරණයකට ඔහු හෝ ඇය දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කළා නම් හෝ දුරාචාරය වැනි බරපතල වැරදි කර තිබෙනවා නම් ඔබ කරන්නේ කුමක්ද? (1 කොරින්ති 6:9, 10; 1 තිමෝති 1:9, 10) ඔබ ඒ බව ඔබේ මිතුරාට කියනවාද? ඔබේ දෙමාපියන්ට ඒ බව කියනවාද? ඔබේ මිතුරාගේ දෙමාපියන්ට ඒ බව කියනවාද? එහෙම නැත්නම් සභාවේ වැඩිමහල්ලන්ට * ඒ බව දැනුම් දෙනවාද? ඔබ එසේ කළොත් ඔබේ මිත්‍රත්වයට කුමක් සිදු වෙයිද? හොඳම දෙය නිහඬව සිටීමද?

කියනවාද? නැද්ද?

අපි සෑම කෙනෙක්ම වගේ වැරදි කරනවා. බයිබලයේ ඒ ගැන පවසන්නේ ‘සියල්ලෝම පව් කර දෙවිගේ තේජසින් ඈත්ව සිටියි’ කියායි. (රෝම 3:23) සමහරුන් බරපතල වැරදි කිරීමටත් තවත් අය ‘වැරදි පියවර’ ගැනීමටත් ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය උපකාර පිරිනැමුවේ නැත්නම් ඔවුන් තවත් වැරදි ක්‍රියාවල නියැලිය හැකියි. (ගලාති 6:1) අපි දැන් සැබෑ ජීවිත අද්දැකීමක් සලකා බලමු.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වන සුසෑන් ඇගේ ක්‍රිස්තියානි මිතුරියකට කාමුක පින්තූර සහ ලිංගිකත්වය ගැන කියැවෙන ගීත ඇතුළත් වෙබ් පිටුවක් තිබෙන බව දැනගත්තා.

සිතා බලන්න: ඔබ සුසෑන් නම් ඔබ කරන්නේ කුමක්ද? එවැනි අවස්ථාවකදී ඔබ යම් පියවරක් ගන්නවාද? ඇය සතු වෙබ් පිටුව ගැන සොයා බලන එක ඔබට අයිති දෙයක් නොවෙයි කියා ඔබ සිතනවාද? සුසෑන් ඔබගෙන් ඒ සඳහා උපදෙසක් ඉල්ලා සිටියොත් ඔබ ඇයට දෙන උපදෙස කුමක්ද?

․․․․․

සුසෑන් කරන්න තීරණය කළ දෙය: එම කාරණය ගැන ගැඹුරින් සිතා බැලූ සුසෑන් ඇගේ මිතුරියගේ දෙමාපියන්ට ඒ බව පැවසීමට තීරණය කළා. “මගේ මිතුරියගේ දෙමාපියන්ව මම කිට්ටුවෙන්ම ආශ්‍රය කරන නිසා මේ කාරණය ගැන ඔවුන්ට කියන්න මට හුඟක් අමාරු වුණා. කොයි තරම් අමාරු වුණාද කියනවා නම් එය කියන්න යද්දී මම හොඳටම ඇඬුවා” කියා සුසෑන් පැවසුවා.

ඔබ සිතන්නේ කුමක්ද? සුසෑන් කළ දේ හරිද? ඒ අවස්ථාවේදී ඇය නිහඬව සිටියානම් හොඳයි කියා ඔබ සිතනවාද?

සුසෑන් කළ දෙය නිවැරදිද නැද්ද කියා සොයා බැලීම සඳහා පහත සඳහන් තොරතුරු සලකා බලමු.

සැබෑ මිතුරෙක් කරන්නේ කුමක්ද? “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 17:17NW) බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට විරුද්ධව කෙනෙක් කටයුතු කරන විට ඔහු හෝ ඇය දැන හෝ නොදැන යම් ‘විපතකට’ මුහුණ දී සිටියි. නමුත් එවැනි සුළු වරදක් ගැන ඕනෑවට වඩා සිතීමෙන් මිතුරෙක් “පමණට වඩා ධර්මිෂ්ඨ” ලෙස කටයුතු කරන්නේ නැහැ. එමෙන්ම සැබෑ මිතුරෙක් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කැඩෙන යම් දෙයක් සිදු වන විට එය ගණන් නොගෙන ඇස් කන් පියාගෙන සිටින්නේද නැහැ. (දේශනාකාරයා 7:16) කෙසේවෙතත් පැනනැඟී ඇති තත්වය ගණන් නොගෙන සිටීම ඊට විසඳුම නොවෙයි.—ලෙවී කතාව 5:1.

මම මවක් හෝ පියෙක් නම්: ලිංගික කාරණා ඇතුළත් වෙබ් පිටුවක් මගේ දරුවාට තිබෙනවා නම් ඒ පිළිබඳව දැනගන්න මට අවශ්‍ය නැද්ද? මගේ දරුවාට වෙබ් පිටුවක් තිබෙනවා කියා ඔහුගේ හෝ ඇගේ මිතුරෙක් දැනගෙනත් ඒ බව මට නොකියනවා නම් මට කොහොම හැඟෙයිද?

දෙවිගේ ප්‍රතිපත්තිය කුමක්ද? යම් ප්‍රතිපත්තියක් කැඩෙන විට නිශ්ශබ්දව නොසිට ඒ වෙනුවෙන් කතා කරන්න. ඔබ හරි දේ වෙනුවෙන් කතා කරන විට නිර්මාණකරුගේ සිත සතුටු කළ හැකියි. (හිතෝපදේශ 27:11) ඒ වගේම ඔබේ මිතුරා වෙනුවෙන් හොඳම දේ කළා කියන හැඟීමත් ඔබට ඇති වෙයි.—එසකියෙල් 33:8.

‘කතා කිරීමට කාලයක්’

බයිබලයේ පවසන්නේ “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියායි. (දේශනාකාරයා 3:7) ඒත් බොහෝ දරුවන් යම් තත්වයන් පැනනැඟුණු විට ඒ ගැන කතා කළ යුතුද නැද්ද කියා හරි හැටි දන්නේ නැහැ. ඔවුන්ගේ මිතුරන් යම් වරදක් කළ විට ඔවුන් මෙසේ සිතනවා. ‘මගේ මිත්‍රයා කරදරයට පත් වෙනවට මම කැමති නැහැ.’ එසේත් නැත්නම් ‘මගේ මිත්‍රයා මා සමඟ අමනාප වෙනවට මම කැමති නැහැ.’ ඔබ වැදගත් ලෙස සලකන්නේ එම කාරණා පමණක් නම් ඔබ “නිහඬව සිටීමට” තීරණය කළ හැකියි.

කෙසේවෙතත් ඔබ වයසින් වැඩෙත්ම එවැනි කාරණා ගැන පුළුල්ව සිතන්න පෙලඹෙනවා. ඔබේ මිතුරා යම් කරදරයක වැටී සිටින බවත් ඔහුට උපකාර අවශ්‍ය බවත් ඔබ ඉක්මනින්ම තේරුම්ගන්නවා. ඒ සඳහා උපකාර පිරිනැමීමට ඔබට මුල් පියවර ගත හැකියි. ඔබේ මිතුරා බයිබලයේ සඳහන් නීතියක් හෝ ප්‍රතිපත්තියක් කඩ කර තිබෙනවා කියා ඔබට ආරංචි වුණොත් ඔබ කරන්නේ කුමක්ද?

මුලින්ම ඔබට අසන්න ලැබුණු ආරංචිය සත්‍යයද නැද්ද කියා සොයා බලන්න. සමහරවිට එය කට කතාවක් විය හැකියි. (හිතෝපදේශ 14:15) කැතී නම් යෞවනිය මෙවැනි දෙයක් පැවසුවා. “මගේ මිතුරියක් මං ගැන බොරු ආරංචි පැතිරුවා. මගේ අනිත් යාළුවෝ හිතුවේ ඇය කියන දේ හරියි කියලයි. කිසිම කෙනෙක් මාව විශ්වාස කරන එකක් නැහැයි කියලා මට භය හිතුණා.” නමුත් යේසුස් ගැන බයිබලයේ පවසන්නේ “ඔහුට යමක් ඇසුණු පමණින් ඔහු දඬුවම් නොකරන්නේය” කියායි. (යෙසායා 11:3NW) ඉන් අපට උගත හැකි පාඩම කුමක්ද? ඔබට අසන්න ලැබුණු සෑම ආරංචියක්ම එකවර පිළිනොගෙන ඒ ගැන සොයා බලන්න. මේ සම්බන්ධයෙන් සැබෑ ජීවිත අද්දැකීමක් සලකා බලමු.

මේ ලිපියේ මුලින්ම සලකා බැලූ ජේම්ස් කියා සිටියේ ඔහුගේ හොඳම මිතුරෙක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව ඔහුට ආරංචි වූ බවයි.

සිතා බලන්න: ඔබ ජේම්ස් නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබට අසන්න ලැබුණු දේ සත්‍යයද නැද්ද කියා ඔබ තීරණය කරන්නේ කෙසේද?

․․․․․

ජේම්ස් කරන්න තීරණය කළ දෙය: මුලින්ම ඔහුට කිසිවක් දැනගන්න නොලැබුණු බව අඟවන්න ඔහු උත්සාහ කළා. ඒ පිළිබඳව ජේම්ස් කියන්නේ මෙසේයි. “ඒත් ඒ කාරණය ගැන මට මගේ හිත වද දුන්නා. ඒ නිසා මගේ මිත්‍රයාට ඒ බව කියන්න අවශ්‍යයයි කියලා මට හැඟුණා.”

ඔබ සිතන්නේ කුමක්ද? වැරදි කළ තැනැත්තා සමඟ මුලින්ම කතා කිරීමේ ඇති ප්‍රයෝජන මොනවාද?

․․․․․

ඔබට ඒ කාරණය පිළිබඳව ඔහු සමඟ කතා කිරීම අපහසු නම් ඔබට කළ හැකි වෙනත් දේවල් මොනවාද?

․․․․․

තමා මත්ද්‍රව්‍ය භාවිත කළ බව ඔහු ජේම්ස්ට පැවසුවා. එය වෙනත් කිසිම කෙනෙකුට නොපවසන ලෙස ඔහු ජේම්ස්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ජේම්ස්ට අවශ්‍ය වන්නේ හරි දේ කිරීමටයි. ඒ වගේම ඔහුගේ මිතුරත් හරි දේ කරනවා දකින්න ඔහු කැමතියි. ඒ නිසා ජේම්ස් කියා සිටියේ ඔහු කළ වරද සතියක් ඇතුළත සභාවේ වැඩිමහල්ලන්ට දැන්විය යුතු බවයි. ඔහු එසේ කළේ නැත්නම් තමා එසේ කරන බව ජේම්ස් කියා සිටියා.

ජේම්ස් ක්‍රියා කළ ආකාරය සාධාරණද? එය සාධාරණයි හෝ අසාධාරණයි කියා ඔබ සිතනවා නම් එසේ සිතීමට හේතු මොනවාද?

․․․․․

ජේම්ස්ගේ මිතුරා වැඩිමහල්ලන්ට ඒ කාරණය පැවසුවේ නැහැ. ඒ නිසා එම කාරණය වැඩිමහල්ලන්ට පැවසීමට ජේම්ස් තීරණය කළා. ජේම්ස්ගේ මිතුරා කළ වරද පසුව ඔහු තේරුම්ගත්තා. පසුතැවිලි වීමට හා දෙවිත් සමඟ නැවතත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට සභාවේ වැඩිමහල්ලන් ජේම්ස්ගේ මිතුරාට උපකාර කළා.

ඔබ කේලම් කියන කෙනෙක්ද?

මම මගේ මිතුරන්ගේ වැරදි හෙළි කරනවා නම් මාව කේලම් කියන කෙනෙක් ලෙස හංවඩු ගහයිද? මම කිසි දෙයක් දන්නේ නැහැයි කියා අඟවන එක ලෙහෙසි නැද්ද? ඔබට එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද?

පහසු දේ කිරීම නිතරම ප්‍රේමණීය දෙයක් නොවන බවත් ප්‍රේමණීයව යමක් කිරීම නිතරම පහසු දෙයක් නොවන බවත් ඔබ මුලින්ම මතක තබාගත යුතුයි. ඒ නිසා මිතුරෙකුගේ වරදක් හෙළි කිරීමට ධෛර්යය අවශ්‍යයි. එම කාරණය පිළිබඳව ඔබ දෙවිට යාච්ඤාවෙන් නොපවසන්නේ ඇයි? ඔබ දෙවිගෙන් ඔබට අවශ්‍ය ප්‍රඥාව හා ධෛර්යය ඉල්ලා සිටිනවා නම් එය ඔහු අනිවාර්යෙන්ම ඔබට ලබා දෙනවා.—ෆිලිප්පි 4:6.

දෙවනුව ඔබ එම වරද දැනුම් දීමෙන් මිතුරා ලබන ප්‍රයෝජන ගැන සිතා බලන්න. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කර ගනිමු. ඔබ ඔබගේ මිතුරා සමඟ කන්දක් නඟින විට ඔහුගේ පය ගලක පැටලී ඔහු වැටුණා කියා සිතන්න. ඔහුට තනිවම නැඟිටින්න අමාරුයි. ඒ නිසා ඔබේ උපකාරය ඔහුට අත්‍යවශ්‍යයි. නමුත් ඔබේ මිතුරා ලැජ්ජාව නිසා ඔහුට තනිවම නැඟිට සිටීමට හැකි බව පවසනවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඔබේ මිතුරාගේ ජීවිතය අනතුරේ තිබියදී ඔහුව අත්හැර යනවාද?

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කරන මිතුරෙකුගේ තත්වයත් ඒ හා සමානයි. කිසිවෙකුගේ උපකාරයක් නැතුව දෙවි සමඟ නැවතත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට තමන්ටම හැකියි කියා ඔහු සිතිය හැකියි. එසේ සිතීම අඥාන දෙයක්. ඇත්තයි ඔබේ මිතුරාට ඔහුට සිදු වූ දේ නිසා ලැජ්ජාවක් ඇති විය හැකියි. නමුත් ඔබ කෙනෙකුගේ උපකාරය පැතීමෙන් මිතුරාගේ ජීවිතය බේරාගැනීමට ඔබට ඉන් හැකි වෙනවා.—යාකොබ් 5:15.

ඔබගේ මිතුරා වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඒ පිළිබඳව පැවසීමට බිය වන්න එපා. ඔහුට ඒ සඳහා උපකාර කිරීමෙන් ඔබ පෙන්වන්නේ යෙහෝවා දෙවිට සහ ඔබේ මිතුරාට ඇති පක්ෂපාතකමයි. පසු කාලයකදී එය තේරුම්ගන්නා ඔබේ මිතුරා ඔබට ස්තුති කරයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 6 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ සිටින අද්දැකීම්ලත් වැඩිහිටි පුරුෂයන්ව හඳුන්වන්නේ වැඩිමහල්ලන් ලෙසයි. කෙනෙක් යම් බරපතල වරදක් කර දෙවිගෙන් ඈත් වී සිටිනවා නම් නැවත ඔහුට ළං වීමට ඔවුන් උපකාර කරනවා.—යාකොබ් 5:14-16.

සිතා බලන්න

▪ මිතුරෙක් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති කඩ කරනවා නම් ඒ බව හෙළි කිරීම හොඳ මිත්‍රත්වයකට සාක්ෂියක් වන්නේ කොහොමද?

▪ බයිබලයේ සඳහන් චරිත අතරින් මිත්‍රයෙකුට දක්වපු පක්ෂපාතකම පරීක්ෂණයට ලක්වූ අවස්ථාවක් ඔබට මතකද? එම සිදුවීම්වලින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[20වන පිටුවේ පින්තූරය]

බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඔබේ මිතුරෙක් කටයුතු නොකරනවා නම් ඔහුට අවශ්‍ය උපකාරය ලැබෙන බවට සහතික වන්න